
අතීතයේ ක්ලියෝ පැට්‍රා රැජින සමග බැඳුණු සර්පයන් සම්බන්ධ කතා රැසකි
- මුල් කාලේ පිඹුරන්නට කකුල් තිබුණා, පිඹුරාගේ සිරුරේ අභ්‍යන්තරයේ පාද කොටස්
- කර්ණිකාව හරස් අතට නිසා පිඹුරු දෂ්ඨනය දුර්වලයි
- තරුපහේ හෝටල්වල සැරිසැරූ නයි නලඟනක් නයා ගසා මිය යයි
- පිඹුරා තනිකඩ සත්වයෙක්,
- ගැහැණු සතුන්ගේ හෝමෝන නිසා එය සොයා එයි
- මුලින්ම කරන්නේ පිඹුරා ගොදුර වටා දඟරයක් මෙන් දැවටී ඇටකටු කුඩුකර දැමීමය
කොළඹට තදාසන්න වනජීවී කාර්යාලයට පිඹුරකු කරේ දමාගත් යුවතියන් දෙදෙනෙකු පැමිණීම කලකට ඉහත පුවත්පත්වල මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියක් විය. කරේ දමාගෙන සිටින උරගයා දුටු වනජීවී නිලධාරියා කලබලයට පත් විය.
“දුවපන් ඔය පොළඟා බිමට දාලා. ඉක්මනට ඉස්පිරිතාලෙට ගිහින් ඉන්ජෙක්ෂන් එකක් ගහගනින්”
සිදු වී තිබුණේ කුමක්ද? යුවතියන් දෙදෙනා පිඹුරකු කියා කරේ දමාගෙන ඇවිත් තිබුණේ පිඹුරකු තරම් පොළඟෙකි. පසු දින පුවත්පත් වල එම ප්‍රවෘත්තිය පළවූයේ මෙවැනි ප්‍රවෘත්තියකි.
“පිඹුරකු කියා පොළඟකු කරේ දමාගෙන වනජීවියට ආ යුවතියන් දෙදෙනා අත්අඩංගුවට, රෝහල් ගත කිරීමෙන් පසු හෙට අධිකරණයට!” සර්පයන් ගැන ඇති පුස්කොළ පොත්වල සඳහන් පරිදි පොළොං දෙන හැර සියලුම සර්පයෝ බිත්තරවලින් ඉපදීම සිදුවේ.
සර්ප වෙද අත්පොතේ සඳහන් වන්නේ හිරු දුටු දින පටන් සර්පයාගේ විෂ කෝෂවලට විෂ එක්රුස් වීම ආරම්භ වන බවය.
රිවිදුටු ඇසිල්ලේ
විෂය එයි නොපැකිල්ලේ
තිස්දිනකි ලොල්ලේ
හැවය ගලවයි බිලිඳු ලොල්ලේ
අපට මේ සර්පයන් ගැන උනන්දුවක් ඇතිවුණේ පසුගිය දිනක අවුරුදු කුමරියක පිඹුරකු කරේ දමාගෙන ඩාන්ස් එකක් දැම්මා යැයි මුහුණු පොතේ බරපතළ ලෙස ෂෙයා වීම නිසාය.
ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙකු විසින් සංවිධානය කළ අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැළුණු අවුරුදු කුමරිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී. ජේ. ප්‍රේමරත්න වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කළේ පසුගිය සඳුදාය.
වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව හිරන්යා නමැති සැකකාර තරුණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තුවක් නිකුත් කළාය.
වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවත් සැකකාරියට වනජීවි කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියෝග කර ඇතත් ඇය එම ප්‍රකාශය ලබාදීම මග හරිමින් සිටින බවත්ය.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාරිය හඳුනාගත් බවද කී නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා වනජීවී අංශයට පැමිණෙන ලෙසට ඇයට දැනුම්දීමක් කළ නමුත් ඇය එම දැනුම්දීම පැහැරහැර සැඟව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ වරෙන්තුවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මෙසේ තව දුරටත් අධිකරණයට කරුණු පෙළගැස්වූහ.
“ස්වාමිනි, කොළඹ කුරුඳුවත්ත ‘රෝයල් මාස් එරීනා’ නමැති පරිශ්‍රයේ සිදුකරන ලදැයි කියන මෙම අවුරුදු උත්සවයේ දී සැකකාරිය පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැළී තිබෙනවා. වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දන්වා තිබුණා. නමුත් එම තැනැත්තිය මේ වන තෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට අමතරව අදාළ තරගය සංවිධානයක් කළ රූපලාවණ්‍ය ශිල්පියාගෙන් ද ප්‍රකාශයක් ලබාගත යුතුයි. ඒ සඳහා අවසර ලබාදෙන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.”
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තු නියෝග නිකුත් කරමින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කළාය.
එමෙන්ම අදාළ තරග සංවිධායක රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ නමැති අයගෙන් වහාම ප්‍රකාශයක් ලබාගැනීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය වනජීවි දෙපාර්තමේන්තුවට එදිනම අවසර ලබාදීම විශේෂත්වයකි.
හිංසාකාරී අයුරින් පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදුණු බව කියන සැකකාර නෙත්මි හිරන්‍යා වීරසිංහ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 23 වැනි සඳුදා වන අතර පසුදිනම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ඒ අනුව සැකකාර තරුණියගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් වනජීවී නිලධාරීහු, සැකකාරිය අත්අඩංගුවට ගෙන මාර්තු 24 වැනි අඟහරුවාදා දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළහ.
වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇති පිඹුරකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදුකළ බවය.
කොළඹ පැවැති රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගයේ දී නර්තනයේ යෙදීම සඳහා පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000කට පිඹුරා මිලදී ගත් බව සැකකාර තරුණිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය විය.
පැමිණිල්ල වෙනුවෙන් වනජීවී රොෂාන් හේරත් පෙනී සිටි අතර විත්තිය වෙනවෙන් පෙනී සිටි නීතිඥ සමීර බණ්ඩාර සැකකාරිය සියලු විමර්ශනවලට සහයෝගය ලබාදෙන බැවින් ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියෝග කළාය.
එමෙන්ම විමර්ශන ප්‍රගතිය මැයි මස 15 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වනජීවි දෙපාර්තමේන්තුවට ඇය නියෝගයක් ද නිකුත් කළාය.
පිඹුරා කරේ දමාගෙන නැටූ අවුරුදු කුමරියට පිඹුරාගේ කකුල් ස්පර්ශ වූවාදැයි සැකසහිතය. මේ විශ්වය පෘථිවිය මත බිහි වූ මුල් අවධියේ සර්පයන්ට පාද පැවති බවට විශ්වාසයක් ඇත. එයට කදිම සාධකය පිඹුරාය.
පිඹුරාගේ හීනවූ පසු පාදවල ශේෂ වූ කොටස් සිරුර අභ්‍යන්තරයේ පවතී. ජම්බාලිය ආශ්‍රිත දෙපස ස්පර්ශ කිරීමෙන් ඒ බව අපේ අවුරුදු කුමරියට තහවුරු කරගත හැකිව තිබුණි. පිඹුරෙකුට අවුරුදු කුමරිය ගිලීම සුළු දෙයකි.
පිඹුරාට තම සිරුරේ විශ්කම්භයට වඩා වැඩි ගුණයක විෂ්කම්බයක් සහිත ගොදුරක් උගුරෙන් පහළට යැවීමේ හැකියාව ඇත. පිඹුරකුට අවුරුදු කුමරියෙක් ගිලීම ඒ හැටි ඉලව්වක් නොවේ. පිඹුරාට ඒ සඳහා උපකාර වන මැනවින් පිහිට වූ විශේෂ අස්ථියක්, උඩ හා යට හනුවල පාද හා බැඳී පවතී. ‘ක්වොඩ්ර්ට් අස්ථිය’ (Quadrate Bone) යනුවෙන් එය හඳුන්වයි. පිඹුරාගේ හනු යුගළයේ සිරස් අතට වැඩි අවකාශයක් ලබාදීමේ හැකියාව මෙම අස්ථියට ඇත. මේ නිසා ප්‍රමාණයෙන් විශාල ගොදුරක් ලෙස අවුරුදු කුමරිය ගිලීමේ පහසුව පිඹුරාට ඇත. රුචිකරන, ප්‍රමාණයෙන් වැඩි රසවත් භෝජනයකට කුස තුළ ඉඩ කඩ සලසන්නට මේ නිසා හැකිවේ. අධික ලෙස මැනවින් ඇදෙනසුලු සමද, පාවෙන පාර්ශුද, ශක්තිමත් කශේරුව හා දැඩි මාංශපේශිද නිසා පිඹුරෙකුට අවුරුදු කුමරියක ගිලීම සුටුස් ගා කළ හැක්කකි. අවුරුදු කුමරිය මේ පිඹුරා කරේ දාගෙන නැටුවේ පිඹුරාගේ මේ පැටිකිරිය නොදැන විය යුතුය.
මුලින්ම කරන්නේ පිඹුරා ගොදුර වටා දඟරයක් මෙන් දැවටී ඇටකටු කුඩුකර දැමීමය. පිඹුරා තම සිරුරේ අපර කොටසින් යොදන දඟරයට ගොදුරේ පාද සිර කර බිම හෙළා ගැනීමේ දක්ෂයෙකි. ඒත් අපේ අවුරුදු කුමරියට ඒ ඉරණම අත්වූයේ නැත. එමෙන්ම ගැලවී පලා යාමට උත්සාහ කරන ගොදුර සාහසික අයුරින් දඟර කීපයකට දැඩිව සිරකර ශ්වසනය නතරවන තෙක් රඳවා ගන්නා අතර මෙසේ දැඩි ග්‍රහණයට හසුව තැළී බිඳී ගිය ප්‍රාණය නිරුද්ධ ගොදුර හිසේ සිට ගිලීම පිඹුරාගේ සිරිතය. මුඛයෙන් ගලන තරලයකින් ගොදුර නැහැවී යන අතර මේ නිසා ආහාර මාර්ගයේ ඝර්ෂණය අඩු වී ගිලීම පහසු කරනු ලබයි.
නයින් සමග රඟන නළඟනත් මෙරට රාත්‍රි සමාජශාලාවල ජනප්‍රිය අංගයක් විය. මෙසේ නයකු සමග රංගනයේ යෙදුණු නළඟනක් පසුදින මියගියාය. මරණ පරීක්‍ෂණයේ දි පෙනී ගොස් තිබුණේ නළඟනගේ උස සපත්තුවල සිහින් අඩියට නාගයා පෑගී නාගයා නළඟනට දෂ්ට කර ඇති බවය. නළඟන බීමතින් සිටි නිසා නයි විෂ ඇල්කොහොල් සමග නළඟනගේ සිරුර පුරා ගමන් කොට තිබුණි.
එමෙන්ම මෑත අතීතයේ පුවත් මැවූ තවත් නයි නළඟනක් වූවාය. නමුත් පුවත්පත් කලකට පසු වාර්තා කළේ අනුරාධපුරයට එහා දුෂ්කර ගමක ග්‍රාමීය රෝහලක ඇය දරුවකු බිහිකර ඇති බවය.
සමාජශාලාවල නයි නළඟනන් ගැන වාර්තා වූවත් පිඹුරු අවුරුදු කුමරියන් ගැන වාර්තා වන්නේ කලාතුරකිනි.
මීට වසර 15 කට පෙර කොල්ලුපිටිය පොලිසියට ඇමතුමක් ලැබුණේ පිඹුරකු ඇතිකරන නළඟනක් ගැන නොව සමාජශාලාවක නාගයෙකු ඇතිකරන යුවතියක් ගැනය.
එවකට 21 හැවිරිදි වියේ පසු වූ නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානිය. කඩුගන්නාවේ දන්තුරේ ප්‍රදේශයේ තරුණියක වූවාය. ඇය කොළඹ රැකියාවකට පැමිණ ඇත්තේ රාත්‍රි සමාජ ශාලාවක නළඟනක ලෙසිනි. මේ සමාජශාලාව ඒ කාලයේ වළාන දුෂණ මර්දන ඒකකයෙන් වැටලීම් ද කර තිබිණි. ජිනා මැඩම්ගේ ගේක සමාජශාලාවේ නළඟනක් ලෙස රැකියාව කළ නිරෝෂා කාගේත් සිත් ඇදගන්නා ලෙස නර්තනයේ යෙදුණු අතර මේ නිසාම ඇයට වැඩිපුර සන්තෝසම්ද ලැබෙන්නට විය.
දිනක් කොල්ලුපිටිය පොලිසියට ඇමතුමක් ලැබුණේ ඩිලානි නාගයෙකු කාමරයේ තබාගෙන සිටින බවය. පොලිසිය නාගයා තුරුලු කරගෙන සිටි ඩිලානි පොලිසියට රැගෙන එන ලදි. කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගෙන එනු ලැබූ ඩිලානි නාගයා තුරුලෙන් පසෙකට කළේම නැත. ඇයගෙන් නාගයා වෙන් කරනවාට ඇය කැමති වූයේ නැතුව ඊට විරෝධය පෑවාය.
“ඔය නයා පෙට්ටියට දාන්න. නාගයාගේ පෙට්ටිය ඇය වෙතට දෙමින් පොලිස් නිලධාරිනියක් තර්ජනයක්ද කළාය.
“බෑ නයා පෙට්ටියට දාන්න නම් බෑ... බෑමයි”
ඩිලානි ඇඬුම් මුසුව තව තවත් නාගයා තුරුලු කරගත්තාය. නැවත ද පොලිස් නිලධාරීන් නයාව පෙට්ටියට දාන ලෙස තරුණියට ඇවිටිලි කළාය.
“බෑ... බෑ... නාගයා පෙට්ටියට දාන්න බෑ. මේ නාගයා මගෙන් අයින් කරනවා නම් මාව මරන්න. නාගයාත් මරන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.”ඇය කීවාය.
පිඹුරා සමග නර්තනයේ යෙදුණ නෙත්මි හිරන්යාට වඩා වෙනස් කතාවක් පොලිසියට කීවේ නාගයා සමග සිටි නළඟන ඩිලානිය.
ඇය හඬමින් පැවසූවේ ඇය නිවසේ සිටින කාලයේ දොඩම් වල නාථ දේවාලයට ගිය බවත් ඒ අවස්ථාවේ එහි සිට ඇය ළඟට නාගයකු පැමිණි බවත්, ඒ නාගයා අල්ලාගෙන ගෙදර ගෙන ආ බවත්ය. “ඉතිං ගෙදර අයට හොරෙන් මම ඒ නාගයා තියා ගත්තා. ඒ හැපින්නියගේ පැටියෙක් තමයි මේ. මේ පැටියා පුංචි කාලේ ඉඳන් මං හැදුවේ. මේ සතා විෂ සහිත වුණත් මාව සපා කන්නේ නෑ. බයවෙන්න එපා’‘
ඇය කිව්වේ මිතුරියන්ට පෙන්වන්නට නාගයා සමාජ ශාලාවට ගෙනා බවය.
“මම නගයා එක්ක ඩාන්ස් කළේ නැහැ. ගෙදර හිටපු නාගයා මම ගෙනාවෙ මෙහෙ ගෑනු ළමයි නාගයා බලන්න ඕන කියපු හින්දයි. ගෙනල්ලා පෙට්ටියේ දාලා කාටත් නොපෙනෙන්න තියාගෙන හිටියේ. දවසක් ළමයින්ට නාගයා පෙන්වන්න එළියට ගත්තා. ඒ වෙලාවේ නාගයා එහෙ මෙහෙ දුවන්න පටන්න ගත්තා. එතකොට සමාජශාලාවේ අය බිය වී දුවන්න ගත්තා. පොලිසියට කෝල් කළේ මැනේජර් තමයි. ඒයා මාත් එක්ක තරහයි. මම එයත් එක්ක ඩාන්ස් නොකරන නිසා.”
පිඹුරකු කරේ දමාගත් නෙත්මි හිරන්යාගේ ඉරණමට වඩා ඩිලානිගේ ඉරණම වෙනස් විය.
2009 අංක 10 සත්වෝද්‍යාන පනතේ 3 අ වගන්තිය උල්ලංඝනය කිරීමෙන් එකී පනතේ 3 ඇ පනත යටතේ 1977 අංක 13 දරන සත්ත්ව හිංසා ආඥා පනතේ 2 වගන්තිය යටතේ ද 49 වන අධිකාරිය වූ අන්තරාදායක සතුන් පිළිබඳ ආඥා පනතේ වැරදි අනුවත් අත්අඩංගුවට ගත් ඩිලානි උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේය. ඒ අතරතුරේ දෙහිවල සත්තවෝද්‍යානයේ උරග උයන අධීක්‍ෂණ නිලධාරි මගින් නාගයා පරීක්ෂා කරනු ලැබීය. එහිදී මේ නාගයා අන්තරාදායක සතුන්ට අයත් උරග ගණයේ සත්ව වර්ග පහට අයත් එකකු බවත්, මේ නාගයාගේ විෂ දළ ගලවා ඇති බවත් අධිකරණයට දන්වන ලදි. මේ නාගයා ඉන්පසු දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙනු ලැබීය. නැවත නඩුව කැඳවූ දිනයේ ඩිලානිට ඇප ලැබුණි.
ඇය ඇප මුදා හැරුණු අතර මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අදාළ වාර්තා ඉදිරි දිනයේ ඉදිරිපත් කරන ලෙසට අධිකරණය දැනුම් දෙන ලදි. පසුව හෙලිවූයේ ඇය විවාහක 21 වියැති කාන්තාවක් බවය. ඩිලානිගේ සැමියා කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් දමා ඇයට ගෙදරයාමට කතා කළත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
නමුත් පිඹුරකු කරේ එල්ලාගෙන ඩාන්ස් කළ නෙත්මි හිරන්‍යාට එවැනි ඉරණමත් අත්වේ යැයි අපි ප්‍රාර්ථනා නොකරමු.
මෑතකදි එළිදක්වන ලද එකී සමීක්‍ෂණ වාර්තාවකට අනුව වාර්ෂිකව අපනයනය කරන මිලියන ගණනක පිඹුරු හම් සඳහා පිඹුරන් වැඩිම ප්‍රමාණයක් ඝාතනය කරනු ලබන්නේ අග්නිදිග ආසියානු රටවල් විසිනි. ඒවා ආනයනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් යුරෝපීය විලාසිතා සහ හම් කර්මාන්තයටය.
එම පර්‌යේෂණයේ ලෝක සංරක්‍ෂණ සංගමය පිඹුරන් විශේෂ වඳ වී යෑම ගැන කඳුළු සලමින් අන්තරායට ලක් වූ වනජීවීන් හා උන්ගේ සත්ත්ව කොටස් අන්තර් ජාතික වෙළෙඳාමට සීමා පනවන CITES සම්මුතියේ අනුදැනුම මත පිඹුරු හම් අපනයනය සඳහා බලපත්‍ර ලක්‍ෂ ගණනක් නිකුත් වන්නේද මෙවැනි වාතාවරණයකය. වන සතුන්ගේ ජීවිත අවභාවිතය වැළැක්වීම සඳහා සකස් කර ඇති අන්තර් ජාතික නියාමන ආයතන මේ ආකාරයෙන් ගොනාට අන්දමින් ලොව තවමත් පිඹුරු හම් අලෙවිය ජයටම සිදු කෙරේ. සමහර රටවල් බ්‍රොයිලර් කුකුළන් මෙන් පිඹුරන් ඇතිකර හම් අපනයනයට පියවර ගනී.
ස්ත්‍රී සහ සර්පයන් බන්ධනය වී නටන මෙම නැටුම්වල අපූරුම පරිච්ජේදයක්ද ඉතිහාසයේ දක්නට ඇත. එයට කියන්නේ සර්පයන් සමග නටන ‘නරක නැටුම්’ (Dirty Dancing with Reptiles) යන නිර්වචනයයි. මෙම යුවතියෝ නැටුමට අමතරව සර්පයන් තුරුලු කරගනිති. වෙළාගනිති. සිපගනිති. දිවගාති සහ රහස් පවසති යැයි එහිදී කරුණු හෙළිදරව් වී තිබේ.
නෙත්මි හිරන්‍යාට අවසානයේ අප පතන්නේ ක්ලියෝපැට්රා සුරූපිණියට අත් වූ ඉරණම අත්නොවේවායි කියාය.
සුරූපී ක්ලියෝපැට්රා රැජින විනෝදාංශයක් ලෙස සර්පයන් හදාවඩාගත් බැව් පැවසෙයි. අපූර්ව ආදර කතාවකට පාත්‍රවන ‘ක්ලියෝපැට්රා’ අවසානයේ දි සිය දිවි හානිකර ගන්නේ තමා හදාවඩාගත් සර්පයෙකු ලවා නිදියහනේදි නිරුවත් සිරුරේ පයෝධර පෙදෙසට දෂ්ට කරවා ගෙනය. ඉපැරණි කතාවලින් කියැවෙන්නේ සර්පයා තමාගේ නිරුවත් උඩුකයට දෂ්ට නොකර මඟහැරීමට උත්සාහ කළත් බලෙන්ම නාගයා ලවා දෂ්ට කරවාගෙන ඇති බවය.
ක්ලියෝපැට්රා බිසව මේ සඳහා තෝරාගත්තේ තම සර්ප එකතුවෙන් පිඹුරකු නොව දරුණු ඊජිප්තු නාගරාජයෙකු ය. ක්ලියෝපැට්රා දිවි නසාගැනීමට පිඹුරකු තෝරාගත්තා නම් ඉතිං ඒ ලස්සන රූපය වෙලාගත් පිඹුරාගෙන් ඇටකටු ටික කඩාගන්නවා නියතය.
මහින්ද රණවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd