ගිනිකොනදිග ආසියාවේ නැගී එන ආර්ථිකයක් වන ඉන්දුනීසියාව 2045 දී ලොව විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වීම සඳහා “ඉන්දුනීසියාවේ ස්වර්ණමය දැක්ම2045 කරා” (Towards Indonesia Golden Vision 2025) යන සැලැස්ම මත ආර්ථික කටයුතු මෙහෙයවමින් සිටියි. ගිනිකොන දිග ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දුනීසියාව ගිනිකොනදිග ආසියානු ජාතීන්ගේ සංංගමය (ASEAN) සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව සංවිධානය (RCEP) ආදී කලාපීය බලගතු සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයෙක් ද වෙයි. පසුගිය 16 වැනි දින පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දෙවි ගුස්ටිනා අදාළ සැලැස්ම ගැනත් ඉන්දුනීසියා-ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ගැනත් දීර්ඝ පැහැදිලි කිරීමක් කළා ය.
RCEP සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ පුළුල් කරගත හැකි බවත් ඉහළ ප්‍රතිලාභ ලැබීමට නම් වැඩි වශයෙන් විවෘත විය යුතු බවත් සඳහන් කළ ඇය, ශ්‍රී ලංකාව තමන්ගේ සම්පත් කළමනාකරණය කළ යුතු බව ද අවධාරණය කළා ය. නැගී එන ඉන්දුනීසියානු ආර්ථිකය හා එයින් මෙරට ආර්ථිකයට ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ඇය කළ කතාවෙන් උපුටා ගන්නා ලද අදහස් ඇසුරින් සකසන ලද ලිපියක් මෙසේ ය.
“අද මම කතා කරන්න බලාපොරොත්තු වන්නෙ ඉන්දුනීසියාවේ “ස්වර්ණමය දැක්ම 2045 කරා” යන මාතෘකාව ගැන. ඉන්දුනීසියාවේ සමීප මිතුරකු වශයෙන් ඒ ගැන දැනසිටීම ශ්‍රී ලංකාවට වැදගත්. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව මුහුදු මගින් යා කරන මිතුරු රාජ්‍යයන් දෙකක්. ඉන්දුනීසියාවේ විවිධ ආණ්ඩු බලයේ ඉඳලා තියෙනවා. මේ අවස්ථාවේ ඉන්දුනීසියාවේ බලයේ සිටින්නෙ ජනාධිපති ප්‍රබෝවෝ සුබිඅන්තෝගේ ආණ්ඩුව. දේශපාලන ස්ථාවරභාවය, ඔරොත්තු දිය හැකි ආර්ථික කාර්යසාධනය සහ ක්‍රියාකාරී ජාත්‍යන්තර සහභාගීත්වය මත පදනම් වූ ඉන්දුනීසියාව ජාතික සංවර්ධනයේ නව අවධියකට දැන් අවතීර්ණ වෙලා තියෙනවා. තරගකාරීත්වය ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන වර්ධනය අපි බලාපොරොත්තු වෙනවා.
ගිනිකොනදිග ආසියාවේ විශාලතම ආර්ථිකය
ජනාධිපති ප්‍රබෝවෝ සුබිඅන්තෝ යටතේ වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබෙනවා. අනාගත අවස්ථා නිර්මාණය කිරීම හා අභියෝගවලට මුහුණ දීම ඒවායෙන් අරමුණු කරනවා. ස්වර්ණමය දැක්ම 2045 කියලා හඳුන්වන්නෙ ඇයි දැයි පැහැදිලි කරන්න කැමතියි. හේතුව තමයි 2045 දි ඉන්දුනීසියාව ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්කිරීමේ ඉලක්කය ඇතුව අපි වැඩ කරනවා. ඒ අරමුණ කරා ළඟා වීම වෙනුවෙන් වන වැඩපිළිවෙළක් අපි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අද වෙද්දි ඉන්දුනීසියාව ගිනිකොනදිග ආසියාවේ විශාලතම ආර්ථිකය. ඒ වගේම ඉන්දුනීසියාවේ දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් වෙනවා. ජනගහනය මිලියන 280ට වැඩියි. 2045 වෙන කොට ජනගහනය මිලියන 300 ඉක්මවන බවට පුරෝකථනය කරනවා. ගෝලීව මතු වෙන අවිනිශ්චිතතා හමුවේ වුවත් ඉන්දුනීසියාවේ ආර්ථිකය ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරමින් සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් මෑත වසරවලදී වාර්තා කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් වරණීය වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඉන්නවා. එහි දෙවැනි සාකච්ඡා වටය 2024 දි පැවැත්වුණා. එවැනි ගිවිසුමක් ඇති කරගත්තොත් එයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙනවා. හේතුව කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන රටක් හැටියට ඉන්දුනීසියාව ස්ථානගත වී ඉන්න නිසා. එවැනි වරණීය වෙළෙඳ ගිවිසුමක් පැවතීම මගින් අනාගතයේ දී කර්මාන්ත ඉතා තරගකාරී තත්ත්වයට පත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ එයයි.
වසර 2026 මුල් කාර්තුවේ දී අපේ රටේ ආර්ථිකය සියයට 5.61 කින් වර්ධනය වෙලා තියෙනවා. උද්ධමනය පාලනය කරන්නත් ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ආයෝජනවල ව්‍යාප්තියකුත් දකින්න පුළුවන්. ස්ථාවර ආර්ථික වර්ධනයක් විතරක් ප්‍රමාණවත් නොවන බව අපි තේරුම් අරන් තියෙනවා. අභියෝගය වෙන්නෙ ඒ ආර්ථික වර්ධනය ඉහළ ඵලදායීතාවෙන් යුත් ශක්තිමත් තරගකාරිත්වයකට පරිවර්තනය කිරීම. ගිනිකොනදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) ආරම්භක සාමාජිකයකු වශයෙන් ඉන්දුනීසියාව තවදුරටත් විවෘත කලාපීය සංවිධානයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, G 20, APEC, EURA යන සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙනුත් ඉන්දුනීසියාව කටයුතු කරනවා.
රටේ වත්කම්වලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම
මා ඉහත සඳහන් කළ ජාතික සංවර්ධන වැඩසටහන 2024 ඔක්තෝබර්වල ඉදිරිපත් කිරීමෙන් මාස කිහිපයකට පසු 2025 පෙබරවාරිවල දී ජනාධිපති ප්‍රබෝවෝ ඩොලර් මිලියන 900 ක් වටිනා ස්වෛරී ප්‍රාග්ධන අරමුදලක් sovereign wealth fund ප්‍රකාශයට පත් කළා. දිගුකාලීන ආයෝජන හා ජාතික සම්පත් කළමනාකරණය ආර්ථිකයක් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍යයි. රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් සතුව පවතින විශේෂ වත්කම් රට ඇතුළෙ ආයෝජන අවස්ථා වඩාත් පුළුල් කරන වත්කමක් බවට මේත් සමග පත් වුණා. ඒ අරමුදල මගින් 2025 ස්වර්ණමය දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ආයෝජන ආකර්ෂණය කරගන්නත් තරගකාරීත්වය ඉහළ නංවන්නත් දිගුකාලීන ආර්ථික පරිවර්තනයක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා. වත්මන් ජනාධිපතිවරයා මානව ප්‍රාග්ධනය දියුණු කරන්නත් අවධානය යොමු කරලා තියෙනවා. එය නොමිලේ ලබා දෙන පෝෂ්‍යදායී ආහාර වැඩසටහන ලෙසත් හඳුන්වනවා. 2045 දි ඉහළ ආදායම් ලබන රටක තත්ත්වයට පත්වීම සඳහා යන ගමනේදී අනාගත ඵලදායීතාවේ නවෝත්පාදනවල සහ තරගකාරීත්වයේ ප්‍රධාන සාධකය වෙන්නෙ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මානව ප්‍රාග්ධනයයි.

ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම නතර කිරීම
2045 දී සංවර්ධනය කරා යන රාජ්‍යයක් වශයෙන් ඉන්දුනීසියාවේ මීළඟට වැඩි අවධානයක් යොමු ව ඇති අංශය වෙන්නෙ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව. විශේෂයෙන් ම දේශගුණික විපර්යාස, භූ දේශපාලන ආතති සහ ගෝලීය සැපයුම් ජාලයේ ඇති වන බිඳවැටීම් හමුවේ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව ඉතා වැදගත් දේවල් බවට පත්වෙලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකාර්මික ඵලදායීතාව නැංවීමට ලබා දෙන සහාය වැඩිකර තිබෙනවා. 2025 දි ඉන්දුනීසියාව ටොන් මිලියන 34.7 ක සහල් නිෂ්පාදනය කර තියෙනවා. එය 2024 සහල් නිෂ්පාදනය සමග සැසඳීමේදී සියයට 13 ක වැඩිවීමක්. ඒ වගේම ඉන්දුනීසියාව ටොන් මිලියන 3.5 ක පමණ සහල් අතිරික්තයක් ළඟා කරගෙන තියෙනවා. වෙන වසරවල පරිභෝජනය සඳහා සහල් ආනයනය කළත් ඒ වසරෙදි සහල් ආනයනය කළෙත් නෑ. 2026 මැයි වෙද්දි රජයේ සහල් සංචිතය ටොන් මිලියන 5.3 ඉක්මවලා තියෙනවා. බලශක්ති සුරක්ෂිතතාව සඳහාත් අපේ රජය පියවර ගනිමින් ඉන්නවා.
ස්වාභාවික සම්පත් අතින් ගත්විට ඉන්දුනීසියාව විශාලතම නිකල් නිෂ්පාදකයා වෙනවා. ලෝකයේ නිකල්වලින් සියයට 42 ක් පමණ තිබෙන්නෙ ඉන්දුනීසියාවේ. ඒ වගේම තමයි විශාලතම පාම් ඔයිල් නිෂ්පාදකයා වෙන්නෙත් අපේ රට. ප්‍රතිශතය සියයට 50 ක් විතර වෙනවා. අමුද්‍රව්‍ය අපනයනය නොකිරීමට රජය තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවට ස්වාභාවික සම්පත් උපයෝගී කරගෙන රට ඇතුළෙ අගය එකතු කිරීම මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. ස්වාභාවික සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම වත්මන් රජයේ තවත් එක් ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තියෙ අරමුණ වෙන්නෙ ස්වාභාවික සම්පත් අපනයනයෙන් උපයන විදේශ විනිමය මගින් විදේශ සංචිත ශක්තිමත් කිරීමත් විදේශ විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගෙන යෑමත් සහ දේශීය ද්‍රවශීලතාව සහ ඔරොත්තු දිමේ හැකියාව දියුණු කිරීමත්. මේ සියල්ලෙන් දේශීය ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීමට හැකි වෙනවා.
ස්වර්ණමය දැක්ම 2045 ප්‍රධාන අංග 4 ක් මත පදනම් වෙනවා. පළමු අංගය මානව සංවර්ධනය සහ විද්‍යා හා තාක්ෂණ නිපුණත්වය. ඒ යටතේ 2045 වෙනවිට මානව සංවර්ධන දර්ශකය 0.73 දක්වා ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. දෙවැනි අංගය වෙන්නෙ ස්ථිරසාර ආර්ථික සංවර්ධනය. 2029 වෙද්දි සියයට 8 ක ආර්ථික වර්ධන වේගයකුත් ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 82.0 කුත් බලශක්ති ආරක්ෂක දර්ශකයේ 6.95 කුත් සියයට 33 ක පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයකුත් හරිත ආර්ථික දර්ශකයේ 77.3 කුත් අත් කර ගැනීමට ඉන්දුනීසියාව අපේක්ෂා කරනවා. මේ ඉලක්ක ඉන්දුනීසියාවේ ස්වර්ණමය දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීමට උපකාරී වෙනවා වගේ ම 2045 වෙනවිට GNI ඒකපුද්ගල ආදායම ඩොලර් 23,000 ත් 30,000 ත් අතර අගයක් දක්වා ඉහළ නංවන්නත් බලාපොරොත්තු වෙනවා. එසේ ම 2045 දි ඩොලර් ට්‍රිලියන 9.1 සිට 9.8 දක්වා වූ දළ ජාතික නිෂ්පාදිතයක් ළඟා කරගන්නත් අරමුණු කරනවා.
ඉන්දුනීසියා-ශ්‍රී ලංකා සබඳතා
දැන් මම ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ගැන කතා කරන්න කැමතියි. රටවල් දෙකම ඉන්දියානු සාගරයේ දිගුකාලීන සබඳතා පවත්වනවා. දෙරටේ ආර්ථික සබඳතා ද වර්ධනය වෙමින් තියෙනවා. 2025 දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 400 ක භාණ්ඩ ඉන්දුනීසියාවෙන් ආනයනය කරලා තියෙනවා. ඉන්දියානු සාගරයේ පිහිටි රාජ්‍යයන් දෙකක් වශයෙන් ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය, අන්තර් සම්බන්ධය සහ කලාපීය ස්ථාවරභාවය යන ඒවා මෙත පොදු අභිලාෂ හුවමාරු කරගන්නවා. මේ සබඳතා තවදුරටත් පුළුල් කරන්නේ කෙසේද යන්න ගැන අපි අවධානය යොමු කරනවා.

ඉදිරියට යන වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා
ඉන්දුනීසියාව හා ලංකාව අතර බොහෝ සමානකම් තියෙනවා. ඉන්දුනීසියාව කෘෂිකාර්මික සහ කාර්මික රටක්. ශ්‍රී ලංකාවත් ඊට සමාන රටක්. කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ හොඳ පදනමක් ඇති බව මම දැකලා තියෙනවා. අපේ බොහෝ කර්මාන්ත තවමත් තියෙන්නෙ මධ්‍යම ක්‍රියාකාරීත්ව මට්ටමේ. ඒ ආකාරයේ මධ්‍යම ක්‍රියාකාරිත්වයක් සහිත කර්මාන්ත තිබීම මගින් කර්මාන්තකරණයට වාසි අත් වෙනවා.
දෙරටේ වෙළෙඳ සබඳතා ගැන අවධානය යොමු කළොත් විශාල වෙනස්කම් තියෙනවා. තරගකාරිත්වය අතින් සමානකම් තියෙනවා. රටවල් දෙකම සමාන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදියට රටවල් දෙකම පොල් නිෂ්පාදනය කරනවා. නමුත් ඒකෙදි රටවල් දෙකම තරගකාරිත්වයක ඉන්නවා කියලා මම දකින්නෙ නෑ. ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් වරණීය වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඉන්නවා. එහි දෙවැනි සාකච්ඡා වටය 2024 දි පැවැත්වුණා. එවැනි ගිවිසුමක් ඇති කරගත්තොත් එයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙනවා. හේතුව කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන රටක් හැටියට ඉන්දුනීසියාව ස්ථානගත වී ඉන්න නිසා. එවැනි වරණීය වෙළෙඳ ගිවිසුමක් පැවතීම මගින් අනාගතයේ දී කර්මාන්ත ඉතා තරගකාරී තත්ත්වයට පත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ එයයි.
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට තානාපතිනිය දුන් පිළිතුරු මෙසේ ය.
RCEP සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වෙනවිටත් කැමැත්ත පළ කරලා තියෙනවා. ඉන්දුනීසියාව එම සංවිධානයේ සාමාජික රටක්. RCEP සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවට අත් කර ගත හැකි වාසි මොනවා ද?
RCEP කියන්නෙ විශාල වෙළෙඳ සංවිධානයක්. එ් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනිම මගින් ශ්‍රී ලංකාවට විශාල වෙළෙඳපොළ ප්‍රවේශයක් හිමි වෙනවා. ඒ වගේම ලංකාවේ අපනයන වැඩි කරගැනීම සඳහාත් එයින් හැකියාවක් ඇති වෙනවා. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව තමන්ගෙ ආර්ථිකය මනාව පවත්වා ගෙන යා යුතුයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් සඳහා හිතකර තත්ත්වයන් වර්ධනය කළ යුතුයි. RCEP සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම මගින් ශ්‍රී ලංකාව වෙළෙඳාම සඳහා වඩාත් විවෘත කළ හැකි වෙනවා. ඔබට හුදකලා වෙන්න බෑ. වැඩි ප්‍රතිලාභ ලැබීමට නම් විවෘත විය යුතුයි. ඒ විවෘතභාවයට ශ්‍රී ලංකාව හැඩගැසීම ඉතා වැදගත්. RCEP සංවිධානයට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබෙන බවත් විදේශ සංචිත ඉහළ යන බවත් මට විශ්වාසයි.
1990 ගණන්වල ඉන්දුනීසියාවේ විදේශ සංචිත පැවතියේ ඩොලර් බිලියන 8.5 ක මට්ටමක. ඒත් 2026 වෙද්දි එය ඩොලර් බිලියන 144 දක්වා වැඩිවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පවතින්නෙ තවම ඩොලර් බිලියන 6 -7 අතර අගයක. ලංකාව එය වැඩි කරගැනීම සඳහා අරගලයක නිරත වෙලා ඉන්නවා. මේ පසුබිමේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමේදී ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාවෙන් උගත හැකි පාඩම් මොනවා ද?
ඔබ කිව්වා නිවැරදියි. ඉන්දුනීසියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 144 ක් වෙනවා. මාස 5.5 ක් සඳහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට එම මුදල ප්‍රමාණවත්. මේ සංචිත ඇත්තටම ඉන්දුනීසියාවේ ශක්තිමත් ආර්ථිකයේ එක් ප්‍රධාන අංගයක්. මා කලින් කී ආකාරයට අපේ සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අපි උත්සාහ කරනවා. කලින් අපේ සම්පත්වලින් ආර්ථිකයට ලැබුණෙ ඉතා අඩු දායකත්වයක්. ඒත් දැන් ස්වාභාවික සම්පත්වලට ඉහළ එකතු කළ අගයක් ලබා දීම මගින් ආර්ථිකය පරිවර්තනය කරමින් ඉන්නවා. මීට වසර 5 කට කලින් ඒ කියන්නෙ 2020 දී අපි නිකල් සම්බන්ධයෙන් එකතු කළ අගය ලබා දෙමින් ඒවා අමුද්‍රව්‍ය හැටියට අපනයනය කිරීම තහනම් කළා. නිකල් අමුද්‍රව්‍යයක් විදියට අපනයනය නොකිරීම ඉන්දුනීසියාවේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවලට නැංවූ පසු අපේ රටට විශාල ආයෝජන ගලා එමින් තියෙනවා. අපි මේ ප්‍රතිපත්තිය කෘෂිකාර්මික අමුද්‍රව්‍ය සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක කරනවා. හොඳම උදාහරණය පොල්. ඉන්දුනීසියාව ලෝකයේ ප්‍රධානතම පොල් නිෂ්පාදකයෙක්.
ශ්‍රී ලංකාව තමන්ගෙ සම්පත් කළමනාකරණය කළ යුතුයි
අප සතු විදේශ සංචිත, ආර්ථිකය කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නෙ. ආනයන මත රැඳියාව අඩු කිරීමට අප උත්සාහ කරනවා. ශ්‍රී ලංකාව අපනයන, සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ මත රඳා පවතින ආර්ථිකයක්. මම හිතන විදියට ශ්‍රී ලංකාව කළ යුත්තෙ තමන් සතු සම්පත් කළමනාකරණය කිරීම. කෘෂිකර්මය උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමෙන් හා මනා කළමනාකරණයෙන් ආනයන අඩුකර සැපයුම තමන්ටම සපුරා ගන්න පුළුවන්. ඉන්දුනීසියාව සහල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය මෙතනදි වැදගත්. මීට අවුරුදු 3කට කලින් අපි සහල් ටොන් මිලියන 4 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කළා. ඒත් අද වෙද්දි අප සතුව ටොන් මිලියන 4 ක සහල් අතිරික්තයක් තියෙනවා. අපි කළේ කෘෂිකර්මාන්තය පරිවර්තනය කළ එක. වෙනත් භාණ්ඩ සම්බන්ධයෙනුත් ඒ දේම කළා. මම හිතන්නෙ ශ්‍රී ලංකාව මෙලහකටත් මේ දේ කරලා තියෙනවා. ඒත් ඒක උපරිම කිරීම සඳහා කටයුතු කළ යුතුයි.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd