වසර ගණනාවක සිට දෙස් විදෙස් මලළ ක්‍රීඩා තරග ඉසව් කීපයකට සහභාගීව රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලබාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය - “ක්‍රීඩාව ජීවිතය කරගත් අඹුසැමි යුවලක්”සොයා “ඉරිදා ලංකාදීප” අපි ඉකුත් දිනෙක ඔවුන්ගේ කැදැල්ල වෙත ගියෙමු.

මෙම අපූර්ව යුවළ වන්නේ - ධාවනශූර ආර්.ඒ. චන්ද්‍රදාස (87) සහ ධාවනශූරී  කේ.ජී.ජී. මැණිකේ (77) වන අතර, ඔව්හු කුරුවිට දෙල්ගමුවේ අංක 30 දරණ“ජවන”ජාතික නිවාසයේ පදිංචිව සිටිති. 

නිවසේ ආලින්දයෙහි කුඩා වපසරියක, මෙම අඹුසැමි යුවල දශක කීපයක් තිස්සේ උපයාගත් - සහතික පත්, කුසලාන, පදක්කම් හා පළිහ සිය ගණනක් පෙළගස්වා තිබෙන අතර‌, නිවසට යොදා ඇති ජවන නැමති නාමය ද ඊට උචිතව යොදා ඇතැයි අමුතුවෙන් නොකිව මනාය.  

දැනට 87 වැනි වියේ පසුවන ආර්.ඒ.චන්ද්‍රදාස ක්‍රීඩකයා වසර 74ක්  ක්‍රීඩාවේ රැඳී සිටිමින් මෙරටට ලබාදුන් කීර්තිය සම්බන්ධව අප සමග මෙසේ පැවසිය.

“මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ඇලෝසියස් විදුහලෙන් සහ බෞද්ධ විදුහලෙන් (අද ධර්මපාල විදුහල). ක්‍රීඩාවේ පන්නරය ලබාගත්තේ එම පාසල්වලින්. ඇත්තෙන්ම අදටත් මට ක්‍රීඩා කරන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. වසර 1953දී තමයි ක්‍රීඩාවට යොමු වුණේ. පදක්කම් සිය ගණාවක් ලබාගෙන තිබෙනවා. සමහර සහතිකපත් කෘමීන්ගේ ග්‍රහණයට හසුවී දිරාපත්වෙලා. අප දෙදෙනාගේ එකම බලාපොරොත්තුව මියැදෙන්න කලින් අපේ මළල ක්‍රීඩා කෞතුගාරය ඉදිකර ගැනීමටයි.”    

“මිටර් 100, 200, 400, 800, 1500,10,000 තරග ඉසව්වලට මෙන්ම, මැරතන් තරගවලට කඩුලු‍මතින් මිටර් 100, 200, 300, 400, තරගවලට ඉදිරිපත්වී රන් රිදී පදක්කම් ලබා ගත්තා . මගේ බිරිඳත් ඒ අයුරින්ම රන් රිදී පදක්කම් ලබා අපේ මව්බිමට කීර්තියක් ගෙනාවා . සැතපුම් 26 යාර 385 මැරතන් තරගයෙන් තෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා. 1965වසරේ දෙසැම්බර් 31 වන දින අලුයම 3.30 රත්නපුර මහ සමන් දේවාලයෙන් ආශිර්වාද ලබාගෙන කතරගම දේවාලය දක්වා නොනැවතී දිවගොස් එදින රාත්‍රි 11.00ට සැතපුම් 114 ක් පැය 24 කින් නිමකලා. එවකට රත්නපුර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ කේ. මුරුගේසු පිල්ලේ මහතා ඇතුළු පොලිසි ගණනාවක නිලධාරීන් මට ඊට සහාය ලබා දුන්නා.”   

“1994 පෙබරවාරි 14 වන දින පෙරවරු 6.00ට රත්නපුර ධර්මශාලාව අසලින් දිවීම ආරම්භකර සිරිපාමළුව දක්වා ගොස් පෙරවරු 10.00 අවසන් කළා. නැවත සිරිපාමළුව සිට පැමිණ කුරුවිට බෝධිය අසලින් නිමකළා.

මගේ බිරිඳ 1980 ජාතික ඇවිදිමේ තරඟාවලියේ දී ශුරතාවය හිමිකර ගත්තා. වසර ගණනාවක් මෙරට පැවති ප්‍රවිණ මලළ ක්‍රීඩාවලට සහභාගිවී රන්, රිදී හා ලෝකඩ පදක්කම් සිය ගණනාවක් ලබාගෙන තිබෙන අතර, ප්‍රථමයෙන්ම 1990 දී මැලේසියාවේ පැවති 6 වැනි ප්‍රවීණ ආසියාතික මළල ක්‍රීඩා උළෙලට සහභාගිවී මිටර් 1500 තරගයෙන් රන්පදක්කම් ලබාගෙන ශ්‍රී ලංකා නාමය රනින් ඔසවා තැබුවා.”   

“මෙම තරගයට මගේ බිරිඳත් සහභාගිවී මිටර් 800 රිදී පදක්කමත්, මීටර් 200 රිදී පදක්කමත්, මීටර් 800 ලෝකඩ පදක්කමත්, ලබාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනාවා. 1992 සිංගප්පූරුව, 1994 ඉන්දුනීසියාව, 1996 කොරියාව, 2000 බැංගලෝර්, 2004 බැංකොක්, 2006 ඉන්දියාවේ බැංගලෝර් හා 2010 මැලේසියාව යන රටවල පැවති මළල ක්‍රීඩාවලදි අප දෙදෙනාම පදක්කම් විශාල ප්‍රමාණයක් ලබාගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනවිත් දුන්නා.” 

තම ක්‍රීඩා ජයග්‍රහණයන් පිළිබඳව අප සමග අදහස් දැක්වු කේ. ජි. ජි. මැණිකේ ක්‍රීඩිකාව මෙසේ පැවසුවාය. 

“මම ක්‍රීඩාවට යොමු වුණේ අධ්‍යාපන හැදෑරු කුරුවිට සෙන්ට්‍රල් යන අවදියේ සිටයි. පසුව පළාත්, ජාතික වශයෙන් තරග ඉසව් රැසකට සහභාගිවී රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලබාගත්තා. මළල ක්‍රීඩා සඳහා රටවල් 10 කට පමණ ගියා. රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලබාගෙන මව් බිමට කිර්තියක් ගෙනාවා.”  

“ඇත්තෙන්ම මම ඉන්දියාවේ බැංගලෝර්හි දී පැවති 14 ප්‍රවිණයන්ගේ මළල ක්‍රීඩා තරගයට අවුරුදු 58 දී තමයි සහභාගි වුණේ. රටවල් ගණනාවක ක්‍රීඩිකාවන් සිටියා. එහිදී මිටර් 100, මිටර් 200, මිටර් 80 කඩුලු‍ මතින් දිවිම තරගවලින් රන්පදක්කම් ලබාගත්තා. මේ අතර මීටර් 100,  400 තරගවලින් රන්පදක්කම් ලබාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනාවා .

මගේ මේ ජයග්‍රහණ ගැන පසුදින ඉන්දියාවේ හින්දු පුවත්පතක පළවී තිබුණා - “ක්‍රීඩා උළෙලේ ගෝල්ඩන් ලේඩි ශ්‍රී ලංකාවෙන්” කියලා .මට එදා පුදුම සතුටක් ලැබුණේ.”     

ක්‍රීඩාව ජීවිතය කරගත්ත ද, ප්‍රේමයේ මිහිර විඳීම ද මේ ක්‍රීඩා ජෝඩුව අත්හළේ නැත. ආදර සබඳතාව දළු, කොල, අතු ලා වැඩුණි. 1968.07.11වන දින චාම් උත්සව සභාවක දී දෙපාර්ශ්වයේම නෑ සියන්ගේ ආශීර්වාද මධ්‍යයේ මේ ක්‍රීඩා පෙම් යුවල - අඹුසැමි යුවලක් ලෙස අභිසෙස් ලැබූහ.    

මෙම විවාහ මංගල උත්සවයේ පැවති සුවිශේෂීත්වය වූයේ - මනාලිය   සම්ප්‍රදායික මංගල සාරි වෙනුවට ක්‍රීඩා ඇඳුමෙන් සැරසී උත්සව සභාවේ පෙනී සීටීමයි. සම්ප්‍රදායික මංගල ඡායාරූපය අංක දෙකක් යෙදූ කුසලාන දෙකක් අතැතිව ලබාගෙන ඇති බැව් කියන විට කෙනෙකු මවිත විය හැකිය.      

මෙම අඹු සැමි යුවලගේ දක්ෂතා ගැන සොයා බැලීමට 2013.4.03 වන දින ඔවුන් පදිංචි නිවසට පැමිණ ඇති - එවක සබරගමුව පළාත් ආණ්ඩුකාර වි. ජ. මු. ලොකුබණ්ඩාර හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ දෙපළ ඉමහත් සතුට පත්වී, මලළ ක්‍රීඩා කෞතුගාරයක් ඉදිකරගැනීමට ජාතික  නිවාස අධිකාරියෙන් පර්චස් 4ක බිම් කොටසක් ලබා දී ඇත.   

නමුත් මෙතෙක් කිසිදු බලධාරියෙක් අදාළ කෞතුකාගාරය සාදා ගැනීමට ප්‍රතිපාදනයක් ලබා දීමට පියවර නොගත් බව ධාවනශූර  චන්ද්‍රදාස මහත්තයා අප සමග පැවසුවේ දැඩි කණගාටු ස්වරයකිනි .   

මේ සම්බන්ධව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න ද යම් ගෙවීමකට නිර්දෙශයක් ලබා දී ඇතැයි කියැවේ.

“අප දෙදෙනාගේ එකම බලාපොරොත්තුව, එකම සිහිනය අපි මියැදෙන්න කලින් මෙම කෞතුගාරය හදා ගන්න එක. මීට මැදිහත් වෙන්නැයි වගකිවයුතු අදාල බලධාරීන්ගෙන්  ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 

දශක ගණනාවක් අපේ ධෛර්ය තුළ ලබාගත් සහතික, පදක්කම්, කුසලාන හා පළිහ විනාශ නොවී සුරක්ෂිතව දරුවන්ට දායද කරදීමයි අප දෙදෙනාගේ බලාපොරොතුව.”  

“අවසාන වශයෙන් කියන්න ඕන වසර ගණනාවක් අපේ ජයග්‍රහණ වෙනුවෙන් උදව් කළ විශාල පිරිසක් ඉන්නවා. අදටත් අපිට ඇඳුම්වලින් සහය දෙන දෙහිවල බර්නාඩ් ආයතනයේ අධ්‍යක්ෂක ජානක බොතේජු මහත්තයා,  කුරුවිට සෙන්ට්‍රල් ලැපිටරි ආයතනයේ රෝහිත පෙරේරා මහත්තයා, ෆාම්ගාර්ඩ්න් වැවිලි සමාගමේ නිළධාරීන්, රුවන්පුරේ පියදාස කහඳගම මහත්තයා, යූ. සී. පතිරණ මහත්තයා සහ එම මැතිනිය වන කුමුදුනී පතිරණ විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මම මුල් කාලයේ සේවය කළ රත්නපුරේ තැපැල් කන්තෝරුවේ එදා හිටි සහ අද ඉන්න සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. අපට උදව් කල අයෙකුගේ නම සඳහන් කිරීමට නොහැකි වුවා නම්, ඊට මා හට කමා කරන්න කියාත් ඉල්ලා සිටිනවා.”

රත්නපුර ඒ.ජි. වික්‍රමසිංහ