ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ විද්‍යා ලෝකයට වසං වී, බොලිවියානු වනාන්තරවල ජීවත් වූ නව වල් බළල් විශේෂයක් ලෝකයට හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙම වල් බළලා ‘ටිල්කයා බළලා’ (Tilcaya cat ) ලෙස හැඳින්වෙන අතර, උගේ සත්ව විද්‍යාත්මක නාමය ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo ) වේ.
සාමාන්‍ය ගෘහස්ථ බළලකුට වඩා තරමක් කුඩා මොවුන්ගේ සමෙහි ලොකු ලප සහ වයිරම් දැකිය හැක. පෙනුමෙන් සෙසු වල් බළල් විශේෂවලට සමාන බැවින්, මෙම සත්වයා නව විශේෂයක් ලෙස වෙන්කර හඳුනා ගැනීමට මුලදී විද්‍යාඥයන්ට නොහැකි විය. නවීන අණුක ජාන සහ ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් කළ පුළුල් අධ්‍යයනයකින් පසුවය මෙය නව බිළාල විශේෂයක් බව තහවුරු විය. මෙම සොයාගැනීමත් සමග, ලෝකයට අනාවරණය නොවූ තවත් බිළාල විශේෂ මිහිමත සිටිය හැකි බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම සොයාගැනීමට මූලිකත්වය ගත්තේ ලතින් ඇමෙරිකානු රටක් වන බොලිවියාවේ ජීව විද්‍යාඥ පෝලා නෝගාලෙස් අස්කාරුන්ස් ය. ඇය පසුගිය කාලය පුරාවට අධ්‍යයනය කළ අවුරුදු 10ක් වයසැති කුඩා වල් බළලකු සිටි අතර, ඇය ඌ ‘ටයිග්‍රිනෝ’ ලෙස නම් කළාය. කොස්ටරීකා සිට බොලිවියාව සහ ආර්ජන්ටිනාව දක්වා වනාන්තරවල වෙසෙන කුඩා වල් බළලුන්, ‘ව්‍යාඝ්‍ර බළලුන්’ (Tigrina ) යන පොදු නමින් හැඳින්වෙන අතර, ‘ටයිග්‍රිනෝ’ ද එවැනි ව්‍යාඝ්‍ර බළලකු යැයි පෝලා මුලින් සිතා සිටියාය.
‘ටයිග්‍රිනෝ’ පෝලාට හමුවූයේ අපූරු ආකාරයකටය. 2016 වසරේදී බොලිවියානු ගැමියකුට වනාන්තර මාර්ගයක් අසල තිබී මෙම කුඩා බළල් පැටවා හමුවී ඇත. ඌ ගෘහස්ථ බළලකු යැයි සිතා ගැමියා ඇතිදැඩි කළද, වැඩෙත්ම උගේ හැසිරීම් සහ ශරීර ලක්ෂණ වෙනස් විය. ඒ අනුව බළලා කොරොයිකෝ නුවර සෙන්ඩා වෙර්ඩේ වනජීවී අභයභූමියට බාර දෙන ලද අතර, බළල් විශේෂ අධ්‍යයනයට ප්‍රසිද්ධ පෝලාගේ අවධානය ඌ වෙත යොමු විය.
බොලිවියාවේ යුංගාස් පළාතේ වෙසෙන මෙම ව්‍යාඝ්‍ර බළලුන් පිළිබඳව කිසිදු විධිමත් අධ්‍යයනයක් සිදුව තිබුණේ නැත. එම නිසා පෝලා, ප්‍රවීණ සත්ව විද්‍යාඥයන් ඇතුළත් පර්යේෂණ කණ්ඩායමක් සමඟ එක්ව උන්ගේ පරම්පරාව සහ ජානමය පසුබිම සෙවීමට ඩී.එන්.ඒ. පරීක්ෂණ ආරම්භ කළාය. එහිදී ‘ටයිග්‍රිනෝගෙන්’ ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ, ඌ සාමාන්‍ය ව්‍යාඝ්‍ර බළලකු නොව සම්පූර්ණයෙන්ම වෙනස්, වෙනමම විශේෂයකට අයත් බිළාලයකු බවයි. මීට පෙර හඳුනාගෙන තිබුණේ ව්‍යාඝ්‍ර බළල් විශේෂ තුනක් පමණක් වුවද, මෙම පර්යේෂණවලින් නව විශේෂ පහක් සිටිය හැකි බවට අනාවරණය විය. ‘ටයිග්‍රිනෝ’ අයත් වන ටිල්කයා බිළාලයන් ඒ අතරින් ප්‍රධාන වේ.
