
පසුගිය 20 වැනි දින කොක්අඩි චෝලේ පොලිස් ස්ථානයට 119 ඔස්සේ හදිසි ඇමතුමක් ලැබිණ.එයින් කියැවුණේ නෙල්ලිකාඩු ප්‍රදේශයේ පාවිච්චි නොකරන ළිඳකින් කාන්තාවකගේ කටහඬක් ඇසෙන බවය. කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර අබේරත්න විසින් පොලිස් පරීක්ෂක ඊ.වෙනුජන් ඇතුළු පොලිස් කණ්ඩායමක් නෙල්ලිකාඩු ප්‍රදේශයට යවන්නේ එය පරීක්ෂා කිරීමටය.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් ගම්වැසියන් 40 ක් පමණ ඒ අවට සිටි අතර පොලිස් නිලධාරීන් ළිඳ ළඟට ගොස් පරීක්ෂා කිරීමේදී දුටු දසුන ඇස් ඇදහිය නොහැකි තරම් එකකි.ඉතා බියකරු පෙනුමක් ඇති කුණුවී ගිය මළ සිරුරක කකුලේ කාන්තාවක් එල්ලී සිටින අතර ඇය වරින් වර කෑ ගසන ආකාරය පොලිස් නිලධාරින්ට දැක ගැනීමට හැකි විය.
දැඩි දුර්ඝන්ධය නිසා ළිඳෙහි සිටි කාන්තාව ගොඩට ගැනීමට එහි සිටි පිරිස් අකමැත්තක් දක්වා ඇත. මෙම කාන්තාව පිළිබඳව 119ට පණිවිඩය දුන් දෙදෙනා පැමිණ පොලිසියේ සහාය ඇතිව ළිඳ තුළ සිටි කාන්තාවට කතා කරමින් ඇයගේ අතට කඹයක් දමා ගොඩ ගනු ලැබීය.
මේ සිදුවීම ඔස්සේ පරීක්ෂණ කළ පොලිස් කණ්ඩායමට බිහිසුණු අපරාධයක සුලමුල සොයාගත හැකි විය.එනම් නාඳුනන කාන්තාවන් සමග මිතුරුව පසුව ඔවුන්ට සිහි මුර්ඡා වීමට පානයක් බීමට දී ඔවුන් සතුව ඇති රත්තරන් බඩු සොරකම් කර එම කාන්තාවන් ඝාතනය කිරීමේ ක්‍රියාදාමයකි. මඩකලපුව නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් හයක් මේ සඳහා මැදිහත්ව තිබේ.
මේ සිදුවීමේදී ළිඳෙහි සිටි කාන්තාවගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ සිටි අතර ඇය ළිඳෙන් ගොඩ ගත් පසු වතුර දමා ඇය පිරිසිදු කර 1990 ගිලන් රියකින් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත යවනු ලැබීය.
පොලිස් පරීක්ෂක ඊ.වෙනුජන් එයට මැදිහත් විය.
කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපති තුෂාර අබේරත්න විසින් මෙම සිදුවීම පිළිබඳව නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට සහ මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලිලාරත්නට දැනුම් දුන් අතර නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඒ අනුව වහාම ක්‍රියාත්මක විය.
ඔහුගේ උපදෙස් අනුව නැගෙනහිර පළාත් අපරාධ විමර්ශන, මඩකලපුව කොට්ඨාස අපරාධ අංශය, පොලිස් අපරාධ පරික්ෂණ නිලධාරීන්,කොක්අඩිචෝලේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය, පොලිස් බුද්ධි අංශ ,පොලිස් නිල සුනඛයන්, පොලිස් ඇඟිලි සලකුණු අංශය, මඩකලපුව මූලස්ථාන පොලිසිය, වව්නතිව්, පොලිසිය,එක්ව මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. මෙම කණ්ඩායම් සියල්ල එකතු කර ගන්නා තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න විසින් වට්ස්ඇප් සමුහයක්ද සකස් කරනු ලැබීය.
පසුව කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපති තුෂාර අබේරත්න විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් ටී. ත්‍යාගේශ්වරන් ස්ථානීය පරික්ෂාවකින් පසුව එම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙසට පොලිසියට නියෝග කළේය.පරීක්ෂණවලින් හෙළිවූ තොරතුරු මෙසේය.
සැ ලසුම් සහගත අපරාධයක්
ළිඳෙහි සිටි, ජීවිතය බේරාගත් මුර්ගමුර්ති රනිච්චා 19 වැනි දින උදේ 8.00 ට පමණ නිවසින් පිටවූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සමෘද්ධි අංශයට බැංකු පොත් භාරදී මඩකලපුව නගරයට ගොස් තමන් විසින් උකස් කරන ලද රත්තරන් බඩු සඳහා පොලිය බැඳීමටය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට තම කටයුතු කරගත් මුර්ගමූර්ති රනිච්චා තම දියණිය වන තුන්හැවිරිදි කුගනාදන් ලක්විනි සමග මඩකලපුවට යෑමට බස් රථයක් එනතුරු වව්නතිව් හන්දියේ සිටියාය. එම ස්ථානයේ තවත් කාන්තාවක්ද සිටි අතර ඇයද සිටියේ මඩකලපුවට යෑමටය .
ටික වේලවක් යනවිට එම ස්ථානය පැමිණි ත්‍රිරෝද රථයක් නවත්වා මඩකලපුවට යනවා නම් නගින්න යැයි මුර්ගමූර්ති රනිච්චාට රියැදුරු ආරාධනාවක් කළේය. “අපට දෙන්න සල්ලි නැහැ. අපි බස් එකේ එන්නම්” යැයි රනිච්චා පැවසුවාය.රුපියල් 100 ක් දෙන්න. ඒ ඇති. අපි ගිහින් දාන්නම්” යනුවෙන් ත්‍රිරෝද රථය පැදවූ අය පැවසූ පසු රනිච්චා තම දියණිය සමග ත්‍රිවිල් රථයට ගොඩවෙන විට එතැන සිටි අනෙක් කාන්තාවද ත්‍රිවිල් රථයට ගොඩවී ඇත.
නගරය ආසන්නයේදී අවසන් වරට ත්‍රිරෝද රථයට ගොඩවූ කාන්තාව මඩකලපුව රෝහල් වටරවුමෙන් බැසගත් අතර රනිච්චා සහ දියණිය සත්තාර් ටෙක්ස්ටයිල් ආසන්නයේ බැස තිබේ.
ත්‍රිරෝද රථයේ එන අතරතුර එහි සිටි කාන්තාව රනිච්චා කතා බහට අල්ලාගෙන ඇත. තමන් යන කරුණ පිළිබඳව රනිච්චා එම කාන්තාවට පවසා ඇත.“මමත් ටවුමට යන ගමන්. වැඩ ඉවර උනාම අපේ වීල් එකේ යන්න පුළුවන්” යැයි කියා පවසා තිබේ.

එම කාන්තාව ගැන සැකයක් නොසිතූ රනිච්චා මඩකලපුව නගරයෙන් බැස තමන්ගේ වැඩ කටයුතු කරගෙන නැවත නිවස වෙත යෑමට ඔරලෝසු කණුව අසලට පැමිණ ඇත. එම අවස්ථාවේ තමන් දහවල් පැමිණි ත්‍රිවිල් රථය පැමිණ රනිච්චා අසල නැවැත්වූ අතර කිසිම අවිශ්වාසයකින් තොරව රනිච්චා තම දියණිය සමග ත්‍රිවිල් රථයට ගොඩ ව ඇත්තේ එහි සිටි කාන්තාවට ස්තුති කරමිනි.
ත්‍රිරෝද රථයේ සිටි කාන්තාව රනිච්චා සමග කථා කරමින් ටික දුරක් ගොස් ඇය අත තිබූ කුඩා බීම බෝතල් දෙකක් ගෙන එකක් රනිච්චාට දී ඇත. එය දිවුල් වර්ගයේ බීම බෝතලයකි. කුඩා දියණියට දී ඇත්තේ කෝමාරිකා බීම බෝතලයකි.ත්‍රිරෝද රථයේ සිටි කාන්තාවට ස්තුති කරමින් රනිච්චා දිවුල් බීම බෝතලය පානය කළ අතර ඇගේ දියණිය කෝමාරිකා බිම බෝතලය තොල ගාමින් සිටියාය.
සුළු මොහොතක් යනවිට රනිච්චාට කැරකැවිල්ලක් ඇතිවිය. ඇය ඉන් පසුව සිදුවූ දේවල් කිසිත් නොදන්නා අතර රනිච්චාගේ කුඩා දියණිය මේ කිසිත් නොදැන කෝමාරික බීම බෝතලය පානය කරමින් සිටියාය.
මේ රථයේ සිටින්නේ මංකොල්ලකරුවන් පිරිසක් බව රනිච්චා සිහිසුන් වන විටත් නොදැන සිටියාය. මංකාල්ලකෑමට පැමිණි කාන්තාව සහ ත්‍රිරෝද රථ රියැදුරු ඊළඟ සැලසුම ක්‍රියාත්මක කර ඇත.
සිහිසුන්ව සිටි රනිච්චා සහ ඇගේ දියණිය ත්‍රිවිල් රථයේ පැමිණි කාන්තාවගේ නිවසට රැගෙන ගොස් එහි සෝපවක හාන්සි කර පැය කිහිපයක් තබා තිබේ.
මෙම මංකොල්ලයට සම්බන්ධ කාන්තාව නමින් සෝමසුන්දරම් සරලියා වන අතර ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණ ඇත්තේ ඇයගේ ස්වාමිපුරුෂයා වන වෙල්ලිවේල් තදිස්වරන්ය.
පැය කිහිපයකට පසුව වෙල්ලිවේල් තදිස්වරන්ගේ මල්ලී වන වෙල්ලිවේල් තනුජන් පැමිණ ඇත.අනතුරුව ඔවුන්ට අයිති මෝටර් රථයක රනිච්චා සහ ඇයගේ කුඩා දියණිය වන ලක්විනි දමාගෙන කොක්අඩිචෝලේ පොලිස් වසමේ, නෙල්ලිකාඩු ප්‍රදේශයේ පාළු ළිඳක් අසලට රනිච්චා රැගෙන ගොස් ඇයගේ රත්තරන් බඩු ගලවාගෙන ඇය ළිඳට දමා තිබේ. මේ වනවිට වේලාව රාත්‍රි 7.00 පමණ වී ඇත.
කුඩා දැරිය පාළු කුඹුරක
මේ කිසිත් නොදන්නා කුඩා දියනිය ලක්විනි තවම මංකොල්ලකරුවන් ගේ භාරයේය. රනිච්චා ළිඳට දමා විනඩි 15 කින් පමණ ඉලුප්පට්ටචේන ප්‍රදේශයේ පාළු කුඹුරක් අසල දියණිය දමා ගොස් ඇත. පසුදින උදෑසන ඉලුප්පට්ටිචේන ගම්මානයේ විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙක් තම කුඹුරේ රතු ඇඳුමක් ඇඳගෙන සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියක් දැක අයිතිකරුවකු නොමැති නිසා වව්නතිව් පොලිස් ස්ථානයට දැනුම් දී දරුවා භාරදී තිබේ. රනිච්චාගේ ස්වාමි පුරුෂයා වන කුගනාදන් තම බිරිඳ සහ දරුවා අතුරුදන් බව පවසා 19 වැනි දින සවස වව්නතිව් පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබිණ.
මේ සිදුවීම මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙන්ම රටේ හැම තැනම කතා කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට අවශ්‍ය වුයේ මෙම අබිරහස් මරණය පිළිබඳව තොරතුරු සොයාගැනීමටය.

අතුරුදන් වූ තවත් කාන්තාවක්
ඒ අනුව මඩකලපුව ප්‍රදේශයේ පසුගිය කාලයේ අතුරුදන් වී ඇති අයගේ තොරතුරු සෙවිමේදී 2026.02.28 වැනි දින රවි නලායිනි නමැති වෙල්ලාවලි පොලිස් පොලිස් බල ප්‍රදේශයේ බම්මිඅඩි උත්තු තිත්කොඩේ පදිංචි වයස අවුරුදු 46ක කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු සොයා ගෙන ඇත. ඒ පිළිබඳව පවුලේ අය විසින් කලවංචිකුඩි පොලිසියට පැමිණිලි කර තිබිණ.
මෙම කාන්තාව එදින උදේ තමන්ගේ සීනි තත්ත්වය බැලීම සඳහා ලේ පරික්ෂාවක් කිරීමට පලුගාමම් නගරයට පැමිණ තිබේ. ඇය අවසන් වරට 11.05 ට පමණ පලුගාමම් ලංකා බැංකු ශාඛාවෙන් රුපියල් 5000ක මුදලක් රැගෙන ඇති අතර ඉන් පසුව ඇය පිළිබඳව කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
ඉකුත් 20 වැනි දින නෙල්ලිකාඩු ළිඳ තුළ කුණු වී ගිය මළ සිරුර හමුවීමෙන් අනතුරුව අතුරුදන්වුූ කාන්තාවගේ ස්වාමියා සහ පුතා මළ සිරුර ඇති ස්ථානයට පොලිසිය විසින් කැදවනු ලැබීය. ඔවුන්ට එම සිරුර හඳුනාගැනීමට නොහැකි විය. එහෙත් ඒ අසල තිබූ රතු පැහැති සෙරෙප්පු දෙක තමගේ බිරිඳගේ බව සැමියා විසින් හඳුනාගෙන තිබේ. එය වඩාත් තහවුරු කර ගැනීමට මියගිය අයගේ දියණිය වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කරගෙන සෙරෙප්පු දෙක පිළිබඳව විස්තර විමසා ඇත.ඇය පවසා ඇත්තේ එක සෙරෙප්පුවක වම් පැත්තේ කම්බියකින් ගැට ගසා ඇති බවය. පසුව පොලිස් නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී සෙරෙප්පුවේ එම සලකුණ තිබී ඇත.ඒ අනුව 2026.02.28 වැනි දින අතුරුදන් වූ රවි නලායිනිගේ සිරුර එය බව පොලිසිය සැක කළේය. ඩී.එන්.ඒ පරීක්ෂණයකින් පසුව එය තීරණය කරන බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
සීසීටීවී කැමරා දත්ත අනුව පොලිස් විමර්ශන ආරම්භ කළ අතර ඒ ඔස්සේ යමින් නැගෙනහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පැය 48 ක් තුළදී මෙම සිදුවිම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත්විය. මේ මොහොත වන විට සැකකරුවන් පස්දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ප්‍රධාන සැකකරුවන් ලෙස සෝමසුන්දරම් සරලියා, ඇයගේ ස්වාමියා වන වෙල්ලිවේල් තදිස්වරන් සහ ඔහුගේ මල්ලි වන වෙල්ලිවේල් තනුජන් අත් අඩංගුවට ගෙන ඇත. සොරකම් කරන ලද බඩු මිලදී ගැනීමේ චෝදනාව යටතේ මඩකලපුව නගරයේ රත්තරන් බඩු අලෙවි සැල් දෙකක පුද්ගලයන්ද අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් විසින් පෙබරවාරි මස මඩකලපුව නගරයේදී වයෝවෘද්ධ කාන්තාවකගේ මාලයක්ද මංකොල්ලකා ඇති අතර එම මාලයද සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් තර්ෂනී අන්නාතුරෙයි මහත්මිය විසින් ප්‍රධාන සැකකාරිය, ඇයගේ ස්වාමියා සහ ස්වාමියගේ සහෝදරයා මෙම මස 27 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට නියෝග දුන් අතර රත්තරන් බඩු සාප්පු හිමියන් දෙදෙනා මෙම මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝග පරිදි මඩකලපුව නියොජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහනගේ අධීක්ෂණය යටතේ මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලිලාරත්නගේ මෙහයවීමෙන් සහකාර පොලිස් අධිකාරී, වව්නතිව් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා, මඩකලපුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර,කොක්අඩිචෝලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර අබේරත්න,මඩකලපුව කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. තිලකරත්න , නැගෙනහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෙනන්, කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලහකෝන්, මඩකලපුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගජනායක,මඩකලපුව කොට්ඨාස අපරාධ අංශයේ උපපොලිස් පරීක්ෂක ධනුෂ්ක,කොක්අඩිචෝලේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.වෙනුජන් ඇතුලළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
අම්පාර-වසන්ත
චන්ද්‍රපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd