අලු‍යම පින්නත් සමඟම ගම්මානය වසාගන්නේ දැඩි භීතියකි. ඊට හේතුව, රැයට ගම්වදින අලින් උදෑසන කාලයේදී නැවත උඩවලව අභයභූමිය දෙසට පසුබසින්නට පටන් ගැනීමයි. මෙලෙස මාර්ග පුරා සැරිසරන වන අලින්ට බියෙන්, ජීවිතය පරදුවට තබමින් පාසල් යන දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් හම්බෙගමුව ජනපද විදුහලෙනි.
 
ඌව හා සබරගමුව මායිමේ, හම්බෙගමුව නගරයේ සිට කිලෝමීටර් හතරක් පමණ දුරින් උඩවලව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි මෙම විද්‍යාලයේ දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද අලින් සමඟ ජීවත් වීම දෛනික ජීවිතයේ අංගයක් වී හමාරය. කෘෂිකර්මාන්තයෙන් යන්තම් දිවි ගැටගසා ගන්නා දුෂ්කර ජීවන රටාවත්, නිරන්තරයෙන් එල්ල වන අලි තර්ජනයත් හමුවේ වුවද, මෙවර 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් නොසිතූ විරූ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෙම විදුහලේ පුංචි කැකුළු සමත්ව සිටිති.
 
1971 වසරේ ආරම්භ කරන ලද මෙම පාසල් ඉතිහාසයේ විශිෂ්ටතම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය සටහන් කරමින්, මෙවර විභාගයට පෙනී සිටි දරුවන් 21 දෙනා අතුරින් 04 දෙනකුම ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී තිබේ. තණමල්විල කලාපයේ ප්‍රතිශතය 90.48% දක්වා ඉහළ නංවන්නට මෙම දරුවන්ගේ දක්ෂතාව විශාල රුකුලක් විය.
 
ශිෂ්‍යත්වය සමත් වූ දරුවන් සිව් දෙනා වනුයේ, ඊ. කේ. මනුල්යා බිනාදි  (151), ඊ. එස්. සෙනුදි දියස්නා  (138), ඊ.එස්. ආක්ෂා ශාමින්දි  (134), වයි. ඩී. චලන සමුදිත  (134) යන අයයි. 
 
මෙම අසීරු ජයග්‍රහණය පිටුපස ඇති කතාවද එකසේ අනුවේගී එකකි. පාසලේ වැඩබලන විදුහල්පති ඩී. එම්. චන්ද්‍රසේන ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය:
 
”‍මම මේ පාසලේ වැඩ බාරගත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ. එතැන් සිට 5 ශේණියට ස්ථිර පන්ති භාර ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ නිසා පාසලේ සංවර්ධන නිලධාරිනී ජී. පුෂ්පා රංජනී මහත්මියට තමයි පන්තිය භාරදෙන්න වුණේ. දරුවන් පාසලට එන්නේ ගොඩක් වෙලාවට පරක්කු වෙලා. මොකද උඩවලව වනෝද්‍යානය මායිමේ තියෙන මාර්ගවල උදේ කාලයට අලි ගමන් කරනවා. මෙවැනි අනේකවිධ දුෂ්කරතා මැද තමයි ඔවුන් මේ ජයග්‍රහණය ලැබුවේ.”‍
 
ස්ථිර ගුරුවරයකු නොමැතිව, හිටපු ගුරුවරයාද විදේශගතව සිටි පසුබිමක අභියෝගය කරට ගත් සංවර්ධන නිලධාරිනී ජී. පුෂ්පා රංජනී මෙසේ පැවසුවාය:
 
 
”‍මම පාසලට ආවේ සංවර්ධන නිලධාරී පත්වීමකින්. නමුත් හිටපු ගුරුවරයා විදේශගත වීම නිසා මට 5 ශේණිය ශිෂ්‍යත්ව පන්තිය භාරගන්න වුණා. අනෙක් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ උපරිම සහයෝගය ඇතිව මම ඉතාමත් සතුටින් දරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදුන්නා. අද ඒ මහන්සියේ ප්‍රතිඵල දකිද්දී ලොකු සතුටක් තියෙනවා.”‍
 
අලින්ගෙන් සිදුවන බාධා, ආර්ථික අපහසුතා සහ ගුරු හිඟය වැනි කටුක යථාර්ථයන් හමුවේ වුවද නොසැලී ඉදිරියට ගිය මෙම පුංචි දරුවන්ගේ ජයග්‍රහණය පිටුපස විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් මෙන්ම තනමල්විල අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එල්. ඒ. ධර්මරත්න සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. පී. කේ. හේරත් ඇතුළු පිරිසගේ මාර්ගෝපදේශනය නිරන්තරයෙන් හිමිවී ඇත.
 
අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන්නන්ට බාධක යනු ශක්තියක් බව හම්බෙගමුව ජනපද විදුහලේ පුංචි දියණියන් සහ පුතණුවන් මුළු රටටම පසක් කර දී හමාරය.
 
හම්බේගමුව - මහින්ද අබේරත්න