
මේ දිනවල පවතින අධික උණුසුම මිනිස් සිරුරට දැනෙනවා සේම පරිසරයේ වෙසෙන සතුන්ටද දැඩි බලපෑමක් එල්ල කරයි. සුනඛයන් සහ පූසන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ පද්ධතිය මිනිසාට වඩා බෙහෙවින් වෙනස්ය. සතුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය මිනිසාට වඩා වෙනස්ය. සතුන්ට මිනිසාට මෙන් දහඩිය දැමීමට හැකියාවක් නොමැති අතර, සිරුර සිසිල් කර ගැනීමට ඔවුන් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ වේගයෙන් හුස්ම ගැනීම හෙවත් හති දැමීමය.
දැඩි උණුසුම සමග සතුන්ට එන හීට් ස්ට්‍රෝක් (Heatstroke) තත්ත්වය
හීට් ස්ට්‍රෝක් (Heatstroke) තත්වයක මූලිකම පෙර නිමිත්ත වන්නේ දරාගත නොහැකි මට්ටමට ඇති වන මෙම අධික හති දැමීමය. සුනඛයන් කෙරෙන් මෙය සාමාන්‍ය දෙයක් සේ පෙනුණත්, ඔවුන් වෙනදාට වඩා වේගයෙන් සහ නොකඩවා හති දමන්නේ නම් එය අනතුරු ඇඟවීමකි. විශේෂයෙන්ම පූසන් සාමාන්‍යයෙන් හති දමන සතුන් නොවන බැවින්, පූසෙකු කට ඇරගෙන හුස්ම ගන්නේ නම් එය ඉතා බරපතළ හදිසි අවස්ථාවක් ලෙස සලකා වහාම ක්‍රියාත්මක විය යුතුය.
මෙම රෝගී තත්ත්වයේ මුල් අවධියේදී සත්වයාගේ මුඛයෙහි පැහැදිලි වෙනස්කම් රාශියක් දැකිය හැකිය. සත්වයාගේ විදුරු මස් සහ දිව සාමාන්‍ය රෝස පැහැයෙන් මිදී තද රතු, දම් හෝ සමහර විට නිල් පැහැයට හුරු පැහැයක් ගත හැකිය. එසේම, ශරීරය සිසිල් කිරීමට දරන උත්සාහය නිසා මුඛයෙන් අධික ලෙස ඝනකම් කෙළ වැගිරීම හෝ පෙණ දැමීම වැනි ලක්ෂණද මතු වේ. මේ සමඟම සත්වයා දැඩි නොසන්සුන් බවක් පෙන්වන අතර, සෙවණක් හෝ සිසිල් ස්ථානයක් සොයා කලබලයෙන් ඇවිදීම හෝ බිම දිගේ ඇදී යාම වැනි චර්යාත්මක වෙනස්කම් මගින් ඔවුන් පසුවන්නේ දැඩි පීඩාවක බව අපට වටහාගත යුතුය.
තත්ත්වය තවදුරටත් උත්සන්න වන විට, සත්වයාගේ මාංශ පේශිවල පාලනය ගිලිහී යයි. මත්පැන් පානය කළ අයෙකු මෙන් පය පැටලෙමින් ඇවිදීම හෝ කෙළින් සිටගැනීමට නොහැකිව ඇද වැටීම වැනි ලක්ෂණ ඔවුන්ගෙන් පෙනේ. වමනය සහ ලේ මිශ්‍ර පාචනය ඇති වීම ශරීර අභ්‍යන්තර අවයවවලට හානි සිදු වීමේ සලකුණු වේ. අවසාන අදියරේදී දැඩි විජලනය හේතුවෙන් සත්වයා සිහිසුන් වීම හෝ වලිප්පුව වැනි තත්ත්වයන්ට පවා පත් විය හැකිය. මෙවැනි මූලික ලක්ෂණයක් දුටු සැණින් සත්වයාගේ සිරුර ඇල් මැරුණු ජලයෙන් තෙත් කර, සෙවන ඇති ස්ථානයකට ගෙන ගොස් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.
උණුසුම ඇතැම් සත්ව කාණ්ඩවලට අධිසංවේදියි
සෑම සතෙකුටම අධික උණුසුම බලපෑවත් ඇතැම් කාණ්ඩ මේ සඳහා විශේෂයෙන්ම සංවේදී වන අතර ඔවුන් ඉතා ඉක්මනින් මරණීය අවදානමකට පවා ලක් විය හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම Brachycephalic හෙවත් "මූණ පැතලි" වර්ගයේ සුනඛයෝ සහ බළල්ලු (උදා: Pug, Bulldogs, Boxers, Persian Cats) දැඩි අවදානමකට ලක් වෙති. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ නාස් කුහරය සහ ශ්වසන මාර්ගය ස්වාභාවිකවම ඉතා පටු වීමය. සිරුර සිසිල් කර ගැනීමට සතුන් භාවිත කරන ප්‍රධාන ක්‍රමය වන හති දැමීමේදී, වාතය කාර්යක්ෂමව හුවමාරු කර ගැනීමට මෙම පටු ශ්වසන මාර්ග බාධාවක් වන බැවින් ඔවුහු ඉතා ඉක්මනින් හීට් ස්ට්‍රෝක් තත්ත්වයට පත් වෙති.
කුඩා පැටවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැති අතර, ඉතා ඉක්මනින් විජලනයට පත් වේ. අනෙක් අතට, වයසින් වැඩි සතුන්ගේ හෘදයේ සහ පෙණහලුවල ක්‍රියාකාරිත්වය දුර්වල බැවින් අධික රස්නයට ඔරොත්තු දීම සඳහා ඔවුන්ගේ සිරුරට දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. හෘද රෝග, වකුගඩු රෝග හෝ ශ්වසන ආබාධ සහිත සතුන් සිටී නම්, රස්නයත් සමඟ එම රෝගී තත්ත්වයන් උත්සන්න වී සත්වයා අසාධ්‍ය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
කළු සුනඛයන්, පූසන් එළිමහනේ ගෙන යාමෙන් වළකින්න
අඳුරු පැහැති (කළු හෝ තද දුඹුරු) රෝම සහිත සතුන් සූර්ය තාපය වැඩිපුර අවශෝෂණය කර ගන්නා නිසා ඔවුන්ට උණුසුමෙන් අධික පීඩා දැනේ. උණුසුම සහිත කාලගුණයකදී සතුන්ගේ සිරුරේ ජල ප්‍රමාණය නිසි ලෙස පවත්වාගැනීම හෙවත් හයිඩ්‍රේෂන් (Hydration) යනු හුදෙක් පිපාසය සංසිඳුවීමක් පමණකි ඔවුන්ගේ අභ්‍යන්තර අවයවවල ආරක්ෂාව තහවුරු කිරීමකි. මෙහිදී අනුගමනය කළ යුතු ප්‍රධානතම පියවර වන්නේ සත්වයාට දවසේ ඕනෑම මොහොතක ලබාගත හැකි පරිදි පිරිසිදු සහ සිසිල් ජලය ස්ථාන කිහිපයක තැබීමයි.
එකම ජල බඳුන දවස පුරා තැබීමෙන් එය රත් විය හැකි බැවින්, අවම වශයෙන් දිනකට තුන් හතර වතාවක්වත් ජලය මාරු කිරීම හෝ ජල බඳුනට අයිස් කැට කිහිපයක් එකතු කිරීම මගින් ජලයේ සිසිල් බව පවත්වා ගත හැකිය. එසේම, නිවසෙහි මෙන්ම සත්වයා ගැවසෙන සෙවන සහිත පිටත ස්ථානවලද ජල බඳුන් තැබීමෙන් ඔවුන්ට වෙහෙසකින් තොරව ජලය පානය කිරීමට අවස්ථාව සැලසේ.විශේෂයෙන් පූසන් දහවල් 1 - සවස 4 අතර කාලයෙහි එළිමහනේ රැගෙන යාමෙන් වැළකිය යුතුය.
උණුසුම අධික වීම සතුන්ට ආහාර අරුචිය ඇති කරයි
සතුන් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට මැලි වන්නේ නම්, ඔවුන්ගේ ආහාර රටාව හරහා ජලය ශරීරගත කිරීමට උත්සාහ කළ හැකිය. වියළි ආහාර (Dry Food) පමණක් ලබා දෙනවා වෙනුවට ඒවා ජලයෙන් හෝ ලුණු රහිත සුප් හොදි වර්ගයකින් පෙඟවීම මෙයට කදිම විසඳුමකි. විශේෂයෙන්ම බළලුන් වැනි ජලය පානය කිරීමට එතරම් උනන්දුවක් නොදක්වන සතුන් සඳහා ටින් කළ ආහාර (Wet Food) ලබා දීමෙන් ඔවුන්ගේ දෛනික ජල අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ආහාරයෙන්ම සපුරා ගත හැකිය. දවසේ උණුසුම උපරිම වන දහවල් කාලයේදී බර ආහාර ලබා දීමෙන් වැළකී, උදෑසන සිසිල් වෙලාවක සහ සවස් කාලයේදී ප්‍රධාන ආහාර වේල් ලබා දීමට වගබලා ගත යුතුය. මෙයට හේතුව වන්නේ ආහාර ජීර්ණය වීමේදී සිරුරෙහි අභ්‍යන්තර තාපයක් නිපදවන බැවින්, පරිසරයේ රස්නයත් සමඟ එය එකතු වූ විට සත්වයා දැඩි අපහසුතාවට පත්වීමය.
මෙවැනි කාලයකදී ලබා දීමට වඩාත්ම සුදුසු වන්නේ ජලය වැඩිපුර අඩංගු ආහාර වර්ගයි. වියළි ආහාර වෙනුවට තෙතමනය සහිත ආහාර (Wet food) හෝ ජලය, ලුණු රහිත සුප් හොදි මිශ්‍ර කළ ආහාර ලබා දීමෙන් සිරුර සිසිල්ව තබා ගත හැකිය. විශේෂයෙන්ම චොකලට්, මුද්‍රප්පලම්, ලූනු සහ කැෆේන් අඩංගු පාන වර්ග සතුන්ට විෂ විය හැකි බැවින් ඒවායින් නිරන්තරයෙන් ඔවුන් ඈත් කර තැබිය යුතුය.
සතුන්ට නිසි වාතාශ්‍රය ලබා දෙන්න
දැඩි හිරු රශ්මිය පවතින උදෑසන 10 සිට සවස 4 දක්වා කාලයේ සතුන් සෙවණ සහිත, වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථානයක රඳවා තැබීමෙන් ශරීරය රත් වීම සහ ඒ හරහා සිදු වන විජලනය අවම කර ගත හැකිය. නිවසේ සතුන් රඳවා තබන විට ජනෙල් සහ දොරවල් විවෘතව තබා වාතය නිදහසේ ගලා යාමට සැලැස්වීම අත්‍යවශ්‍ය වේ. නිවසක පහළ මහල හෝ ටයිල් ඇතිරිලි සහිත කාමර සාමාන්‍යයෙන් සිසිල් බැවින්, රස්නය අධික වෙලාවන්හිදී සතුන්ට එවැනි ස්ථානවල ලැගුම් ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. එසේම, ජනෙල්වලට ඝනකම් තිර රෙදි දැමීම මගින් සෘජු සූර්යාලෝකය නිවසට පැමිණීම පාලනය කර අභ්‍යන්තර උෂ්ණත්වය අඩු මට්ටමක පවත්වා ගත හැකිය.
සතුන් සිටින ස්ථානවලට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන අතරතුර, සත්වයා අසලින් තෙත තුවායක් එල්ලීම හෝ අයිස් පිරවූ බඳුනක් තැබීම මගින් එමගින් එන වාතය වඩාත් සිසිල් කර ඔවුන්ට ලබා දිය හැකිය. සත්වයා නිදාගන්නා ඇතිරිලි හෝ 'Bed' එක වෙනුවට සිසිල් ටයිල් පොළොවක් හෝ 'Cooling Mat' එකක් භාවිත කිරීමට ඔවුන් හුරු කළ හැකිය. එසේම, ප්ලාස්ටික් බෝතල්වලට ජලය පුරවා අධිශීත කර (Frozen Water Bottles), ඒවා තුවායකින් ඔතා සත්වයා නිදාගන්නා ස්ථානය අසල තැබීමෙන් ඔවුන්ට අවශ්‍ය විටෙක එම සිසිලස ලබාගැනීමේ ඉඩ සැලසේ. පිටත වත්තක සත්වයා රඳවා සිටී නම්, එම ස්ථානය ගස් කොළන් සහිත සෙවණක් විය යුතු අතර, සිමෙන්ති පොළොව හෝ තාර දැමූ මතුපිටවල් රස්නයට දැඩි ලෙස රත් වන බැවින් එවැනි තැන්වල සතුන් බැඳ තැබීමෙන් වැළකී සිටිය යුතුය.
මහමග වෙසෙන සතුන් වෙනුවෙන් නිවස හෝ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සෙවණ සහිත ස්ථානයක පිරිසිදු ජලය පිරවූ බඳුනක් තබන්න
උදෑසන 10 සිට සවස 4 දක්වා කාලයෙහි රත් වූ තාර පාරවල් සහ සිමෙන්ති පොළොව නිසා ඔවුන්ගේ පතුල් (Paws) දරුණු ලෙස පිලිස්සීමට ලක් විය හැකිය. එබැවින්, ඔබගේ වත්තට හෝ වෙළෙඳසල් පියස්ස යටට මෙවැනි සතෙකු සෙවන සොයා පැමිණෙන්නේ නම්, ඔවුන් එළවා නොදමා එම රස්නය අධික වෙලාව පසුවන තුරු එහි රැඳී සිටීමට ඉඩ ලබා දීම විශාල සහනයකි. විශේෂයෙන් දිවා කාලයේදී ගවයන් බැඳ තැබීමෙන් වැළකිය යුතුය.
උණුසුම වැඩි යැයි සතුන්ගේ රෝම ඉවත් කරන්න එපා
අධික උණුසුම පවතින කාලවලදී සුරතලුන්ගේ රෝම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම (Shaving) මගින් ඔවුන්ට සහනයක් ලැබෙනු ඇතැයි සිතා අයිතිකරුවන් රෝම ඉවත් කරන අවස්ථා පවතී. බල්ලන් සහ පූසන්ගේ රෝම තට්ටුව යනු හුදෙක් අලංකාරයට පවතින්නක් නොව, එය ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරන ස්වභාවික "පරිවාරක පද්ධතියක්" (Insulation system) ලෙස ක්‍රියා කරයි. මිනිසුන් වන අප උණුසුම කාලයට ඇඳුම් අඩු කළද, සතුන්ගේ රෝම තට්ටුව ක්‍රියා කරන්නේ ශීත කාලයට ශරීරයේ උෂ්ණත්වය රඳවාගැනීමටත්, රස්නය කාලයට බාහිර තාපය සිරුර තුළට ගලා ඒම වැළැක්වීමටත්ය.
විශේෂයෙන්ම "Double-coated" හෙවත් රෝම තට්ටු දෙකක් සහිත සතුන්ගේ (උදා: Golden Retriever, Pomeranian, Husky, Persian cats) යටි රෝම තට්ටුව මගින් වාතය රඳවාගෙන සිරුර සිසිල්ව තබා ගැනීමට උදව් වේ. ඔබ මෙම රෝම සම්පූර්ණයෙන්ම ඉවත් කළ හොත්, එම ස්වාභාවික ආරක්ෂාව අහිමි වන අතර සූර්ය තාපය සෘජුවම සත්වයාගේ සමට වැදීමට පටන් ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස සත්වයා ඉතා ඉක්මනින් රත් වන අතර, සම පිලිස්සීමට (Sunburn) සහ පසුකාලීනව සමේ පිළිකා ඇතිවීමට පවා ඉඩ ඇත.
සතුන් නාවනවා නම්
සතුන් නෑවීම උදෑසන හෝ සවස් කාලයේ සිදුකළ යුතුය. අධික ලෙස නෑවීම නිසා සමේ පවතින ස්වාභාවික තෙල් ගතිය ඉවත් වී සම වියළීමට සහ කැසීම ඇති වීමට ඉඩ ඇත. උණුසුම අවම කිරීමට අවශ්‍ය නම් සත්වයා සම්පූර්ණයෙන් නෑවීම වෙනුවට, සිසිල් ජලයෙන් පෙඟවූ තුවායකින් සිරුර පිස දැමීම හෝ සුනඛයන්ගේ පතුල් සහ බඩ යට ප්‍රදේශය පමණක් ජලයෙන් තෙත් කිරීම වඩාත් ප්‍රායෝගික වේ. සතුන් නෑවීමට වඩාත්ම සුදුසු වන්නේ උදෑසන හෝ සවස් කාලය වැනි පරිසර උෂ්ණත්වය අඩු වෙලාවන්ය.
මධූෂා දිල්ෂානි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd