ආදිවාසී නායකයා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත සන්දේශය භාරදුන් අවස්ථාව (අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ද ඡායාරූපයේ සිටිති)
 
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොමාන්ඩෝ බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් දින ගණනාවකට පෙර සිටම මහියංගණ දඹාන ආදිවාසී රාජධානියට ඇතුළු වී සිටියහ. ඔවුන් ආදිවාසී ජාතික නායක වනස්පති විශ්වකීර්ති ඌරුවරිගේ වන්නියලැඇත්තන් සමඟ දින ගණනාවක් සාකච්ඡා කළේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳවයි.
 
ලෝකවාසී ආදිවාසීන් 2026 ආදිවාසී දිනය සමරද්දී, වසර 48,000ක ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන මෙරට ආදිවාසීන්ගේ ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දඹාන කොටබකිනියේදී පැවැත්වීම මෙම දැඩි ආරක්ෂාවට හේතු විය.
 
මෙරට ආදිවාසීන් දඹාන, රතුගල, පොල්ලේබැද්ද, දළුකාන, වාකරේ සහ මුතූර් සන්තෝෂපුරම් යන ප්‍රදේශ 6ක ජීවත් වන අතර, සමස්ත රැහේ ඇත්තන් පන්දහසක් පමණ සිටින බව ඌරුවරිගේ වන්නියලැඇත්තෝ පවසති.
 
වනයේ නිදහසේ ජීවත් වෙමින්, දඩයමක් කරගෙන, මීයක් කඩාගෙන, හේනක් අස්වැදූ පාරම්පරික ජීවන රටාව ආදිවාසීන්ට අහිමි වූයේ වනාන්තර රක්ෂිත බවට පත් කිරීමත්, මහවැලි ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන යෝජනාක්‍රම සඳහා ඔවුන්ගේ වාසභූමි අත්පත් කර ගැනීමත් සමඟය. කාටවත් අත නොපා අභිමානයෙන් සරල ජීවිතයක් ගත කළ රැහේ ඇත්තන් අද වන විට යදින තත්ත්වයට පත්ව ඇති බව ආදිවාසී නායකයා සංවේගයෙන් පවසයි.
 
ආර්ථික අසීරුතා හමුවේ රැහේ කැකුළන් ගම්පොජ්ජෙන් පිටමං වී කොළඹ ඇතුළු නගරවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්වැඩකරුවන් ලෙසත්, කැකුළියන් ඇඟලු‍ම් කම්හල්වල හා ධනපතීන්ගේ නිවෙස්වල මෙහෙකාරකම් සඳහාත් යොමු වී ඇත. ඔවුන් නැවත ගමට පැමිණීමේදී බාහිර සමාජයේ දුසිරිත් රැගෙන එන අතර, දඹානට පැමිණෙන දේශීය සංචාරකයන් ද රැහේ ඇත්තන් විවිධ දුසිරිත්වලට යොමු කරන බව නායකයා පවසයි. මේ නිසා පාරම්පරික සංස්කෘතිය රැකගෙන රැහේ ඇත්තන් ඉදිරියට ගෙන යාම සඳහා ආදිවාසී නායකයාට කිරීමට සිදු වී ඇත්තේ උඩුගම් බලා පිහිනීම වැනි දුෂ්කර ක්‍රියාවකි.
 
ආරක්ෂක හේතූන් මත මෙවර ආදිවාසී දින උත්සවයට කැඳවා තිබුණේ එක් ගමකින් විසි දෙනෙකු බැගිනි. රාත්‍රී කාලයේ පැවැත්වෙන සාම්ප්‍රදායික වරිග සභාව සඳහා ඔවුහු පෙරදිනම දඹානට පැමිණ සිටියහ. වරිග සභාව යනු ප්‍රාදේශීය නායකයන්, නියෝජ්‍ය නායකයන් සහ වැදි ජ්‍යෙෂ්ඨයන් (පිරිමි පාර්ශ්වය පමණක්) එක්ව රැහේ ගැටලු‍ සාකච්ඡා කරන උත්තරීතර සභාවයි. මෙවර පැවැති වරිග සභාවේදී ද අනාදිමත් කාලයක සිට විසඳුම් නොලැබුණු ගැටලු‍ රැසක් සාකච්ඡා විය. වනයේ නිදහසේ ජීවත් වීමට තිබූ අයිතිය අහිමි වීම, ඊට නීත්‍යානුකූල අවසරයක් නොලැබීම, හේන් ගොවිතැනට ඉඩම් නොමැති වීම, අනුපවුල් සඳහා නිවාස නොමැති වීම සහ ඉහළ යන ජීවන වියදම හමුවේ මුහුණ දෙන අර්බුද පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
 
උත්සවය පැවැති දින හිරු නැගෙත්ම ආරක්ෂක අංශ සෝදිසි කිරීම් තීව්‍ර කළ අතර, ආරාධිතයන් සහ රාජකාරියට පැමිණි නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් පසු කොටබකිනිය, මොරබැද්ද වනයට ඇතුළු වීමට අවසර ලැබිණි. ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන්ගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සපැමිණියාය.
 
 
කුඩා කැකුළියක පෙරමග ගොස් අගමැතිනිය පිළිගත් අතර, කොළඅතු අතැතිව කිරිකොරහ රංගනයට සමාන නැටුමක යෙදුණු ආදිවාසීහු ඇය උත්සව භූමිය වෙත කැඳවාගෙන ගියහ. අග්‍රාමාත්‍යවරිය ප්‍රථමයෙන්ම හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ ස්මාරකයට මල්කලඹක් තබා පහනක් දැල්වූ අතර, අනතුරුව ආදිවාසී ජන උරුම කෞතුකාගාරය ද නැරඹුවාය.
 
උත්සව සභාවේ ආරාධිතයන් සඳහා ගල්කුට්ටි අසුන් ලෙස සූදානම් කර තිබූ අතර රැහේ ඇත්තෝ බිම වාඩි වූහ. දඹානේ කැකුළියන් විසින් ආදිවාසී ගීතය ගායනා කිරීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ විය.
 
අනතුරුව අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැඇත්තෝ මෙසේ පැවසූහ:
 
“අවුරුද්දකට සැරයක් අපේ ගම්මානවල රැහේ ඇත්තෝ එකතුවෙලා ගැටලු‍ සාකච්ඡා කරලා යෝජනා ඇතුළත් සන්දේශයක් රජයට භාරදෙන දිනය මෙයයි. මම නායකත්වයට පත්වෙලා අවුරුදු විසි අටක් විතර වෙනවා. එදා ඉඳලම ලෝක ආදිවාසී දින උත්සවය පවත්වා වරිග සභාවේ සාකච්ඡා වන ප්‍රශ්න ඇතුළත් සන්දේශය පැමිණෙන රාජ්‍ය නායකයන්ට භාර දුන්නා. සමහර ඒවට විසඳුම් ලැබුණා; සමහර ඒවට අවුරුදු 28ක් තිස්සේ තවම විසඳුම් නැහැ.
 
අතීතයේ හිටපු නායකයන්ට මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. හැබැයි ලෝකය දියුණු වෙද්දී මේ පරම්පරාවටත් ගැටලු‍ රාශියක් ඇතිවුණා. යම් ජාතියක් ලෝකයේ ඉතිරි වෙන්න නම් ඒ පරම්පරාවේ අයිතිවාසිකම් සහ සිරිත් විරිත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒත් අද වෙනකොට අපේ අයිතීන් බොහොමයක් නීතියෙන් තහනම් කරලා.
 
මම නායකයා වුණාට පස්සේ පැවැති හැම ආණ්ඩුවක් එක්කම සාකච්ඡා කළා. පස්සේ මම අලු‍ත් මැති ඇමැතිවරුන්ටත් මේ ගැන මතක් කළා. අගමැතිතුමියත් මගේ ගෙදරට ඇවිත් සාකච්ඡා කළා. පනත් ගැන ගැසට් එකක් හදලා තියෙනවා කියලා දැනගන්න ලැබුණත් ඒක තවම මට ලැබුණේ නැහැ. පහුගිය කාලවල අවබෝධතා ගිවිසුම් අත්සන් කළත් ඒවා නීතියෙන් වලංගු නැහැ; මම කතා කරන නිසා ගහපු ගිවිසුම් විතරයි.
 
කැලේට ඇතුළු වෙන්න අවසර තිබුණට, සම්ප්‍රදායට අනුව මාළු අල්ලන්න හෝ දඩයම් කරන්න පැහැදිලි නීතිමය පදනමක් නැහැ. අපේ අයත් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව හිතුමතේ ගැසට් හදනවා, ගිවිසුම් අත්සන් කරනවා. අන්තිමට බලනකොට අපි හිටපු තැනමයි.
 
සංස්කෘතික ඇමැතිතුමා සහ පරිසර ඇමැතිතුමා අද නොපැමිණීම ගැන නායකයා විදියට මම කනගාටු වෙනවා. අද ආණ්ඩුවේ දෙවැනියා මෙතැන සිටීම ගැන මම සතුටු වෙනවා. එතුමියට මේ තීන්දු තීරණ ගන්න පුළුවන් කියලා මම හිතනවා. මෙවර ලෝක ආදිවාසී දින තේමාව වනිපාරම්පරික වින්නඹු මව්වරුන් ඇගයීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම’ වෙනුවෙන් අපේ පාරම්පරික වින්නඹු මාතාවන් පස්දෙනෙකු මෙයට නිල වශයෙන් සම්බන්ධ වෙනවා.”
 
අනතුරුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ පැවසුවාය:
 
“අපේ ආදිවාසී ජනතාව සතුව පරිසරය හා බැඳුණු අගනා සංස්කෘතික දායාදයක් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2026 ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් තෝරාගෙන ඇති තේමාවෙන් ආදිවාසීන් සතු පාරම්පරික වෛද්‍ය දැනුම සහ මාතෘ ආරක්ෂක ක්‍රමවේදවල වැදගත්කම මතක් කර දෙනවා.
 
 
කැකුළියන් ගැයූ ආදිවාසී ජාතික ගීය
 
හිටපු රාජ්‍ය නායකයෙකු විසින් ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ට නිල මැදුරක් හා ඉඩකඩම් දීමට කළ ආරාධනය, ජන සංස්කෘතියේ ආරක්ෂාව උදෙසා එතුමා ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික වරප්‍රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම මහඟු‍ ආදර්ශයක්.
 
රජයක් මෙන්ම සමාජයක් ලෙසත් අපි මේ ප්‍රශ්න දෙස සංවේදීව සහ වගකීමෙන් බැලිය යුතුයි. සංවර්ධනය යනු ආදිවාසීන්ගේ උරුමය විනාශ කිරීම නොවේ. එක්සත් ජාතීන්ගේ ආදිවාසී ප්‍රඥප්තියට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සැමගේ වගකීමක්.ිදිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ආදිවාසී ජනතාවට සහන සැලසීමේ ප්‍රමාදයන් නිවැරදි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම අදාළ ආදිවාසී පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තියෙනවා. පරිසර විෂය භාර ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වනාන්තරයට ඇතුළු වීමට අවසර දීම, ආදිවාසීන් ලියාපදිංචි කිරීම සහ නීත්‍යානුකූල හැඳුනුම්පතක් ලබාදීම ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා අවසන්. ඒ තුළින් ගැටලු‍ රැසකට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.”
 
උත්සවයේදී දඹානේ ආදිවාසී වැඩිහිටියෝ කිරිකොරහ නටමින් අග්‍රාමාත්‍යවරියට නෑ යකුන්ගේ ආරක්ෂාව පැතූ අතර, වාකරේ ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික රංගනය ද ඉදිරිපත් කෙරිණි. කොතරම් බාධක ආවත් ඉලක්කය කරා යා යුතු බව මෙයින් ප්‍රදර්ශනය වූ බව උත්සවයෙන් පසු ඌරුවරිගේ වන්නියලැඇත්තෝ මා සමඟ පැවසූහ.
 
“මේ පාරත් සීනිබෝලයක් දුන්නද දන්නේ නැහැ. මහ පොළොවේ යථාර්ථයක් වන තෙක් කිසිවක් කියන්න බෑ. ඔහොම යං... ඔහොම යං...”
 
අපි කැලෑපොජ්ජෙන් සමුගන්නා මොහොතේ ජාතික වැදි රජු පැවසුවේ එවැන්නකි. මාම කැච්චක් හොඳමයි!
බදුල්ලේ 
පාලිත ආරියවංශ