
ඒ, 2026 මැයි 15 වනදාය. තමන්ට ජ්‍යෙෂ්ඨ නීතිඥ තත්ත්වය ලබා දෙන්නැයි ඉල්ලමින්, ඉන්දීය නීතිඥවරයකු ඉදිරිපත් කර තිබූ පෙත්සමකට අදාළ නඩුව විභාග කිරීම ඉන්දීය අගවිනිසුරු සූර්යා කාන්ත් ප්‍රතික්ෂේප කළේ, අදාළ පෙත්සම්කාර නීතිඥවරයා සමාජ මාධ්‍ය තුළ හැසිරී තිබූ ආකාරය සහ නීති ක්ෂේත්‍රය තුළ ප්‍රමිතියෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්වෙමිනි. වෘත්තීය මට්ටමින් රැකියාවක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට අපොහොසත් ඇතැම් තරුණ තරුණියන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරමින්, තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඉවක් බවක් නොමැතිව සියලු දේ හාරඅවුස්සමින් රටේ පාලන ක්‍රමයට සහ අධිකරණ පද්ධතියට බාධා කරන බවට අගවිනිසුරු සූර්යා කාන්ත් චෝදනා කළේය. සමාජයට වින කරන එවැනි පුද්ගලයන් පිළිකුල්සහගතිකැරපොත්තන්’ සහිපර පෝෂිතයන්’ ලෙස හැඳින්වීමට ද අගවිනිසුරුවරයා අමතක කළේ නැත.
අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය, ඉන්දියානු ‘ජෙන් සී’ (Gen Z ) තරුණ තරුණියන්ගේ දැඩි විරෝධයට හේතු වූ අතර, ‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party - CJP ) ආරම්භය සිදු වූයේ ඒ හරහාය. ‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ යනු විරෝධතා ව්‍යාපාරයකි. මෙය දේශපාලන පක්ෂයක් නොවෙයි. ඉන්දීය මැතිවරණ කොමිසම හමුවේ ලියාපදිංචි වූ පක්ෂයක් ද නොවෙයි. මෙම පක්ෂය,ිඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ යන නමින් නම් කෙරුණේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP ) උපහාසයට ලක් කරමිනි. මෙම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ, ඇමෙරිකාවේ අධ්‍යාපනය අවසන් කළ, ඉන්දියානු සිසුවකු වන 30 හැවිරිදි අභිජීත් දීප්කේ විසිනි. මොහු ඩිජිටල් සන්නිවේදන උපායමාර්ග සැලසුම්කරුවෙකි.
අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ”සියලුම කැරපොත්තන් එකතු වුණොත් මොකද වෙන්නේ?” යනුවෙන් අභියෝග කරමින් ඔහු ආරම්භ කළ මෙම සමාජ මාධ්‍ය පිටුව, කෙටි කලක් ඇතුළත ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මිලියන 22 කට අධික අනුගාමිකයන් පිරිසක් දිනාගනිමින් පාලක BJP පක්ෂයේ සමාජ මාධ්‍ය ජනප්‍රියතාව ද අභිබවා ගියේය. අභිජීත්, ඉන්දියාවේ ජෙන් සී තරුණ තරුණියන් හවුල් කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළ අතර, අද වන විට ඉන්දියාවේ නන්දෙසින් මිලියන ගණනක තරුණ තරුණියෝ පිරිසක් මෙම ව්‍යාපාරය සමග එක්ව සිටිති. දේශපාලන පක්ෂයක් නොවුණත්, ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ සංකේතය කැරපොත්තාය. අභිජීත්, දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි. ඔහු ඇමෙරිකාවේ අධ්‍යාපනය හැදෑරීමට යෑමට පෙර, දූෂණ විරෝධී ‘ආම් ආද්මි’ දේශපාලන පක්ෂය හා සම්බන්ධව සිටි ක්‍රියාකාරියෙකි. ‘ආම් ආද්මි’ යනු දිල්ලි ප්‍රාන්තයේ බලය හෙබවූ දේශපාලන පක්ෂයයි.
අරගලයේ පසුබිම
උත්ප්‍රාසාත්මක මුහුණුවරකින් ආරම්භ වුවද, මෙම ව්‍යාපාරය වටා ඉන්දියාවේ ‘ජෙන් සී’ තරුණයන් විශාල ලෙස රොක් වූයේ රටේ පවතින උග්‍ර ගැටලු කිහිපයක් හේතුවෙනි. ඉන්දියාවේ වෛද්‍ය පීඨ ප්‍රවේශ විභාගය (NEET ) ඇතුළු ප්‍රධාන විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර මුදලට විකිණීම සහ ජාවාරම් සිදුවීම මීට ප්‍රධාන හේතුවක් විය. ආසන 130,000 ක් සඳහා සිසුන් මිලියන 2.2 කට අධික සංඛ්‍යාවක් තරග කරන පසුබිමක මෙවැනි වංචා සිදුවීම නිසා සිසුන් දහස් ගණනකගේ අනාගතය අඳුරු වූ අතර, ඉන් ඇති වූ මානසික පීඩනය නිසා සිසුන් රැසක් සියදිවි නසාගැනීමට පවා පෙළඹුණි. මීට අමතරව, වයස අවුරුදු 25 ට අඩු ඉන්දියානු උපාධිධාරීන්ගෙන් 40% ක් පමණ රැකියා විරහිතව සිටීම සහ පවතින දැඩි ජීවන වියදම ද තරුණ කෝපය වැඩි කිරීමට හේතු විය.
වෙනස්ම විරෝධතා සංස්කෘතියක්
මේ අනුව, විභාග පැවැත්වීම සහ ප්‍රශ්න පත්‍ර ඇගයීමේදී සිදුවෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කරමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි අවධාරණය කරමින්, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, කැරපොතු ජනතා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීහු දැවැන්ත විරෝධතාවල නිරත වූහ. මෙම විරෝධතා පාගමන ආරම්භ වූයේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා නවදිල්ලියේ ‘ජන්තාර් මන්තර්’ හි දින 20 කට අධික කාලයක් උපවාසයේ යෙදුණු ප්‍රකට ඉංජිනේරු සහ ක්‍රියාකාරී 59 හැවිරිදි සෝනම් වංචුක්, පොලිසිය මැදිහත් වී බලහත්කාරයෙන් රෝහල්ගත කිරීමත් සමගය. 1724 දී ජනතාවට එක්රැස්වී රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට හැකි ලෙස සැකසූ ස්ථානයක් වුවද, පසුගිය දශක තුනක කාලය තිස්සේ ජන්තාර් මන්තර් යනු විරෝධතා සඳහා වෙන්වූ භූමියකි.
BBC News India කණ්ඩායම වාර්තා කර ඇති පරිදි, මෙම විරෝධතාවල විශේෂත්වය වූයේ තරුණයන් විශාල කැරපොත්තු ඇඳුම් පැලඳගෙන සහ නොයෙක් පුවරු ප්‍රකාශන සහිතව ඊට එක්ව සිටීමයි. ඕනෑම අභියෝගයක් හමුවේ නොමැරී නැගී සිටීමේ (Survival and Resilience) සංකේතයක් ලෙස ”කැරපොත්තා” භාවිත කරමින්, ඔවුන් අපූර්ව ආකාරයේ දෘශ්‍ය විරෝධතාවක නිරත වන ආකාරය BBC වීඩියෝ වාර්තා මගින් ද පෙන්වා දී තිබුණි. අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැත්වුණු මෙම විරෝධතා පාගමනට තරුණ සිසුන්ට අමතරව මාපියන් සහ සමාජ ක්‍රියාකාරීහු ද විශාල වශයෙන් එක්ව සිටියහ.
පාර්ලිමේන්තු පාගමන සහ රාජ්‍ය මර්දනය
50,000 කට අධික තරුණ පිරිසක් නවදිල්ලි අගනුවරට රැස්වී ජන්තාර් මන්තර් සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටි ඉන්දීය පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කළහ. බීබීසී මාධ්‍යවේදිනී Azadeh Moshiri සහ බිම් මට්ටමේ වාර්තාකරුවන් සඳහන් කරන පරිදි, කැරපොතු ජනතා පක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙම විරෝධතා පාගමන වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදා අගනුවර ප්‍රධාන ප්‍රදේශ වසාදැමීමට කටයුතු කෙරිණි.
පොලිස් බාධක පසු කිරීමට හැදූ තරුණ තරුණියන් විසුරුවා හැරීමට පොලිසිය සහ අර්ධ හමුදා (ඛණ්ඩ) විසින් කඳුළු ගෑස්, ශබ්ද බෝම්බ සහ බැටන් ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී සිවිල් වැසියන්, සිසුන් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු 180 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව නිල වශයෙන් තහවුරු විය. එමෙන්ම, විරෝධතාකරුවන් එකමුතු වීම වැළැක්වීම සඳහා අගනුවර ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සේවා අත්හිටුවීමටත්, ආසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානවල දොරටු වසා දැමීමටත් බලධාරීන් පියවර ගත්තේය. එම අවස්ථාවේ විරෝධතාකරුවෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් කෑකෝ ගසන්නට වූහ.
විපක්ෂයේ මැදිහත්වීම
තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එල්ල වන මර්දනයට එරෙහිව, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ද ඉදිරියට පැමිණියේය. කැරපොතු ජනතා පක්ෂ ක්‍රියාකාරීන් ඉන්දීය පාර්ලිමේන්තුව තෙක් පාගමනේ නිරත වෙද්දී, විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මෙහෙයවීමෙන් අග්‍රාමාත්‍ය මෝදිගේ නිල නිවස දෙසට ද විරෝධතා පාගමනක් ආරම්භ විය. කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිගාර්ජුන් ඛාර්ගේ සහ රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වාද්‍රා ද පාගමන සඳහා එක්වූහ. පාගමන ආරම්භ වූයේ කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිගාර්ජුන් ඛාර්ගේගේ නිවස ඉදිරියෙනි. මෝදිගේ නිල නිවස ඇත්තේ, මල්ලිගාර්ජුන් ඛාර්ගේගේ නිවසේ සිට කිලෝමීටරයකට වඩා අඩු දුරකිනි.
මෝදිගේ නිල නිවසට ළං වෙද්දී පොලිසිය විරෝධතා පාගමනට හරස් විය. විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ රාහුල් ගාන්ධි සමඟ සාකච්ඡා කළද, විරෝධතාව අවසන් නොවිණි. විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය මැදිහත් වෙද්දී, රාහුල්, ප්‍රියංකා ඇතුළු පිරිස බිම වාඩි වූහ. පොලිස් නිලධාරීන් රාහුල්, ප්‍රියංකා සහ මල්ලිගාර්ජුන් ඛාර්ගේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ එවිටය. පොලිස් නිලධාරීන් රාහුල් ගාන්ධි අත්අඩංගුවට ගත්තේ, ඔහු බිම ඇදගෙන යමින් සහ කුදලාගෙන යමිනි. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ විදියටයි’ යනුවෙන් කුදලාගෙන යද්දී රාහුල් කෑගැසුවේය.
අසාර්ථක වූ සාකච්ඡා
ආරම්භයේදී විරෝධතාකරුවන් ”ත්‍රස්තවාදීන්” ලෙස හඳුන්වමින් නොසලකා හැරීමට උත්සාහ කළද, පසුව පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී. නඞ්ඩා ලවා CJP නියෝජිතයන් වන අශුතෝෂ් රංකා සහ සෞරව් දාස් හමුවී සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සිදුවිය.
එහෙත්, NEET විභාගයෙන් දිවි නසාගත් සිසුන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීම, අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලා අස්වීම, සහ අත්අඩංගුවට ගත් සෝනම් වංචුක් ඇතුළු පිරිස නිදහස් කිරීම යන ඉල්ලීම් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා එම සාකච්ඡා අසාර්ථක විය.
සමාජ මාධ්‍ය තහනම සහ ”අපි මැරෙන්නේ නැහැ” අභියෝගය
මේ අතර, අරගලයේ පළමු X ගිණුම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඉන්දීය රජය විසින් තහනම්කර ඇති බව BBC සඳහන් කරයි. ඊට පිළිතුරු ලෙස අභීජීත් දීප්කේ අලුත් ගිණුමක් ආරම්භ කරමින්, “කරපොත්තන්ව ලේසියෙන් මරන්න බැහැ” (Cockroaches don't die) යනුවෙන් පවසමින් රජයට අභියෝග කළ අතර, මේ වන විටත් මිලියන ගණනක පිරිසක් නැවතත් ඔවුන් වටා රොක් වෙමින් සිටිති.
මේ වන විට මුම්බායි, බැන්ගලූරු ඇතුළු ප්‍රධාන නගර රැසකට ද මෙම විරෝධතා ව්‍යාප්ත වී ඇති අතර, CJP නායකයන් ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලා අස්වීම සහ විභාග පද්ධතියේ විනිවිදභාවය තහවුරු වන තෙක් අරගලය නතර නොකරන බවයි. BBC වාර්තාවලට අනුව මෙය තවදුරටත් හුදෙක් අන්තර්ජාලයේ පැවැති උපහාසාත්මක ව්‍යාපාරයක් නොවේ. පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පිටවීමෙන් ඇරඹුණු මෙම විරෝධතාව, මේ වන විට සමස්ත ආණ්ඩුවේ පාලන තන්ත්‍රයට සහ රැකියා විරහිතභාවයට එරෙහි විශාල දේශපාලන හඬක් බවට පරිවර්තනය වී ඇති අතර, පොලිස් මර්දනය හමුවේ වුවද ඉදිරියේදී විභාග පද්ධතියේ නීතිමය සහ ව්‍යුහාත්මක සංශෝධන සිදු කිරීමට මෝදි ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරීමට සමත්විය. 23 වැනිදා රෑ සමාජ මාධ්‍ය හරහා විරෝධතාකරුවන් ඇමතීය. ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කනස්සල්ල පළ කළ මෝදි ඒ ගැන සොයා බලන බවත්, වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් පැවැසීය.
ලුසිත ජයමාන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd