ඔහු ගණකාධිකාරි සේවයේ යෙදී සිටි වෘත්තිකයෙකි. 2019 මාර්තුවේදී විශ්‍රාම යෑමට පෙර, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ විදේශාධාර ව්‍යාපෘති ඇතුළු ආයතන දොළහක පමණ සේවය කළ නිලධාරියෙකි. කැලණිය සරසවියෙන් වාණිජවේදී විශේෂ උපාධිය පන්ති සමාර්ථයක් ලැබ පසුව වෘත්තීය ගණකාධිකරණය පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයෙනි. රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ගණනාවක ගණකාධිකාරි, ප්‍රධාන ගණකාධිකාරී, නියෝජ්‍ය පාලක, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ ව්‍යාපෘති ගණකාධිකාරි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනය හා විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ඔහු රටවල් තිස්පහක පමණ දූත මණ්ඩල හා කාර්යාලවල රාජකාරි කටයුතු කර ඇත. සිය අත්දැකීම් පාදක කරගෙන ‘දූත මණ්ඩලවල ගිණුම් කාර්ය පටිපාටිය පිළිබඳ මග පෙන්වීම’ නමින් සම්පාදනය කළ ග්‍රන්ථයේ කතුවරයාද  ඔහුය. මූල්‍ය විශේෂඥයකු වන ඔහු ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක වූ වැඩසටහනක උපදේශකවරයකු ලෙස ද කටයුතු කළ අත්දැකීම් සම්බාරයක් ඇති රාජ්‍ය සේවකයෙකි. අද විශ්‍රාමික සුපිරිතරු විශේෂාංගය සමග එක්වන්නේ, ජී.ඒ. සේනාරත්න වන ඔහුය.

ජී.ඒ. සේනාරත්න? ජී.ඒ. කියන්නේ?

ගල්හේනගේ අමරකීර්ති සේනාරත්න.

ඔබ ගැන කොහොම හඳුන්වනවට ද කැමැති?

ගණකාධිකාරි සේවයේ වෘත්තිකයෙක් විදිහට.

වසර කීයක් විතර සේවයේ නිරත වුණා ද?

අවුරුදු 35 ක් සහ මාස 10 ක්. ආසන්න වශයෙන් වසර 36 ක් සේවයේ නිරත වුණා.

රැකියාවේ පළමු පියවර පටන් ගත්තෙ?

උපාධියෙන් පසුව, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ තුන්වැනි පන්තියේ නිලධාරියකු ලෙස රජයේ සේවයට එක්වුණා. 1984 මැයි සිට.

ඉන් පසුව?

අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ලෙස, අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව වහන කම් වැඩ කළා. ට්‍රිපොලි ආයතනය තිබුණෙත් එම දෙපාර්තමේන්තුව සතුවයි.

විශ්‍රාම යන විට දැරූ තනතුර?

ගණකාධිකාරි සේවයේ, යායුතු ඉහළම තනතුර දක්වා ගියා. විශේෂ ශ්‍රේණියේ තනතුර දක්වා.

ඒ දක්වා ආයතන කීයක විතර සේවය කළාද?

ආයතන 15 ක විතර. අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පටන් ගෙන විදේශ සේවා අමාත්‍යාංශය දක්වා  සේවය කළා.

1982 උපාධිය ගන්න ඔබ 2021 දී ශිෂ්‍යත්වයක් ලබා මාස්ටර් ඔෆ් ප්‍රොෆෙෂනල් එකවුන්ටින්, උපාධිය වෙනුවෙන් ‘සිඩ්නි’ විශ්වවිද්‍යාලයට යනවා. ඒක කොහොම ද වුණේ?

ඒ ශිෂ්‍යත්වය මට ලැබුණෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුව පැවැති කාලයේදීයි. රජයේ සේවාවට අයත් විවිධ සේවා වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව අතරින් එකක් මට ලැබුණා. අවුරුදු දෙකක් එහි සිටියා.

නවතින්න හිතුණෙ නැද්ද?

මම ගියේ රජයේ වියදමින්නෙ. ඒක නිසා මම ආපහු ආවා.

අත්දැකීම් සම්බාරයක් එක්ක අද ඔබ විශ්‍රාම ගිහින් ඉන්නෙ? රාජකාරි කළ ඉතිහාසය දෙස බලා ඔබ වඩා තෘප්තිමත් වෙන්නෙ?

මට විරුද්ධව කාටවත් චෝදනාවක් එල්ල කරන්න බැරි විදිහට, බොහෝම කැපවීමෙන් අවංකව සේවය කිරීම නිසයි. හොඳට රාජකාරි කළොත් බොහෝ දේශපාලන බලපෑම් එනවත් අඩුයි. ඒ වගේම ප්‍රශ්න වෙනවත් අඩුයි.

තානාපති හමුවකදී

රාජ්‍ය සේවයේ යෙදෙන සමහරු කියන්නේ, දේශපාලන බලපෑම් නිසා හරියට වැඩේ කරන්න බැහැ කියලනෙ?

මොනවා හරි වරප්‍රසාද ගන්න දේශපාලනඥයන් ඇසුරු කළොත්, එහෙම වෙන්න පුළුවන්. මම කවදාවත් රැකියාවේ උසස්වීම් ලබා ගන්නවත්, ළමයින්ට උදව් ගන්නවත්, දේශපාලන උදව් අරගෙන නැහැ.

‘බිරිඳ’ත් රජයේ සේවයේද යෙදුණේ?

එයා පාසල් ගුරුවරියක්. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. පුතාල දෙන්නම උපාධිධාරීන්. පදිංචිය පිටරට.

ඉතින් ඔබ දෙපළටත්, පුතාලා ළඟට යන්න තිබුණානේ?

මම රටවල් 40ක විතර ගිහින් තියෙනවා. වැඩ කරලා තියෙනවා. එක එක කාලවල එහි ඉඳලා තියෙනවා. නමුත් මට ලංකාව විතර ඒ රටවල් අල්ලලා ගියේ නැහැ.

ඒ ගිය රටවලින් අපේ රට හැර ඔබ වැඩිය කැමැති රට?

ඕස්ට්‍රේලියාව අපට වඩා දියුණුයි. භෞතික වශයෙන් සහ සිස්ටම් විදිහටත් දියුණුයි. ඒත් සමාජීයිය අන්තර් සබඳතා හරි අඩුයි. අපේ රටට සාපේක්ෂව ඒ කිසිදු රටකදී අන්තර්පුද්ගල සබඳතා මම දුටුවෙ නැහැ. අපේ රටේ අන්තර් පුද්ගල සබඳතා ඉතා ඉහළයි.

‘අන්තර්පුද්ගල සබඳතා’ නිසා මොකක් ද ලැබෙන යහපත?

දැන් මම ඉන්නෙ විශ්‍රාම ගිය වයසෙ. ඒ වගේ කාලයකදී. අන්තර්පුද්ගල සබඳතා නැතිව ජීවත් වන එක හරිම අසීරුයි. මම හිතන්නේ අපේ රටේ කවුරුවත් හුදෙකලාව ජීවත් වෙන්න කැමැති නැහැ.

ඔබ කිව්වනෙ ඔබ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවෙ වැඩ කළාය කියලා. අද ඒක වැහිලා. අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇයි වැහුණේ? එයින් එදා සිදුවූ යහපත මොකක් ද?

ගොවි නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත දේ මිලට අරගෙන විකුණන ආයතනයක්. ඒ වගේම අපට බීම නිෂ්පාදන ෆැක්ටරි එකක් පවා තිබුණා.  ‘MD’ කියලා අද හඳුන්වන්නෙ එදා අලෙවි සංවර්ධනය සතුව තිබූ ආයතනයක්. ‘කිචන් ඇන්ඩ් බේකරි’ නිෂ්පාදන පද්ධතියක් අපට තිබුණා. වරායට, බන්ධනාගාර සේවය ඇතුළු ආයතනවලට ආහාර සැපයුවේ අපි. ඒ නිසා අතිරික්ත නිෂ්පාදනය බොහොම සකසුරුවම්ව කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපි ගොවියාට නියම මිලක්, වටිනාකමක් දුන්නා. ඒ නිසා කවුරුවත් ගොවීන්ගෙන් අඩුවට, නිෂ්පාදන ගත්තෙ නැහැ. මිල නියාමනය සිදුවුණාම ඒ නිසා ගොවියා ආරක්ෂා වුණා. ගොවීන්ගෙන් නිෂ්පාදන අරගෙන ලංකාව පුරා තිබුණු අපේ අලෙවි ස්ථානවලදී අලෙවි කළා. 1000 ක් විතර අලෙවි ස්ථාන තිබුණා. ඒ ආයතනය සුද්දන්ගෙ පාලනයටත් පෙර සිට පටන් ගත්ත එකක්.

මියෙන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හමුවූ මොහොතකදී

ඒ කියන්නෙ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නෙ, ගොවීන් හට ලොකු සහනයක් වෙච්ච කේන්ද්‍රස්ථානයක්.

වෙෙළඳපොළේ බඩු විකුණන එක දෙපාර්තමේන්තුවක් කළ යුතු නැහැ තමයි. හැබැයි වෙෙළඳපොළ නියාමනය රජය විසින් කළ යුතුමයි. අද එහෙම වෙන්නෙ නැහැනෙ.

ඉතින්, ඇයි දෙයියනේ එහෙම ඉස්තරම් ආයතනයක් වැහුවෙ කියලා. ඇහුවොත්? 

විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආවට පස්සෙ රජය ගත්ත වැරදිම තීරණයක්. ඒ නිසා තමයි පැඩි මාකටිං වගේ රජයේ නියාමන ආයතන සියල්ල වසා දැමුණෙ. ‘සතොස’ වසා දැමීමෙන් කුළු බඩු නිෂ්පාදන ආයතන කීප දෙනෙක් අතට ගියා. පැඩි මාකටිං බෝඩ් වැහුණාම ‘නියාමනය’  නොකෙරෙන නිසා පුද්ගලික අංශයේ ඒකාධිකාරීන් කීප දෙනෙක් බිහිවුණා. රටේ සිද්ධ වූ ඛේදවාචකයක්. මම හිතන්නෙ ඒක දේශපාලනය විසින් වුවමනාවෙන්ම සිදුකළ දෙයක්.

ගොවීන් අන්ත අසරණ වෙලා තියෙන්නෙ. රජ වීම වෙනුවට දුගී වෙලා තියෙන්නෙ. ඒ වගේ දේ බිහි වූ නිසා කියල ද ඔබ හිතන්නේ?

අද ඔබ ‘පොළවල්’ කීපයකට ගිහින් බලන්නකො. ප්‍රාදේශීය සභාව ඒ ස්ථාන බදු දෙනවා. එතකොට ටෙන්ඩරය ගන්න කෙනා තමයි පොළ පාලනය කරන්නෙ. අතරමැදියකු ඇවිත් ගොවියට රුපියල් 100 යි කිව්වොත් වෙළෙන්දාට දෙසීයයි කියලා ගන්නවා. එතකොට ගොවියාට දෙන්නෙ 100 යි. අතරමැදියාගෙන් 200 ට ගන්නවා. ඔන්න ඕකයි වෙන්නෙ. බදුකාරයින්ට දුන්නට පස්සේ ඒකාධිකාරියක් ගොඩ නැගුණා. ඒකට විරුද්ධ වුණොත්, සමහර වෙලාවට තාඩන පීඩනවලට පවා ගොවීන්ට ලක්වෙන්න වෙනවා. රටේ ජනතාව මෙච්චර දුප්පත් වෙන්න ඔය එක හේතුවක් සහ එක් අංශයක් විතරයි. මේ වගේ අසාධාරණ පද්ධති නිසා තමයි රටේ ටික දෙනෙක් පොහොසත් වෙලා, වැඩි දෙනෙක් දුප්පතුන් වෙලා තියෙන්නේ.

කවුද ඉතින් ඔය අසාර්ථක පද්ධති හැදුවෙ?

විවෘත ආර්ථිකයෙන් පස්සේ රටේ බොහෝ අංශවල ඒ පද්ධති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එයාලා දේශපාලකයින්ගේ වැඩවලටත් පැවති රජයන්ටත් අතරමැදි ඒකාධිකාරිය දිගටම පවත්වාගෙන ගියා. ඔවුන් ඒ නිසා ආරක්ෂිත වෙලා ඉන්නවා. ගොවීන්, නිෂ්පාදකයින් අනාරක්ෂිත වුණා.

ඒ කියන්නෙ මේ අතරමැදියො හැදුවෙම විවෘත ආර්ථිකය සහ දේශපාලනඥයින්.?

පැවැති රජයන් සහ විවෘත ආර්ථිකය විසින්. ව්‍යාපාරික පංතියේ අතරමැදි මිනිස්සු ටිකක් හැදුණාම, ඒ අයගෙ මුදල් විශාල වශයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්නෙ.

දැන් මේ ස්වභාවය ආපස්සට හරවන්න බැරි ද?

එහෙම කරන්න නම් ‘නියාමනය’ කියන ඉස්තරම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා රජය ඒකට ක්‍රමවේදයක් හදාගන්න ඕනෑ. මිල නියාමනය කළොත් වෙළඳපොළේ මිල උච්චාවචනය ගොඩක් අඩු වෙනවා. පාරිභෝගිකයයි, ගොවියයි දෙන්නම රැකෙනවා. ඒත් රජයට මිල නියාමනයක් අවශ්‍ය නැහැ, වගෙයි පෙනෙන්නෙ.

මේ අලුත් රජය ජනතාවගෙලුනෙ? ඉතින් එයාලවත් මේක ක්‍රියාත්මක නොකරන්නෙ?

ප්‍රශ්නයක්, එතැන තියෙන්නේ ප්‍රශ්නයක්? ඒක ඇත්තටම අධ්‍යයනයක් කරලා කළ යුතු දෙයක්. රජය ව්‍යාපාර කරන්න ඕනැ නැහැ කියලනෙ කියන්නෙ. ඒ තියරියෙන් ඇඟ බේරා ගෙන රජය කටයුතු කරනවා. හැබැයි මිල නියාමනය කරන්න කවුරුවත් නැහැ.

මියෙන්මාරයේ නිදහස් දිනය දා

මේ රටට වෙලා තියෙන වින්නැහිය මේක ද?

අනිවාර්යයෙන්ම ඔව්.

ආර්ථික ස්ථාවර බව ඇති රටවල නියාමනය හරියට වෙනව ද?

ඒකාධිකාරි ආයතන බිහිවෙන්න එයාලා ඉඩ තියලා නැහැ. මිල නියාමනය රජය යටතේ වෙන්නෙ. සමාගම් නිතියෙන්ම ඒ රටවල එය තහනම් කරලා තියෙන්නෙ. ඒත් අපේ රටේ සමාගම් කීපයක් විසින් තමයි මුළු රටම පාලනය කරන්නෙ. ආණ්ඩු කරන්නෙ පෙනී සිටීමක් විතරයි.

මූල්‍ය විශේෂඥයකු ලෙස ඔබ දකින විදිහට රටේ වෙ​ෙළඳාම් සහ අනෙකුත් පද්ධති පුද්ගලයින් කීප දෙනෙකු අතට පත්වීමෙන්, රටට වෙන අයහපත මොකක් ද?

එය රටේ ජීවන මට්ටම පල්ලෙහාට වැටෙන්න එක හේතුවක්. වී ගත්තත්, හාල් ගත්තත්, එළවළු ගත්තත් ගොවිය ට හොඳ මිලක් ලැබෙන්නෙ නැහැ. උක් ගොවියා ගත්තත්, අනෙක් ගොවීන් ගත්තත් ප්‍රශ්නෙට හේතුව ඒක. අතරමැදියන් වැඩි ප්‍රමාණයක් සිටින නිසා පාරිභෝගිකයාටත් වැඩි මිලක් ගෙවන්න වෙනවා.

එදා කෘෂිකර්මාන්තය මත යැපුණු අපේ රටේ ගොවි පරපුර, පසුකාලීනව ගොවිතැන්වලින් ඈත්වෙන්න මේ හේතු බලපෑව ද?

අනිවාර්යයෙන්ම ඔව්. එයාලගෙ ජීවන මට්ටම උසස් වෙන්නෙ නැතිකොට වෙනත් විකල්ප හොයා ගන්නවනෙ. අපි ඕස්ට්‍රේලියාවේ ගොවියො ගනිමු එයාලා ඒ රටේ විශාල ධනපතියන්. හැබැයි අපේ රටේ ගොවීන් අන්ත දුගී කොටසට අයත්. රටේ නිෂ්පාදන හදන අපේ රටේ ගොවීන් දුප්පත්. ඊට පස්සෙ කරන්නෙ අඩුවක් ආවාම, පිටරටින් ආනයනය කිරීම සිදුකරනවා. ඇයි අපි පිටරට ගොවියො පොහොසත් කරවන්නෙ. අපේ ගොවීන්ට සහන දීලා එයාලව දිරිගැන්වීමනෙ කරන්න ඕනෑ.

මේ රටේ නිෂ්පාදන කරනවට වැඩිය පිටරටින් ගේන එක ලාබයි කියලා අදාළ බලධාරීන් කියනවනෙ?
වෙෙළඳපොළක් නැති වුණාම, නිෂ්පාදන පිරිවැයට අදාළව තමන්ට මුදලක් ලැබෙන්නෙ නැත්නම්, ඒ දේ කරගෙන යන්න බැහැ. නිෂ්පාදන පිරිවැයට සරිලන මුදලක් ලැබෙන්නෙ නැතුව නිෂ්පාදන කරලා වැඩක් නැහැනෙ. එතකොට ඒ ව්‍යාපාර නැතිවෙලා යනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට අද වෙලා තියෙන්නෙ ඒ ප්‍රශ්නයමයි.

වැඩිමල් පුතුගේ විවාහ මංගල්‍යය දා

ඔබට රටක මූල්‍ය හැසිරීම සහ හැසිරවීම ගැන තියෙන්නෙ ලොකු අවබෝධයක්නෙ? ඔබ දකින විදිහට ඇයි අපේ රටේ ආර්ථිකය කඩා වැටුණේ?

ණය කන්දරාවක හිරවෙච්ච රටක්නෙ. ඒ අතරවාරයේදී කෝවිඩ් වගේ වසංගතයත්, සහ රටේ තවත් සිදුවීම් බලපෑවානෙ. කලින් ගත්ත ණයවලට රටේ යම්කිසි ආයෝජනයක් සිදුවුණා. මොනවා හරි නිර්මාණය කළා. හැබැයි පසුගිය අවුරුදු පහ හයක කාලයේදී අපි කළේ ණය අරගෙන ණය ගෙවපු එක. විතරයි. ඒ වගේම රටට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කළා. අපට වැරදුණේම එතැනයි.

ණය ගත්තොත් ඒ ණය වලින් මොකක් ද කරන්න ඕනෑ

රටේ නිෂ්පාදන ක්‍රියාවළියට සහ රැකියා උත්පාදනයට ඒ ණය යොදවන්න ඕනෑ. එක්කෝ රට දියුණු වෙන මාර්ගවලට ඒවා යොදවන්න වෙනවා. ඒ අතරේ ජීවන මට්ටම උසස් කළාම, ඒවායින් ආර්ථීකය ගොඩ නගා ගන්න පුළුවන්. ‘ණය’ කියන දේ අද ලෝකයට අලුත් දෙයක් නොවෙයි. ණය නොගෙන සමහර රටවල් ගෙනියන්න බැරි තරම්. ලෝකයේ වැඩියෙන්ම ‘ණය’ තියෙන රට ඇමෙරිකාව.

එහෙම වෙන්නෙ කොහොමද? ලෝකයේ ධනවත්ම රටනේ?

ඒ වුණාට එයාලා එක එක රටවලට ණයයි.

ඇයි එහෙම නම් එයාලා බංකොළොත් නොවන්නෙ?

එයාලා ණය හරියට කළමනාකරණය කරනවා. එයාලා ආයෝජනය කරන්නෙ රටේ කුමන හෝ අංශයක් දියුණුවන ඒවාට. අපි ආයෝජනය කරන්නෙ වක්‍රාකාරව ප්‍රතිඵල තිබුණත්, අනවශ්‍ය දේ වලට. පාරවල් වගේ දේ හදන්න.

රටක ආර්ථික දියුණුවට වැදගත්ම දේ ප්‍රවාහනයනේ. ඉතින් පාරවල් හදන්න එපා කියල ද ඔබ කියන්නේ?

මහාමාර්ග අවශ්‍යයි. ඒ හා සමාන්තරව ආර්ථිකය උසස් කරවන ව්‍යාපෘති කරන්නත් වෙනවා. මහාමාර්ග විතරක් හදලා වාහන එහෙට මෙහෙට ගියාට ආර්ථිකය දියුණු වෙන්නෙ නැහැනෙ. විදේශ ණය ගත් වහාම කළ යුතු වන්නේ, ඒ හා සමානව ණය ගෙවීම හැකි පරිදි ආදායම් උපයන මාර්ග, ක්‍රමවේදයන්, ව්‍යාපෘති කළ යුතුම වෙනවා. අපි හරි විදියට ‘ණය’ වලින් ව්‍යාපෘති කළොත් රට දියුණු වෙනවා.

අදත්, මේ මොහොත වන විටත් රට ‘ණය’ ගන්නවනෙ? ඒ ගන්න ණය වලින් රටට යහපතක් වන, ණය පියවා ගෙන, ලාබ ලබන ව්‍යාපෘති කරන්නෙ නැද්ද?

පහුගිය කාලයේදී මම ලෝක බැංකු උපදේශකයකු ලෙස වැඩ කළා. ව්‍යෘපෘතියක. ලංකාවේ පළාත් පාලන මට්ටමින්, පහළ මිනිසුන්ගේ අදහස් අරගෙන, ආදායම් උත්පාදන මාර්ග, රැකියා මාර්ග ඇති කරවීම එහි අරමුණ වුණා. හැබැයි සෑම පළාත් පාලන ආයතනයක්ම. ප්‍රාදේශීය සභාවක්ම යෝජනා කළේ, පාලම් හදන්න. පාරවල් හදන්න, සුපර් මාකට් හදන්න වගේ යෝජනා විතරයි. අපේ අයට ඇත්තටම සංකල්ප නැහැ වගෙයි එයින් පෙන්නුම් කරන්නේ. අපි නිතරම දියුණුව කියලා මනින්නෙ, පාරවල් හැදුවොත්, ගොඩනැගිල්ලක් හදුවොත් කියලා විතරයි හිතන්නෙ. කෘෂිකර්මාන්තයෙන් හෝ එක්කෝ සත්ව ගොවිපළ ආශ්‍රිතව හෝ රැකියා උත්පාදනය කරලා, ආදායම් වැඩි කරවන ව්‍යාපෘති ප්‍රායෝගික කරවන්න ඕනෑ. ඒවා පවතිනවා.

අද ලෝකය විශ්ව ගම්මානයක් වෙලා. ඔබ කියන විදිහට ණයත් ගන්නවා. ඒත් සමහර රටවල් මේ කිසිදෙයක් නැතුව දියුණු වෙන්නෙ කොහොම ද?

ඒ වගේ රටවල මහජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට වෙන ප්‍රවනතා අඩුයි. ඒ නිසා තමයි. ඒ රටවල අය අනෙක් රටවලට සංක්‍රමණය වෙන්න හදන්නෙ. උතුරු කොරියාව ගත්තොත් දකුණු කොරියාවට සාපේක්ෂව දුප්පත්. මතුපිටින් පෙන්වන චිත්‍රය නෙවෙයි. ඇතුළාන්තය.

කාලයක් ඔබ මියන්මාරයේ සේවය කළා නේද?

ඔව්, මම හිටියේ යැන්ගුන් නගරයේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍යවරයකු ලෙස කාලයක් හිටියා. අන්තිම කාලවකවානුවේ, වැඩබලන තානාපති ලෙසත් වැඩ කළා.

මියන්මාරය දුප්පත් රටක් නේද?

භූමියෙන් ලංකාවට වඩා දොළොස් ගුණයක් ලොකු රටක්. ජනගහනය අපට වඩා තුන් ගුණයක් ඉන්නවා. හැබැයි සම්පත් පරිපූර්ණ රටක්. නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නැති නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා.

භූගෝලීය වශයෙන් අපි කුඩා රටක්. පාරිසරික සම්පත් බොහෝමයි. මේ රට ඇත්තටම විනාශ වෙලා ද?

පාලකයින්ට විෂන් එකක් නැහැ. ඒ වගේම වැඩපිළිවෙළක් නැහැ. රට වටේම මුහුද තිබුණට, ධීවරයින් කියන්නෙ අන්තටම දුප්පත් කොටසක්. හැබැයි මාළුවල මිල ගණන් බලනකොට ඊට සාපේක්ෂව කවුද උපයන්නෙ? කාටද සල්ලි යන්නෙ? ඉතින් රටේ තුනෙන් දෙකක් විතර ඔය විදිහට දුප්පත් වුණාම රටේ ආර්ථිකය පණගැන්වෙන්නෙ නැහැ. ගසා කෑමේ ව්‍යාපෘති, අතරමැදියන්ට කොමිස් සහ ලාබ යන ව්‍යාපෘති නැති කළ යුතුයි. ගොවියාට, ධීවරයින්ට සහ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ජනතාවට සහන දීම සහ ලෝකයේ වෙනත් රටවල අපේ භාණ්ඩ අපනයනය කරලා හරි සාධාරණ මිලක් ලැබෙනව නම්, ජීවන මට්ටම උසස් කරන්න පුළුවනි. ජීවන මිට්ටම උසස් කළාම, රටක බොහෝ ප්‍රශ්න විසඳෙනවා. ජීවන මට්ටම උසස් වෙනකොට මිනිස්සු අනෙකුත් ප්‍රශ්නවලින් අයින් වෙනවා. එහෙම නැතිවුණාම වෙන්නෙ සාමාජීය ප්‍රශ්න වැඩිවීමයි.

අද මේ පවතින තත්වයත් එක්ක රට මොන වගේ තැනකට යාවිද?

මේ පවතින රජයත්, රටේ මේ ප්‍රශ්න ගැන අධ්‍යනයක් කරලා නැති වග තමයි පෙනෙන්නේ. ඕනෑම විධියකට ගැටලුව අධ්‍යයනය කරලා, විකල්පය සහ විසඳුම සොයන්නට ඕනෑ. ඉමෝෂනල් දේ එක්ක කටයුතු කරලා වැඩක් නැහැ. අපි ටී.වී. බලනවනෙ, ඒත් ප්‍රශ්නයක් මතු කළොත්? ඒක අධ්‍යයනය කරලා, විසඳුමක් හොයන්න යන්නෙ නැහැනෙ. ටී.වී. එක එක්ක හැප්පෙන්නෙ නැතුව, පත්තර එක්ක හැප්පෙන්නෙ නැතුව, විසඳුම් හොයන්න එපායැ. මේවායෙ වගකීම තියෙන්නෙ රජයට සහ රාජ්‍ය සේවයට. රාජ්‍ය සේවයට ආණ්ඩුවේම ප්‍රතිපත්ති වෙනස් කරගන්න බැහැ. රජයේ තීරණයට රජයේ සේවකයින්ට මොනවත් කරන්න බැහැ.

පුද්ගලික අංශය ලාබ ලබන්නත්, ඔබ වැනි දක්ෂ නිලධාරීන් සිටින සහ සිටි රාජ්‍ය සේවය බංකොළොත් වෙන්නත් හේතුව?

පුද්ගලික අංශයට යම්කිසි වාරණයක් ඇතුව තමයි කටයුතු කරන්න දෙන්න ඕනෑ. එහෙම නැතිවුණාම වෙන්නෙ එයාලා වංචනික විදිහට, අසාධාරණ විදිහට මුදල් ගරා ගැනීම සහ ඉපයීමයි. සාධාරණ නියාමනයක් ඇතිව කළොත් උපයන්න පුළුවන් වෙන්නෙ සාධාරණ ලාබයක් විතරයි. කෙනෙකුට හෙලිකොප්ටර්, සුපිරි වාහන ගේන්න පුළුවන් වුණාට ගොවියා ඉන්නෙ අන්තිම දරිද්‍රතාවයේ නම්, එය මොන වගේ තත්වයක්ද කියලා හිතාගන්න පුළුවනිනෙ. මේ රට නෙවෙයි කඩා වැටිලා තියෙන්නෙ. මම හිතන විදිහට සිස්ටම්වල කඩාවැඩීමක් තියෙන්නෙ.

තවමත් අපි එහෙමම අනුගමනය කරන්නෙ එදා සුද්දාගේ පාලනය යටතේ තිබූ ක්‍රමවේදයක්. අපේ ආයතන මුදල් රෙගුලාසි අපට හඳුන්වලා දුන්නෙ එංගලන්තය. ඒත් අද එංගලන්තයේ ඒක නැහැ. රෝම ලන්දේසි නීතිය හඳුන්වලා දුන්නෙත් එයාලා. ඒත් ඒ රටවල ඒ නීතිය අද නැහැ. අඩු තරමින් අපේ අවශ්‍යතාවයට, ඒවා සංවර්ධනය කරලා සංශෝධනය කරලා, දියුණු කරලාවත් නැහැ. මම උදාහරණයක් ගෙනහැර දක්වන්නම්, එදා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, ප්ලාස්ටික් කූඩ හඳුන්වලා දුන්නෙ. එළවළු අපතේ යන නිසයි. 85-86දී විතර ඉන්දියාවට ගිහින් හදාරලා ඒ සංකල්පය රටට හඳුන්වලා දුන්නත් රජය කිසිම උනන්දුවක් දැක්වූවේ නැහැ, බොහෝ දෙනෙක් ඊට විරුද්ධ වුණා. පසුව මෑත කාලයේදී එළවළු මිල අහස උසට ගියාම ඔන්න වැඩේ ගැන උනන්දු වුණා. පාරිභෝජනයේදී 30%ක අලාභයක් වුණාම, ඒ මුදල පියවා ගන්නෙත් ජනතාවගේ මුදලින්. ඒ නිසයි එළවළු මිල ඉහළ ගියේ. ආණ්ඩුව පසුව ප්ලාස්ටික් කූඩ සංකල්පයට අවසර දුන්නා. ඒත් පූර්ණව එය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. සමහර පුද්ගලික අංශ විතරක් එය භාවිතා කරනවා.

ඔබ ඔබගේ දැනුම් සම්භාරය එකතු කරගෙන පොතකුත් සම්පාදනය කළා. ඒ පොතෙන් සමාජයට ගත හැකි දේ කුමක් ද කියලා දැනගන්න කැමතියි?

2013දී රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මගේ වියදමින් එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළා. පසුව ගොඩගේ සමාගමට දීලා දෙවැනි මුද්‍රණය කළා. දැන් 3 වෙනි මුද්‍රණයටත් එයාලා ලැහැස්ති වෙනවා. රජයේ මාණ්ඩලික සේවාවන් සඳහා බඳවා ගැනීමේ විභාග මෙන්ම එම සේවයේ නියුක්ත රාජ්‍ය නිලධාරීන්ගේ මූල්‍ය දැනුම පුළුල් කිරීමට ඒ පොත උපකාර වී තිබෙනවා.

ඔබගේ පුතාල දෙන්න මොනවගේ රැකියාද කරන්නෙ?

ලොකු පුතා කැනඩාවේ ටොරොන්ටෝ ඩොමිනියන් බැංකුවේ සේවය කරනවා. බාල පුතා විදුලි ඉංජිනේරුවරයෙක්. එයා පදිංචිය ඕස්ට්‍රේලියාවේ.

සඳුන් ගමගේ