
ලංකාවේ සිව් කොනේ කොහේ සිට වූව ද, රට අභ්‍යන්තරයට ගමන් කිරීමට අවශ්‍ය වූවකුට ඊට ගතවන්නේ හෝරා කිහිපයකි. උතුරෙන් ද, නැගෙනහිරින් ද, බටහිරින් ද, නොඑසේ නම් දකුණෙන් ද – රටෙහි මධ්‍යය වූ මහනුවර, නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයකට පැමිණීමට ගතවන කෙටි කාලය හෝරා කීපයක් වූවද, පැමිණි ක්ෂණයෙන් එහි සොබා චමත්කාරයෙන් සිතත් ගතත් සමාධිගත වන්නට වැයවන්නේ නම් නිමේෂයකි.
මේ මහනුවර සිට නුවරඑළියට යන - එන කාටත් දැකිය හැකි සුන්දර ස්ථාන පිළිබඳව තබන සටහනකි.
මහනුවරට පැමිණි අයෙකුට නුවරඑළියට යාමට ගත වන්නේ පැය දෙකක් හෝ තුනක් වැනි කාලයකි. මහනුවර සිට පැමිණෙන ඕනෑම අයෙකුට ගම්පොළින් කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා ආ පසු - කොත්මලේ තවලන්තැන්න කුඩා නගරය හමුවේ.
තවලන්තැන්න යනු කොත්මලේ අනන්‍යතාව කෙසේද යන්න බලන්නට මඟපෙන්වන මං සන්දිය බැව් නොරහසකි. තවලන්තැන්නට කිලෝමීටරයක් පමණ ගම්පොළ දෙසට වන්නට ගියවිට හමුවෙන “හනුමන්තා කෝවිල” හින්දු ජනතාවගේ මුදුන් මල්කඩ බඳුය. ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු හනුමන්තා කෝවිල රාම රාවණ සටනේ දී හනුමන්තා ගේ කාර්යභාරය හා බැඳුණු අතීත සිදුවීම් රැසකට පාත්‍රව තිබේ .
හනුමන්තා කෝවිල නැරඹූ බොහෝමයක් දෙනා දෙවැනුව ගතට යම් උණුසුමක් සොයති. ඒ නිසාම ඔවුහු සෙසු ස්ථාන නැරඹීමට පෙර, හකුරු කැබැල්ලක් සමග කහට කෝප්පයක රස බලන්නට අමතක නොකරති.
තවලන්තැන්න පසුකර නුවරඑළිය දෙසට ටික දුරක් යනවිට සොඳුරු ලලනාවක් කෙහෙරැලි විහිදුවා සිටින්නාක් සේ - විටෙක චණ්ඩවත්, විටෙක සන්සුන් ලීලාවෙනුත් ගලා හැලෙන“ගැරඬි ඇල්ල” නමැති සුන්දර දිය ඇල්ලෙන් ගලායන දියදහරා දැකගන්නට යනෙන ඕනෑම අයකුට හැකිය.
එකී සුන්දර ගැරඬිඇල්ල දියඇල්ලේ දියදහරා නෙතට රසඳුනක් කරගනිමින් තවදුරටත් ඉදිරියට යන විට ගත පමණක් නොව සිත ද කීරි ගැසී යන මෑතක දී ප්‍රකට වූ “රම්බොඩ ඛේදජනක බස් අනතුර” නිසැකවම මතකයට නැංවෙන සෝ බර ස්ථානය හමුවේ.
අද වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පස් යොදා කණ්ඩියක් සේ සකසා එම ස්ථානය තාවලිකව පිළිසකර කර තිබීම පැසසිය යුතුය. කෙසේ වෙතත් අනතුර සිදුවූ එම ස්ථානය පසුකර ටික දුරක් යන විට දකුණු පසෙන් ලාංකීය තේ කලාව අරුත් ගන්වන" Tea bush" තේ කර්මාන්ත ශාලාව දෘශ්‍යමාන වේ. තවත් කිලෝ මීටර් භාගයක් පමණ ගිය පසු “ලාංකීය මාර්ග සංවර්ධන කලාවට” නව මානයක් එක්කළ “රම්බොඩ බිංගෙය” හා පැරණි “රම්බොඩ ගල්ලෙන” සහිත මාර්ගය හමුවේ.
ඉංග්‍රීසි ආණ්ඩු සමය ලාංකීය මාර්ග පද්ධතිය ගොඩ නැංවීමෙහිලා මහඟු සේවයක් කළ බව අවිවාදිතය. එනයින් ගත්කල ගම්පොළ නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී ඔවුන් ස්වභාව සෞන්දර්යයට නිසි වටිනාකමක් දීමට වැඩි සැලකිල්ලක් දක්වා ඇතැයි හැඟෙනුයේ විශාල ප්‍රමාණයේ ගල්කුළු කීපයක් එලෙසම පවතින ලෙස ඊට යාබදව මාර්ගය ඉදිකරන්නට ඔවුන් කටයුතු කර ඇති නිසාය.
එතැන් පටන් කාලය ගතවත්ම ලාංකීය මාර්ග සංවර්ධනයේ නව කාල පරිච්ඡේදයක් සනිටුහන් කෙරුණු රාජපක්ෂ පාලන සමයේ දී - ගම්පොළ නුවරඑළිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගත් අතර, ඔවුන් ද යට කී රම්බොඩ ගල්ලෙන සහිත මාර්ගය පෞරාණික ස්ථානයක් බවට පත් කරමින්, ඊට යාබද පොළොව අභ්‍යන්තරයේ උමගක් තනවා ඒ තුළින් ගමනාගමන පහසුකම් සැලැස්වීය. එය ලාංකික මාර්ග සංවර්ධන ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණු අවධියක් බව අවිවාදිතය.

කොත්මලේ හනුමන්තා කෝවිල
රම්බොඩ උමං මාර්ගය ශ්‍රී ලංකාවේ දිගම උමංමාර්ගය වේ. මෙකී උමඟ රම්බොඩ කපොල්ලට විකල්ප මාර්ගයක් වශයෙන් ඉදිකරන ලද්දකි. උමග මීටර225 දිගකින් හා මීටර 7 පළලකින් හා ධාවන මං තීරු දෙකකින් සමන්විතය. රම්බොඩ කපොල්ල හා රම්බොඩ ඇල්ල උමංමාර්ගය ආසන්නයේ පිහිටා ඇති අතර, මෙම උමංමාර්ගයේ වැඩ කටයුතු 2006 ජූනි අරඹන ලද අතර, 2008 පෙබරවාරි වන විට එහි වැඩ කටයුතු නිම කිරීමට පියවර ගැනිණි. 2008 පෙබරවාරි මස 24 වැනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම උමං මාර්ගය විවෘත කරන ලදී. 2008 මාර්තු දෙවන දින මෙම උමං මාර්ගය මහ ජනතාව වෙනුවෙන් විවෘත විය.මෙම මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව හරහා ජපන් රජය විසින් ජපන් යෙන් මිලියන3,078ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන3.1ක) අරමුදලක් සපයා ඇත. උමංමාර්ගය සඳහා පමණක් වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.
රම්බොඩ උමංමාර්ගය හා දුර්ගය පසුකර මීටර් සීයක් පමණ ගිය පසු සුන්දර රම්බඩ දිය ඇල්ල හමුවේ.
මුහුදු මට්ටමේ සිට මීටර් 945 ක් උසින් පිහිටි රම්බොඩ දියඇල්ල මීටර්109 ක උසකින් යුක්තය. එය ලෝකයේ උසින් 729 වැනි දියඇල්ල වේ. රම්බඩ නගරයේ සිට දියඇල්ලට මීටර් හත්සිය පනහක් පමණ දුරක් ඉහළට ගමන් කළ පසු ප්‍රධාන දියඇල්ල දක්නට හැකිය. දැඩි අනතුරු දායක ස්වභාවයක් සහිත ඇතැම් ස්ථාන පිළිබඳව එය නැරඹීමට යන පිරිස අනවබෝධයෙන් කටයුතු කිරීම අන්තරායකාරී බැව් සටහන් කළ යුතුමය.
රම්බොඩ නුවරඑළිය මාර්ගයට යාබදව ගලායන රම්බොඩ දියඇල්ලේ දිය දහරාව සමග ඇයිහොඳැයිකම් පවත්වන්නට යන ඇතැම් විනෝදකාමී නරඹන්නන් රම්බොඩ දියඇල්ලේ රුදුරුබව නොවටහාගැනීමෙන් ජීවිතවලින් වන්දි ගෙවු අවස්ථා ද විරල නොවේ. ඊට හේතු කිහිපයකි. දිය ඇල්ලේ ඉහළ කොටසට වර්ෂාව පතිත වන අවස්ථාවල රම්බොඩ මාර්ගය සහ අවට ප්‍රදේශයට වර්ෂාව ඇද නොවැටෙන අවස්ථා ද ඇත. එවන් අවස්ථාවක ඉහළ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂා ජලය දියඇල්ලට එකතුවී රුදුරු ලෙස ගලා එන විට, ඒ පිළිබඳව අනවබෝධයෙන් වතුරට බැස සිටින විට පුද්ගලයන් ඊට ගොදුරු වී සිය ජීවිතයෙන් වන්දි ගෙවූ ආසන්නතම පුවත වාර්තා වූයේ 2022 වර්ෂයේ අප්‍රේල් මස22 වන දිනය.
රම්බඩ ඇල්ලේ සොඳුරු සිතුවම් සිත් තුළ රඳවා යළිත් ගමන් ආරම්භ කරන කාටත් තවත් මීටර් සීයක් පමණ ගිය පසු හමුවන“හෙළ බොජුන් හලෙන්” තමන් කැමති ආහාර පාන රස විඳින්නටද හැකිය. ඊට යාබදව ඈතින් පෙනෙන“පූනා ඇල්ල”ද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් සේම, කොත්මලේ ඇති සොඳුරු බව ලොවට නිරූපිත ප්‍රබල සළකුණකි. නුවරඑළියේ සිට සෙමින් සෙමින් නිසොල්මනේ ගලා බහින එකී ඇල්ල තවත් එක් දියඇල්ලක් නොව - ලංකාවේ පිහිටි ප්‍රධාන දියඇල්ලක් ලෙස මතක රැසක් එකතු කරමින් කොත්මලා ඔය තෙක් ගලා බසී.
රම්බොඩ පසුකර කිලෝමීටර් තුනක් පමණ ගිය පසු හමුවන පලාගොල්ල ගම්මානය- සංචාරක ක්ෂේත්‍රයට නව මානයන් එක් කළ සොඳුරු ගම්මානයකි. එම ගම්මානයේ ගෙවතුවල සරුවට වැවෙන ඩේලීයා ,ප්‍රෙටෝනියා, ඇඟබැන්දස් වැනි නානා විධ නම් වලින් හඳුන්වන මල් එකතු කර සාදන මල් කලඹ විකුණා සිය ගතේ හා සිතේ මහන්සියට පණම් හතරක් හොයන්නට දඟලන තරුණ හා තරුණියන් සිටින්නේ මෙකී ප්‍රදේශයේය. වෙදමුල්ල සිට පලාගොල්ල දක්වා ඇති වංගු සහිත මාර්ගයේ සංචාරකයන් ඉලක්ක කර, ඔවුන් තමන් සැකසූ මල් කලඹ විකුණන්නට උත්සුක වන්නේ කඩියන් සිහියට නංවන කඩිසර බවකිනි. එහිලා විදේශීය සංචාරකයන් සිය වසඟයට ගන්නට ඔවුන් ප්‍රකට කරවන කුසලතාව ප්‍රශංසනී ය. මේ මෑතක දී දෙස් විදෙස් මාධ්‍ය හරහා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයකට රසමසවුලක් වූ ජනප්‍රිය “මල් කොල්ලා ” සිටියේ ද ප්‍රස්තුත කොත්මලේ “පලාගොල්ල”ගම්මානයට නුදුරිනි.

පූනා ඇල්ල
ගම්පොළ නුවරඑළිය මාර්ගය ලාංකීය ජනමනසට නව අරුත් සපයන තෝතැන්නකැයි කීම මුසාවක් නොවේ. ගහේ වැලේ මලේ කොලේ කුමකට වූව ආර්ථික වටිනාකම් එකතු කර ජීවනෝපාය සරිකර ගන්නට- දූරදර්ශීව නිර්මාණශීලී කටයුතු කරන උත්සාහවන්ත මිනිසුන් මෙකී දනව්වෙහි වෙසෙන බැව් කීම අතිශෝක්තියක් නොවේ. බිම්මල් සමග පොල් රොටිය ද, කිතුල් හකුරු සමග කහට කෝප්පය ද, ඔවුන්ගේ ජීවන ගමනට අත්වැල සපයන්නට දක්වන දායකත්වය සුළු පටු නොවේ. නුවරඑළිය, කැප්පෙටිපොළ, දඹුල්ල හා මැනිං තොග වෙළෙඳපොළ නොදෙවෙනි ගම්පොල නුවරඑළිය මාර්ගය යාබදව පිහිටි“එළවළු වෙළෙඳසල්” දකින පෙනෙන කාටත් නැවුම් එළවළුවක රස බලන්නට සිත් දෙන අවස්ථා එමටය.
පලාගොල්ල පසු කරන කාටත් - සතරඅත දිස්වන කඳුපන්ති, නානා විධ මනෝමය සිතුවම් මවන බව නොරහසකි. ඉහළින් පෙනෙන කොණ්ඩගල කඳුවැටිය ද, බටහිරින් පෙනෙන කිකිලියාමාන කඳුවැටිය ද, ඈතින් පෙනෙන කොටගේපිටිය කඳුවැටිය ද - කොත්මලේ රකින මහාපවුරු බඳුය. එකී කඳුවළලු පසුකරමින් නුවරඑළිය මාර්ගයේ තවත් දුර ඇවිද යනවිට - මගදෙපස පිහිටි නිමක් නොපෙනෙන තේ වතුයායන් මහාමේරුව සේ නිසසලව සිටිමින් රට්ටුන් ගේ පමණක් නොරටුන් ගේ ද රස නහර සනහාලන්නටත්, සිතට ගතට ප්‍රබෝධයක් අත්කර දෙන්නටත් “තේ දල්ලේ” කහටරසය මැවුමට දක්වන දායකත්වය සුළුපටු නොවේ.
“ගන්න අලුත් එළවලු....ගන්න අපෙන්....එළවලු” කියමින් පාර දිගේ දුවන ගැමියන් ගේ - වැස්සට තෙමෙන අව්වට වේළෙන දිවියට බිංදු මාත්‍රයකින් හෝ ඔබට මට සිසිලසක් වෙන්නට හැකිනම් කෙතරම් අපූරුදැයි හැඟෙනුයේ, ඔවුන් ගේ මුවින් නැගෙන අහිංසක සිනාව දුටුමනතිනි.
කොත්මල් කොමළියගේ චමත්කාරය – පෑනෙන්, පැන්සලෙන් හා දිය සායමෙන් සිත්තම් කරන සිත්තරුවෝ ද මෙහි සිටිති. කොත්මලේ රම්බොඩ දියඇල්ල අසල ද, පූනාඇල්ල අසල ද, ඔවුහු ස්ථානගතව සිටිති.
සඳේ ළප ඇතැයි කීව ද, රෝස මලේ නටුවෙ කටු යැයි කීව ද, - සඳට ආලකම් පාමින් මුවග රෝසමලට ළං කොට සිඹින ආකාර ද ඕනෑ තරම් දැකිය හැකිය. එලෙසම කොත්මල් මිටියාවතෙහි ජන මනසේ ඇඳුණු මියුරු සිතුවම් චිත්‍රණය කරන්නට දඟලන ලොකු කුඩා බාල මහලු කොයි කාටත් ස්වභාව ධර්මයා විටෙක රුදුරු ලෙස සැලකුව ද, විටෙක පාන සෙනෙහෙබර ආලවන්තකම් ද කොයිතරම් යැයි නම් ගැණිය නොහැකිය.
එලෙස නම් - එකී අපූරු සිතුවම් මවන කොත්මල් කොමළිය ගේ අපූරු බව දෑසින් බලා සිතින් විඳින්නට කොයි කාට කාටත් ආරාධනා...
නාවලපිටිය
සිසිර ලලිත් කුමාර

රම්බඩ උමග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd