
ලෝකය පුරා බොහෝ රටවල් දැන් ඇමරිකාවට වඩා චීනය කෙරෙහි යහපත් ආකල්ප දක්වන බව පියු (Pew) පර්‌යේෂණ පෙන්වා දෙයි පියු පර්‌යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, ලොව පුරා බොහෝ රටවල ඇමරිකා එක්සත් ජනපදයට වඩා චීනය කෙරෙහි වඩාත් සාධනීය/යහපත් ආකල්ප පවතින බව පෙනී යයි. මෙම සංවිධානය මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.
ඇමරිකාව පදනම් කරගත්, පක්ෂග්‍රාහී නොවන මෙම චින්තන පර්ෂදයේ (think tank) සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ බොහෝ රටවල චීනය කෙරෙහි ඇති හිතකර අදහස් වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳ ආකල්ප නරක අතට හැරී ඇති බවයි.
පොදුවේ ගත් කල, ප්‍රතිචාර දැක්වූවන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන නායක ෂී ජින්පින් යන දෙදෙනාම කෙරෙහි දක්වා තිබුණේ අඩු විශ්වාසයකි. කෙසේ වෙතත් ට්‍රම්ප්ට වඩා ෂී ජින්පින් ඉහළ ලකුණු ලබාගැනීමට සමත් විය.
චීනයට වඩා ඇමරිකාව පුද්ගල නිදහසට ගරු කරන බව තවදුරටත් පිළිගැනුනද, ඇමරිකාවට වඩා චීනය අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ප්‍රමාණය අඩු බව දකින්නට ලැබුණි.
පියු සංවිධානය විසින් පෙබරවාරි සහ මැයි මාස අතර කාලය තුළ රටවල් 36 ක පුද්ගලයින් 42,000 කට වැඩි පිරිසකගෙන් අදහස් විමසා තිබුණි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් විමසා තිබුණේ එක් එක් සුපිරි බලවතා පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා හිතකර, තරමක් හිතකර, තරමක් අහිතකර හෝ ඉතා අහිතකර අදහසක් ද යන්නයි.
මෙම පර්‌යේෂණ මධ්‍යස්ථානය සොයාගත්තේ සමීක්ෂණයට ලක් කළ රටවල් 36 න් 25 කම, ඇමරිකාවට වඩා චීනය කෙරෙහි හිතකර අදහස් ඇති පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටින බවයි.
2002 වසරේ සිට සුපිරි බලවතුන් කෙරෙහි පවතින ගෝලීය ආකල්ප නිරීක්ෂණය කරන මෙම මධ්‍යස්ථානය, මෙතරම් රටවල් සංඛ්‍යාවක මෙවැනි ප්‍රතිඵලයක් දුටු පළමු අවස්ථාව මෙය බව මෙම අධ්‍යයනයේ පර්‌යේෂකයෙකු වන ජොනතන් ෂුල්මන් පවසයි.
මීට පෙරද ඇමරිකාව කෙරෙහි ඇති සාධනීය ආකල්පවල පසුබෑමක් පියු ආයතනය නිරීක්ෂණය කර තිබුණි - ඒ 2008 වසරේ ජෝර්ජ් බුෂ් පාලන සමය අවසානයේදී සහ 2017 වසරේ ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය ආරම්භයේදීය. එහෙත් එම අවස්ථාවලදී පවා චීනය කෙරෙහි තිබූ හිතකර ආකල්ප ඇමරිකාවට සමාන හෝ ඊට වඩා තරමක් අඩු මට්ටමක පැවති බව ෂුල්මන් බීබීසී (BBC) වෙත පැවසීය.
ස්පාඤ්ඤය, ඉන්දුනීසියාව, ඉතාලිය, ග්‍රීසිය සහ කැනඩාව චීනය දෙසට වැඩිම නැඹුරුවක් පෙන්වූ රටවල් අතර විය.
මෙවර සමීක්ෂණයේදී තවමත් ඇමරිකාවට වැඩි කැමැත්තක් දක්වන්නේ රටවල් හයක් පමණක් වන අතර, ඉන් බහුතරය ඇමරිකාවේ දැඩි මිත්‍ර රටවල් වේ: එනම් පෝලන්තය, පිලිපීනය, දකුණු කොරියාව, ඉන්දියාව, ජපානය සහ ඊශ්‍රායලයයි.
වෙන වෙනම බලන කල, මෑත වසරවලදී රටවල් 20 ක් පුරා ඇමරිකාව කෙරෙහි ඇති මධ්‍යස්ථ හිතකර අදහස (median favourable opinion) ක්‍රමයෙන් පහත වැටී ඇති අතර, චීනය කෙරෙහි ඇති මධ්‍යස්ථ හිතකර අදහස ඉහළ ගොස් ඇති බව මධ්‍යස්ථානය සොයා ගත්තේය.
ඇමරිකාවද ඇතුළත් කරගනිමින් පුළුල් කරන ලද දත්ත පද්ධතියක් මත පදනම්ව, මෑත වසරවලදී සමීක්ෂණයට ලක් කළ රටවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක චීනය කෙරෙහි ඇති හිතකර අදහස් වැඩි වී ඇති බවද පර්‌යේෂකයෝ සොයා ගත්හ.
එමෙන්ම ඉතාලිය, ස්පාඤ්ඤය, කොලොම්බියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, මැලේසියාව, නයිජීරියාව සහ තුර්කිය ඇතුළු මෙවර සමීක්ෂණයට ලක් වූ සමහර රටවල චීනය කෙරෙහි ඇති සාධනීය ආකල්ප වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ තිබුණි.

පොදුවේ ගත් කල, මධ්‍යම ආදායම් ලබන රටවල් චීනය කෙරෙහි සාධනීය ආකල්ප දැක්වීමට නැඹුරු වන අතර ධනවත් රටවල් වඩාත් සෘණාත්මක ආකල්ප දැක්වීමට නැඹුරු වන බව පර්‌යේෂකයෝ සොයා ගත්හ.
මෙම රටාවට තිබූ එකම සුවිශේෂී ව්‍යතිරේකය වූයේ සිංගප්පූරුවයි. සමීක්ෂණයට ලක් කළ රටවල් අතරින් වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් (GDP per capita) තිබුණේද සිංගප්පූරුවට වන අතර, චීනය කෙරෙහි ඉහළම සාධනීය මට්ටමක්ද එහි දක්නට ලැබුණි.
සමීක්ෂණයේදී චීනය කෙරෙහි දක්වා තිබූ වඩාත්ම සාධනීය - සහ වඩාත්ම සෘණාත්මක - අදහස් වාර්තා වූයේ ආසියා-පැසිෆික් කලාපයෙනි. පකිස්ථානුවන්ගෙන් 90% ක් පමණ චීනයට පක්ෂපාතී බව පෙනී යන අතර, ජපන් ජාතිකයින්ගෙන් එසේ පෙනී යන්නේ 11% ක් පමණි.
ෂී සහ ට්‍රම්ප්
ලෝක කටයුතුවලදී නිවැරදි දේ කරනු ඇතැයි ෂී සහ ට්‍රම්ප් කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳවද මෙම සමීක්ෂණය මගින් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් විමසා තිබුණි.
සමස්තයක් ලෙස ගත් කල, නායකයන් දෙදෙනා කෙරෙහිම තිබූ විශ්වාසය පොදුවේ අඩු මට්ටමක පැවති අතර, බහුතරයකගේ ලකුණු 50% ට වඩා අඩු විය. නමුත් සමීක්ෂණයට ලක් වූ බොහෝ රටවල් ට්‍රම්ප්ට වඩා ෂී කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට නැඹුරු විය.
සමීක්ෂණයේදී ෂී සඳහා ලැබුණු ඉහළම සහ අඩුම අගයන් පිළිවෙළින් පකිස්ථානයෙන් සහ ජපානයෙන් වාර්තා වූ අතර ඒවා 83% ක් සහ 7% ක් විය. ට්‍රම්ප් සඳහා ඉහළම අගය වූ 68% පිලිපීනයෙන් ලැබුණු අතර අඩුම අගය වූ 4% බටහිර ඉවුර/නැගෙනහිර ජෙරුසලමෙන් (West Bank/East Jerusalem) වාර්තා විය.
ෂුල්මන් පැවසුවේ පොදුවේ ගත් කල ”අනෙක් නායකයන්ට මෙන් මිනිසුන්ට ෂී පිළිබඳව එතරම් දැඩි මතයක් නොමැති බව” තමන්ගේ සමීක්ෂණයෙන් හෙළි වූ බවයි. මේ අතර ට්‍රම්ප් සම්බන්ධයෙන් ”මිනිසුන් පිළිතුරක් දීමට වැඩි ඉඩක් තිබූ අතර, ඔවුන් ලබා දුන්නේද අන්තගාමී (ඉතා හොඳ හෝ ඉතා නරක) පිළිතුරු” බව ඔහු පැවසීය.
චීනයට වඩා ඇමරිකාව පුද්ගල නිදහසට ගරු කරන බව තවදුරටත් පිළිගැනුනද, ඇමරිකාවට වඩා චීනය අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ප්‍රමාණය අඩු බව දකින්නට ලැබුණි.
චීන රජයට වඩා ඇමරිකානු රජය තම ජනතාවගේ පුද්ගල නිදහසට ගරු කරන බව තවමත් වැඩි පිරිසක් විශ්වාස කළද, ඒ අතර තිබූ පරතරය දැන් අඩු වී ඇති බවද සමීක්ෂණයෙන් හෙළි විය.
සුපිරි බලවතුන්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් සෙවීම සඳහා පියු ආයතනය මධ්‍යම ආදායම් ලබන රටවල් කිහිපයකින් අතිරේක ප්‍රශ්න කිහිපයක්ද විමසා තිබුණි. එහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% ක මධ්‍යස්ථ අගයක් (median) ප්‍රකාශ කළේ ඇමරිකාව අනෙක් රටවල කටයුතුවලට විශාල වශයෙන් හෝ සෑහෙන ප්‍රමාණයකින් මැදිහත් වන බවයි. චීනය ගැන එසේ ප්‍රකාශ කළේ 45% ක් පමණි.
ගැලප් (Gallup) ඡන්ද විමසීම් සමාගම සොයාගත්තේ පසුගිය වසරේ ගෝලීය අනුමැති ශ්‍රේණිගත කිරීම්වලින් චීනය ඇමරිකාව අභිබවා ගොස් ඇති බවයි. එය වසර 20 ක් තුළ චීනයට වාසිදායක ලෙස වාර්තා වූ විශාලතම පරතරයයි.
නමුත් ඇමරිකානු චින්තන පර්ෂදයක් වන ඒෂියා සොසයිටි (Asia Society) හි වාර්ෂික ‘චීනය පිළිබඳ ගෝලීය මහජන මතය‘ සමීක්ෂණයෙන් කියවුණේ, කෝවිඩ් වසංගත කාලයේදී පහත වැටුණු චීනයේ ප්‍රතිරූපය, ඉන් පසුව යථා තත්ත්වයට පත් වී ඇත්තේ මධ්‍යස්ථ මට්ටමකින් පමණක් බවයි.
කානගී චීන (Carnegie China) ආයතනයේ අනේවාසික විද්වතකු වන චොං ජා ඉයන් පැවසුවේ පියු ආයතනයේ මෙම නවතම ප්‍රතිඵල පුදුමයට කරුණක් නොවන බවයි.
”බලය භාවිත කිරීම සහ ඒ නිසා ඇති වන ආර්ථික හානිය ඇතුළු ඇමරිකානු ප්‍රතිපත්තියේ ඇති චපල/අස්ථාවර බව (volatility), බොහෝ දෙනකු නොසන්සුන් කර තිබෙනවා,” ඔහු සඳහන් කළේය.
පියු ආයතනයේ සමීක්ෂණය ආරම්භ වූයේ ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම ගැන ට්‍රම්ප් ඔහුගේ වාචාල කතා දැඩි කළ සහ ඇමරිකාව විසින් වෙනිසියුලාවේ නායක නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගත් කාලයට නොබෝ වේලාවකට පසුවය. ඡන්ද විමසීම් සිදු කෙරුණු කාලය තුළ ඇමරිකාව ඉරානය සමඟ යුද්ධයක්ද ආරම්භ කර තිබුණි.

ආචාර්ය චොං වැඩිදුරටත් පැවසුවේ ”චීනය නිරපේක්ෂ වශයෙන්ම ජනප්‍රියද යන්න විවෘත ප්‍රශ්නයක් වුවද, දැනට එය වඩාත් පුරෝකථනය කළ හැකි (predictable) රාජ්‍යයක් ලෙස පෙනෙනවා. බීජිං පාලනය තම ප්‍රතිරූපය ඔප්නංවා ගැනීමටද දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිනවා,” විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ.
චීනය කෙරෙහි ඇති ඉහළ හිතකර ලකුණු සහ ෂී කෙරෙහි ඇති සාපේක්ෂව අඩු විශ්වාසය අතර පවතින විෂමතාව පිළිබඳව ආචාර්ය චොං පැවසුවේ, චීනය ”වඩාත් පුරෝකථනය කළ හැකි බැවින් සමහරුන්ට වඩාත් පහසුවක් දැනිය හැකි වුවද, ෂී යනු ප්‍රධාන ඒකාධිපති චරිතයක් (authoritarian figure) යන කරුණ ඉන් බැහැර නොවන” බවයි.
ෂීගේ නායකත්වය යටතේ චීනය ”වඩාත් තිරසාර සහ ව්‍යාප්තිවාදී හිමිකම් පෑම් අනුගමනය කර ඇති අතර, අනෙක් අයද ලෝකය දෙස බලන තම මතයට එකඟ විය යුතු බවට වැඩි වැඩියෙන් බල කර සිටිනවා” - සහ එරට සුළුතර ජාතීන්ට සලකන ආකාරය පිළිබඳවද ප්‍රශ්න ඉතිරිව පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
”මම හිතන්නේ මිනිසුන් වඩාත් දැඩි සහ ආර්ථික වශයෙන් අඩු සහයෝගයක් දක්වන ප්‍රතිපත්ති ෂීගේ පෞද්ගලික දේවල් ලෙස සලකන අතර, තාක්ෂණික දියුණුව වැනි වඩාත් සාධනීය අංග සමස්තයක් ලෙස චීනය සමඟ සම්බන්ධ කර බලනවා.”
බී.බී.සී ඇසුරිනි
කේ. ආර් විතානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd