ගෙවුණු සති දෙකක කාලයෙහි තුන් වරක්  කොතලහිඹුටු කිලෝග්‍රෑම් 25-50 අතර ප්‍රමාණයකින් චීනයට අපනයනය කිරීමේ දී මෙරට රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබීමත් සමඟ, මෙරට ජෛව සම්පත් අපනයනය පිළිබඳ සාකච්ඡා යළිත් වරක් උද්ගත ව ඇත. මෙරට ජෛව සම්පත් හොර රහසේ හෝ බලපත්‍ර රහිත ව අපනයනය කිරීමේ තත්ත්වය හඳුන්වා දෙන්නේ ‘ජෛව කොල්ලය’ නමිනි. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ, පරිසරවේදී, ආචාර්ය ජගත් ගුණවර්ධන ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළ පරිදි මෙම කොතලහිඹුටු තොග අපනයනයේ කිසියම් රටාවක් පවතින අතර ම, මෙය පිටුපස බුද්ධිමය දේපළ ජාවාරමක් පවතී.

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළට අදාළ ජෛව කොල්ලය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුලින් ම පාදක වන්නේ කොතලහිඹුටු ශාකයයි. ඒ අනුව, 1998 වර්ෂයේ මැයි මාසයේදී,  කොතලහිඹුටු ටොන් එකහමාරක පමණ ප්‍රමාණයක් බලපත්‍ර රහිත ව අපනයනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ආඥා පනතේ විසිහතර වන වගන්තියේ විධිවිධාන අනුව, කොතලහිඹුටු අපනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය වේ. මෙහිදී, කොතලහිඹුටු අපනයනය කිරීම මඟින් මෙරටට ලැබිය හැකි විශාල මුදල් ප්‍රමාණයක් රේගුව විසින් අවහිර කර ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළහ.

නමුත් ඒ සමඟ ම අනාවරණය වූයේ, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් කොතලහිඹුටු යොදාගෙන නිෂ්පාදනය කරන දියවැඩියා නාශක ඖෂධ සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති බවත්, ඒ අනුව එම ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරටින් කොතලහිඹුටු රැගෙන යන බවත් ය. ඒ අනුව, මෙහිදී ආචාර්ය ජගත් ගුණවර්ධන ප්‍රකාශ කරන පරිදි, මෙම කොතලහිඹුටු තොග එකම වර්ගයේ ඇසුරුම් මලුවල බහා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා අතරමැදී ප්‍රවාහනකරුවන් මගින් අපනයනය කිරීම සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ සැකයක් පවතී.

කොතලහිඹුටු ශාකය ගත්විට දියවැඩියාව නැසීමට හා ශරීරයට ග්ලූකෝස් අවශෝෂණය කරන එන්සයිමය නිෂේධනය කරන සංයෝගයක් ලෙස යොදාගනී. ඒ මඟින් තරබාරුකම මැඬලීම මෙන් ම ග්ලූකෝස් සහිත ආහාරවලින් වැලඳෙන ලෙඩ රෝගවලින් වැළකීම සිදු වේ. එසේ ම කොතලහිඹුටු යනු චර්මරෝග සහ සමාජ රෝගවලට ද ඖෂධයකි. මෙය දේශීය ආයුර්වේදයේ භාවිත වූ ඖෂධයක් වන අතර, දියුණු රටවල්වලින් සිදු කරන්නේ මෙම පාරම්පරික දැනුම පිළිබඳ තාක්ෂණය යොදාගෙන අත්හදා බැලීම් සිදුකර සකස් කරන නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගැනීමය. එසේ ම මෙහි ඛේදවාචකය වන්නේ ඉතා අඩු මිලකට මෙරටින් අමුද්‍රව්‍ය රැගෙන ගොස් සිදු කරන නිෂ්පාදන වැඩි මිලකට මෙරටට අලෙවි කිරීමය. මෙහි දී නිෂ්පාදනය කරන රටවල් මඟින් හුදෙක් සිදු කරනු ලබන්නේ නිෂ්පාදනය මුවාවෙන් හුදෙක් මේවා සංයෝග කර මිනිස් සිරුරේ බරවලට අදාළ මාත්‍රා ආදිය සොයා ගැනීම පමණක් වන අතර එහි දී එක් අතකින් ජෛව කොල්ලයක් මෙන් ම පාරම්පරික දැනුම ද මංකොල්ලයක් සිදු වේ.

ජෛව කොල්ලය යන සංකල්පය ඉස්මතු වූයේ මේ සමඟය. ජෛව කොල්ලය යනු, වෙනත් රටක පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති යම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මෙරටින් ශාක කොටස්, සත්ව කොටස් හෝ වෙනත් ජෛව කොටස් රැගෙන යාම හා ඒවා අපට භාවිත කිරීමට ඇති අයිතිය අහිමි කිරීමය. එසේම, ජෛව කොටස් අපනයනය කිරීමෙන් මෙරටට විශාල ආදායමක් ලබාගත හැකි බවට ඇතැම් පිරිස් තර්ක කළත් එම සම්පත් විකිණීමෙන් ලැබෙන ආදායම මෙරටට ඉතාම නො වටිනා මුදලකි. එනම්, මෙම පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් ලැබෙන මුදලෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. ඒ අනුව, මෙම අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අදාළ රටවලට ලබා දුනහොත්, ඉන් පසුව ඒවා සම්බන්ධයෙන් අපට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් පැන නැගේ.

එසේ ම 1994 දී ලෝක වෙළෙඳ සංවිධානය විසින් පිහිටුවන ලද, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පාලනය කරන ජාත්‍යන්තර ගිවිසුමක් වන TRIPS ප්‍රඥප්තියේ 28 වන වගන්තියට අනුව බුද්ධිමය දේපළ අයිතිය පැවරීමෙන් පසු ඊට අහිතකරවන පරිදි කිසිවක් නොකර සිටීමට රටවල් බැඳී සිටී. නිදසුනක් ලෙස දියවැඩියා ඖෂධයක් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සතු ව පේටන්ට් බලපත්‍ර ඇත්නම්, ඊට අහිතකර ලෙස තරගකාරී වන පරිදි වෙනත් රටවලට අමුද්‍රව්‍ය නොයවා සිටීමට ප්‍රඥප්තිය අත්සන් කළ රටක් වශයෙන් මෙරට බැඳී සිටියි.

මෙම ජෛව කොල්ලයේ ඇති ලක්ෂණය වන්නේ, එක් රටක ඇති ජෛව සම්පත් සඳහා තවත් රටක් විසින් අයිතිවාසිකම් කියා පෑමයි. කොතලහිඹුටු සම්බන්ධයෙන් ගත්විට මේ වන විට ලොව එක් ශාකයක් සඳහා වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් ලබාගෙන ඇති ශාකය වන්නේ කොතලහිඹුටුය. එම ප්‍රමාණය එකසිය හතළිස් තුනකි. ඒ අනුව බලපත්‍ර තිබියදීත් මෙසේ මෙරට කොතලහිඹුටු තොග තවදුරටත් නීත්‍යනුකූල නොවන ලෙස අපනයනය කිරීමෙන් පෙනී යන්නේ මෙරට අමුද්‍රව්‍ය යොදාගෙන තවත් අත්හදාබැලීම් සිදුකෙරෙමින් පවතින බවය. එනම් කිලෝග්‍රෑම් 25-50 අතර ප්‍රමාණ රැගෙන යාම, සාමාන්‍ය දියවැඩියා රෝගියකුට ප්‍රතිකාර සඳහා කොතලහිඹුටු අපනයනය කිරීමක් ලෙස සුළුකොට තැකිය නොහැක. එනම් හොර රහසේ සිදුවන මෙම ජෛව කොල්ලය දැඩි ලෙස අධීක්ෂණය කළ යුතු ය. 

මෙම නීතිවිරෝධී ජෛව කොල්ලය වැළැක්වීම සඳහා විවිධ අවස්ථාවන්හි රජය ඇතුළු පිරිස් විවිධ ක්‍රියාමාර්ගයන් ද ගෙන ඇත. ඒ අනුව වනාන්තරවලින් පිටතට කොතලහිඹුටු රැගෙන යාමට බලපත්‍ර නොදී සිටීම, පේටන්ට් ගාස්තු ඉහළ දැමීම, පේටන්ට් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රමවේද හඳුන්වා දී එහිදී අමුද්‍රව්‍ය ලබානොදීම මඟින් බලපත්‍ර අහෝසි වීමට හැරීම, අමුද්‍රව්‍ය ලබානොදීම මඟින් පේටන්ට් අයදුම්පත් අහෝසි වීමට හැරීම වැනි ක්‍රමවේද එසේ අනුගමනය කර ඇත. 

නමුත් ඒවා මෙම ජෛව මංකොල්ලය නැවැත්වීම සඳහා එතරම් සාර්ථක උපක්‍රම වී නැත. ඉන්පසු 2001 වර්ෂයේ දී රේගු දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සාකච්ඡා මඟින් බලපත්‍ර නිකුත් කිරීමේ නියෝග මාලාවක් සකස් කර ඇති අතර එය ද උල්ලංඝනය කරමින් මෙම අපනයන කටයුතු සිදු වී ඇත. ඒ අනුව නැවත 2006 වර්ෂයේ සකස් කළ නියෝග මාලාවක් සකස් කර ඇත. ඊට අනුව මෙම කොතලහිඹුටු අපනයනය කළ හැක්කේ ඖෂධීය සංයෝගයක් ලෙස පමණකි. නමුත් එ‍ය ද අසාර්ථක වී තිබේ. ඉන්පසු ව 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ සංශෝධන පනතෙන් කොතලහිඹුටු, හිඹුටු, හීන්හිඹුටු යන ශාක තහනම් ශාක බවට පත්කර ඇති අතර යම්කිසි පාලනයක් මේ සම්බන්ධයෙන් සිදු ව ඇත්තේ එයින් පසුව ය.

කෙසේ නමුත් තවමත් මෙම කොතලහිඹුටු අපනයන ජාවාරම හොර රහසේ සිදුවන බවට පසුගිය සති කිහිපයේදී ම රේගුව විසින් කරන ලද අත් අඩංගුවට ගැනීම්වලින් සනාථ වූ අතර මෙම ජෛව කොල්ලයේ අහිතකර බලපෑම්වලින් මිදීම සඳහා රටක් වශයෙන් අප සිදු කළ යුත්තේ මෙම අමුද්‍රව්‍ය හා දැනුම භාවිත කර නිෂ්පාදන සිදු කර මෙරට විසින් පේටන්ට් බලපත්‍ර ලබාගැනීම, වෙනත් රටවලට පේටන්ට් ලබාගත නොහැකි ලෙස තොරතුරු හෙළිදරව් කිරීම සහ හැකි ඉක්මනින් වෙළෙඳ නාමයක් යටතේ අලෙවි කටයුතු සිදුකිරීමය. මේ සඳහා රජය, නිෂ්පාදකයන් මෙන් ම ව්‍යවසායකයන් ද උනන්දු විය යුතු ය.

ලවංගා මාධවී දෑරංගල