
වර්තමාන ලෝකය පවතින්නේ අපේ ඇඟිලි තුඩකය. ලෝකයේ කොහේ සිටියත්, ඕනෑම අයකු සමග තත්ත්පරයකින් සම්බන්ධ වීමේ හැකියාව අද අප සතුය. එහෙත් පුදුමය නම්, එදාට වඩා අද මිනිසුන් වැඩි වැඩියෙන් "තනිකම" සහ "හුදකලාව" ගැන මැසිවිලි නැඟීමය. තාක්ෂණයෙන් ලෝකය “ගෝලීය ගම්මානයක්” වෙද්දී, ඒ ගම්මානයේ වැසියන් එකිනෙකා ගෙන් ඈත් වන්නේ ඇයි? සමාජමාධ්‍ය ජාලා හරහා දහස් ගණන් “මිතුරන්” සිටියත් - ඇත්තටම දුකක් සැපක් බෙදාගන්න ළඟ ඉන්නේ කීයෙන් කී දෙනා ද? සමාජමාධ්‍ය හරහා අපට දහස් ගණන් “මිතුරන්” සිටිය හැකිය.
අපේ ජංගම දුරකථනය දවස පුරා පණිවිඩ වලින් පිරී තිබිය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ ඒ සබඳතාවල ඇති ගැඹුරයි. මුහුණට මුහුණ බලා කරන කතාබහක දී දැනෙන උණුසුම, ඇස්වලින් කියැෙවන හැඟීම් හෝ හඬෙහි ඇති ගැඹුර ඩිජිටල් තිරයක “ඉමෝජි” (Emoji) එකකට සිර කළ නොහැක. අප බොහෝ විට කරන්නේ සැබෑ මිනිසුන් ඇසුරු කරනවා වෙනුවට, ඔවුන්ගේ ඩිජිටල් සෙවණැලි සමග ගනුදෙනු කිරීමය. ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි සිනහවෙන් පිරුණු ඡායාරූප පිරී තිබුණත්, නිරූපිත දේට හාත්පසින්ම වෙනස් හුදෙකලාවකින් හා ආතතියකින් ඒ සාතිශය බහුතරයක් පසුවෙනවා ය යන්න යථාර්ථයයි.
Meta-Gallup ආයතන ඒකාබද්ධව සිදුකරන “Global State of Social Connection” සමීක්ෂණ වාර්තා මගින් ලොව පුරා වෙසෙන තරුණ ප්‍රජාවගේ හුදකලා බව සම්බන්ධ දත්ත රැසක් අනාවරණය කර තිබෙන අතර, විශේෂයෙන්ම 2024 අගභාගයේ සිට 2026 දක්වා කාලය තුළ නිකුත් වූ දත්ත අනුව – අප රටේ අවුරුදු 19 - 29 අතර වයසේ පසුවන තරුණයින් සැලකිය යුතු පිරිසක්, එනම් සියයට 25 ක ප්‍රමාණයක් තනිකමින් හුදෙකලාවෙන් පසුවන බව හෙළිවී ඇත.
එමෙන්ම ලොව පුරා රටවල් 142ක සිදුකළ මෙම දැවැන්ත සමීක්ෂණයට අනුව, ලෝක ජනගහනයෙන් සියයට 24ක් (බිලියන 1කට අධික පිරිසක්) දැඩි තනිවීමක් අත්විඳින බවද තහවුරු කොට ඇත. තරුණයින් ගෙන් සිව් දෙනෙකු ගෙන් එක් අයෙකු (සියයට 25 ක් පමණ) දැඩිව හෝ සැලකිය යුතු මට්ටමකින් හුදකලා වී ඇති බව ද හෙළි වී ඇත.
එහිදී පෙනී ගොස් ඇත්තේ සමාජමාධ්‍ය හරහා දහස් ගණන් මිතු මිතුරියන් සිටියද, හැඟීම්බරව සමීප විය හැකි සැබෑ මිතුරන් නොමැතිවීම තරුණ ප්‍රජාව අතර පවතින ප්‍රධාන ගැටලුවක් බවය.
විසඳුමක් තියෙනව ද?
අපි තාක්ෂණය ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. නමුත් අපේ ජීවිතය තාක්ෂණයට යටත් නොකළ යුතුයි. දිනකට පැය කිහිපයක් හෝ දුරකථනයෙන් ඈත් වී, සැබෑ මිනිසුන් සමග සැබෑ ලෙසම සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි. තාක්ෂණයෙන් ලෝකය දකින්න කලින්, ඔබේ ළඟ ඉන්න මනුස්සයාව දකින්න උත්සාහ කරන්න.
නවීන තාක්ෂණය, විවෘත ආර්ථිකය සහ සමාජ පරිවර්තනයන් එකට බැඳුණු මේ යුගයේ, විශේෂයෙන් තරුණ පරපුර අතර වැඩිවෙමින් පවතින තනිවීමේ ප්‍රවණතාව, අහඹු සිදුවීමක් නොව,අපි නිර්මාණය කරගත් සමාජ රටාවේ නිහඬ ප්‍රතිඵලයකි.
නවීන තාක්ෂණයේ වර්ධනය පමණක් මිනිසුන් අතර තනිවීමේ ප්‍රවණතාව ඉහළ යාමට හේතු වූ එකම සාධකය වන්නේ නැත. මෙහිදී ආර්ථික පද්ධතිය තුළ සිදු වූ ගැඹුරු පරිවර්තනය ද එම ප්‍රවණතාව බිහිවීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් බව අවධාරණය කළ යුතුය.
එකල මෙරට සමාජීය, ආර්ථික රටාව වැඩි වශයෙන්ම ගුණධර්ම මත පදනම් වූ ආර්ථිකයක් ලෙස පවත්නා අතර, සමාජයේ සාමාජිකයන් අතර අන්තර් සම්බන්ධතා, එකිනෙකාට සහයෝගය දැක්වීම, හා එක්ව ජීවිතය විඳීම යන අගයන්ට විශාල ප්‍රමුඛතාවක් හිමිව තිබුණි. ජීවිතය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු සම්මත ක්‍රමවේදයක් තිබූ අතර, ඒ තුළ පුද්ගලයාට වඩා සමාජය කේන්ද්‍ර කරගත් ජීවිත රටාවක් පැවති බව ද දැකිය හැක.
එහෙත්, විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග, සමාජය තුළ මුදල් කේන්ද්‍ර කරගත් නව ජීවන රටාවක් ක්‍රමයෙන් වර්ධනය විය. පුද්ගලයාගේ සාර්ථකත්වය මැනබැලීම සඳහා භාවිත කළ මාපකය ලෙස මුදල්, දේපොළ හා භෞතික සම්පත් ප්‍රධාන තැනක් ගත් අතර, එය පුද්ගලයන් අතර තරගකාරීත්වයක් ද ඇති කළේය.
“හොඳ රැකියාවක්, සුඛෝපභෝගී නිවසක්, වාහනයක්” යනාදී දේ අත්පත් කරගැනීම ජීවිතයේ ප්‍රධාන අරමුණ බවට පත්වීමත් සමග, ඒවා ලබාගැනීම සඳහා පුද්ගලයෝ සියලු දෙනාම කාර්යබහුල ජීවිතයකට ඇද වැටුණහ. ඒ අතරම, එකට හිඳ සතුටුවීම, එකට ජීවිතය විඳීම වැනි සමාජීය අත්දැකීම් ක්‍රමයෙන් අඩුවීමට ලක්විය.
මෙම ආර්ථික පරිවර්තනයට සමගාමීව, තාක්ෂණයේ වේගවත් වර්ධනය ද සමාජය තුළ ප්‍රබල බලපෑමක් ඇති කළේය. විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුළ, ජංගම දුරකථන හා ඩිජිටල් මාධ්‍ය ජනජීවිතයට ඇතුළත් වීම තුළින් පුද්ගලයාට තනිව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කෙරිණි. එක්කෙනකුට අවශ්‍ය තොරතුරු, විනෝදය හා සම්බන්ධතා සියල්ලම අතේ දුරකථනය තුළ සංකේන්ද්‍රණය වීම, සමාජය මත යැපීම අවමකිරීමට ද හේතු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස කලින් පැවති “එකට ජීවත්වීම” යන සංකල්පය වෙනුවට, “තනිව ඉදිරියට යාම” යන අදහස බහුලව පැතිර ගිය බව ද පෙනී යයි. අතීතයේදී , අනෙකාට උදව් කිරීමෙන් ලැබූ සතුට, සමාජීය සම්බන්ධතා මගින් ඇති වූ තෘප්තිය යනාදී අගයන්ට වඩා, වර්තමානයේ බොහෝ දෙනා තමන් සතු භෞතික සම්පත් මත පදනම් වූ සතුටක් සොයන බව දක්නට ලැබේ.
මෙම පරිවර්තනය පිළිබඳ අදහස් දක්වමින් මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි “ඉරිදා ලංකාදීප”යට ප්‍රකාශ කරන්නේ, ආර්ථිකය හා තාක්ෂණය එකිනෙකට බැඳුණු ආකාරයෙන් මිනිසුන් තනිවීමේ ප්‍රවණතාව වර්ධනය කර ඇති බවයි. එමගින්, සමාජීය සම්බන්ධතා අඩුවීමත් සමග, පුද්ගලයාගේ ජීවිතය තනිවම සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කරන නව සමාජ රටාවක් බිහිවී ඇති බව ද ඇය පෙන්වා දෙයි.
“අද වෙනකොට ආර්ථික පරිවර්තනයත් සමගම සමාජය තුළ පුද්ගල කේන්ද්‍ර කරගත් ජීවිත රටාවක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතිනවා. එකට ජීවත්වීම, එකට සතුටු වීම යන සමාජීය අගයන් මන්දගාමී වීමත් සමඟ “තනි පුද්ගලයකු ලෙස ඉදිරියට යාම” යන අදහස වර්තමාන සමාජයේ ප්‍රබල තත්ත්වයක් ලෙස මතු වී තිබෙනවා. මෙම පරිවර්තනය සරල සංකල්පයක් නොව, දෛනික ජීවිතයේ සෑම කුඩා සිදුවීමක් තුළම ද දැකගත හැකි යථාර්ථයක්.”
“අතීතයේ අපේ නිවෙස්වල සවස් කාලය කියන්නේ සම්පූර්ණයෙන්ම සමාජීය අත්දැකීමක්. නිවසේ එක් රූපවාහිනී යන්ත්‍රයක් වටා සියලු සාමාජිකයන් එකට එකතු වෙලා, දවසේ කතාබහත් සමග වැඩසටහන් නැරඹීම සාමාන්‍ය ජීවන රටාවක් වුණා. එය විනෝදාත්මක අත්දැකීමක් පමණක් නොව, පවුල් සම්බන්ධතා ශක්තිමත් කරගන්නා අවස්ථාවක් වුණා. අද එම රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා බොහෝ නිවෙස්වල එක් රූපවාහිනියක් වෙනුවට රූපවාහිනී කිහිපයක් දරුවන්ගේ කාමර වලට වෙන්වූ රූපවාහිනී ද දක්නට ලැබෙනවා. සෑම පුද්ගලයකුම තමන් කැමති වැඩසටහන් තනිවම නැරඹීමට හුරු වෙලා මේ දේවල් එක්ක පවුලක් ලෙස එකට කාලය ගත කිරීම ක්‍රමයෙන් අඩු වෙලා.
ඇතැම් නිවෙස්වල දරුවන් හා වැඩිහිටියන් සියල්ලෝම තමන්ටම වෙන් වූ ජංගම දුරකථන හරහා අන්තර්ජාලයෙන් විනෝදය සොයන බව පැහැදිලිව දැකිය හැකියි.”
“අද දරුවන් බොහෝ විට තනිව අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා (Video Games) ක්‍රීඩා කිරීමට පුරුදු වෙලා ඉන්නවා. වර්තමානයේ බොහෝ සම්බන්ධතා ගොඩනැගෙන්නේ ජංගම දුරකථනය තුළිනුයි. ඇතැම් අවස්ථාවල දුරින් සිටින, කිසිදා හමුවී නොමැති, පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩනැගෙද්දී, නොදැනුවත්කම හේතුවෙන් තමන්ට සමීපතම පුද්ගලයන්ගෙන් දුරස්වීමක් සිදුවනවා.”
පරම්පරා අතර ඇති පරතර ගැටුම්
“වැඩිහිටි පරපුර විසින් තරුණ පරපුර වෙත ලබාදෙන උපදෙස් බොහෝවිට “අපේ කාලය හොඳයි, ඔබලාගේ කාලය නරකයි” යන සංසන්දනාත්මක ප්‍රකාශයන් මත පදනම් වීම දක්නට ලැබෙනවා. එවැනි අදහස් නිතර නිතර අසන්නට ලැබීම, තරුණයා තුළ නොදැනුවත් ලෙසම මානසික පීඩනයක් හා අසමත්භාවයක් පිළිබඳ හැඟීමක් නිර්මාණය කරනවා.”
“ඒකට සමගාමීව දෙමව්පියන්ගේ අපේක්ෂා ද දරුවන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරනවා. තමන්ගේ ජීවිතයේ සාර්ථක කරගැනීමට නොහැකි වූ සිහිනයන් දරුවන් හරහා සාර්ථක කරගැනීමට සමහර දෙමාපියන් උත්සාහ කරනවා. දරුවන් මත අධික බරක් පටවනවා. ජයග්‍රහණය පමණක් අගය කරන සමාජයක් තුළ, පරාජය පිළිබඳ ඉගෙනීම සඳහා ඉඩක් නොලැබීමෙන්, දරුවන්ගේ පෞරුෂය සහ මානසික ශක්තිය ද දුර්වල වෙනවා. එවැනි තත්ත්වයන් මත ජීවිතයේ හමුවන ගැටලු හා අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය අඩු වෙලා "තනිවීම "සියලු දේවල් වලින් පලායාමක් ලෙස තෝරා ගන්නා අවස්ථාද බහුල දැකගත හැකි වෙනවා.”
තාක්ෂණය දියුණු වූයේ මිනිසා සම්බන්ධ කිරීමට ද..?නැත්නම් නිහඬව වෙන් කිරීමට ද..? අතේ තිබෙන දුරකථනය ලෝකය විවර කළත්, එය අප අසලම සිටින මනුෂ්‍යයාගෙන් අපව දුරස් කරන්නේ නම්, එම ප්‍රගතියේ අර්ථය නැවත සලකා බැලිය යුතුය. සාර්ථකත්වය, මුදල්, පහසුකම් යන සියල්ලම තිබුණද, ඒවා අතරමඟ අහිමි වන,මනුෂ්‍ය සම්බන්ධතා නැවත ගොඩනගා ගැනීමට නොහැකි වුවහොත්, අප ඉදිරියට ගමන් කරන්නේ හිස් වූ සමාජයකටය.
මේ පිළිබඳව මනෝ වෛද්‍ය එන්. කුමාරනායක ද අදහස් දක්වා සිටියේ මෙසේය.
“අපි තාක්ෂණයෙන් කොයි තරම් දියුණු වුණත් ඒ ඇතුළේ ඇති වී තිබෙන තනිකම ගැන කතා කරනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වෙලා තිවෙනවා තරුණ පිරිස අතර සියයට 17ක් ම බාහිර ක්‍රියාකාරයන්වලින් ඈත් වී නොයෙකුත් ආතතියන් සහ නින්දේ ගැටලුවලට ගොදුරු වී ඇති බව. පාසල් වයසේ දරුවන් බහුතරයකට ජීවිතේ එපා වෙලා කියන මානසිකත්වය දැනිලා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් අධ්‍යාපන කලාපයක කරන ලද සමීක්ෂණයකට අනුව සියයට 21.7ක් දරුවන් මෙම අන්තර්ජාලයට, සමාජ මාධ්‍යයට ගොදුරුව අධ්‍යාපනික ගැටලු ඇතුළුව නොයෙකුත් ආතතීන්වලට ගොදුරු වී ඇති බවද සොයාගෙන තිබෙනවා. මෙහිදී වැඩි අවධානමට ලක් වී තිබෙන්නේ අවුරුදු දහයත් දහනමයත් අතර පසුවන දරුවන්.”
මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් සලකා බැලූ විට, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත්, අන්තර්ජාලය හෝ ඩිජිටල් අන්තර්ගතයන් වෙත ඇබ්බැහි වීමත් අතර, මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය තුළ සැලකිය යුතු සමානතා පවතින බව පර්‌යේෂණයන් මගින් පෙන්වා දෙයි. මෙවැනි ඇබ්බැහි වීමක් තුළ, මොළයේ “සතුට” හා “ප්‍රතිලාභ” සම්බන්ධ පද්ධති අසාමාන්‍ය ලෙස උත්තේජනය වන අතර, එය ක්‍රමයෙන් පුද්ගලයා එම ක්‍රියාවන් වෙත වඩාත් ඇදී යාමට හේතු වේ. එහි අවසාන ප්‍රතිඵලයක් ලෙස, මානසික අවපීඩනය, ජීවිතය පිළිබඳ උදාසීනභාවය, කලකිරීම, කෝපය, සහ අධ්‍යාපනය හෝ දෛනික කටයුතු පිළිබඳ උනන්දුව අඩුවීම වැනි ලක්ෂණයන් මතුවිය හැක.
“ඇබ්බැහි වීමේ විශේෂ ලක්ෂණයක් වන්නේ, එම ක්‍රියාවන් පසුපස “වියරු ලෙස” යාමයි. ඇතැම් අවස්ථාවල, සමහර පුද්ගලයන් පාසල් දරුවන් තමන්ගේ නිදන කාමරයෙන් පවා පිටතට එන්නේ නැහැ. ගෙදර අය සමග කතා කරන්නේ නැහැ. කලහකාරීයි. මොනවා හරි ඇහුවාමත් ඇහුණේ නෑ වගේ ඉන්නවා. බොහෝ දෙනා රාත්‍රියට නිදියහනට යන්නේ ද තම ජංගම දුරකථනය අරගෙන.
මෙයින් විශේෂයෙන් මොළයේ ඇති සියුම් මධ්‍යස්ථානයක් වන මොළේ ගබඩාවට ලොකු හානියක් සිදුවෙනවා. දහවල් කාලයේදී අපි කරන ලද තොරතුරු මෙහි ගබඩා වෙනවා. මේ ගබඩා කරන්නට මෙල්ටොනින් (Melatonin) නම් හෝමෝනය ඉතා වැදගත් වෙනවා. රාත්‍රී කාලයේදී ජංගම දුරකථනයේ ආලෝකය මුහුණට එක්වීමෙන් මේ හෝමෝනය අඩුවෙනවා.
මෙල්ටොනින් යනු ඉතාම වැදගත් හෝමෝනයක්. මොළයේ ස්නායු සෛල වර්ධනයට, ස්නායු සෛල ආරක්ෂාවට මෙය ඉතා වැදගත් වෙනවා. මෙම හෝමෝනය වර්ධනය වනු ලබන්නේ අඳුරත් සමගයි. මෙය ස්වභාව දහමෙන් ලැබූ දායාදයක්. පරිසරයේ අඳුර වැටීගෙන එද්දි මෙල්ටොනින් හෝමෝනය ඇතිවෙනවා. නමුත් අපි රාත්‍රී කාලයේදී ජංගම දුරකථනයේ, ලැප්ටොප් යන්ත්‍රයේ ඉදිරියේ සිටියහොත් එහි ආලෝකයෙන් මෙම මෙල්ටොනින් හෝමෝනයේ අඩුවීමක් සිදුවෙනවා. එමගින් අපි ඉක්මනින් දිරාපත් වෙනවා.
අපි ඉක්මනින් වයසට යනවා. ඒ විතරක් නෙවේ. අපේ මතක ගබඩාවට හානි සිදුවෙනවා. මෙය නවීන තාක්ෂණයෙන් වුණු විශාල හානියක්. හාවඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්‍යාඥයෙකු වූ ආචාර්ය ඩේවිඩ් සින් ක්ලෙයාර් පවසන්නේ "ඔබ නිදියහනට යන්නට පැයකට පෙර සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගවලින් ඈත් වෙන්න කියලයි.
දිශානි ජයමාලි කරුණාරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd