
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ පානීය ජල සැපයුම පවත්වාගෙන යාම අභියෝගයකි. ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ඉරිදා ලංකාදීප පුවත්පත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සමග පැවැත්වූ සාකච්ඡාවක් මෙහි පළවේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිත ජල මූලාශ්‍රවල සහ ජලසම්පාදන මණ්ඩලය යටතේ පවතින ජලාශවල ජල මට්ටම මේ වන විට පවතින්නේ කුමන තත්ත්වයකද?
වර්තමානයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිත ජල මූලාශ්‍රවල මෙන්ම ජලසම්පාදන මණ්ඩලය යටතේ පවතින ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.
ජලාශවල ජල මට්ටම් පිළිබඳ තත්ත්වය මෙසේ දක්වන්න පුළුවන්.
දැනට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දිවයිනේ තුන්සිය ගණනක් පමණ වන ජලසම්පාදන ක්‍රම ඔස්සේ දිනකට ජලය ඝන මීටර මිලියන 2.5ක් පමණ නිෂ්පාදනය කරනවා. මෙයින් සියයට50 ක ප්‍රමාණයක් වන ජලය ඝන මීටර මිලියන 2.5ක් පමණ නිපදවන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතව ඇති ජල පවිත්‍රාගාරවලින්. එම ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර ලෙස ගංගා හා ජලාශ හඳුන්වන්න පුළුවන් .
පවතින වියළි කාලගුණික නියඟ තත්ත්වය මත මේවායේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙහි ජල සම්පාදන මණ්ඩලය මගින් සමාන පරිභෝජනය සදහා කොළඹට ජලය ඝන මීටර් 700,000 ක් , ගම්පහට ඝන මීටර් 450,000ක් සහ කළුතරට 180,000 ක ජල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ප්‍රධාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ජලය නිෂ්පාදනය කරන්නේ අඹතලේ, ලබුගම හා කලටුවාව යන ජලපවිත්‍රාගාරවලින්. අඹතලෙන් ඝන මීටර 550,000 ක් , ලබුගමින් ඝන මීටර 60,000 ක් සහ කලටුවාවෙන් ඝන මීටර 90,000ක් ලෙස ජල සම්පාදනය සිදු කරනවා. කැලණි ගඟේ ජල මට්ටම පහළ මට්ටමක පැවතිය ද මේ වනවිටත් අඹතලේ ජල සැපයුම සාමාන්‍ය වශයෙන් පවත්වාගෙන යනවා.
නමුත් දැනට ලබුගම හා කලටුවාව යන ජල පවිත්‍රාගාරවලින් ලබා ගන්නා ජල සැපයුම විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඉදිරි කාලයේදී අඛණ්ඩව ජල සැපයුම සිදුකරගෙන ගියහොත් ලබුගම ජල පවිත්‍රාගාරයෙන් ලබාගන්නා ජල ප්‍රමාණය තව දින50කට පමණක් ප්‍රමාණවත් වන බව ගණන් බලා තිබෙනවා. ඒ වාගේම කලටුවාවෙන් ලබා ගන්නා ජලය තව දින 22 කට පමණක් සීමා වී තිබෙනවා. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ ජලසම්පාදනය ඉදිරියේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ අනුව මෙම ජල පවිත්‍රාගාර හරහා ජලය සම්පාදනය වන පාරිභෝගිකයන් 150,000 කට පමණ මෙම ජල කප්පාදුව නිසා අපහසුතාවට මුහුණ දීමට සිදුවෙනවා.
නමුත් කළු ගඟින් ජලය ලබාගන්නා කළුතර දිස්ත්‍රික්කයට සහ බියගම ජලපවිත්‍රාගාරය හරහා කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ජල සැපයුමේ බාධාවක් නැහැ. ජල මට්ටම අඩු වුවද තවමත් අඛණ්ඩව ජලසම්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.
එසේම වියළි කාලගුණය හේතුවෙන් ගෘහස්ථ සහ අනෙකුත් භාවිතයන් සඳහා පවතින ජල ඉල්ලුම සහ පාරිභෝගික පරිභෝජනය ඉහළ ගිහින් තිබෙන නිසා උස්බිම් ප්‍රදේශවලට ජලය ලබාදීමේදී අඩු පීඩන තත්ත්වයක් පසුගිය සති දෙකක පමණ කාලය පුරා පැවතුණා. විශේෂයෙන් මහරගම, කොට්ටාව, හෝකන්දර වගේ ප්‍රදේශවල මහල් නිවාසවලට ජල පීඩනය අවම වී ජලය නොලැබ ගිය බවට චෝදනා නැගුණා. මේ නිසා ජල කළමනාකාරිත්වයකින් යුතුව ජලය බෙදාහැරීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ අලුත් අවුරුදු උත්සව සමය සහ ඉදිරි මාස සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව සිදු කරන්නේ කෙසේ ද?
ලබුගම හා කලටුවාව යන ජලාශවල උද්ගත වී ඇති මෙම ජල මට්ටම පහළ යාමේ තත්ත්වය නිසා අප්‍රේල් 02දා සිට ජල කප්පාදුවක් සහ කාලසටහනකට අනුව ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස තුනක කාලයක් සඳහා ආරම්භ කළා. ඇතිවිය හැකි දරුණුම තත්ත්වය සලකා බලා තමයි මෙම ජල කළමනාකාරිත්වය සැලසුම් කරලා තිබෙන්නේ. නමුත් ඉදිරියේදී වැසී ලැබී ජල මට්ටම යථා තත්ත්වයට පත් වුවහොත් මෙම ජල සැපයුම අඛණ්ඩව සිදු කරගෙන යන්න පුළුවන් .
මේ අනුව මූලිකව ලබුගම හා කලටුවාව යන පවිත්‍රාගාරවලින් ජල සම්පාදනය සිදුකරන ප්‍රදේශ වන පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදියර දෙකකින් දැනට මෙම ජල කප්පාදුව බලපානවා.
පාදුක්ක ප්‍රදේශය
කාලසීමාව: අප්‍රේල් 02 රාත්‍රී 8:00 සිට අප්‍රේල් 03 රාත්‍රී 8:00 දක්වා පැය 24ක කාලයක් ජල කප්පාදුව සිදුවෙනවා. මෙම ජල කප්පාදුවෙන් පසුව, පාදුක්ක ප්‍රදේශයට ඉදිරි දින හතරක කාලයක් අඛණ්ඩව ජලය සැපයීම සිදුවනවා. නැවත, අප්‍රේල් 07 වනදා පාදුක්ක ප්‍රදේශයට රාත්‍රී 8:00 සිට අප්‍රේල් 08 රාත්‍රී 8:00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
හෝමාගම ප්‍රදේශය
කාලසීමාව: අප්‍රේල් 03 වනදා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 04වනදා රාත්‍රී 8:00 දක්වා පැය 24ක කාලයක් කප්පාදුව සිදුවෙනවා.
ඉන් අනතුරුව හෝමාගම ප්‍රදේශයට ද දින හතරක් අඛණ්ඩව ජලය සැපයීම සිදුවෙනවා. නැවත අප්‍රේල් 08 වෙනිදා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 09 වනදා රාත්‍රී 8:00 දක්වා ජල කප්පාදුව සිදුවෙනවා
පැලැන්වත්ත ප්‍රදේශය
කාලසීමාව: අප්‍රේල් 04 වනදා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 05 වනදා රාත්‍රී 8:00 දක්වා පැය 24ක කාලයක් ජල කප්පාදුව සිදුවෙනවා.
මෙම කාලසීමාවෙන් පසුව දින හතරක් අඛණ්ඩව ජලය සැපයෙන අතර, නැවත අප්‍රේල් 09 වනදා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 10 වනදා රාත්‍රී 8:00 දක්වා ජල කප්පාදුව සිදුවෙනවා.
පීඩනය අඩු වීම නිසා උස් බිම්වල වසන ජනතාවට වන බලපෑම අවම කිරීමට ගෙන ඇති විකල්ප මොනවා ද?
මණ්ඩලය විසින් පීඩනය නඩත්තු කරමින් ජල සැපයුම සිදු කරන නමුත් පවතින ජල ඉල්ලුම හා පාරිභෝගික පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් ජල පීඩනය අඩුවීම නිසා ජල සැපයුම සීමාවන ප්‍රදේශවල එනම් උස්බිම්වල වෙසෙන ජනතාවට බවුසර් මගින් ජලය බෙදාහැරීමටත් පියවර ගෙන තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන ජල කප්පාදුව හේතුවෙන් එක් ප්‍රදේශයක පවතින පරිභෝජනය නතරවීමෙන් අනෙක් ප්‍රදේශවල ජල පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
වියළි කාලගුණයේදී පානීය ජලය සැපයීම සහ කෘෂිකාර්මික කටයුතු (වාරිමාර්ග) සඳහා ජලය මුදාහැරීම අතර පවතින කළමනාකරණ අභියෝගය ඔබ ජය ගන්නේ කෙසේද?
ජලය නිකුත් කිරීමේ තීරණ ගැනීම සඳහා මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන සතිපතා රැස්වීම්වලට මෙන්ම කන්න රැස්වීම්වලට මණ්ඩලය සහභාගී වෙනවා. මේ වන විට පානීය ජලය සඳහා නිකුත් කරනු ලබන ජල ප්‍රමාණය පිළිබඳ ගැටලු පැන නැගී නැහැ. එක් එක් අවස්ථාවලදී දිවයින පුරා පවතින ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානවල විශේෂ අවශ්‍යතා එම ජල කළමනාකරණ ලේකම් කාර්යාලයට යොමු කර ඉටුකර ගැනීම සිදු කරගෙන යනවා. පානීය ජල අවශ්‍යතාවට ප්‍රමුඛත්වයක් ජලාශ හරහා මුදා හරින ජල මූලාශ්‍රවලින් ලැබෙන නමුත් ගංගා ප්‍රවාහය අඩුවීම හේතුවෙන් ජල මූලාශ්‍ර ලෙස ගංගා පවතින ජලසම්පාදන ක්‍රමවලට අඩු ජල ප්‍රමාණයක් තමා දැනට ගැටලුවක් බවට පත්වී තිබෙන්නේ. ඒ වගේම මහවැලි අධිකාරිය සතු ජලාශවල හා වික්ටෝරියා ජලාශවල රැස්කරගෙන සිටින ජල පරිමාණයේ යම් කිසි අඩුවීමක් සිදුවුවද බස්නාහිර පළාතට තරම් ජල සැපයුමට බාධාවක් අනෙක් පළාත්වල දැනට පවතින්නේ නැහැ.
ජල මට්ටම පහත බැසීමේදී ජලයේ ලවණතාව ඉහළ යාම හෝ රසායනික සාන්ද්‍රණය වැඩිවීම වැනි ගැටලු පැන නගිනවා. ජනතාවට ලබා දෙන ජලයේ පිරිසිදු බව තහවුරු කිරීමට මණ්ඩලය ගෙන ඇති තාක්ෂණික පියවර මොනවාද?
අඹතලේ සහ බියගම ජල පෝෂක ප්‍රදේශවල ලවණ මිශ්‍ර ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික වැලි කොට්ට බාධකයන් ඉදිකර තිබෙනවා.. කළු ගඟෙහි ලවණ මිශ්‍ර ජලය මණ්ඩලයේ කොහේන තුළුමුවට කාන්දුවීම හේතුවෙන් තාවකාලිකවUpstream intake එකක් මඟින් මේ වන විට ජලය ලබාගැනීම ආරම්භ කර තිබීම දැනට ගෙන ඇති පියවර විදිහට දක්වන්න පුළුවන් .
ඇති විය හැකි දරුණුම නියං තත්ත්වයට මුහුණ දීමට මණ්ඩලය සතු හදිසි ආපදා සැලසුම කුමක් ද?
ඉදිරි නියං තත්ත්වයට මුහුණ දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් “හදිසි ආපදා සැලසුම” යටතේ විවිධ ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතුව නියං කළමනාකරණ උපාය මාර්ග යටතේ ජල සුරක්ෂිතතා සැලසුම් වලට අදාළ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් පවතිනවා. එමෙන්ම පවතින නියං තත්වය හා නියඟය අවම කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් බලපෑමට ලක්වන ජලය උකහා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා නියං කළමනාකරණ උපාය මාර්ග විදිහට පහත දක්වා ඇති ක්‍රියාමාර්ග හඳුන්වන්න පුළුවන් .
සියලු ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන විසින් නියං තත්වය හේතුවෙන් ජලසම්පාදන ක්‍රමයන්හි තත්ත්වය හා ජල කළමනාකරණ ගැටලු යාවත්කාලීන කර ඇති අතර අවශ්‍ය සම්බන්ධීකරණ සහ බලපෑම් ප්‍රතිසාධනය සඳහා උපාය මාර්ග සැකසීමට ප්‍රධාන කාර්‌යාලයට දැනුම් දී තිබීම.
අවශ්‍ය අවස්ථාවලදී ජල බවුසර් මගින් ජලය බෙදාහැරීමට කටයුතු සූදානම් කර තිබීම.
ජලය අපතේ යාම අවම කිරීම සඳහා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා මාධ්‍ය නිවේදන හරහා පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කර ජල ඉල්ලුම කළමනාකරණය කිරීමට සැලසුම් කරමින් තිබීම.
වඩාත් අවදානමට ලක් වී ඇති ප්‍රදේශවල නව ජල සම්බන්ධතා ලබාදීම තාවකාලිකව නතර කිරීම.
තොග ජල පාරිභෝගිකයන්ට විකල්ප ජල මූලාශ්‍ර භාවිත කිරීමට අවධානය යොමු කිරීම.
ගාස්තු සංශෝධනයක් හෝ සහන ලබාදීමක් පිළිබඳ අවධානය යොමු වී තිබේ ද?
ජල ගාස්තු සංශෝධනයන් හෝ සහන ලබාදීමක් මෙවැනි වියළි කාලවලදී සිදුකිරීමට බලාපොරොත්තුවක් නැහැ. වසරේ මුල් මාස හය තුළ එවැනි ගාස්තු වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ.
මෙවැනි ආපදා තත්ත්වයක දී පානීය ජලය අපතේ යවන (වාහන සේදීම, ගෙවතු වගාව වැනි) පිරිස් පාලනය කිරීමට නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ ද?
ආපදා තත්වයක දී පානීය ජලය අපතේ යවන (වාහන සේදීම/ ගෙවතු වගාව) වැනි කාර්යවල නිරත වූවන් පාලනය කිරීමට නීතිමය පියවර ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් මාධ්‍ය නිවේදන හරහා මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර නිරන්තරයෙන් සිදු කරනවා. එහිදී ජලය අපතේ යාම අවම කිරීමට පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අවධානය යොමු කිරීම අපේක්ෂා කරනවා. මෙවැනි අවස්ථාවක පුරවැසි වගකීමෙන් පාරිභෝගිකයන් කටයුතු කළ යුතුයි. හැකි සෑම විටම ගෙවතු වගාවන්ට, වාහන සේදීමට මෙන්ම කාර්මික කටයුතුවලදී ස්වාභාවික ජල මූලාශ්‍ර, විශේෂයෙන් අර්ධ නාගරිකව ජීවත් වන අයට යොදාගන්නා ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි.
උදානි ජයසේන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd