
ප්‍රංශය පුරා වඩා හොඳ උසස් පාසල් පහසුකම් සහ පාරිසරික අධ්‍යාපන තත්ත්වයන් වැඩිදියුණු කරන ලෙස ඉල්ලා ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය මේ වන විට දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇත. එහි විශාලතම දිනය ලෙස සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් 250,000 කට වැඩි පිරිසක් වීදි බැස සිටි දවසේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව මාසෙයි, නාන්ත සහ ලියොන් ඇතුළු නගරවල පැවැති ප්‍රධාන වශයෙන් සාමකාමී පාගමන් සඳහා 200,000 ක පිරිසක් සහ පැරිසියේ පැවැති විශාලතම විරෝධතාවයට තවත් 56,000 ක් එක්වූහ.
කෙසේ වෙතත් සංවිධායකයන් පැවසුවේ මුළු එකතුව 450,000 ක් වූ බවයි. බොහෝ විරෝධතා බරපතළ සිදුවීම් නොමැතිව අවසන් වූ නමුත් පැරිසියේ පැවැති විරෝධතාව ඇතුළු ඇතැම් ස්ථානවලදී අහඹු ලෙස දේපළ හානි කිරීම් සිදුවූ අතර කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ පොලු ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසිරුවාහැරීමට පියවර ගන්නා ලදී.
සති දෙකකට පෙර මෙම විරෝධතා ආරම්භ වූ තැන් පටන් අවම වශයෙන් යෞවනයන් 215 දෙනකු සහ පාසල් කාර්ය මණ්ඩලයේ 85 දෙනකු තුවාල ලබා ඇති බව ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු පැවසූ අතර, මෙම සංඛ්‍යා ”දශක ගණනාවකට පසු පාසල් පද්ධතිය ගෙවූ බරපතළම වන්දිය” ලෙස ඔහු හැඳුන්වීය. පවතින උණුසුම් තත්ත්වය හමුවේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අඟහරුවාදා රාත්‍රියේ හදිසි සාකච්ඡා සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් එලිසේ මාලිගයට කැඳවීමට ද කටයුතු කළේය.
අඟහරුවාදා පැරිසියේ පැවැති විරෝධතාවයේදී සිසුන් දුම් පන්දම් සහ 1968 මැයි ශිෂ්‍ය කැරලිවල ප්‍රකට “ගල් කැට යට, වෙරළ ඇත” යන්න මතක් කරමින් “අපගේ පෙළපොත් යට, කෝපය ඇත” හා “මුදල් නැති පාසල් = අනාගතයක් නැති රටක්” වැනි පාඨ සහිත පුවරු ඉහළට ඔසවාගෙන සිටියහ. අගනුවර ප්ලාස් ඩි ලා නාසියොන් හිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇනා නමැති ශිෂ්‍යාව පැවසුවේ, “අපගේ ඉල්ලීම් සරලයි. වඩා හොඳ අධ්‍යයන කොන්දේසි, ප්‍රමාණවත් ගුරුවරුන්, නිසි පාසල් ගොඩනැගිලි. බලධාරීන්ගේ ප්‍රතිචාරය විනාශකාරීයි. දැනටමත් ප්‍රචණ්ඩත්වය ඇති තරම් තිබෙනවා,” යනුවෙනි.
මාසෙයි හි පාගමනට එක්වූ 18 හැවිරිදි ඔසේන් සිය අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ නොසිටින ගුරුවරුන් වෙනුවට “ඵලක් නැති ආදේශකයන්” යෙදවීම හෝ කිසිවකු නොයෙදවීම නිසා තමන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවයි. “අපට අවශ්‍ය වන්නේ අපගේ අධ්‍යාපනය බේරාගෙන අධ්‍යාපනය ලැබීමට පමණයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය. සැප්තැම්බර් මැද භාගයේ පැරිසියේ උතුරු තදාසන්න ප්‍රදේශවලින් ආරම්භ වූ මෙම විරෝධතාවලදී මේ වන විට පාසල් 24 ක් ගිනි තබා හෝ කොල්ලකා ඇති අතර, අඟහරුවාදා වන විට රටේ උසස් පාසල් 3,700 න් 900 කට වැඩි ප්‍රමාණයක් (ශිෂ්‍ය කණ්ඩායම්වලට අනුව 1,800 ක්) වටලා හෝ වසා දමා තිබූ බැවින් ඇතැම් ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් පන්ති මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට ද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත්, වොෂින්ටන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන පරිදි, ප්‍රංශය වෙළාගෙන තිබෙන කැරලි හමුවේ දැඩි නොසන්සුන්තා සහ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, මෙම ප්‍රචණ්ඩත්වය රටේ පාසල්වල පවතින දුර්වල පහසුකම්වලට එරෙහි විරෝධතාවක් බව පැවසුණද, වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට කිසිවකු පාසල් ගිනි තබන්නේ නැත.
‘Truth Social’ හි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ද මෙසේ සටහන් කළේය.
“ප්‍රංශයේ සිදුවෙමින් පවතින්නේ පාලනයකින් තොරව සිදුවන මහා පරිමාණ සංක්‍රමණය හැර අන් කිසිවක් නොවේ. මෙය පාසල් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය එක්තරා කලෙක ශ්‍රේෂ්ඨව පැවැති රටක් ඉස්ලාම් දහම විසින් අත්පත් කරගැනීමට දරන උත්සාහයකි.” සත්‍ය තොරතුරු ද මෙය සනාථ කරයි.
බටහිර යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහනය වෙසෙන්නේ ප්‍රංශයේය. 1985 දී එහි වැඩිහිටි ජනගහනයෙන් 0.5% ක් වූ මුස්ලිම් ජනගහනය අද වන විට මිලියන 6 ක් (සම්පූර්ණ ජනගහනයෙන් 9% ක් පමණ) දක්වා වර්ධනය වී ඇත.
මුස්ලිම් සංක්‍රමණිකයන් පැරිස් නගරය වටා පිහිටි තදාසන්න ප්‍රදේශවල කේන්ද්‍රගත වීමට පෙලඹෙන අතර, පොලිසිය පවා එම ප්‍රදේශවලට ඇතුළු වීමට මැළි කමක් දක්වන බැවින් ඒවා “ඇතුළු විය නොහැකි කලාප” ලෙස හඳුන්වනු ලබයි. විරෝධතාකරුවන් ඉස්ලාමීය සහ කොමියුනිස්ට් කොඩි ඔසවාගෙන සිටින අතර, 2027 අප්‍රේල් ජනාධිපතිවරණයේදී බලය ලබාගැනීමට තරග වදින ප්‍රධාන පක්ෂ තුනෙන් එකක් වන අන්ත වාමාංශික ‘ල ෆ්‍රොන්ස් ඉන්සුමීස්‘ පක්ෂයේ නායක ෂොන්-ලූක් මෙලොන්ෂොන් විසින් ඔවුන්ව උනන්දු කරනු ලබයි. මෙලොන්ෂොන් මහා පරිමාණ සංක්‍රමණවලට ද සහය දක්වයි.
මෙම කැරලි, දැනට මෙලොන්ෂොන්ගේ පක්ෂය සහ ධුරයෙන් ඉවත්වන එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යස්ථවාදී පක්ෂය සමඟ තුන්කොන් තරගයක පෙරමුණේ සිටින මැරීන් ලෙ පෙන්ගේ නැගී එන දක්ෂිණාංශික ‘ජාතික සභාග’ පක්ෂයට වාසිදායක විය හැකිය. ජාතික සභාග පක්ෂය ඉල්ලා සිටින්නේ නීත්‍යානුකූල සහ නීති විරෝධී සංක්‍රමණ දැඩි ලෙස කප්පාදු කරන ලෙසත්, නීති විරෝධී සංක්‍රමණ පාලනය සඳහා වඩා හොඳ දේශසීමා ආරක්ෂාවක් යෝජනා කරන ලෙසත්ය.
එමෙන්ම පවුල් නැවත එක්කිරීමේ සහ උපතින් හිමිවන පූරවැසිභාවයේ ප්‍රතිපත්තිය අවසන් කිරීමට ද, පොදු ස්ථානවල ඉස්ලාමීය හිස් වැසුම් සහ බුර්කාවන් තහනම් කරමින් ප්‍රංශ ජාතික අනන්‍යතාව ආරක්ෂා කිරීමට ද එම පක්ෂය අපේක්ෂා කරයි. ප්‍රංශයට වඩා හොඳ පාසල් අවශ්‍ය බව සැබෑවකි. බොහෝ පාසල් ඉතා පැරණි මෙන්ම අබලන් වී ඇත.
එහෙත්, රට දීර්ඝකාලීන අයවැය අර්බුදයක පවතින තාක් කල් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැක. ප්‍රංශයේ ණය සහ GDP අනුපාතය මේ වන විට 120% කට ආසන්න ප්‍රමාණයක පවතින අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක පමණ හිඟයක් ද අපේක්ෂා කෙරේ. ප්‍රංශ පුරවැසියෝ දැනටමත් උපරිමයෙන් බදු ගෙවමින් සිටිති. කෙසේ වෙතත්, වත්මන් කැරලි පිටුපස ඇති බලවේගය මූල්‍යමය එකක් නොව මතවාදී එකක් වන අතර ප්‍රංශයට දැනට අවශ්‍ය වන්නේ තම දේශසීමා සුරක්ෂිත කිරීම, මූල්‍ය විනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවුණු රජයකි.
අනෙක් පසින්, විරෝධතාවලදී පොලිසිය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ බරපතළ තුවාල ලැබීම් රැසක් වාර්තා වී තිබේ. උතුරු ප්‍රංශයේදී කැරලි මර්දන පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී පොලිසිය එල්ල කළ ශබ්ද බෝම්බයක් නිසා 15 හැවිරිදි පිරිමි ළමයකුගේ අතක් පුපුරා වෙන් වූ අතර, ටුවර්ස් හි උසස් පාසලක් වටලෑමේදී බරපතල ලෙස හිසට තුවාල ලැබූ 16 හැවිරිදි තරුණයකුගේ දකුණු ඇසෙහි පෙනීම අහිමි විය. ප්‍රාදේශීය අභිචෝදක කැතරින් සොරිටා-මිනාර්ඞ් පැවසුවේ එම තුවාල රබර් උණ්ඩ වර්ගයේ ආරක්ෂක උණ්ඩයක පහරදීමකට සමාන බවයි.

තවත් සිදුවීමකදී, පැරිසියට වයඹ දෙසින් පැවැති විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙක් ආසන්නයේ සිට අත්බෝම්බයක් නිකුත් කිරීම නිසා 14 හැවිරිදි පිරිමි ළමයකුගේ දත් බොහොමයක් අහිමි විය. එම දරුවාගේ මව මාධ්‍යවේදීන්ට හඬා වැටෙමින් පැවසුවේ, “ඔහුගේ හකු පූට්ටු වී තිබෙනවා, ඔහුට තවත් කතා කළ නොහැකියි, ඔහු කන්නේ බටයකින්,” යනුවෙනි.
ගැටුම්වලදී විරෝධතාකරුවන් කුණු බඳුන්වලට ගිනි තබා බස් නැවැතුම්පොළවල් විනාශ කරද්දී පොලිස් නිලධාරීන් 715 දෙනකු ද තුවාල ලබා ඇති බව අගමැති කාර්යාලය පැවසීය. ‘ලිබරේෂන්‘ පුවත්පතට අනුව අඟහරුවාදා පමණක් 500 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රංශය පුරා මුළු එකතුව 6,100 හෝ 6,500 ඉක්මවා ඇත. අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ 1,800 කට වැඩි පිරිසකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඔවුන්ගෙන් 1,500 කට ආසන්න පිරිසක් වයස අවුරුදු 18 ට අඩු බාලවයස්කරුවන් බවයි.
තත්ත්වය මෙසේ හමුවේ, තරුණ විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය අනවශ්‍ය බලප්‍රහාර එල්ල කරන බවට වෘත්තීය සමිති, මානව හිමිකම් කණ්ඩායම් සහ ගුරුවරු චෝදනා කරති. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පැවසුවේ ප්‍රංශ බලධාරීන් ”අනුපාතයට නොගැළපෙන පොලිස් මර්දනය නැවැත්විය යුතු” බවයි. ඇම්නෙස්ටි ප්‍රංශයේ සභාපතිනි ඈන් සවිනෙල්-බාරාස් සහ බටහිර රෙන්ස් නගරයේ ගුරුවරයකු වන රොමේන් ඩුබෝර්ග් ද පොලිස් ම්ලේච්ඡත්වය හෙළා දුටහ.
CGT සමිතියේ ප්‍රධානී සොෆී බිනෙට් සහ පරිසරවේදී පක්ෂ නායිකා මාරීන් ටොන්ඩෙලියර් ද ඉල්ලා සිටියේ සුදු පැහැති ඇඳුමින් සැරසී විරෝධතාවලදී සිසුන් ආරක්ෂා කිරීමට එකතු වන ලෙසයි. කෙසේ වෙතත්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් පැවසුවේ පොලිස් ප්‍රතිචාරය අනුපාතික වූ බවත්, විරෝධතා කැරලි බවට පත් වූ බැවින් මැදිහත්වීම අවශ්‍ය වූ බවත්ය.
එමෙන්ම චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ 10 ක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය. අගමැති ලෙකොර්නු අමාත්‍යවරුන්ට නියෝග කළේ නොසිටින ගුරුවරුන් වෙනුවට වෙනත් අය යෙදවීම, පාසල් වේලාව සමාලෝචනය කිරීම සහ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ඇතුළු සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීම් විසඳන ලෙසයි. එහෙත් ඔහු අවධාරණය කළේ, “අතිශය ප්‍රචණ්ඩත්වය උසස් පාසල් දොරටුවලට තට්ටු කර තිබෙනවා. පාසලකට ගිනි තැබීමෙන් එය අලුත්වැඩියා කිරීමට හෝ ගුරුවරයකුට පහර දීමෙන් නැති වූ කාර්ය මණ්ඩලය වෙනුවට වෙනත් අය ආදේශ කිරීමට හැකි වන්නේ නැහැ,” යනුවෙනි.
ප්‍රංශයේ ඇති වූ මෙම ශිෂ්‍ය නොසන්සුන්තාව මේ වන විට සමස්ත යුරෝපය පුරාම පැතිර යාමේ ප්‍රබල අනතුරක් නිර්මාණය කර ඇත. අධ්‍යාපන වියදම් සහ පාසල් පහසුකම් සම්බන්ධයෙන් ශිෂ්‍ය කෝපය වර්ධනය වීමත් සමඟ බෙල්ජියමේ ලීජ් හි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ අතර, ඔක්තෝබර් 1 වන දින විරෝධතා ආරම්භ වූ තැන් පටන් ලීජ් හිදී පොලිසිය අවම වශයෙන් 139 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
වත්මන් රැල්ල ප්‍රංශයෙන් මතුවුවද, පිරී ඉතිරී ගිය පන්ති කාමර, ගුරු හිඟය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කප්පාදුව සහ ඉහළ යන අධ්‍යාපන වියදම් හේතුවෙන් යුරෝපය පුරා ඇති වූ ගැටලු ඊට පෙර සිටම පැවති ඒවා වේ. Euronews වාර්තාවලට අනුව ග්‍රීසියේ සිසුන් රැස්වීම්, පන්ති වර්ජන, විරෝධතා සහ පාසල් අත්පත් කරගැනීම් සඳහා රට පුරා පාසල් ක්‍රියාමාර්ග කැඳවා ඇති අතර, ඉතාලියේ ”ප්‍රංශයේ මෙන් කරමු” යන තේමාව යටතේ ටියුරින් සහ රෝමයේ උසස් පාසල් අත්පත් කරගැනීම් ආරම්භ විය. ANSA වාර්තා කරන්නේ ඉතාලි සිසුන් ප්‍රංශ සිසුන් සමඟ සහයෝගීතාව පළ කිරීම සඳහා නියෝජිත පිරිසක් පැරිස් වෙත ද යැවූ බවයි.
එමෙන්ම RT වාර්තාවලට අනුව අයර්ලන්තයේ ඩබ්ලින් හිදී විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් අඩු ගාස්තු සහ වැඩි ප්‍රතිපාදන ඉල්ලා විරෝධතාවල නිරත වූ අතර, ජර්මනියේ Tagesschau වාර්තා කළ පරිදි සාධාරණ පාසල් පද්ධතියක් ඉල්ලා සිසුන්, ගුරුවරු සහ වෘත්තීය සමිති රැස්වීම් පැවැත්වූහ.
ඔස්ට්‍රියාවේ ඊළඟ වසර තුනේ විශ්වවිද්‍යාල අයවැයෙන් යුරෝ බිලියන 1 කට ආසන්න ප්‍රමාණයක් කප්පාදු විය හැකි බවට විශ්වවිද්‍යාල සංගමය නිවේදනය කිරීමෙන් පසුව නව විරෝධතා සඳහා සිසුන් සූදානම් වන බව ORF වාර්තා කරයි. මෙම අධ්‍යාපන නොසන්සුන්තාව මතුවන්නේ යුරෝපීය රජයන් කිහිපයකටම අයවැය හිඟය පාලනය කිරීමට දැඩි පීඩනයක් එල්ල වී ඇති පසුබිමකය.
යුරෝපීය කොමිසමේ අනාවැකිවලට අනුව ප්‍රංශය සහ බෙල්ජියම තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට වඩා වැඩි අයවැය හිඟයක් පවත්වාගෙන යන අතර ඔස්ට්‍රියාවේ හිඟය 4% කට වඩා වැඩිය. මෙම මූල්‍ය පීඩනය හමුවේ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් දුෂ්කර තීරණ ගැනීමට රජයන්ට සිදුවී ඇති අතර, මෙම විරෝධතා එකමුතුව සංවිධානය වූ එකම යුරෝපීය ව්‍යාපාරයක් නොවුණද, රටවල් කිහිපයක සිසුන් තමුන්ගේ පොදු ඉල්ලීම් වටා එකමුතු වෙමින් සිටින ආකාරය ඉන් සනාථ වේ.
කේ. ආර්. විතානගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd