
තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වී ඇත. මෙරට ජනතාව උත්කර්ෂවත් උලෙළ ලෙස සලකන මෙම උලෙළ පිළිබඳව බොහෝ දෑ ලියැවී ඇත. එහි විවිධ වටිනාකම් අගනාකම් ගැන කොතෙකුත් කතා කර ඇත. එහෙත් වත්මන් අවුරුද්ද මේ සියල්ලටම වඩා වෙනස් මුහුණුවරක් පෙන්නුම් කරන අවස්ථාවකි යන අදහස අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය. අද අවුරුද්ද සිංහලයාගේ උරුමය විදහාලන්නකට වඩා සමාජ අවශ්‍යතා අනුව හදාගත්තක් ය යන්න අවුරුදු උදාව, අවුරුදු සිරිත සහ එම ක්‍රියාකාරකම් දෙස විමසුම්ව බැලූ විට පෙනෙන්නකි.
ඓතිහාසික සටහන් නැත
මූලිකව සැලකුවහොත් අද පවත්වන සිංහල අලුත් අවුරුදු උලෙළ පිළිබඳව මෙරට ජාතික ඉතිහාසයේ සුවිශේෂව සඳහන් නොකිරීම හා ඒ පිළිබඳ ලිඛිත, ඓතිහාසික සාධක නොපැවතීම විශේෂිත කරුණකි. ජාතියේ ඉතිහාසය ලියැවී තිබෙන මහාවංශයේ හෝ එයට පසුව ලියැවුණු වන්සත්තපකාසිනී මහා වංශ ටීකාවෙහිත්, ප්‍රධාන ධර්ම ශාස්ත්‍රීය කෘති වන ධර්මප්‍රදීපිකාව, සද්ධර්මරත්නාවලිය. පූජාවලිය වැනි මූලාශ්‍රවලත් තනි සිංහල අවුරුද්දක් ගැන සඳහන් වී නොමැත. අවුරුදු උත්සවයක් ගැන අපේ ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 1781) රාජ්‍ය කාලයේදීය. එහෙත් එය අද අප පවත්වන අවුරුදු උලෙළ නොවන බව ක්ලිපට් හෝල්ට් නම් විදේශීය ලේඛකයා ලියූ “ද රිලිජස් වර්ඩ්ල් ඔෆ් කීර්ති ශ්‍රී” නම් පොතේ සඳහන් කරුණුවලින් පැහැදිලි වෙයි. එමෙන්ම එය පොළොන්නරුවේ රජ කළ මහ පැරකුම් රජුගේ ළමා කාලයේ දී පැවැත් වූ වසන්ත සැණකෙළියක් ගැන මහා වංසයේ 64 වැනි පරිච්ඡේදයේ සඳහන් උලෙළට සමාන එකක් නොවන බව ද පැහැදිලි කරුණකි. රොබට් නොක්ස් ලියා ඇති අවුරුද්ද මාර්තු 26, 27, 28 දිනවල රජුගේ උපදෙස් මත සිදුවූවක් බව පෙනෙන්නේය. මෙයින් පෙනෙන්නේ අද අප පවත්වන අලුත් අවුරුදු උලෙළ අපේ ජාතික ඉතිහාසයේ ආරම්භයේ සිට දක්නට නොලැබුණු බවය.
සිංහල අවුරුද්ද ගැන ලිපියක් ලියන මාර්ටින් වික්‍රමසිංහයන් පවසන්නේ සිංහල අවුරුදු උත්සවය ද ජාතික උත්සවයක් ලෙස පළමු වරට කොළඹ නගරයේ පවත්වනු ලැබුයේ 1914 දී බව ය. මෙම කටයුතු සංවිධානය කරනු ලැබුයේ සිංහල තරුණ සංගමය බව කියන වික්‍රම සිංහයන්, සර් ඩී.බී. ජයතිලක, හෙන්රි ද මැල්, දොස්තර නෙවිල් ප්‍රනාන්දු, පෝල් ඊ. පීරිස් වැනි ජාතික නායකයන් එහිලා මූලික වූ බව කියයි.
මේ ඉෂ්ට දේවතාවන් සිහි කිරීම පුණ්‍ය කාලය ලෙස වෙනස් වූයේ 19 වැනි සියවසේ ඈපා පංචාංග ලිතෙන් බව ප්‍රකට කරුණකි. එවකට සිදුවෙමින් පැවති බෞද්ධ පුනර්ජීවනයට උපකාර කළ විදුදය පිරිවනේ ප්‍රධාන දායකයකු වූ ඈපා අප්පුහාමි මෙහි දී ‘පුණ්‍ය කාලය’ අවුරුදු සිරිතට එකතු කළ බව නො රහසකි.
සිංහල දෙමළ අවුරුද්ද?
සිංහල අවුරුද්දේ ප්‍රචලිත හඳුනාගැනීමක් නම් එය සිංහල සහ දෙමළ අවුරුද්දක් බවය. එහෙත් හින්දු සංස්කෘතියට අනුව අලුත් අවුරුද්දක් නමින් එක් දවසක් පැවතිය නොහැකිය. හින්දු සංස්කෘතිය විශ්වාස කරන්නේ බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් මිනිස් ලොව එක් අවුරුද්දක් බවය. එමෙන්ම අවුරුද්දත් දවාල හා රාත්‍රිය ලෙස බෙදේ. ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් සිට නොවැම්බර් 02 දීපාවලි දක්වා කාලය දවාලයි. නැවත දීපාවලී සිට පොංගල් දක්වා කාලය රාත්‍රියයි. මේ නිසා හින්දු සංස්කෘතිය මුල් බැසගත් උත්තර භාරතයේ අලුත් අප්‍රේල් 14 වැනිදා වසන්ත උත්සවය ලෙස සලකා පවත්වන “සිත්තර පුත්තණ්ඩු විසිරෙයි පිරප්පු සහ සිත්තර වර්ෂම්” යන නම්වලින් හඳුන්වන උලෙළක් ඇත. සිත්තර යනු වර්ෂයේ හතර වැනි මාසයේ පවත්වන උත්සවය යන තේරුම ගත්තත් එය අපේ අවුරුද්දට කිසිසේත් සමාන වන්නේ නැත. එයට හේතුව එය එක දවසකට පමණක් සීමාවීමය. මෙම දිනය සිංහල සහ හින්දු දෙඅංශයටම වැදගත් වීමට බලපෑ විශේෂ හේතුව නම් 1886 ජනවාරි 15 වැනිදා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ විවාද කළ 1886 අංක 04 දරන නිවාඩු පනත් කෙටුම්පතය, එහි දී මුදල් භාණ්ඩාගාරික පැටර්සන් පැවසුවේ මිනිසුන් වැඩිපුරම නිවාඩුගෙන ඇත්තේ සිංහල අවුරුද්ද (අප්‍රේල් 11) වුවත්, යාපනේ ද දෙමළ ජනයා අප්‍රේල් 11 ආගමික උත්සවයක් පවත්වන නිසා මෙම නිවාඩු දින දෙක බෞද්ධ නිවාඩු දිනය හා හින්දු නිවාඩු දිනය ලෙස උපලේඛනයට ඇතුළු කළ යුතු බවය. ඒ අනුව ගැසට් පත්‍රයේ පළ වූයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙසය. ලංකාවේ බහුතර හින්දුන් දෙමළ වීම නිසා පසුව සිංහල හා දෙමළ අවුරුද්ද බවට නීතිගත වී යැයි සිතිය හැකිය.
නැකත
අලුත් අවුරුද්ද පිළිබඳව පවතින තවත් ප්‍රචලිත අදහසක් වන්නේ අවුරුද්දට නැකත අවශ්‍ය බවය. එහෙත් සංකල්පීය වශයෙන් අලුත් අවුරුද්ද නක්ෂත්‍රය මත පමණක් පදනම් වී ඇත යන මතය ශාස්ත්‍රීය වශයෙන් පිළිගත නොහැකිය. අපේ පැරණි කෘෂි සමාජය පොළොව සමඟ කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ බවත්, මහ පොළොවේ ස්වාභාවික ක්‍රියාවලිය හරියටම තේරුම්ගෙන පැරැණි සිංහලයා තම ජීවන රටාව හදාගත් බවත් පැහැදිලි කරුණකි. එසේ බලන විට මහ කන්නය නම් ප්‍රධාන කන්නයේ අස්වනු ටික ගෙට ගැනීමේ සතුට මෙහිදී මූලික වෙයි. ඊළඟට ඔවුන්ට ඒ සතුට ලබාගැනීමට උදව් වුණ අයට කරනු ලබන යම් යම් යාතුකර්ම පිළිවෙත් හඳුනාගත හැකිය. මෙම ක්‍රියාවලිය ඇතුළේ තිබෙන සංස්කෘතිය ද වැදගත් ය. හිරු පිළිබඳ විශ්වාසය ඉන් එකකි. ආර්යයන් පර්සියාවේ සිට ඉන්දියාවට ගමන් කළේ මෙබඳු ඇදහිලි පද්ධතියකුත් රැගෙන බව සත්‍යයකි. එය ලංකාව වැනි රටවලට එන විට බොහෝ වෙනස්වීම්වලට ලක්වීම ද කැපී පෙනෙන්නකි.
අපේ සාම්ප්‍රදායික උත්සව සියල්ලම චන්ද්‍ර මාස ක්‍රමය අනුව යෙදී තිබුණත් අපට සූර්යයා හා සූර්ය මාස ක්‍රමය ගැන මුල් වරට කියා දුන්නේ බක්මහ අවුරුද්දෙන් බව කිව යුතුය. නැකත පිළිබඳ අදහස තවදුරටත් ගත හොත් නැකත් අපේ ඉතිහාසය ආරම්භයේ සිටම එනම් පඬුවස්දෙව් රජ කාලේ තිබූ නැකත් කෙළිය දක්වාම දිවෙන බව කිව යුතුය. එහෙත් අලුත් අවුරුද්දට අද අප කරන ජ්‍යොතිෂ කටයුතු පසුව එකතු කළ දේවල් බව පැහැදිලිය. එයට හොඳම උදාහරණය තමා පුණ්‍ය කාලය. අතීතයේ නැකත් කෙළි තිබූ සමාජයක නැකත් නැති කාලයක් ද පවතින්නට ඇතැයි ද ඒ කාලය අනතුරුදායක ලෙස සිතන්නට ඇතැයි ද පිළිගත හැකිය. ඒ නිසා ඒ කාලයේ කළ යුත්තේ ඉෂ්ට දේවතාවන් සිහි කිරීමය. මේ ඉෂ්ට දේවතාවන් සිහි කිරීම පුණ්‍ය කාලය ලෙස වෙනස් වූයේ 19 වැනි සියවසේ ඈපා පංචාංග ලිතෙන් බව ප්‍රකට කරුණකි. එවකට සිදුවෙමින් පැවති බෞද්ධ පුනර්ජීවනයට උපකාර කළ විදුදය පිරිවනේ ප්‍රධාන දායකයකු වූ ඈපා අප්පුහාමි මෙහි දී ‘පුණ්‍ය කාලය’ අවුරුදු සිරිතට එකතු කළ බව නො රහසකි.
ජන ක්‍රීඩා
අලුත් අවුරුද්ද සමග බැඳී පවතින තවත් අංගයක් ලෙස හඳුනා ගන්නේ ජන ක්‍රීඩා ය. සැබැවින්ම ජන ක්‍රීඩා පැහැදිලි සංස්කෘතික හේතුවක් මත ගොඩනැගුණකි. වැටුප් නො ලබන මහජන හමුදාවක් ලෙස පැවති සිංහල රජ දවස සිටි හමුදාව, රජුට අයත් යුද පාසල්වල පුහුණුව ලද සෙබළුන්ගෙන් යුතු වූවකි. ඔවුන් වසරකට වරක් රට පුරාම යුද අභ්‍යාස පැවැත්වූයේ අලුත් අවුරුදු සතියේ බැව් පිළිගැනේ. අං ඇදීම, පොර පොල්, මල්ලව පොර, චක්කුඩු, ගස් නැගීම වැනි ක්‍රීඩාවලට මෙම අභ්‍යාසවල බලපෑමක් ලැබුණේ යැයි සිතිය හැකිය. මුල් යුගයේ දඩ කෙළිය ( දඩයම් කිරීම), ජල කෙළිය (ජල ක්‍රීඩා) රාජානුග්‍රහය ලද ක්‍රීඩා වුවත් රාජධානි නැගෙනහිරට සංක්‍රමණයවීමත් සමග සහ විදේශ ආක්‍රමණ සමඟ අපට ආවේණික ජන ක්‍රීඩා වෙනස් වූ බව පෙනේ. අංගම් පොර, මල්ලව පොර, මුෂ්ටි පොර ආදිය අලුතින් එකතු වූ අතර බක් මාසයේ දී වන සතුන්ගෙන් තම අස්වනු රැකගන්නා මාසයක් හැටියට හෙල්ල, පළිහ වැනි උපකරණ ආශ්‍රිත යම් යම් ක්‍රීඩා නිර්මාණය වී යැයි සිතිය හැකිය. එහෙත් අද අපි ජන ක්‍රීඩා ලෙස දක්වන්නේ බයිසිකල් තරග, ගම හරහා දිවීම, විකට ඇඳුම් තරග, ලිස්සන ගහේ නැගීම වැනි දේ බව පැහැදිලිය. අවුරුදු කුමරිය, අවුරුදු උත්සවවලට පැමිණියේ දවස පුවත්පත් සමාගමේ ඩී.බී. ධනපාල මහතා දවස අවුරුදු සුන්දරී වැඩසටහන පටන් ගැනීමත් සමගය.
සංස්කෘතික වෙෙළඳපොළ
අලුත් අවුරුද්දේ හර පද්ධතිය අද බරපතළ ලෙස වෙනස්වී තිබීම ද අප විශේෂයෙන් සලකා බැලිය යුත්තකි. සත්‍ය වශයෙන්ම අද අවුරුද්ද ජාතික උරුමයකට වඩා දැවැන්ත සංස්කෘතික වෙළෙඳපොළක් ලෙස හඳුනාගත හැකිය. එම වෙළෙඳපොළේ අද සමාජයට මුදාහැර තිබෙන්නේ පරිභෝජනවාදී මතවාද රාශියකි. මෙම සංස්කෘතික වටපිටාවේ ඉතාම සූක්ෂ්මව ක්‍රියාත්මක වෙන්නේ වෙළෙඳපොළ යාන්ත්‍රණයකි. “මේක අපේ උරුමයක්. මේකට අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕනෑ” කියන මහා වාදය එහි ප්‍රබල ලෙස ස්ථාපිත කර තිබීම ද ඒ සමඟම හඳුනාගත හැකිය. කිසිවකුට එයින් ගැලවිය නොහැකිය. අනතුරුව අප උත්සාහ ගන්නේ අපේ වින්දනය ඒ මත ස්ථානගත කිරීමටය. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යය. ‘අවුරුදු කෑමට’ ණය වීම ඒ සමග දැකිය හැක්කකි. අවුරුදු මාසය අටු කොටු පුරවන මාසයක් වූයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවුණු ජනතාවකටය. අද මිනිසුන් අටු කොටු පුරවනවා කියන එක දකින්නේ බඩු භාණ්ඩවලින් ගෙවල් පුරවා ගැනීම බව නො රහසකි.
පවුල පමණක් නොව ගම ද අවුරුද්දේ බලපෑම තදින්ම ලැබූ තැනක් බව පැහැදිලි ය. ඇත්තෙන් ම අවුරුද්ද ගැමියන්ගේ නිෂ්පාදිතයක් බව සත්‍යයකි. එහෙත් අද ඇත්තේ එදා තිබූ ස්වයංපෝෂිත ගම නොවේ.
මේ තත්වය අපට තවත් අංශයකින් විග්‍රහ කළ හැකිය. එනම් අද අලුත් අවුරුද්දේ පරිභෝජනවාදී සංස්කෘතියේ මූලිකාංග හඳුනාගැනීමයි. මෙම මූලිකාංග අතරින් කැපී පෙනෙන්නකි මත්පැන්. සුරා බදු වාර්තා වලින් පැහැදිලිවම පෙනෙන දෙයක් නම් අප්‍රේල් මාසයේ අධිතර අරක්කු පරිභෝජනයයි. මේ තුළ ගැබ් වී ඇති ආකල්පීය දෘෂ්ටියක් ඇත. එනම් අද සමාජය අවුරුද්ද ලෙස සිතන්නේ හොඳට කාලා බීලා විනෝදවීම බවය. මෙහිදී මත්පැන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලිවම කිව යුතුය. වර්තමාන අවුරුදු චාරිත්‍ර පවුල නම් ආයතනයට කෙසේ බලපා ඇත්දැයි විමසා බැලීම ද වැදගත්ය. අපේ පැරණි පවුල පරම්පරා දෙක තුනක් එකම වහලක් යට සමීපව ජීවත් වූ මහා පවුලක් නැත්නම් විස්තෘත පවුලක් වුවත් අද දක්නට ඇත්තේ දෙමාපියන් සහ දරුවන් පමණක් සිටින න්‍යෂ්ටික පවුලකි. එම පවුල තුළ දරුවන් සහ දෙමාපියන් අතර දැඩි සංස්කෘතික පරතරයක් හඳුනාගත හැක. දරුවන් ඉලෙක්ට්‍රොනික් මෙවලම් සමග ඔවුන්ගේම ලෝකවල තනිව දිගු ගමනක් යන අද අපි අලුත් අවුරුද්දේ පවුලේ සතුට ගැන කතා කළත් ඒ සඳහා අවුරුදු චාරිත්‍රවලින් සැබෑ අනුබලයක් ලැබෙනවාද කියා බැලිය යුතුය. එයට හේතුව අද නව පරපුර සම්ප්‍රේෂණය කරන සංස්කෘතිය තාක්ෂණික මෙවලම් සංස්කෘතිය වීමය. පැරණි සමාජයේ සාරධර්ම වචනයට පමණක් එහි සීමා වී එකම තැනක හිරවී තිබීම දැකිය හැකිය. බොහෝ අයට අම්මා, තාත්තා, වැඩිහිටියන් මතක් වන්නේ එකම දවසක වීම අද අපට හඳුනාගත හැකිය.
පවුල පමණක් නොව ගම ද අවුරුද්දේ බලපෑම තදින්ම ලැබූ තැනක් බව පැහැදිලි ය. ඇත්තෙන් ම අවුරුද්ද ගැමියන්ගේ නිෂ්පාදිතයක් බව සත්‍යයකි. එහෙත් අද ඇත්තේ එදා තිබූ ස්වයංපෝෂිත ගම නොවේ. ගමේ තරුණයන් විවිධ හේතු මත ගම හැරදා ගොස් ඇති අතර, උපනගරවල සිටින දේශපාලන බලවතුන්ගේ අණසකට ගම යටපත් වී පවතී. ගමේ අවුරුදු උත්සව පවත්වන්නේ සැබැවින්ම ගමේ අය නොවන බව නො රහසකි. සුපිරි වෙළෙඳ සමාගම්වල බඩු විකුණන වෙළෙඳපොළවල් බවට අද ගමේ අවුරුදු උත්සව පත්වී නො තිබේ ද?
මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ අද අවුරුද්ද එදා මෙන් අපට ආවේණික උතුම් හර පද්ධතියක් පෙන්වන ජාතික උත්සවයක් නො වන බව ය. අද සමාජයේ අවශ්‍යතා අනුව මිනිසුන් විසින් හදාගත් උත්සවයක් බවට අවුරුද්ද පත් වී නැතැයි කිසිවෙකුට කිව හැකි ද? එසේ නම් අලුත් අවුරුද්දේ පැරණි සාරධර්ම සහ සිරිත් විරිත් සෙවීම මූළාවකි.
දයා අමරසේකර
සම්මානිත මහාචාර්ය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd