විපක්ෂයේ සිටියදී දැඩි විවේචකයකු වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු දැඩි ඇමෙරිකානු හිතවතකුව සිටින බව විපක්ෂය කියයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ජාතික ජනබලවේගයට බලය ලබා ගැනීම සඳහා යූ.එස්.ඒ. ඩ් අරමුදලින් ඇමරිකානු ආධාර විශාල වශයෙන් ලැබී ඇති බවය. ගාලු මුවදොර අරගලය සමයේ ඇමෙරිකාවේ සිට ඇමරිකානු නිලධාරීන් දොළොස් දෙනකු මෙරටට පැමිණි බවද ඔවුන්ගේ ගිණුම්වලට ලැබුණු අරමුදල් ඔවුන් එම ගිණුම්වලින් පිටතට ගෙන මාලිමාවේ කැපී පෙනෙන පුද්ගලයන් අතට ලබාදී ඇති බවද ඔවුහු කියති. මේ නිසා ජනාධිපතිවරයා ඇතුළු මාලිමා රජය ඇමරිකානු රජයට ඉතා කීකරුව කටයුතු කරන බවද ඉරාන නැවට පහරදීම සහ යුද්ධය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඇමරිකානු පැසිපික් බළකායේ ප්‍රධානියා මෙරටට පැමිණීම අතර සබඳතාවක් ඇතැයිද විපක්ෂයේ මතය වේ. ඔවුන්ගේ මතය වන්නේ නොබැඳි රටක් ලෙස තම මධ්‍යස්ථභාවය පවත්වා නොගෙන ලංකාවට  ඉරානය අතහැර ඇමරිකානු වුවමනා ඉටුකරන බවය.

ඔවුන් පවසන එම මතයේ බොහෝ සාවද්‍ය කරුණු ද අඩංගු වේ. පළමුවැන්න පැරණි නොබැඳි රටක් වුවද මේ වන විට නොබැඳි ව්‍යාපාරය අවසන් වී දශක ගණනාවක් ගතවන බැවින් ලංකාවට පැරණි  නොබැඳි උරුමයන් අද ඒ ලෙසම රැකගත නොහැකිය. දෙවැන්න ලංකාව සෑම විටම පාහේ ඇමෙරිකාවේ යුදමය වුවමනා ඉටුකර දී ඇති බව විපක්ෂය අද සඟවා කතා කිරීමය.

2004 දී ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට පහර දෙන අවස්ථාවේ ඇෆ්ගනිස්ථානයෙන් සහ පාකිස්ථානයෙන් අල්ලාගන්නා තලේබාන් ප්‍රධානීන් කිහිප දෙනකුම කටුනායකට ගොඩබැස්සවූ ඇමරිකානු ගුවන්යානාවලින් ඇමෙරිකාවට රැගෙන ගියේය. එවකට රනිල් වික්‍රමසිංහ රජයේ පූර්ණ අනුමැතිය හා රහස්‍යභාවය මෙම මෙහෙයුමට ලැබී තිබිණි. එවැනි විටක අනුර දිසානායක රජය ඇමරිකානු හිතවාදි වී ඇති නම් එය මෙරට මෑතකාලීන සම්ප්‍රදාය මිස අලුත් දෙයක් නොවේ.

ඇමරිකාව සමග ගනුදෙනු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ දී දැලිපිහියෙන් කිරිකෑමට සමාන වෙයි. ආර්ථික ක්ෂේත්‍රයේදී මෙරටට වාසිදායකම හවුල්කරු ඇමරිකාව බව සැබෑය. අපගේ අපනයනවලින් සියයට විස්සක් මිලදී ගන්නේ ඇමෙරිකාවය. චීනය මිලදී ගන්නේ සියයට දෙකක් පමණකි. ඩොලර් ආදායම් ඉපැයීම අතින් වැඩිම ආදායම් ලැබෙන්නේ ඇමරිකාවෙනි. ඒ වාසිය වෙන රටකින් නොලැබෙයි. එහෙත් ජාත්‍යන්තර අර්බුදවලදී අප වැනි රටක් ඇමෙරිකාවට පළිහක් පමණකි. වුවමනා නම් එම පළිහ බිමදා වෙනත් පළිහක් ඉදිරියට ගත හැකිය. ඒ සඳහා හොඳම උදාහරණය ලැබෙන්නේ සදාකාලිකවම ඇමරිකානු හිතවාදියකුව සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇමරිකානු උදව් නොමැතිව තනිවූ අවස්ථාවය.

එතෙක් කිසිවකුට පරාජය කළ නොහැකි අනභිභවනීය සංවිධානයක් ලෙස සියලු දෙනාම සිතා සිටි එල්ටීටීඊය ශ්‍රී ලංකා හමුදාව ඇරඹූ වඩමාරච්චි මෙහෙයුම හමුවේ පලායන්නට පටන් ගනිද්දී ඉන්දියාව ගුවනින් මෙරට ආක්‍රමණය කළේය. වහාම හමුදා මෙහෙයුම නතර කිරීමට ජේආර්ට සිදුවිය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ එඩිය බිඳ හෙලා ඉන්දියාව විසින්ම කෙටුම්පත් කර ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා ලවා අත්සන් කරවා ගත් ඉන්දු-ලංකා ගිවිසුමේ මෙසේ සඳහන්ව තිබිණ.

“ත්‍රිකුණාමලය හා අනෙකුත් වරාය ශ්‍රී ලංකා භූමියේ පිහිටුවා ඇති විදේශීය සන්නිවේදන කේන්ද්‍ර (එදා ඉරණවිල කුලුන) ශ්‍රී ලංකා හමුදාවන්ට ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍යයේ කුලී හේවායන් මගින් කරන පුහුණුවීම් ත්‍රිමලයේ අතහැර දැමූ තෙල් ටැංකි සහ ශ්‍රී ලංකාව තුළ විදේශීය යුදමය ක්‍රියාකාරකම් පැවතීම ඉන්දියානු රජයේ වුවමනාවන්ට අහිතකර නොවන පරිදි සිදුවේ”

ජේආර්ගේ අසීමිත ඇමරිකානු ළැදියාව අවසන් වූයේ ශ්‍රී ලංකාව මත ඉන්දියානු දණ්ඩන හස්තය තැබීමෙනි. එය අද ද වෙනස් වී නැත. එවකට ඉන්දියානු විරෝධී පිලේ සිටි ඇමරිකාව ත්‍රිමලය වරාය අත්පත් කර ගැනීමේ රාවයක් එකල පැතිර තිබූ අතර භූගෝලීය වශයෙන් වඩාත් ආසන්න ඉන්දියාව එයට වඩා ඉක්මන් විය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඕනෑම  ලෝක බලවතකුගේ සිත් ඇදගන්නා උපාය මාර්ගික පිහිටීමකි. ඉන්දියාව එදා බලහත්කාරයෙන් පැටවූ ගිවිසුමේ වැදගත්ම අංගයක් වූයේද ත්‍රිකුණාමලයේ ඇති මෙම භාවිතයට නොගන්නා තෙල් ටැංකි ය. අද ද එම සම්පූර්ණ තෙල් ටැංකි ප්‍රමාණයම ඉන්දියානු රජයේ අණ මත පාලනය වේ. මෙවැනි ඛනිජ තෙල් අර්බුදයක් ඇති අවස්ථාවක එම තෙල් ටැංකි කිහිපයකට හෝ තෙල් පුරවා ගැනීමට හැකියාව තිබුණේ නම් රටක් ලෙස අප මෙතරම් අසරණ වන්නේ නැත.

මෙම සතිය ආරම්භ වූයේ ඉරානයට එරෙහි ඇමරිකානු ගොඩබිම් මෙහෙයුමක් පිළිබඳ නවතම ප්‍රවෘත්තිවලිනි. කැපී පෙනෙන ජයග්‍රහණයක් තවමත් ලබාගැනීමට අපොහොසත්ව ඇති ඇමරිකාව ගොඩබිම් මෙහෙයුමක් මගින් මැදපෙරදිග ප්‍රධාන තෙල් නගරය වන හෝමුස් සමුද්‍ර සන්ධිය මෙම මෙහෙයුම මගින් අල්ලාගැනීමට උත්සාහ කරනු ඇත. මෙමගින් ලොවට තවත් දිගු කලකට ඉන්ධන සැපයුමේ දැඩි සීමාවලට ලක්වීමට සිදුවේ. මේ තත්ත්වය උද්ගත වෙමින් පවතිද්දී රුසියානු රජය තීන්දු කළේ පිරිපහදු කළ පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 වැනිදා සිට නතර කිරීමටය. රුසියානු බොරතෙල් තවදුරටත් අපනයනය කෙරෙනු ඇති අතර අප වැනි රටක් අසරණ වන්නේ එවැනි අවස්ථාවකය. බොරතෙල් ගෙන ඒමට අපට ගබඩා පහසුකම් නොමැති අතර බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොඩනැගූ ත්‍රිමලය ඉන්ධන ගබඩා ඇත්තේ ඉන්දියානු පාලනය යටතේය. මේ නිසා ඉන්දියාව සමග සාකච්ඡා කර තෙල් ටැංකි කිහිපයක් ලබාගැනීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් විය යුතුය.

ලංකාවට ඛනිජ තෙල් පිළිබඳ පළමු අර්බුදය ඇතිවූයේ 1963 දී බණ්ඩාරනායක මැතිනියගේ රජය මෙරට ක්‍රියාත්මක වූ විදේශීය තෙල් සමාගම් ජනසතු කළ අවස්ථාවේදීය. එම යුගය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගත් තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් යටත්විජිත දායාද ජනසතු කරමින් ගිය යුගයකි. ඊජිප්තුවේ නසාර් සූවස් ඇළ ජනසතු කළේ ද ඒ කිට්ටුවය. මැතිනිය තෙල් සමාගම් ජනසතු කිරීමට ගත් පියවර ජාත්‍යන්තර වශයෙන් ද මහත් උණුසුමක් ඇතිකිරීමට හේතු වූ සිදුවීමක් වූයේ එවක ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට අයත්ව පැවැති එසෙප්, කැල්ටෙක්ස්. ස්ටෑන්ඩඩ් ඊස්ටන් සහ ෂෙල් වැනි බටහිර රටවල තෙල් සමාගම් ජනසතු කරමින් රජයට පවරා ගත් නිසාය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවන ලද්දේ එම විදේශීය සමාගම් ජනසතු කිරීමෙනි. එහිදී එම සමාගම් හිමියන් ඒවායේ සැබෑ වටිනාකමට වඩා අධික වන්දි මුදලක් ඉල්ලා සිටි අතර එවන් විශාල වන්දියක් ගෙවීම ලංකා රජය ප්‍රතික්ෂේප කළේය. ඉන් උරණ වූ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ලංකාවට සැපයූ සියලු ආධාර අත්හිටුවීමට තීරණය කළ අතර එමගින් ලක්රජය මහත් අපහසුතාවකට පත්විය. වඩාත්ම ප්‍රබල අර්බුදය වූයේ එම රටවල් මෙරටට ඛනිජ තෙල් සැපයුම ද නතර කිරීමය. එවකට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ලංකා තානාපතිව සිටි ටී.බී. සුබසිංහ රජයේ ඉල්ලීම මත එරටින් ඛනිජතෙල් ලබාගැනීමට සාකච්ඡා කළ අතර සෝවියට් රජය පහසු මිලට ඛනිජ තෙල් සැපයීමට කැමැති විය. එම දුෂ්කර මොහොතේ ලංකාවට අත දුන්නේ සෝවියට දේශයයි.

එම වකවානුව වන විට බොරතෙල් පිරිපහදු කිරීමේ හැකියාවක් හෝ තෙල් පිරිපහදුවක් මෙරටට තිබුණේ නැත. ඒ නිසා වෙනත් රටවල් මෙන් මැදපෙරදිගින් අමුතෙල් ගෙන්වා ඒවා සුද්ධ කොට පාවිච්චි කිරීමේ හැකියාවක් නොමැති විය. කළ යුතුව තිබුණේ කුමන රටකින් හෝ සුද්ධ කළ තෙල් ගෙන්වා පාවිච්චි කිරීමය.

තෙල් ජනසතුව හා සමගාමීව පිහිටුවනු ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එලෙස සෝවියට් දේශයෙන් නිමි තෙල් ලබාගන්නා අතරතුර 1960 දශකය අගභාගයේදී සෝවියට් සහායෙන් තමන්ගේම වූ තෙල් පිරිපහදුවක් පිහිටුවා ගැනීමට සමත් විය. මෙම තෙල් පිරිපහදුව හේතුවෙන් සෝවියට් දේශයෙන් මෙන්ම ඉරානය, ඉරාකය, වැනි මැද පෙරදිග රටවලින් ද බොරතෙල් ගෙන්වා පිරිපහදු කිරීමට හැකි විය.

සෝවියට් සංගමයේ සහාය ඉන්පසුව ලැබුණේ මෙරට මුහුදු තීරයේ ඛනිජ තෙල් තිබේදැයි කරන ගවේෂණයක් සඳහාය. මන්නාරම පේසාලේ මුහුදු තීරයේ කළ මෙම පරීක්ෂණයට දායක වූයේ සෝවියට් රජය විසින් එවනු ලැබූ කලිනින් නමැති මහාචාර්යවරයකු විසිනි. එම වකවානුවේ මහාචාර්ය කලිනින් මන්නාරමට නුදුරු ඉන්දියාවේ කාවේරි පටුනේ ඛනිජතෙල් ඇතැයි පරීක්ෂණ මගින් සොයාගෙන තිබිණි. මේ වන විට ඉන්දියාව මන්නාරමට නුදුරු මුහුදේ තම තෙල් ළිංවලින් බොරතෙල් ලබා ගනියි. පේසාලේ පරීක්ෂණ තෙල් ළිංවලින් ද තෙල් ලැබුණු බව පළවුවත් එම තෙල් පිළිබඳ ප්‍රකාශ විපක්ෂ දේශපාලකයන්ගේ තදබල ප්‍රහාරවලට ලක්විය. එමගින් මන්නාරමේ තෙල් සෙවීමේ වෑයම යටපත් කෙරිණි.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙරට දේශපාලකයන්ගේ විරෝධතා පමණක් නොව සමීප විදේශීය රටක තර්ජනය ද මෙම තෙල් සෙවීමේ කටයුතුවලට බාධාකාරී ලෙස බල පෑ බවය. මන්නාරම හා පේසාලේ මුහුද දෙරටක් අතර බෙදාගත යුතු මුහුදු සම්පතක් වුවත් මේ වන විට එහි ප්‍රයෝජන ලබන්නේ බලවත් තනි රටක් විසිනි. ලංකාවේ බෙදුවාදී ත්‍රස්තවාදී බලවේග කරළියට පැමිණියේද 1976 ඛනිජතෙල් සඳහා පරීක්ෂණ ළිං කැනීමෙන් කෙටි කාලයකට පසුවය. කවර දේශපාලන පක්ෂයක් බලයට පැමිණිය ද මෙරට රාජ්‍ය නායකයා ඇතුළු බලවතුන්ට මූලිකවම ලැබෙන උපදෙස් අතර මන්නාරම හා පේසාලේ ද්‍රෝණියේ තෙල් සම්පත සොයා කරන පරීක්ෂණයක් අතහැර දමන ලෙසට වන පණිවිඩයක්ද ඇති බව ඇතැම් දේශපාලකයන් අතර මතයක් පැතිර තිබේ. තෙල් පිළිබඳව ලෝක අර්බුදයක් මතුව ඇති මෙවැනි කාලයක මෙරට ඛනිජතෙල් පරීක්ෂණ ගැන හඬක් නොනැගෙන්නේද ඒ නිසාය.

ලෝකයේ කවර අර්බුදයක් ඇති වුවත් ඉන් අහිතකර බලපෑම් එල්ලවන රටවල් අතර ප්‍රමුඛ තැනක ලංකාව සිටීම කනගාටුදායක තත්ත්වයකි. යටත් විජිත පාලකයන් ඉදිකර දුන් තෙල් ටැංකි අන්සන්තක වී තිබියදී ආණ්ඩුව සහ විපක්ෂය ඉන්ධන හිඟය සහ සැපයුම් දාම අක්‍රිය වීමෙන් මෙරටට මතුවන හානිකර තත්ත්වය ගැන වාද කරමින් සිටී.

ප්‍රශ්නය විසඳීම සඳහා සැබෑ වුවමනාවක් පළ නොකිරීම මේ දෙපාර්ශ්වයම ජනතාවගේ පිළිකුළට ලක්වීමට හේතුවෙයි. රට පාලනය කළ එජාපය, ශ්‍රීලනිපය, පොහොට්ටුව, සජබය හා වත්මන් මාලිමාව ද ප්‍රමුඛ තැන දිය යුත්තේ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින මෙම තෙල් ටැංකිවලින් කිහිපයක් හෝ යළිත් මෙරටට ලබාගැනීම සඳහා ය.

ප්‍රේමකීර්ති රණතුංග