ශ්‍රී ලංකවෙහි මේ දිනවල බදු ප්‍රතිපත්ති සහ දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විනිවිදභාවය සහ වගවීම පිළිබඳ මෙම කතිකාව ගෝලීය වශයෙන් ද වඩාත් තදින් ක්‍රියාත්මක වන්නකි. මෙයට හොඳම උදාහරණය සපයමින්, ඇෙමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණි පළමු වසරේ උපයාගත් ආදායම් සහ ආයෝජන ඇතුළත් පිටු 1,000කට ආසන්න මූල්‍ය වාර්තා පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණ.
මෙම අතිවිශාල සංඛ්‍යාලේඛන සමුදාය ගවේෂණය කිරීමේදී, ට්‍රම්ප් ක්‍රිප්ටෝ මුදල් මඟින් උපයා ඇති ඩොලර් බිලියනයකට අධික ආදායමට අමතරව, එහි අන්තර්ගත අතිශය වැදගත් තොරතුරු 6ක් මෙලෙස පෙළගැස්විය හැකිය.
01. දීර්ඝ ලියවිල්ලක්
ඇෙමරිකානු රජයේ සදාචාර පිළිබඳ කාර්යාලය (Office of Government Ethics) විසින් නිකුත් කරන ලද 2025 වසර සඳහා වන ට්‍රම්ප්ගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනය පිටු 927කින් සමන්විත වේ. මෙය ටෝල්ස්ටෝයිගේ සුප්‍රකට ‘යුද්ධය සහ සාමය‘ නවකතාවට වඩා තරමක් කෙටි වුවද, උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස්ගේ පිටු 17ක වාර්තාවට වඩා අතිශයින්ම දීර්ඝ එකකි. එමෙන්ම ජෝ බයිඩන් ධුරයෙන් සමුගත් 2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ පිටු 11ක වාර්තාව ද මේ දෙදෙනාගේම වාර්තා හමුවේ අඟුටුමිටි වී යයි.
02. වෙළෙඳ නාමයෙන් උපයන කෝටි ප්‍රකෝටි
තමන්ගේම නම නිෂ්පාදන සඳහා භාවිත කිරීම කෙතරම් ලාභදායී ද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් මනාව ඔප්පු කර ඇත. ඔහුගේ අත්සන සහිත විවිධ භාණ්ඩ හරහා ඔහු ඩොලර් මිලියන ගණනක් උපයා තිබේ. ඒ අතරින් Save America නමැති සේයා රූ ඇතුළත් විසිත්ත කාමර අලංකරණ පොතෙන් (Coffee-table Book) පමණක් පසුගිය වසරේ ඩොලර් මිලියන 1.8ක් (පවුම් මිලියන 1.38ක්) උපයා ඇත. මීට අමතරව ට්‍රම්ප්ගේ නම කෙටූ බයිබලය හරහා ඩොලර් 208,000ක් ද, ඔහුගේ සන්නාමය සහිත සපත්තු සහ සුවඳ විලවුන් (එකක් ඩොලර් 249 බැගින් අලෙවි වන කාන්තා සුවඳ විලවුන් ද ඇතුළුව) මඟින් ඩොලර් 67,000ක් ද උපයා තිබේ. එමෙන්ම ඔහුගේ දේශපාලන හිතවාදී (MAGA) සංගීතඥයන් වෙනුවෙන් නිකුත් කළ සීමිත සංස්කරණයේ ”ඇමරිකන් ඊගල්” ගිටාරය අලෙවියෙන් ද ඩොලර් 36,000ක් ඔහුගේ ගිණුමට එකතු වී ඇත.
03. මෙලානියාගේ මිලියන ගණනක ආදායම
ඇමරිකාවේ ප්‍රථම කාන්තාව වන මෙලානියා ට්‍රම්ප්, ඇමසන් (Amazon) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ඇය පිළිබඳ වාර්තා චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 10.7ක් උපයා ඇත. එහි ප්‍රධාන චරිතය වීමට අමතරව ඇය එහි නිෂ්පාදකවරියක ලෙස ද කටයුතු කළාය.
ට්‍රම්ප්ගේ දෙවැනි නිල ප්‍රවේශයට පෙර සමය අලළා නිර්මාණය කළ මෙම චිත්‍රපටය සඳහා ඇමසන් සමාගම ඩොලර් මිලියන 40ක් වැය කර තිබූ අතර, 2025 වාර්තාවලට අනුව එය සිනමා ශාලාවලින් ඩොලර් මිලියන 7ක ආදායමක් ලබා ඇත. මීට අමතරව ඇය NFT (ක්‍රිප්ටෝ තාක්ෂණය සහිත ඩිජිටල් වත්කම්) අලෙවියෙන් ඩොලර් මිලියන 6ක් සහ ‘Melania’ නමින් නිකුත් කළ ඇගේ ස්වයං චරිතාපදාන පොතෙන් ඩොලර් 520,000ක් උපයා තිබේ.
04. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු
ක්‍රිප්ටෝ ව්‍යාපාරවලින් ඩොලර් බිලියනයකට වඩා සෙවීම හැරුණු විට, ට්‍රම්ප් 2025 වසර තුළ විවිධ සමාගම් විශාල ප්‍රමාණයක කොටස් මිලදී ගැනීම් සහ විකිණීම් 21,285ක් වැනි දැවැන්ත සංඛ්‍යාවක් සිදුකර ඇත. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ අනාගතය තීරණය කරන චිප්ස් නිෂ්පාදනය කරන, පසුගිය ඔක්තෝබරයේ ඩොලර් ට්‍රිලියන 5ක වටිනාකම ඉක්මවා ගිය ප්‍රථම සමාගම බවට පත් වූ ‘එන්විඩියා‘ (Nvidia) සමාගම ද ඒ අතර වේ.
එන්විඩියා සමාගම සිය චිප්ස් ඇමරිකාවෙහි නිෂ්පාදනය කිරීමට ධවල මන්දිරය සමඟ එකඟ වීම නිසා එහි කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. අනතුරුව අගෝස්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කළේ චීනයට AI චිප්ස් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමෙන් සියයට 15ක් රජයට ගෙවීමට එන්විඩියා එකඟ වූ බවයි. එම මාසයේම අගභාගයේදී ට්‍රම්ප් වෙනුවෙන් ක්‍රියා කළ ආයෝජකයන් ඩොලර් මිලියන 5 - 25 අතර වටිනාකමකින් යුත් එන්විඩියා කොටස් මිලදී ගෙන තිබිණ.
කෙසේ වෙතත්, මෙම ආයෝජන තමන්ගෙන් බාහිරව ස්වාධීනව සිදුවන ඒවා බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
”මම මගේ පෞද්ගලික මූල්‍ය කටයුතුවලට මැදිහත් වෙන්නේ නැහැ. මගේ මුදල් පාලනය කරන්නේ අරමුදල් කළමනාකරුවන්. මම ජනාධිපති වෙන්න කලිනුත් විශාල මුදලක් ඉපයුවා, ඔවුන් ඒ මුදල් ආයෝජනය කරනවා මිසක් මම ඔවුන් එක්ක ඒ ගැන කතා කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබේ.
05. ‘හෝම් අලෝන්‘ (Home Alone) සහ රංගන විශ්‍රාම වැටුප්
ඇමරිකානු සිනමා සහ රූපවාහිනී නළු නිළියන්ගේ වෘත්තීය සමිතිය (SAG-AFTRA) හරහා ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප් දෙකක් ලබන අතර, පසුගිය වසරේ ඉන් ඔහුට ඩොලර් 86,532ක් ලැබී ඇත. Home Alone 2: Lost in New York’ චිත්‍රපටයේ ප්ලාසා හෝටලයේ ලොබිය තුළදී මැකෝලේ කල්කින් (කෙවින්) හට මුණගැසෙන ව්‍යාපාරිකයා ලෙස ට්‍රම්ප් රංගනයෙන් දායක විය. මීට අමතරව ‘The Apprentice’ වැඩසටහන මෙහෙයවීම සහ ‘Fresh Prince of Bel-Air’ කතා මාලාවේ ආරාධිත රංගන ද මීට ඇතුළත්ය. 2012 වසරේදී සිනමා සහ රූපවාහිනී වෘත්තීය සමිති දෙක ඒකාබද්ධ වීමට පෙර සිටම ඔහු සාමාජිකයකුව සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුප් දෙකක් හිමි වේ. 2021 වසරේ කැපිටල් හිල් වටලෑමේ සිදුවීමට ඔහුගේ ඇති සම්බන්ධය මත ඔහු සමිතියෙන් ඉවත් කිරීමට නියමිතව තිබියදී ඔහුම ඉන් ඉල්ලා අස් වුවද, ඔහුගේ විශ්‍රාම වැටුපට ඉන් බලපෑමක් වී නැත.
06. මාධ්‍ය ආයතනවලින් ලැබුණු නඩු වන්දි
විවිධ මාධ්‍ය ආයතනවලට එරෙහිව පවරා තිබූ නඩුවලින් පසුගිය වසරේ ට්‍රම්ප් ඩොලර් මිලියන 86.5ක වන්දි මුදලක් ලබා ඇත. ඉන් විශාලම මුදල ලැබී ඇත්තේ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරිත්වය දරන මෙටා සමාගමෙනි.
2021 ජනවාරි 6 කැරැල්ලෙන් පසු ඔහුගේ ගිණුම් අත්හිටුවීමට එරෙහිව පැවරූ නඩුව සමථයකට පත් කරගැනීම වෙනුවෙන් මෙටා සමාගම ට්‍රම්ප්ට ඩොලර් මිලියන 24.5ක් ගෙවා ඇත. එසේම CBS සහ ABC News නාලිකාවලින් ඩොලර් මිලියන 16 බැගින් ලැබී ඇති අතර, මෙම නඩු වන්දි මුදල් ‘ට්‍රම්ප් ජනාධිපති පුස්තකාලය‘ (Trump presidential library) වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නියමිතය.
මීට අමතරව යූටියුබ් සමාගමෙන් ද ඩොලර් මිලියන 22ක වන්දියක් ලැබී ඇති අතර, එම මුදල වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් මෝල්‘ (National Mall) උද්‍යානය කළමනාකරණය කරන භාරකාර අරමුදලට ලබා දීමට නියමිතය. ට්විටර් (වත්මන් X) සම-නිර්මාතෘ ජැක් ඩෝර්සිගෙන් ද ඩොලර් මිලියන 8ක මුදලක් ට්‍රම්ප්ට ලැබී ඇති නමුත්, එම මුදල කුමන කාර්යයක් සඳහා භාවිත කරන්නේද යන්න වාර්තාවල සඳහන් කර නොමැත.
බී.බී.සී ඇසුරිනි
කේ.ආර්. විතානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd