පෘථිවියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් ඇති කාලගුණ දේශගුණික වෙනස් වීම් ගෝලීය මාතෘකාවකි.ලංකාවේ මේ දිනවල පවතින අධික රස්නයෙන් අතිශයින් පීඩාකාරීය. මේ වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් ඇති බව ලෝක කාලවිද්‍යා සංවිධානය සඳහන් කරන අතර මෙලෙස ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස තාප තරංග ප්‍රමාණ ඉහළ යාම, දරුණු නියං සහ ශක්ති අසමතුලිතතාවක් ඇති වීමේ හැකියාවද ඇති බව එම සංවිධානය සඳහන් කරයි. මෙරට කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ද ශ්‍රී ලංකාවට බලපා ඇති අධික උණුසුම් තත්ත්වය මැයි දක්වා කාලයෙහි අවධානය යොමු කළ යුතු මට්ටමකට අධික උණුසුම් තත්ත්වයක් දක්වා ඉහළ යා හැකි බවය.
 
මෙම අධික උණුසුම හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අවදානම් පිරිස් වන කුඩා දරැවන්, පාසල් වියේ  දරුවන්, ගැබිනි මව්වරැන්, වියපත් වැඩිහිටියන් සහ දිගුකාලීන විවිධ රෝගාබාධවලින් පීඩා විඳින රෝගීන් ආරක්ෂා කර ගත යුතු බවට සෞඛ්‍ය බලධාරීන්, කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙන අතර අධික උෂ්ණත්වය නිසා මේ දිනවල  වෛරස් උණ තත්ත්වයක්ද ශීඝ්‍රයෙන් පැතිර යන බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.  
 
විශේෂයෙන්ම ආතතිය, නිදිමත ගතිය, වැඩ කිරීමට තරම් ශරීරය ප්‍රාණවත් නොවීම ,මස්පිඬු පෙරළීම (Heat Cramps), සිහි කල්පනාව නොමැති වීම (Heat Stroke) මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට සමෙහි සංකූලතා(Heat Rash) මෙන්ම හෘදය රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීම ද මෙම කාලයෙහි සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති. 
 
මේ දිනවල මෙසේ පවතින අධික රස්නය සමග ඔබ අනුගමනය කළ යුතු උපදෙස් සහ ප්‍රවේසම් විය යුතු අකාරය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගෙන් විමසුවෙමු. 
 
“කාලගුණ දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව මේ දිනවල ලංකාවේ  උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස්පහේ සිට හතළිහට ආසන්න අගයක් බොහෝ දිස්ත්‍රික්කවල වාර්තාවෙලා තියෙනවා. මේ තත්ත්වය මත අපේ ශරීරයට බලපාන අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා.
 
අධික උණුසුම් තත්ත්වය නිසා මාංශ පේශි පෙරළීම (Heat Cramps ) කකුල් හෝ උදරයේ ඇතිවන පාලනය කළ නොහැකි මාංශ පේශී වේදනාව සහ අධික ලෙස දහඩිය දැමීම. මෙම තත්ත්වය අනුව තමන් නිරත වී සිටින ක්‍රියාකාරකම් වහාම නැවැත්විය යුතුයි. ඒ පුද්ගලයන් සෑම විනාඩි 15 කට වරක් ජලය වීදුරු භාගයක් බැගින් පානය කළ යුතු වෙනවා.
 
ඒ වගේම අධික ලෙස විඩාවට පත්වීම (Heat Exhaustion ), සම සීතල වීම, සුදුමැලි වීම හෝ ඇලෙනසුලු ස්වභාවය,  කරකැවිල්ල, වමනය ගතිය සහ හිසරදය මෙහි ලක්ෂණ වේ. මෙහි උච්චතම අවස්ථාව Heat Stroke  ලෙස හඳුන්වනවා. 
 
මේ දවස්වල බොහෝ අය ගොදුරු වන්නේ මේ තාප විඩාව කියන තත්වයට. මෙම විඩා තත්ත්වයට පත් වූ විට ව්‍යාකූල ප්‍රචණ්ඩ ස්වාභාවයක් ඇති විය හැකියි. හේතුව වන්නේ අධික උෂ්ණත්වය නිසා මිනිස් සිරුරේ තිබෙන ස්නායු පද්ධතියේ වෙනස් කම් ඇතිවීමයි. ඒ තත්වය මත හෝමෝන ශ්‍රාවය වීමේත් යම් යම් ගැටලුකාරි තත්ත්වයන් එනවා. කාන්තාවන්ට ඔසප් චක්‍රයේ විෂමතා ඇතිවිය හැකියි. 
 
තාප විඩාවට පත්වූ විට වහාම සිසිල් පරිසරයකට මාරු වීම, තෙත රෙදි කඩකින් සිරුර පිස දැමීම හෝ ඇල්වතුරෙන් ස්නානය කිරිම දිගින් දිගටම ජලය පානය, සාමාන්‍ය ජලයට වඩා ජීවනී වැනි මුඛ ප්‍රතිජලන ලවණ  වඩාත් සුදුසු වෙනවා.
 
එමෙන්ම සමේ රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකියි. අනෙක් කාරණය වන්නේ මේ උණුසුමත් සමඟ පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා ඔබ  පොදු ස්ථානවට යාමේදී මුඛ ආවරණයක් පැලඳීම යෝග්‍ය වෙනවා. උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් නැතිනම් පුංචිම දරුවන්ට වතුරේ සෙල්ලම් කරන්න නාන්න ඉඩ දෙන්න. බය වෙන්න එපා.නැත්නම් ඒ දරුවන්ට සමේ රෝග ඇතිවිමේ අවදානම වැඩියි.
 
අධික උෂ්ණත්වයේ උච්චතම අවස්ථාව හීට් ස්ට්‍රොක් (Heat Stroke) 
 
දාඩිය වැඩිපුර දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. හීට් ස්ට්‍රෝක් කියන්නේ ශරීර උෂ්ණත්වය විනාඩි 10ක් හෝ 15ක් ඇතුළත ෆැරන්හයිට් 106ත් ඉක්මා යාම. මෙම රෝගී තත්ත්වයට ඉක්මනින් ප්‍රතිකාර නොකළ හොත් රෝගියා මරණයට පවා පත් විය හැකියි. බොහෝ විට දිගු වේලාවක් අව්වට නිරාවරණය වීමෙන් මෙම රෝගී තත්ත්වය ඇති විය හැකියි. හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් ඇති වුව හොත් අදාළ පුද්ගලයා ඉක්මනින් සෙවණකට රුගෙන ගොස් ඇඟ ජලයෙන් තෙමා හෝ ශරීරය සිසිල් කළ යුතු වෙනවා. කෙණ්ඩා පෙරළීම, අතේ, කකුලේ කැක්කුම් වැනි රෝග ලක්ෂණත් ඇතිවන්නට පුළුවන්. 
 
මෙම කාල සීමාවේ ඉතාම අවධානය යොමු කළ යුතු සහ ප්‍රවේසම් විය යුතු කාණ්ඩ ලෙස කුඩා දරුවන්, පාසල් වියේ දරුවන්, ගැබිනි මව්වරුන්, වියපත් වැඩිහිටියන් සහ දිගුකාලීන විවිධ රෝගාබාධවලින් පීඩා විඳින රෝගීන් හැඳින්විය හැකියි. මේ අය විජලනයට ලක්වීමේ අවදානමක් පවතිනවා. වැඩිහිටි අයට වියපත් වීමත් සමඟ තිබහ අතිවීමේ ජීව විද්‍යාත්මක සංසිද්ධිය කිසියම් දුරකට අඩුවෙනවා. වයසක අයට තිබහ දැනෙන්නේ නැති නිසා නිවසේ  වැඩිහිටියන් ඉන්නවා නම් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානයට සැලැස්විය යුතුය වෙනවා. 
 
මේ වගේ අධික උෂ්ණත්ව පවතින කාලවලදී හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, වකුගඩු රෝගීන් වගේම ප්‍රතිශක්තීකරණය දුර්වල පුද්ගලයන් අව්වට (උදේ 10-හවස 4 අතර කාලයේ)  නිරාවරණය වීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඖෂධවල ගුණාත්මකභාවයට හානිදායක වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉන්සියුලින් වගේ දේවල් තාපයට සංවේදියි. අධික උෂ්ණත්වයකට මෙම ඖෂධ නිරාවරණය වුවොත් ක්‍රියාකාරි මට්ටම අඩු විය හැකියි. බොහෝ දෙනෙකුට පරිසර උෂ්ණත්වය නිසා කරකැවිල්ල, හිසරදය නිදිමත ගතිය, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මිග්‍රේන් වැනි රෝග තත්ත්ව තියෙන පුද්ගලයන්ට මේ උෂ්ණත්වයත් සමඟ ඒ රෝග නැවත මතු විය හැකි දරුණු විය හැකියි. ඒ වගේම කුඩා දරුවන් වාහන තුළ දමා යන්න එපා. 
 
දැඩි උණුසුමෙන් ආරක්ෂා වෙන්න කළ යුතු දේවල්
 
මේ දිනවල දියර වර්ග පානය කිරීමට පිපාසය දැනෙන තෙක් සිටින්න එපා.  ජීවනී, තැඹිලි වතුර හෝ ලු‍ණු ස්වල්පයක් මිශ්‍ර කළ දියර වර්ග පානය කරන්න. ජලය සංචිත වෙන ආහාර, පිපිඤ්ඤා, කොමඩු, දෙහි ,දොඩම් වැනි දේවල් පානය කිරීම වැදගත් වෙනවා.
 
ඒ වගේම අධික උෂ්ණත්වය පවතින වේලාවන්හි දී වැඩිපුර කැෆෙන් (කෝපි) සිසිල් බීම වර්ග පානය ශරීරයට ඉතාම අහිතකර වෙනවා.
 
වතුර පමණක් පානය කළ හොත් බොහෝ විට ඒවා මුත්‍රා සමඟ පිටවන නිසා මේ වගේ ලවණ සීනි අඩංගු දියර පානය කිරීම වඩා ඵලදායි වනවා.
 
ඒ වගේම ශරීරය රත් වුණ වෙලාවට අයිස් වතුරෙන් ස්නානය, අයිස් වතුර පානය ඉතාම නුසුදුසු වෙනවා. එළිමහනේ සේවය කරන පුද්ගලයන් සඳහා ඉතාම අවධානයෙන් අනුගමනය කළ යුතු දෙයක්.
 
විශේෂයෙන් නිවසින් එළියට බැසිමේදී ළා පැහැති සුදු වැනි වර්ණ, ලිහිල් කපු රෙද්දෙන් කළ ඇඳුම් ඇඳීම යෝග්‍ය වෙනවා 
 
ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යද්දි අපේ පරිසරයට දිගු කාලීන බලපැමක් එල්ලකරමින් සිටිනවා. මෙහිදී නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් බ්ලොක් ගල් වෙනුවට මැටි ගඩොල් යොදා ගැනීම යෝග්‍ය වෙනවා. බ්ලොක් ගල්වල තාපය රඳවා ගැනීම වැඩි නිසා අධික රස්නයට නිවස තුළ ජීවත් වීම ඉතාම අපහසු වෙනවා. 
 
ඒ වගේම වහලට සීට් යොදා තිබේ නම් ඊට උඩින් පොල් අතු දැමීමෙන් යම් සිසිල් බවක් ගෙන දෙනවා වගේම ඉන්ටර්ලොක් මිදුලට ඇල්ලීමෙන්  වැළකීම යෝග්‍ය වෙනවා. එමගින් ලොකු රස්නයක් නිවෙස් තුළට නොදැනුවත්වම එනවා. 
 
රස්නය අඩු වෙන පාටක් නැද්ද? පවතින උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව නිකුත් කළ ඇති කාලගුණික වාර්තාවන්ට අනුව උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවත් බස්නාහිර ,සබරගමුව ,දකුණ ,වයඹ සහ උතුරු මැද පළාත් සහ මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය ඉදිරි පැය විසිහතරෙහි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම තත්වය ඉදිරි සති දෙක පුරා බලාපොරෙත්තු විය හැකි බැවින් විශේෂයෙන්ම දහවල් කාලයේදී එළිමහනේ සිදු කරන වැඩවලින් හැකි තරම් වැළකී සිටීමට වගබලා ගතයුතු බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එමෙන්ම උදේ 11 සිට සවස 4 දක්වා පතිත වන රස්නය ශරීරයට ඉතාම අහිතකර බවත් එම කාලයෙහි ක්‍රීඩා කටයුතු, එළිමහන් රැකියා කටයුතු අනුචිත බවත් පවසයි.
 
ඉදිරියේදී එල්නිනෝ තත්වයක් ඇතිවිය හැකි ද? 
 
මේ පිළිබඳව කාලගුණ දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්ගෙන් ද විමසීමක් කළෙමු. 
 
"එල්නිනෝ කියන්නේ පැසිපික් සාගරයේ සහ නැගෙනහිර පැත්තට වෙන්න මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවීමේ තත්ත්වයක්. නමුත් දැනට ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ. .පුරෝකථනයක් තියෙනවා මැයි මාසෙන් පසු එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට. නමුත් මේ පවතින රස්නය සාමාන්‍ය මාර්තු අප්‍රේල්වල ඇතිවිය හැකි සාමාන්‍ය උෂ්ණාධික තත්ත්වයක්. ඉදිරි සති කිහිපයෙත් සාමාන්‍ය මට්ටමට වඩා උණුසුම වැඩි විය හැකියි. ”
 
නදීශා අතුකෝරළ