
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකලස් වෙමින් පැවතියේ තවත් සාමාන්‍ය උදෑසනකටය. හිරු රැස් තවමත් කාන්තාර වැලි මත පතිත වෙමින් තිබියදී, පෙ.ව. 6:05 ට ෆ්ලයිඩුබායි සේවයට අයත් FZ1073 දරන බෝයිං 737 ගුවන් යානය සිය එන්ජින් පණගන්වමින් ධාවන පථයෙන් අහසට එසවුණි. එහි ගමනාන්තය වූයේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර අසල පිහිටි බෙන් ගුරියන් ගුවන්තොටුපළයි.
යානය තුළ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයන් 174 දෙනෙක් ගමන් කරමින් සිටියහ. ඔවුන්ගෙන් වැඩිදෙනකු ඊශ්‍රායල ජාතිකයන් වූ අතර, ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු වැසියන් කිහිපදෙනෙක්ද ඒ අතර වූහ. යානය මෙහෙයවනු ලැබුවේ වසර 15 ක ප්‍රවීණ පියාසර අත්දැකීම් ඇති, පැය 9,750 කට වඩා අහසේ ගත කර තිබූ ඉන්දියානු ජාතික කැප්ටන් ස්මිට් මච්ඡාර් (Smit Machchhar) සහ ඕමාන් ජාතික සහායක නියමුවා විසිනි.
පියාසර කර පැය දෙකක් පමණ ගතවන තෙක් අහස් ගැබ ඉතා සාමකාමී විය. මගීන් සමහරකු නින්දේ පසුවූ අතර, තවත් සමහරෙක් පුවත්පත් බලමින් හෝ තිර දෙස බලමින් කාලය ගත කළහ. කිසිවකුත් නොසිතූ මොහොතක, සැතපුම් දහස් ගණනක් ඉහළ අහසේදී මරණයේ අඳුරු සෙවණැල්ල එම ගුවන් යානය වසා ගැනීමට සූදානම් වෙමින් තිබුණි.
සිහිනයක් නොවූ අහස් යාත්‍රා ප්‍රේමය
ගුවන් යානය ඉදිරියට ඇදෙද්දී, නියමු අසුනේ සිටි කැප්ටන් ස්මිට් මච්ඡාර්ගේ මනසට සිය අතීතය මතක් වූවා විය හැක. කුඩා අවදියේදී ගුවන් නියමුවකු වීම ස්මිට්ගේ සිහිනයක් වී තිබුණේ නැත. ඉන්දියාවේ මුම්බායි හි නැගෙනහිර ගාට්කොපාර් ප්‍රදේශයේ උපත ලැබූ ඔහු, පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පසු යොමු වූයේ තම පවුලේ පාරම්පරික රෙදිපිළි ව්‍යාපාරයට සම්බන්ධ වීමේ අරමුණින් රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමටය. ඉන්පසුව ඔහු මුම්බායි හි ප්‍රකට වෙලින්කාර් කළමනාකරණ ආයතනයට ඇතුළත් විය.
ඔහුගේ මුළු ජීවිතයම වෙනස් වූයේ ඔහුට අවුරුදු 19 දී සහභාගී වීමට ලැබුණු ගුවන් සේවා පිළිබඳ සම්මන්ත්‍රණයකදීය. අහස ජය ගැනීමේ ආශාව හෙවත් “අහස් රෝගය” ඔහුට වැලඳුනේ එතැනදීය. පුතකු අහසේ පියාසර කිරීමට යනවාට ඔහුගේ මව මුලදී දැඩි ලෙස බිය වූවාය. එහෙත් සිය අභිලාෂය අත්නොහැරි ස්මිට්, පසුව නවසීලන්තයට ගොස් වෘත්තීය ගුවන් නියමු පුහුණුව ලැබුවේය.
පුහුණුව නිමවා පැමිණි ඔහු ඉන්දියාවේ ස්පයිස්ජෙට් ගුවන් සේවයට එකතු වී වසර 11 ක් සේවය කළේය. එහිදී තරුණ නියමුවන් පුහුණු කරන ලයින් ට්‍රේනිං කැප්ටන් (Line Training Captain) තනතුර දක්වා ඔහු උසස් විය. 2022 දී ඔහු ෆ්ලයිඩුබායි සේවයට එකතු වූ අතර, තමාගේ රාජකාරිය සහ පෞද්ගලික ජීවිතය එකිනෙක පටලවා නොගැනීමට ඔහු වගබලා ගත්තේය.
“කොක්පිට් එකෙන් එළියට ආවාම මම පයිලට් කෙනෙක් කියලා කවුරුත් දන්නවාට මම කැමති නෑ. නිල ඇඳුම ඇඳලා ඉන්නකොට නොන්සන්ස් නෑ, රාජකාරිය විතරයි. මට ඕන මගීන් ආරක්ෂිතව යානයෙන් එළියට බසින එක විතරයි,” ඔහු මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණි.
එදා උදෑසනද, තම මගීන් ආරක්ෂිතව ගමනාන්තයට ගෙන යාමේ ඒ උසස් රාජකාරිය ස්මිට් ඉටු කරමින් සිටියේය.

නියමු කුටියේ ලේ වැකි ප්‍රහාරය
පෙ.ව. 8:00 ට පසුව, යානය මධ්‍යධරණී මුහුද දෙසට පියාසර කරමින් තිබියදී ගුවන් නියමු කුටිය තුළ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අතිශය ම්ලේච්ඡ සිදුවීමක් ආරම්භ විය.
ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශ සහ විමර්ශන වාර්තාවලට අනුව, සහායක ඕමාන් ජාතික නියමුවා අන්තවාදී අදහස්වලින් අන්ධව, හදිසියේම සිය ප්‍රධාන නියමුවා වූ ස්මිට් මච්ඡාර් වෙත කඩාවැදුණි. ඔහු අත වූයේ මාරාන්තික ආයුධයකි. (එය පිහියක් හෝ කුඩා පොරවක් විය හැකි බව පසුව අනුමාන කෙරිණි.) කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව, සහායක නියමුවා ස්මිට්ගේ හිසට, ගෙලට සහ ශරීරයට ම්ලේච්ඡ ලෙස කෙටීමටත් ඇනීමටත් පටන් ගත්තේය.
ස්මිට්ගේ හිස සහ දෑත් දරුණු ලෙස කැපී ගියේය. රුධිරය ගුවන් නියමු කුටියේ පාලක පුවරුව සහ බිම පුරා විසිවී ගියේය. බරපතළ ලෙස තුවාල ලබා, අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබියදී පවා, ස්මිට් සිය අන්තිම ශක්තිය යොදවා ප්‍රහාරකයා සමඟ පොරබැදුවේය.
ප්‍රහාරකයාගේ එකම අරමුණ වූයේ ස්මිට්ව ඝාතනය කර, ගුවන් යානයේ ස්වයංක්‍රීය පාලන පද්ධතිය අක්‍රිය කර, යානය මුහුදට හෝ කාන්තාරයට කඩා දමා සිය ගණනක් මගීන් බිලි ගැනීමයි. ප්‍රහාරකයා යානයේ පාලන ලීවරය (Controls) ඉදිරියට තල්ලු කළේය.
තත්පර කිහිපයක් ඇතුළත බෝයිං 737 යානය අහසේ සිට අඩි දහස් ගණනක් පහතට කඩා වැටෙන්නට විය. මිනිත්තු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත යානය අඩි 17,400 ක් පහතට කඩා වැටුණු අතර, උතුරු දෙසට තදින් කැරකෙමින් පහතට ඇදී ගියේය.
මගී මැදිරියේ භීෂණය
ගුවන් යානය හදිසියේම පහතට කඩා වැටෙමින් කැරකෙන්නට පටන් ගත් විට, මගී මැදිරිය තත්පර කිහිපයකින් අපායක් බවට පත් විය. ආසන පටි නොබැඳ සිටි මගීන් සහ භාණ්ඩ ඉහළට විසිවී ගියහ.
“අපට දැනුණේ යානය සම්පූර්ණයෙන්ම පහත වැටී ටිකක් කැරකෙන්න පටන් ගත් බවයි. හැමෝම කෑගැසුවා, කුඩා ළමයි ඇඬුවා. මම මගේ ජීවිතයේ අන්තිම තත්පර කිහිපය ගෙවනවා කියලා මට විශ්වාසයි,” යැයි මගියෙකු වූ මිකා බෝමන් පසුව ඒ ත්‍රාසජනක මොහොත විස්තර කළාය.
තවත් මගියකු වූ අසාෆ් රාජුවාන් පැවසුවේ, “අපට යටින් තිබුණේ විශාල කාන්තාරයක් විතරයි. අපිව සතුරු රටකට ගෙන යනවාද නැත්නම් කාන්තාරය මැදට කඩාගෙන වැටෙනවාද කියලා අපි බයෙන් හිටියේ. විශ්වාස කරන්නේ කවුද කියලා අපි දැනන් හිටියේ නැහැ,” යනුවෙනි.
පෙ.ව. 8:31 ට යානයෙන් හදිසි උපකාරක සංඥාවක් (Distress Call) නිකුත් වූ අතර, ඊට මිනිත්තු කිහිපයකට පසුව යානයේ ට්‍රාන්ස්පොන්ඩරය මගින් ‘ජදාැ 7500‘ සංඥාව නිකුත් විය. එය ජාත්‍යන්තර ගුවන් සේවයේදී “ගුවන් යානයක් පැහැරගෙන ඇත” යන්න හැඟවෙන මාරාන්තික සංඥාවයි.

ගුවන් නියමුවාගේ වික්‍රමය
ලේ ගඟක ගිලී, සිහිය නැතිවීමට ආසන්නව සිටි කැප්ටන් ස්මිට් මච්ඡාර්, තමාගේ ජීවිතය ගැන නොසිතා මගීන් 173 දෙනාගේ ජීවිත ගැන සිතුවේය. නියමු කුටිය ඇතුළත සිට දොර අගුළු දමා තිබූ බැවින් පිටත සිටින කිසිවකුට ඇතුළු විය නොහැකි විය.
තමන්ගේ කැපී ගිය දෑතින්, ලෙයින් තෙතබරිත වූ ස්මිට්, බිම දිගේ ඇදී ගොස් ගුවන් නියමු කුටියේ දොර පිටතින් විවෘත කළ හැකි හදිසි නිකුත් කිරීමේ බොත්තම ක්‍රියාත්මක කළේය.
එම තත්පරයේදී, දොර ඇරෙනවාත් සමඟම, පිටත සිටි මගීන් සහ ගුවන් සේවිකාවෝ අතිශය භීෂණාත්මක දර්ශනයක් දුටුවහ. ගුවන් නියමු කුටිය පුරා ලේ තැවරී තිබූ අතර, ප්‍රහාරකයා යානයේ පාලනය අතට ගෙන යානය කඩා දැමීමට උත්සාහ කරමින් සිටියේය.
වහාම ක්‍රියාත්මක වූ මගීන් කිහිපදෙනකු සහ කාර්ය මණ්ඩලය ගුවන් නියමු කුටියට කඩා වැදුණි. ඒ අතර සිටි යානිව් හයූන් නම් මගියා, ප්‍රහාරක සහායක නියමුවාගේ ගෙළ පිටුපසින් තදකර අල්ලාගෙන, අනෙකුත් මගීන්ගේද සහාය ඇතිව ඔහුව ගුවන් නියමු කුටියෙන් එළියට ඇද දැමුවේය.
“මම 'Air Crash Investigation' කියන ටීවී ෂෝ එක බලනවා. ඇත්තටම මම ඒකෙන් ලබාගත්ත දැනුමෙන් යානයේ පාලන පුවරුව ඇල්ලුවා. යානය ටිකක් සමබර වෙන්න පටන් ගත්තා,” යැයි හයූන් පසුව ප්‍රකාශ කළේය.
ඒ සමඟම, යානයේ මගියෙක් ලෙස ගමන් කරමින් සිටි දන්ත වෛද්‍යවරයකු වූ දොස්තර ෂෝටා මුසෙව්, හෙඩ්ෆෝන් වයර් සහ ප්ලාස්ටික් ෂිප්ටයි භාවිතයෙන් ප්‍රහාරකයාගේ අත් පා තදින් බැඳ දැමුවේය.
සමාජ මාධ්‍යවල සංසරණය වූ සහ CNN විසින් තහවුරු කරන ලද වීඩියෝ පටවල දැක්වුණේ, අතිශය දරුණු ලෙස තුවාල ලබා සිටි ස්මිට් මච්ඡාර් බිම වැටී සිටින ආකාරයයි. ඔහුගේ වේදනාකාරී මුහුණ අර්ධ වශයෙන් මාස්ක් එකකින් වසා තිබූ අතර, ලෙයින් තෙමී තිබූ දෑතින් ඔහු තම උදරය අල්ලාගෙන සිටියේය. ඔහු අසලම, බිම වැටී සිටි ප්‍රහාරකයාගේ සුදු කමිසයද ලෙයින් පෙඟී තිබුණි.
මගීන් මැද සිටි ගුවන් නියමුවන් සූදානම්
ප්‍රහාරකයා මෙල්ල කළද, යානය තවමත් අහසේ පාවෙමින් තිබුණේ ප්‍රධාන නියමුවා තුවාල ලබා සිටි බැවිනි. මගී මැදිරියේ ගුවන් සේවිකාවෝ ප්‍රථමාධාර කට්ටල ලෙහමින් “අපිට ඩොක්ටර් කෙනෙක් ඕන, අපිට පයිලට් කෙනෙක් ඕන!” යනුවෙන් කෑගසන්නට වූහ.
මෙහිදී තවත් නොසිතූ ආශ්චර්යයක් සිදු විය. එදින එම ගුවන් යානයේ මගීන් ලෙස ගමන් කරමින් සිටි ෆ්ලයිඩුබායි ආයතනයේම අතිරේක නියමුවන් දෙදෙනෙක් මගී මැදිරියේ සිටියහ. සීඑන්එන් හි ගුවන් සේවා විශ්ලේෂක ඩේවිඩ් සුසි පවසන පරිදි, වෙනත් ගුවන් ගමන් සඳහා නියමුවන් ස්ථානගත කිරීමට යන අවස්ථාවලදී හැර, මෙලෙස අතිරේක නියමුවන් යානයක සිටීම ඉතා අසාමාන්‍ය සිදුවීමකි.
වහාම කොක්පිට් එකට පැමිණි මෙම අතිරේක නියමුවන් දෙදෙනා, යානයේ පාලනය තමන් සතු කරගත්හ. ඔවුන් වහාම සවුදි අරාබියේ ගුවන් සීමාවට ඇතුළු වී, හදිසි ගොඩබැස්සවීමක් සඳහා අවසර ඉල්ලා සිටියහ. පෙ.ව. 9:54ට, FZ1073 යානය සවුදි අරාබියේ තබූක් ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්වන ලදී. මගීන් 174 දෙනාගේ ජීවිත බේරුණේ ඒ අයුරිනි.

හදිසි ප්‍රතිකාර සහ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම
ගුවන් යානය තබූක් ගුවන්තොටුපළට ගොඩබැස්සවූ වහාම, සවුදි අරාබි වෛද්‍ය කණ්ඩායම් යානය තුළට ඇතුළු වූහ.
තුවාල ලැබූ කැප්ටන් ස්මිට් මච්ඡාර් වහාම තබූක් හි රෝහලකට ඇතුළත් කෙරිණි. දන්ත වෛද්‍ය මුසෙව් පැවසුවේ, “නියමුවා අධික ලෙස රුධිරය පිටවීමකට ලක්ව සිටියා. ඔහුගේ හිස සහ දෑත් දරුණු ලෙස කැපී තිබුණා,” යනුවෙනි. රෝහලේදී පැය ගණනාවක සංකීර්ණ ශල්‍යකර්මයකින් පසුව, ස්මිට්ගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි විය. මුම්බායි හි සිටින ඔහුගේ පවුලේ අයටද ඔහු සුවයෙන් සිටින බව පසුව දැනුම් දෙන ලදී.
මේ අතර, පහරදුන් සහායක නියමුවාද තුවාල ලබා සිටි අතර ඔහුටද සවුදි අරාබියේදී ප්‍රතිකාර ලබා දී, ආරක්ෂක අංශ භාරයට ගන්නා ලදී. සවුදි අරාබි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වෛද්‍ය අවසරය ලැබීමෙන් පසු, බ්‍රහස්පතින්දා උදෑසන නියමුවන් දෙදෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක කණ්ඩායමක් සමඟ අබුඩාබි බලා ගෙන ගිය බවයි.
තබූක් හි රැඳී සිටි මගීන් වෙනුවෙන් ෆ්ලයිඩුබායි ආයතනය විසින් වෙනත් විශේෂ ගුවන් යානයක් සවුදි අරාබියට යවන ලදී. එම යානය මගීන් රැගෙන ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළට ළඟා විය. එහිදී තම ආදරණීයයන් එනතුරු බැලූන් සහ ”සාදරයෙන් පිළිගනිමු” යන පුවරු ඇන්දූ පවුල්වල අය නොඉවසිල්ලෙන් බලා සිටියහ.
ලෝක නායකයන්ගේ පැසසුම් සහ ප්‍රතිචාර
සිදුවූ අසමසම වීර ක්‍රියාව සැලවීමත් සමඟ මුළු ලෝකයේම අවධානය ඉන්දියානු ගුවන් නියමු ස්මිට් මච්ඡාර් වෙත යොමු විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X (ට්විටර්) හි සටහනක් තබමින් මෙසේ පැවසීය:
“කැප්ටන් ස්මිට් මච්ඡාර් යනු සැබෑම වීරයෙකි. දරුණුතම අන්තරායට මුහුණ දෙමින්, තමා බරපතළ ලෙස තුවාල ලබා සිටියදී පවා, අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔහු අතිමහත් ධෛර්යයක් සහ නොසැලෙන අභිලාෂයක් පෙන්නුම් කළේය.”
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු CNN හි ජිම් සියුටෝ සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ස්මිට්ව ”සැබෑ වීරයකු” ලෙස හැඳින්වූ අතර, ඔහු “9/11 වැනි මහා විනාශයක් වැළැක්වූ” බව පැවසීය.
“මෙම සිදුවීම අනෙකුත් ඛේදජනක ප්‍රහාරවලින් වෙනස් වන්නේ, මෙවර හොඳ පාර්ශ්වය ජයග්‍රහණය කිරීමයි,” නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෙතන්යාහු සමඟ දුරකථනයෙන් කතා කරමින් මගීන්ගේ සහ නියමුවාගේ උත්සාහය “වඩාත්ම පුදුමාකාර දෙයක්” ලෙස අගය කළේය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එච් මිලිබෑන්ඩ්ද සිය සැනසුම පළ කළේය.

රහස් පරීක්ෂණ සහ ආරක්ෂක ප්‍රශ්නාර්ථ
මෙම සිදුවීමෙන් පසු, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව පිළිබඳව දැඩි ප්‍රශ්න රාශියක් මතුවිය.
ප්‍රහාරකයා ඕමාන් ජාතිකයකු බව තහවුරු විය. නෙතන්යාහු ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ ඔහු ”ඉස්ලාමීය අන්තවාදී මතවාදයන්ට ලක්ව සිටි” අයකු බවයි. කෙසේ වුවද ඕමානය සහ ඊශ්‍රායලය අතර කිසිදු නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොමැත. එවැනි පසුබිමක, ඊශ්‍රායලයට යන ගුවන් යානයක ඕමාන් ජාතික නියමුවකුට පියාසර කිරීමට අවසර ලැබුණේ කෙසේද යන්න ඊශ්‍රායල ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ෂින් බෙට් අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය, මොසාඩ් සහ හමුදාව එක්ව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. කොක්පිට් එක තුළට ආයුධය ආවේ කෙසේද යන්න සොයා බැලීමට ගුවන් පියාසැරි දත්ත රෙකෝඩරය (FDR) සහ කොක්පිට් හඬ රෙකෝඩරය (CVR) පරීක්ෂා කෙරෙමින් පවතී.
සිදුවීමෙන් පසුව, ෆ්ලයිඩුබායි සේවය ඊශ්‍රායලය වෙත සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.
ගුවන් සේවා ඉතිහාසයේ ලියැවුණු මෙම සිදුවීම, මිනිස් සිරුරේ අස්ථි සහ මස්පිඩු අභිබවා යන නොසැලෙන මිනිසුන්ගේ ධෛර්යය සහ එකමුතු බව පිළිබඳ සංකේතයකි.
තුවාල ලබා, ලේ ගඟක් මැද වැටී සිටියදී පවා තම රාජකාරිය සහ අන් අයගේ ජීවිත ප්‍රමුඛ කොට සැලකූ කැප්ටන් ස්මිට් මච්ඡාර්, ඉංජිනේරු ශිෂ්‍යයකුගේ සිට මුළු ලෝකයම ගෞරව කරන ”අහසේ වීරයෙක්” බවට පත්විය. ඔහු එදා පැවසූ වචන අදටත් අහස් ගැබේ රැව් පිළිරැව් දෙයි:
“Uniform එක ඇඳගත්තාම වෙන කිසිම දෙයක් නෑ, රාජකාරිය විතරයි... මට ඕන ඔයාලා ආරක්ෂිතව ගුවන් යානයෙන් එළියට යන එක විතරයි.”
(සී.එන්.එන් සහ ද හින්දු ඇසුරිනි)
කේ. ආර්. විතානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd