භූගෝලීය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද දැඩි කැලඹිලි සහිත වටපිටාවක පසුවන වෙනිසියුලා රාජ්‍යය මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ස්වභාවික ඛේදවාචකයට පසුගියදා ගොදුරු විය.වෙනිසියුලා අගනුවර වන කරකාස් සහ ඒ අවට උතුරුදිග වෙරළබඩ කලාපය කම්පා කරමින් තත්ත්පර කීපයක පරතරයක් තුළ සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 235 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පසුගිය සිකුරාදා (26) දහවල් වන විට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙනිසියුලානු සෞඛ්‍ය අමාත්‍ය කාර්ලෝස් අල්වරාඩෝ රජයේ මාධ්‍ය වෙත නිල වශයෙන් තහවුරු කර ඇති අන්දමට, රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත රැගෙන එන විටත් මියගොස් සිටි හෝ පැමිණි වහාම මියගිය පිරිස මෙයට ඇතුළත් වේ. මීට අමතරව තවත් 4,300කට අධික පිරිසක් විවිධ මට්ටමේ බරපතළ තුවාල ලබා ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින සහ අතුරුදන්ව ඇති දහස් සංඛ්‍යාත ජනතාව සෙවීමේ කඩිනම් සහන මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

විනාශය ගෙනා කම්පන

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, මෙම භූ කම්පන ද්විත්වයම පෘථිවි පෘෂ්ඨයට ඉතා ආසන්න නොගැඹුරු මට්ටමක සිදුවීම හේතුවෙන් ඉන් ඇති වූ විනාශයේ තරම අතිශය බරපතළ වී ඇත. පළමු භූ කම්පනය රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබලත්වයකින් යුතුව කැරිබියන් වෙරළ තීරයේ මොරොන් නගරයට බටහිරින්, පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 22ක ගැඹුරකින් හටගෙන තිබේ. ඉන් මිනිත්තුවකටත් අඩු කාලයකදී, එනම් තත්ත්පර කීපයක ඇවෑමෙන් මොරොන් නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 10ක් වැනි ඉතා සුළු ගැඹුරකින් රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් වඩාත් ප්‍රබල දෙවැනි භූ කම්පනය සිදුව ඇත. මෙම භූ කම්පන ද්විත්වය සිදු වූ කලාපය කරකාස් අගනුවර සිට බටහිර දෙසට වන්නට කිලෝමීටර් 170ක් පමණ දුරින් පිහිටා තිබේ.

බ්‍රසීල භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ භූ භෞතික විද්‍යාඥ මාකෝස් ෆෙරෙයිරා මෙම තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ, මෙම භූ කම්පන ද්විත්වයේ කෙටිකාලීන ආගමනය එකිනෙකට බද්ධ වෙමින් කම්පන තරංග තීව්‍ර කළ බවයි. එය එක් අයකු කෑ ගසන විට තවත් අයකු ඒ සමගම කෑ ගසන්නට පටන්ගැනීමෙන් ශබ්ද තරංගය වර්ධනය වන්නාක් වැනි ක්‍රියාවලියක් බවත්, නොගැඹුරු භූ කම්පන චලනයන් නිසා උපද්‍රවයේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 1900 වසරෙන් පසුව වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූ කම්පනය ලෙස මෙම දෙවැනි කම්පනය ඉතිහාසයට එක්වන අතර, මෙහි කම්පන තරංග අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා අගනුවරට මෙන්ම බ්‍රසීලයේ ඇමසන් වනාන්තර කලාපය දක්වා ඈතට දැනී ඇත. කම්පනයේ බරපතළකම නිසා බ්‍රසීල සීමාවේ පිහිටි ගොඩනැගිලි පවා ආරක්ෂිත පියවරක් ලෙස හිස් කිරීමට බලධාරීහු කටයුතු කළහ.

මෙම ව්‍යසනය සිදුවූයේ බදාදා දින දේශීය වේලාවෙන් සවස 18:04ට (GMT  22:04) ය. එදින වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ බැවින්, සාමාන්‍ය සේවා දිනයක දී මෙන් නොව පවුල් පිටින් විශාල ජනතාවක් නිවෙස් තුළ රැඳී සිටි බැවින් ජීවිත හානි ඉහළ යාමට එයද හේතුවක් විය. කම්පනයත් සමග බියෙන් ත්‍රස්ත වූ ජනයා සෙලවෙන ගොඩනැගිලිවලින් වීදි වෙත දිව ආහ. කරකාස් අගනුවර මධ්‍යයේ පමණක් සිය ගණනක් ජනයා පසුදා එළිවන තුරුම උද්‍යාන, වාහන නැවැතුම්පොළවල් සහ විවෘත ස්ථානවල රැඳී සිටියහ. 41 හැවිරිදි මරියා ක්‍රිස්ටිනා ඩයස් නමැති කාන්තාව ප්‍රකාශ කළේ තමා, ඇගේ මව සහ දියණිය සමග දැඩි සීතල මැද ගොඩනැගිලි කඩා වැටීමේ බියෙන් නිදි නොලබා රාත්‍රිය ගත කළ බවයි.

හානියේ තරම

වඩාත්ම දරුණු හානිය වාර්තා වන්නේ අගනුවරට උතුරින් පිහිටි ලා ගුවයිරා වෙරළබඩ කලාපයෙනි. එහි වූ මහල් දහයකින් යුත් හෝටලයක් ඇතුළු ගොඩනැගිලි 250ක් පමණ සම්පූර්ණයෙන්ම සුන්බුන් බවට පත්ව ඇති බව වෙනිසියුලා ජාතික මණ්ඩලයේ සභාපති හෝර්හේ රොඩ්රිගස් ප්‍රකාශ කළේය. ලා ගුවයිරා හි පිහිටි රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මයිකටියා ගුවන්තොටුපළටද බරපතළ හානි සිදුවීම නිසා එය වසා දැමීමට සිදුවූ අතර, පර්යන්තයේ සිවිලිමෙන් සුන්බුන් කඩා වැටෙන දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. මෙම ගුවන්තොටුපළ වැසී යාම විදේශීය ආධාර මෙහෙයුම්වලට දැඩි ලොජිස්ටික් බාධාවක් මතු කර ඇත. මීට අමතරව කරකාස් සිට වයඹ දෙසින් කිලෝමීටර් 250ක් ඈතින් පිහිටි ටුකාකාස් වෙරළබඩ නගරයේද බහු මහල් හෝටලයක් කඩා වැටී ඇති අතර, අගනුවර ප්‍රධාන නේවාසික කලාප වන අල්ටමිරා සහ ලොස් පාලෝස් ග්‍රෑන්ඩස් ප්‍රදේශවලට දැඩිම හානි සිදුව ඇත. මෙම කලාප දෙක 1967 වසරේදී පුද්ගලයන් 200ක් බිලිගත් භූමිකම්පාවෙන්ද දරුණු ලෙස බැට කෑ ප්‍රදේශ වේ. බී.බී.සී. මාධ්‍යවේදිනී නිකොල් කොල්ස්ටර් ලොස් පාලෝස් ග්‍රෑන්ඩස් හි සත්වන මහලේ සිටිමින් අත්විඳි කම්පනය විස්තර කළේ මුළු ගොඩනැගිල්ලම ඇය මතට කඩා වැටෙනු ඇතැයි සිතුණු බව පවසමිනි.

ප්‍රධාන භූ කම්පනවලින් පසුවද අවම වශයෙන් පසු කම්පන 30ක් පමණ කලාපය හරහා හටගෙන ඇති අතර, USGS  ආයතනය පෙන්වා දෙන්නේ මීට පෙර සිදුවූ භූමිකම්පා සහ ජනගහන ඝනත්වය අනුව මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා යාමට සියයට 42ක සහ 100,000 ඉක්මවා යාමට සියයට33ක දරුණු සම්භාවිතාවක් පවතින බවයි. ගොඩනැගිලිවල දුර්වල ප්‍රමිතිය සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සැබෑ විනාශයේ තරම තක්සේරු කිරීම දුෂ්කර වී ඇති බව කරකාස් හි මාධ්‍යවේදී ලු‍යිස් හර්නන්ඩස් පවසයි. දැනටමත් අගනුවර සන්නිවේදන පද්ධති, විදුලිය සහ උමං දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර, අනතුරක් වැළැක්වීමට ස්වභාවික ගෑස් සැපයුමද අත්හැර දමා ඇත. පාසල් ගොඩනැගිලි සහන කඳවුරු සහ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තිබේ.

බේරාගැනීමේ මෙහෙයුම්

සුන්බුන් අතරින් ඇසෙන මිනිස් විලාපයන් හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් දැඩි අසීරුතා මැද ක්‍රියාත්මක වේ. මුදවාගත් පිරිස් අතර දූවිලි හා ලෙයින් තැවරුණු දරුවන් සහ සතුන් සිටින අතර, කොන්ක්‍රීට් ස්ලැබ් එකකට යටවී සිටි කාන්තාවකගේ පාවහන් නොමැති පාදයක් පමණක් දැක ඇයව පණපිටින් බේරාගැනීමට සහන සේවකයෝ සමත් වූහ. චකාඕ හි නගරාධිපති ගුස්ටාවෝ ඩූකේ කියා සිටියේ තම බලප්‍රදේශයේ එක් ගොඩනැගිල්ලකින් පමණක් සිරුරු 11ක් හමු වූ අතර 23 දෙනෙකු පණපිටින් බේරාගත් බවයි. ලා ගුවයිරා හි විශ්‍රාමික ගුරුවරයකු වන හුවාන් ඇල්බර්ටෝ මෙන්ඩානෝ සුන්බුන් අතරින් අතක් වනමින් උදව් ඉල්ලූ කාන්තාවක දුටු නමුත් ඇය බේරාගැනීමට නොහැකි වූ ශෝකය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, රජයේ මුදාගැනීමේ කණ්ඩායම් කරකාස්වලින් පිටත දක්නට ලැබුණේ අඩුවෙනි. මේ නිසා ඩයනා ඩෙල්ගාඩෝ වැනි මව්වරු රජයෙන් පොරොන්දු වූ බර යන්ත්‍රෝපකරණ නොමැතිව, අසල්වැසියන් විසින්ම දෑතින් සුන්බුන් හාරන අයුරු පෙන්වා දෙමින් තම අතුරුදන් වූ 8 හැවිරිදි පුතු සොයා දෙන්නැයි හඬා වැලපෙති. අතුරුදන්වූවන්ගේ ඡායාරූප සහිත පෝස්ටර් සහ අතින් ලියන ලද නාමලේඛන වීදි පුරා ප්‍රදර්ශනය කෙරෙන අතර, විදේශයන්හි වෙසෙන වෙනිසියුලානුවෝ තම ඥාතීන් පිළිබඳ තොරතුරක් ලබා ගැනීමට දැඩි වෙහෙසක් දරති.

දේශපාලන අර්බුද

මෙම ස්වභාවික ව්‍යසනය වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදය තවදුරටත් සංකීර්ණ කර ඇත. පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු මිලිටරි මෙහෙයුමකින් එවකට සිටි ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, හිටපු උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්රිගස් රටේ අන්තර්කාලීන ජනාධිපතිනිය ලෙස රාජ්‍ය තාන්ත්‍රික වගකීම් භාරගත්තාය. ඇගේ දේශපාලන ව්‍යාපාරයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ජනතාව තුළ දැඩි විරෝධයක් පවතින පසුබිමක, ඇය රට තුළ හදිසි අනතුරු තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඩොලර් මිලියන 200ක ප්‍රතිසංස්කරණ අරමුදලක් පිහිටුවීමට පියවර ගත්තාය. ව්‍යාපාරිකයන්ගෙන් බර යන්ත්‍රෝපකරණ සහ සහය ඉල්ලා සිටි ඇය, ලා ගුවයිරා ප්‍රදේශය ’ව්‍යසන කලාපයක්’ ලෙස ප්‍රකාශ කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදි හදිසි තොරතුරු හුවමාරුව සඳහා 2024 අගෝස්තු මදුරෝ පාලන සමයේ සිට පනවා තිබූ X (ට්විටර්) සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමටද පියවර ගැනුණි. විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝද පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කර තිබේ.

මෙම ඛේදවාචකය වෙනිසියුලාව සහ ඇමෙරිකාව අතර පවතින නව සබඳතාවයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth Social’  ගිණුම හරහා වෙනිසියුලානු ජනතාවට සහය පළ කරමින්, රජයට කඩිනමින් සහන සැලසීමට සූදානම් වන ලෙස නියෝග කළේය. මීට අමතරව සහන සේවා සඳහා පනවා තිබූ මූල්‍ය සම්බාධක ඔක්තෝබර් 23 දක්වා තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාරය පියවර ගෙන ඇත.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, අන්තර්කාලීන ජනාධිපතිනි රොඩ්රිගස් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඩොලර් මිලියන 150ක (පවුම් මිලියන 113ක) ආධාර ප්‍රකාශයට පත් කළ අතර, ඇමෙරිකානු හමුදාව සෝදිසි කිරීම්, වෛද්‍ය සම්පත් සහ මානුෂීය ද්‍රව්‍ය රැගත් ප්‍රවාහන නෞකා සහ ගුවන් යානා වහාම පිටත් කර හැරීමට කටයුතු කළේය. මෙයට අමතරව මෙක්සිකෝව, කටාර්, බ්‍රසීලය, ස්පාඤ්ඤය, පෘතුගාලය, කැනඩාව, එල් සැල්වදෝරය සහ ඩොමිනිකන් ජනරජය වැනි රටවල් රැසක් විශේෂඥ සහන කණ්ඩායම්, සුනඛ සංචිත, ජල පිරිපහදු යන්ත්‍ර සහ ඩ්‍රෝන යානා වෙනිසියුලාව වෙත එවීමට පියවර ගෙන ඇති අතර, ඩොමිනිකන් ජනරජයේ පළමු සහන කණ්ඩායම දැනටමත් දිවයිනට ළඟා වී ඇත. වෙනිසියුලාව භූ තැටි දෙකක් හමුවන සන්ධියක පිහිටීම නිසා ඇති වූ මෙම ස්වභාවික ව්‍යසනය, එරට අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියේ මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලද නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පවතී.

ඒ.පී සහ බී.බී.සී. ඇසුරිනි.

කේ. ආර්. විතානගේ