මෙම නව සොයාගැනීම ස්වභාව සංරක්ෂණයට අතිශයින් වැදගත් වන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වනජීවී සංරක්ෂණ පර්යේෂණ ඒකකයේ වෛද්‍ය කැරොලයින් සාර්ටර් පෙන්වා දෙයි. යම් සත්ව විශේෂයක් හෝ උන් ජීවත් වන ස්ථානය නිවැරදිව නොදන්නේ නම් උන් ආරක්ෂා කිරීම අපහසු බවත්, තවමත් හොඳින් අධ්‍යයනය කර නොමැති ඝන වනාන්තරවල සැඟවී ඇති ජෛව විවිධත්වය මෙයින් පැහැදිලි වන බවත් ඇය පවසන්නීය.

වන විනාශය, කෘෂිකර්මාන්තයට ඉඩම් ලබාගැනීම, වාසභූමි අහිමි වීම සහ නීති විරෝධී දඩයම් හේතුවෙන් මෙම කොටි බළලුන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටිති. දැනට නිල වශයෙන් පිළිගත් බළල් විශේෂ 41ක් සිටින අතර, නව සොයාගැනීම් සමග එම ගණන 44ක් හෝ ඊට වැඩි වනු ඇතැයි පැවැසේ. සිංහයන්, දිවියන්, ව්‍යාඝ්‍රයන් හා ජගුවරයන් වැනි මහ බළලුන් තරම් ජනප්‍රිය නොවූවද, මෙම කුඩා වල් බළලුන් කෙරෙහි අවධානය යොමු කිරීමට සහ උන් වෙනුවෙන් විද්‍යාත්මක අනුග්‍රහය ලබා ගැනීමට මෙම සොයාගැනීම රුකුලක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ද මෙරටට ආවේණික උප විශේෂයක් වන දිවියා ඇතුළුව හඳුන් දිවියා, කොළ දිවියා සහ සාමාන්‍ය වල් බළලා යන විශේෂ හමුවේ.
බිළාල පවුල යනු ස්වභාවධර්මයේ සිටින ඉතාම ආකර්ෂණීය සහ පරිණාමීය වශයෙන් සාර්ථකම ක්ෂීරපායී පවුලකි. ඉන් ‘මහ බළලුන්’ ලෙස හැඳින්වෙන ව්‍යාඝ්‍රයා, සිංහයා, දිවියා, ජගුවර්, චීටා සහ පූමා වැනි දැවැන්තයන්ට ගර්ජනා කිරීමේ හැකියාව පවතී. ප්‍රමුඛ පෙළේ මස් භක්ෂක විලෝපිකයන් වන මොවුහු පරිසර පද්ධතිවල සමබරතාව පවත්වා ගැනීමට විශාල මෙහෙයක් ඉටු කරති.
අනෙක් පසින්, අනාදිමත් කාලයක සිට මිනිසා සමග සමීපව ජීවත් වන්නේ ගෘහස්ථ බළලුන්ය. පර්සියානු, සියැමිස්, මේන් කූන්, බෙන්ගල් මෙන්ම සාමාන්‍ය ගම්බද බළලුන් ලෙස මොවුන් විවිධත්වයෙන් අනූනය. අතීතයේ සිට මී කරදරයෙන් මිනිසා ආරක්ෂා කළ මෙම සුරතලුන්, අද වන විට මානසික බැඳීමක් ඇති කරන අපේ සමීපතම සුරතලා බවට පත්ව සිටී.
වසර 100කට පසු බොලිවියාවෙන් හමුවූ ටිල්කයා බළලා වැනි කුඩා වල් බළලුන්ගේ සිට ගෘහස්ථ බළලුන්, සහ සිංහයන් හා ව්‍යාඝ්‍රයන් දක්වා වූ බිළාල පවුල යනු සොබාදහමේ අසමසම විවිධත්වයේ සංකේතයයි. කෙසේ වෙතත්, වන විනාශය සහ අනවසර දඩයම් නිසා බිළාල පවුලේ සාමාජිකයන් ඇතුළු සත්ව විශේෂ රැසක්ම වර්තමානයේ බරපතල තර්ජනයකට මුහුණ දී සිටිති.
ලුසිත ජයමාන්න
(බීබීසී ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd