භානුක අමරසිංහ


2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති නව වැට් බදු ලියාපදිංචි සීමාව සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කර සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ පවසති. විශේෂයෙන්ම මෙම නව සීමාව ක්‍රියාත්මකවීම සිය ව්‍යවසාය වෙත දරුණු ලෙස බලපානු ඇති බවත් රටෙහි ආර්ථිකයෙන් සියයට 52ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉන් අධෛර්යවත් වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
රජය මගින් 2026 වසර සඳහා නිකුත් කර ඇති බදු සංශෝධන යටතේ ක්‍රියාත්මක මෙම නව වැට් බදු ලියාපදිංචි සීමාව අනුව, මෙතෙක් කලක් පැවැති සීමාව වූ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60, රුපියල් මිලියන 36ක් දක්වා පහත හෙළා තිබේ. මෙය ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර, මේ හරහා වැඩි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රමාණයක් රජයේ බදු දැලට එකතු කරගැනීම අරමුණ වී තිබේ.
“මේ අලු‍ත් සීමාව හැටියට මාසයකට ලක්ෂ 30ක වෙළෙඳාමක් සිදු කරන අයට මේ සියයට 18ක බද්ද ගෙවන්න වෙනවා. ඒ කියන්නේ දවසකට ලක්ෂයක විතර ආදායමක් ලබන අය මේ බද්දට යටත්. හැබැයි පසුගිය කාලසීමාවේදී රට මුහුණ දුන්න ආර්ථික ප්‍රශ්නත්, ස්වාභාවික විපත් වගේම දැන් මතුවෙලා තිබෙන යුද්ධත් නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මේ බද්ද දරාගන්න බැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ බර පැටවෙන්නේ පාරිභෝගිකයාට.“ යනුවෙන් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන්ගේ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති මොහිදීන් කාදර් මහතා ලංකාදීපFT වෙත සඳහන් කළේය.
රජය සඳහන් කරන ආකාරයට මෙලෙස බදු සීමාව පහත හෙළීමත් සමගින් සිදු කරන බදු දැල පුළුල් කිරීම හරහා 2025 වසරේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 14.8 ක් ලෙස පැවැති බදු ප්‍රතිශතය, 2026 දී සියයට 15.4 ක් දක්වා ඉහළ නංවා ගැනීම අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා, “පාස්කු ප්‍රහාරයට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට එල්ල වෙන අලුත්ම බාධාව තමයි මේ ආසන්නතම යුද්ධය. ඒ එක්කම වැට් එකත් වදිනවා කියන්නේ තත්වය දරුණු කරනවා. අපි නම් කියන්නේ ආණ්ඩුවට තවත් සල්ලි හම්බ කරනවාට වඩා මේ තිබුණු රුපියල් මිලියන 60ක සීමාව ඒ විදියටම තියන්න කියලයි.“ යනුවෙන් සඳහන් කළේය.
වැට් බද්දට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL ) අය කරන සීමාවද අප්‍රේල් 01 වැනිදා සිට මෙතෙක් පැවැති රුපියල් මිලියන 60 ක වාර්ෂික පිරිවැටු‍මේ සිට රුපියල් මිලියන 36ක් දක්වා අඩු කර තිබේ. “VAT  වගේමSSCL  බදු අය කරගැනීමේ සීමාව පහතට වැටෙනවා කියන්නේ ඒ ව්‍යාපාරවලට සියයට 20 කට වැඩි බද්දක් ගෙවන්න වෙනවා කියන එකයි. ඒකෙන් වෙන්නේ දුප්පත්කම තවත් වැඩි වෙන එක. පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුදය නිසා සියයට 25ක් වුණු දුප්පත්කම සියයට 27ක් අගයකට යාවි. ඒ කියන්නේ ගොඩක් අමාරුවෙන් ගිය ව්‍යාපාරිකයෝ තවත් වලකට වැටීමක්.“ යනුවෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සඳහා වන ලංකා ෆෙඩරේෂනයේ නිර්මාතෘ සහ හිටපු සභාපති එස්.එන්. රාඝවන් මහතා ලංකාදීපFT  වෙත සඳහන් කළේය.
විශේෂයෙන්ම වත්මන් රජය බදු පිට බදු ගසා මහාභාණ්ඩාගාරය පිරවීමට උත්සාහ කරනවා විනා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රැක ගැනීමට හෝ ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය. “මේ වසර එකහමාර තුළ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම ව්‍යවසායකයන්ගේ වර්ධනයක් නැහැ. මේ ගන්න තීරවලින් පේන්නේ රජය මත යැපෙන පිරිස වැඩි කරලා, සුළු තරයක් අති ධනවතුන් බවට පත් කිරීමක් කියලයි අපිට නම් හිතෙන්නේ.“
මේ අතර අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන මෙම නව වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු අය කරගැනීමේ සීමාව පහත හෙළීම, රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත සියයට 9ත් සියයට 10ත් අතර බලපෑමක් එල්ල කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka ) සභාපති ජොනී ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 
“ආණ්ඩුවේ උත්සාහය වෙන්නේ හැම කෙනාවම මේ බදු ගෙවීමට සම්බන්ධ කරගන්න. මේ සියල්ලම වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  (IMF)  අවශ්‍යතාව අනුව. ඩිජිටල්කරණය ශක්තිමත් කරන්නෙත් ඒකට. හැබැයි අවසානයේදී මේ බර වැටෙන්නේ මහජනතාවට. දැන් වුණත් ජනතාව තමන්ගේ වියදම් සීමා කරලා.“
කෙසේ වෙතත් රජය මෙම ගෙන යන වැඩපිළිවෙළත් සමගින්ම සියලු‍ ව්‍යාපාර එකම මට්ටමකට වැටෙන බවත්, එය අනාගතයට වඩාත් හොඳ අවස්ථාවක් වනු ඇති බවත් ජොනී ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
“අපි බැලු‍වොත් කොටුවේ බිස්නස් වෙන්නේ පොඩි තුන්ඩු කෑල්ලකට, රිසිට් නෑ. අලු‍තින් හඳුන්වා දුන්නා QR ගනුදෙනු කරන කොට 5,000ට අඩු නම් ගාස්තුවක් නෑ. ඒක හොඳයි. මොකද එතකොට ඔක්කොම ගනුදෙනු ඩිජිටල් රෙකෝඩ් වෙනවා. එහෙම වුණාම සෑම දෙනාම එක සමාන මට්ටමකට වැටෙනවා. නැත්නම් හැමදාම මාෆියා කරන කෙනා මාෆියා කරනවා, බදු ගෙවන කෙනා බදු ගෙවනවා.” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.