මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහත් විද්‍යාර්ථ විදුහලක් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරඟය මහත් ඛේදවාචකයකින් අවසන් වීමේ පුවතක් ඉකුත් සතියේ වාර්තා විය.

එම මහා ක්‍රිකට් තරගයේ ආරක්ෂක කමිටුවේ සිටි ශාන්ත සිල්වෙස්තර විදුහලේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකු එහි රාජකාරි කටයුතු සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (02දා) පල්ලේකැලේ ක්‍රීඩාංගණය බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පෙරවරු 6.20 ට පමණ පල්ලේකැල්ලේ යුද හමුදා කඳවුර අසලදී සිදුවූ මාරක රිය අනතුරකින් එම සිසුන් දෙදෙනාම මෙලොව හැර යාමේ ඛේදජනක පුවතක් වාර්තා වූයේ මහනුවර පමණක් නොව මුළු රටටම ශෝක පණිවිඩයක් ගෙන එමිනි.

එම විදුහලේ උසස් පෙළ ගණිත අංශයේ අධ්‍යාපනය හදාරමින් සිටි නෙතුල නිම්දිනු සහ සචිත් කරුණාරත්න හොඳම යහළුවන් දෙදෙනකු පමණක් නොව පාසලේ අධ්‍යාපනයට ද අති දක්ෂ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙක් වූහ.

මහා ක්‍රිකට් තරගයේ ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ මහා ක්‍රිකට් තරගයේ ආරක්ෂක මිටුවේ රාජකාරි කටයුතුයි.ඒ අනුව ක්‍රීඩාපිටියට ඇතුළුවීමේ දොරටුවේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම කටයුතු මෙහෙයවීම වීම සඳහා ඉකුත් 02 වැනිදා පාන්දර 5.50 ට පමණ මෙම හොඳම යහළුවන් දෙදෙනා යතුරුපැදියක නැගී මහනුවරින් පිටත් වූයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය බලා යාමටය.

මේ අනුව එම මාර්ගයේ ලේවැල්ල, තැන්නේකුඹුර, බලගොල්ල ආදී ප්‍රදේශ පසු කරමින් පල්ලෙකැලේ යුද හමුදා කඳවුර අසලට ඔවුන් පැමිණියා පමණි. ධාවනය කරමින් සිටි යතුරුපැදිය ඔවුන්ගේ පාලනයෙන් මිදී මාර්ගයේ ඉස්සර කර යා නොහැකි තනි ඉරද පසු කරමින් දකුණට ඇදී ගොස් හුන්නස්ගිරියේ සිට මහනුවර බලා වේගයෙන් ධාවනය වෙමින්  තිබූ බස් රථය දෙසට ගමන් කොට ඇත්තේ යතුරුපැදිය පැද වූ නෙතුලටද නැවත යතුරුපැදිය තම පාලනයට ගැනීමට ඉඩ කඩ නොතබමිනි.

යතුරුපැදිය බස් රථයේ රියැදුරු ආසනයට පහළින් ඇතුළුවී එහි ටයරය දක්වා ගමන්කොට සිරවී සැලකිය යුතු දුරක් ඇදී ගොස්  ඇති බව එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ.

අනතුරෙන් නෙතුල එම ස්ථානයේදීම මෙලොව හැර ගිය අතර සචිත් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවිය හැර ගිය බව වාර්තා විය.

මෙම මහා ඛේදවාචකය වාර්තාවීමත් සමග සමාජ මාධ්‍ය උණුසුම් වී ගියේ ළමා විය නොඉක්මවූ දරුවන්ට යතුරුපැදි ඇතුළු වාහන ලබාදෙන දෙමව්පියන්ට දෙස් දෙවොල් තබමිනි. 

සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ මෙම පාසලේ සිසුන් ගණනාවක් මීට පෙරද යතුර පැදි අනතුරුවලින් මෙලොව හැර ගොස් ඇති බවය.

එය එසේ නම් විමර්ශනයට අවධානයට ලක් නොවූ මහා වරදක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනන බව නම් පැවසිය යුතුවම ඇත.

කෙසේ නමුත් මෙම ඛේදවාචකයෙන් පසු මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරයෙන් පසු දෙවිදුහලේ විදුහල්පතිවරුන්ගේ එකඟත්වය මත තරගය නවතා දැමීමට තීරණය කෙරුණේ සිල්වෙස්තර විදුහලේ ආදී සිසුවකු වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ගේ ඉල්ලීමක් පරිදිය.

වසරකට වරක් සංවිධානය කෙරෙන මහා ක්‍රිකට් තරඟයක් යනු පාසල් දරුවන්ට කෙසේ වෙතත්  පාසල්වල අධ්‍යාපනය හැදෑරෑ ආදි ශිෂ්‍යයන්ට එය මහා මංගල්‍යයකි. ඔවුන්ගේ පැරුණි පාසල් ගජ මිතුරන් හමුවීම, විනෝද වීම මෙන්ම තම පාසල් අවධියේ දුටු මුහුණු දැකීමත් නැවතත් සුන්දර පාසල් අවධිය කරා ගෙන යාමකි. 

එහෙත් මෙම ඛේදවාචකයෙන් පසු ආදී සිසුන්ටද එවැනි විනෝදයක් ලැබීමට තරම් පසුබිමක් ඇති නොවනවා නොඅනුමානය. 

මෙම මහා ඛේදවාචකය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ දැකීමට ලැබුණු තවත් සංවේදී දසුනක් වූයේ මියගිය එක් සිසුවකුගේ මවක් විදේශ රටක සිට මෙරටට පැමිණීමට ගුවන් යානා පහසුකම් ලබා ගැනීමට නොහැකිව හඬා වැලපෙන ආකාරයයි. බොහෝ විට ඇය ගල්ෆ් කලාපයේ සේවයේ නියුතු මවක් විය හැකිය.

දෙමව්පියන් මෙතරම් මානසික අතෘප්තියට පත් වන්නේ ද ඔවුන්ගේම වරදිනි. වැඩදායක පුරවැසියන් ලෙස රටේ අනාගතය බාර ගැනීමට තරුණ ජීවිත මෙරටට අහිමිවන්නේද බොහෝ දෙමව්පියන්ගේ වගකීමෙන් තොර ක්‍රියා කලාපය හේතුවෙනි.

ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ මෙම සිසුන් මේ මට්ටමට එම සිසුන් ගෙන ඒමට දෙමවුපියන් මොන තරම් කැපවීමක් සිදුකොට ඇද්ද යන්න ඉතා බැලිය යුතු කාරණයකි.

දෙමව්පියන් දරුවන්ට කෙතරම් ආදරය කළද ඔවුන් ඉල්ලන දේ ලබාදීමේදී දෙවරක් සිතා බැලිය යුතුවේ. 

මෙවැනි වයසේදී යතුරුපැදියක් ඔවුන්ගේ අතට ලැබුණ හොත් එහි බරපතලකම සම්බන්ධයෙන් ඔවුහු කිසි සේත්ම අවධානය යොමු නොකරති. මේ අනතුර සිදුවී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමේදී ද එය පැහැදිලිව පෙනී යයි. අනතුර සිදුකළ බස් රථ රියැදුරාද පවසා තිබුණේ යතුරුපැදිය බස් රථය දෙසට ඇදී එන විට කිසිවක් කර ගැනීමට නොහැකි වූ බවත් කිරීමට තිබූ එකම විකල්පය වූයේ රථය පාරෙන් ඉවතට පන්නවා එය පෙරළා දැමීම බවත්ය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙවැනි අනතුරුවලට ලක්වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ වාට්ටුවක සේවය කරන හෙදියක් වන දර්ශී උපේක්ෂා නමැති සොයුරියක් හෙදියකගේ දිනපොත නැමැති සමාජ මාධ්‍ය පිටුවක තබා තිබූ සටහනක මෙසේ සටහන් කර තිබිණ.

“අද අප්‍රේල් (02දා) උදෑසන මහනුවරින් ඇසුණු ඒ කණගාටුදායක ආරංචිය මුළු රටේම හදවත් කම්පා කළා. මේක මේ අහපු පළවැනි අනතුරවත් අන්තිම අනතුරවත් නොවේ. රෝහල් වාට්ටු ඇතුළේ සිටින අපට දවස ගානේ ලේ පෙරාගෙන, අත පය කඩාගෙන, කොඳු ඇට කඩාගෙන ප්‍රතිකාර සඳහා පැමිණෙන බාලවයස්කාර දරුවන් දකින එක සාමාන්‍ය දෙයක් වෙලා. 

යතුරුපැදිය බස් රථයේ රියැදුරු ආසනයට පහළින් ඇතුළුවී එහි ටයරය දක්වා ගමන්කොට සිරවී සැලකිය යුතු දුරක් ඇදී ගොස්  ඇති බව එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. අනතුරෙන් නෙතුල එම ස්ථානයේදීම මෙලොව හැර ගිය අතර සචිත් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවිය හැර ගිය බව වාර්තා විය.

 

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සහ දැඩි නිරීක්ෂණ ඒකකයේ පුහුණුවක් ලැබීමට මට අවස්ථාව ලැබුණා. එම කාලයේදී තරුණ දරුවන් නිතර දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන ආකාරය දැකගන්න ලැබුණා. 

මෙවැනි සිදුවීම්වලින් අවසානයේ දෙමව්පියන්ට වෙන්නේ හම්බ කරපු සේසතම වියදම් කරගෙන ආබාධිත දරුවෙක් ජීවිත කාලෙටම බලා ගැනීමට සිදුවීමයි. එසේ නොමැති නම් දරුවන්ගේ මළගමට සූදානම් වීමයි.

මෙවැනි සිදුවීම්වල කාටත් නොපෙනෙන අනෙක් පැත්තක්ද මෙහි තිබෙනවා. එවැනි අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කිරීමට රජයට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. දිනකට ලක්ෂ ගණනක් ඇතැම් විට මිලියන ගණනක් දක්වා රජයට වැය කිරීමට සිදුවෙනවා. එය රටක ආර්ථිකයට කෙතරම් බලපෑමක්ද.

තරුණ ජීවිත මේ ආකාරයෙන් පාරේ කුඩු පට්ටම් වන්නේ කාගේ වරදින්ද? වයස අවුරුදු 16-17 කියන්නේ සිතුවිලි කැලඹෙන වයසක්. ඒ වයසේ දරුවන්ට පාරේ තිබෙන අවදානමක් තේරෙන්නේ නැහැ. එවැනි දරුවන්ට යතුරුපැදියක් අතට දෙනවා කියන්නේ මාරයා ළඟට යාමට පාර පෙන්වන එකයි.” 

ෂේන් සෙනෙවිරත්න