ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ප්‍රධාන මාර්ගය දකුණු මුහුදු තීරය බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට හේතුව මත්ද්‍රව්‍ය රැගෙන එන ඉරාන නැව්වල ගමන් මාර්ගය දකුණු මුහුද හරහා වැටී තිබීමයි. මේ නිසා දකුණේ මුහුදු රස්සාව කරන පිරිසගෙන් සුළු ප්‍රතිශතයක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ කොහේ හෝ කොනක කොටස්කරුවන් වී ඇත.

ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ ප්‍රබලම නම් ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ වෙලේ සුදාය. අනෙකා ඔහුගේම මස්සිනා වූ මොහොමඩ් සිද්ධික්ය. සුදා මෙරටට අල්ලා ගෙන ඒමත් සමග ඊළඟ ප්‍රබලයා වූයේ මාකඳුරේ මදුෂ්ය. ඔහුගේ සහායකයා වූයේ කංජිපානි ඉම්රාන් ය. ඔවුන් ද ඩුබායි වලින් පිටුවහල් කළ පසු මෙම ජාවාරමේ ඊළඟ ප්‍රබලයා ලෙස අභිෂේක ලද්දේ හරක් කටාය. ඔහුගේ සහයකයා වූයේ පානදුර කුඩු සලිඳු ය. මේ දෙදෙනා ද මැඩගස්කරයේ දී අත් අඩංගුවට ගැනීමත් සමග එම මත්ද්‍රව්‍ය ජාලය කුඩු පට්ටම් වූ බැව් බහුතරයක් විශ්වාස කළ ද, එය මේ වෙන විට කණපිට හැරී ඇත්තේ දෙවුන්දර දෙහිගෙදර බාලේ ගේ සම්ප්‍රාප්තියත් සමගය.දැන් උදා වී ඇතැයි පෙනෙන්නේ දෙහිගෙදර බාලේගේ යුගයයි. 

ඉකුත් කාල වකවානුවේ දෙහිගෙදර බාලේගේ නම මත්ද්‍රව්‍ය ජාවාරම හා බද්ධ වී තිබුණ ද , ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ප්‍රධානියා වශයෙනි .ඒ වෙන කිසිවක් නිසා නොව බාලේ පහුගිය කාලයේ වෙනත් අයගේ ’බඩු’ වලට ප්‍රවාහන පහසුකම් ලබා දී තිබූ නිසාය. නමුත් අවසානයේ  ඒවාට සිදුවූ දෙයක් නැතිවිය. ඒ බාලගේ පිරිස් ඒ මත්ද්‍රව්‍ය සැඟවූ නිසාය. ඊට හොඳම නිදසුන වන්නේ දැනට බන්ධනාගාරයේ සිටින දෙමටගොඩ චමින්දට හා විදෙස්ගතව සිටින බටුවත්තේ චාමරට අයත් කිලෝ 1000 ක පමණ මත්ද්‍රව්‍ය අතුරුදන් වීමය. එයට චෝදනා එල්ල වුණේ බාලේටය .

  • පොලිස්පතිට ඔත්තුවක්

මේ අතර පසුගිය සතියට පෙර සතියේ දිනෙක පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ඔත්තුවක් ලැබුණේ දකුණු මුහුදු තීරය ඔස්සේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවය. පොලිස්පතිවරයා වහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කැඳවා විමර්ශනය භාර දුන්නේය. ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය රැගෙන ඒමට යන ධීවර බෝට්ටු සම්බන්ධයෙන් ආවේක්ෂණ රාජකාරි ආරම්භ කෙරුණි. ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය රැගෙන එන ධීවර යාත්‍රා දෙක තහවුරු කරගත් අතර, නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව අදාළ වැටලීම මුහුදේ දී සිදුකළේය. ඒ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙක් ද සහභාගි විය. 

ඒ අනුව අත් අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකෙහි පුද්ගලයන්11 දෙනෙකු සිටි අතර, එහි මත්ද්‍රව්‍ය පාර්සල් විශාල ප්‍රමාණයක් ද තිබුණේය. එහෙත් පරික්ෂා කළ හැක්කේ ගොඩබිමට රැගෙන ඒමෙන් පසුවය.ඒ අනුව අත් අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක දින දෙකකට පසුව දික්ඕවිට වරාය වෙත නාවික හමුදාව විසින් රැගෙන එන ලදී. ඒ ’දෙවිඳු 1’ සහ ’චූටි පුතා’ නමැති යාත්‍රා දෙකයි. 

ධීවර වරායට ගෙනා යාත්‍රා දෙක පරීක්ෂා කිරීමේ දී හෙරොයින් පාර්සල් 170 කුත්, අයිස් පාර්සල් 100කුත්, සොයා ගැනුණි. ඒ පාර්සල්වල පැවති හෙරොයින් ප්‍රමාණය කිලෝ 184 කි.අයිස් ප්‍රමාණය කිලෝ 112 ක් විය.මේ ප්‍රමාණය මේ වසරේ දී අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය විය. සැකකරුවන්ගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ මෙම යාත්‍රා දෙකට තවත් යාත්‍රාවකින් පැමිණ මත්ද්‍රව්‍ය ලබාදී ඇතැයි යන්නය. ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය ලබාගැනීමට ජාත්‍යන්තර මුහුදට ගොස් ඉරාන නැව් වෙත ළඟාවී ඇත්තේ එකී බෝට්ටුව බව තහවුරු විය. ඒ අනුව වහාම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය නාවික හමුදාවට දැනුම් දී අදාළ යාත්‍රාවත් අත් අඩංගුවට ගත්තේය. ඒ අනුව අදාළ යාත්‍රාව ද ගොඩබිමට රැගෙන ආවේය.

මෙම සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී තහවුරු වුණේ අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙහිගෙදර බාලේට අයත් බවය. ගොඩබිමට රැගෙන යාම සඳහා එක ස්කීපර්වරයෙක් වෙත කෝටි 3.5 ලබා දීමට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇත. එපමණක් නොව ජාත්‍යන්තර මුහුද වෙත යන යාත්‍රාව සඳහා සැටලයිට් ද ලබා දී තිබු බව අනාවරණය විය. සැටලයිට් දුරකථනය ලබා දුන්නේ කවුද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කෙරිණි. එහිදී තහවුරු වුණේ ඔහු ද දකුණේ අයකු බව ය. ඒ අනුව අදාළ සැකකරු නේපාලයේ සිට පැමිණීමේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ විමර්ශන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකිරීම ආරම්භ කර ඇත.

  • ගොඩබිමෙන් කොකේන් තොගයක්

බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල වෙත තොරතුරක් ලැබුණේ ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව කියාය. ඒ අනුව ඕලු‍ගල විසින් අදාළ විමර්ශන එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට ලබාදුන් අතර, අදාළ නිලධාරීහු පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන බොල්ලතේ පිහිටි නිවස වැටලූහ.

විශාල ඉඩමක සාදා තිබූ විසල් නිවසක පදිංචිව සිටියේ දෙමළ පවුලකි. මේ අය කොළඹ කොටහේන ප්‍රදේශයේ අය වන අතර, වැටලූ නිවස මීට මාස දෙකකට පෙර කුලියට ලබාගෙන තිබුණකැයි සැලවුණි.  පොලිස් නිලධාරින් වැටලූ මෙම නිවස පරීක්ෂා කිරීමේ දී කොකේන් මලු‍ කිහිපයකුත්, ඩාන්සින් පෙති තොගයකුත් සොයාගැනීමට හැකි විය. ඒ අනුව ඒ අවස්ථාවේම ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වුණි. කෙසේ වෙතත් ඒ වනවිට එම නිවසේ ස්වාමියාත්,  ඔහුගේ වැඩිමල් පුත්‍රයාත් හිටියේ නැත. සිටියේ බාල පුත්‍රයා සහ මව පමණි. පොලිසිය මව අත් අඩංගුවට ගත් අතර, ඇය ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවුණේ - ස්වාමියා ’කිඹුලා ඇළ සේකර’ බවය. 

කිලිනොච්චියේ පදිංචි සේකර කොළඹ කොටහේනේ පාතාල කල්ලි නායක ඉන්දියාවේ සිරවී සිටින ’පුකුඩු කන්නාගේ’ මිත්‍රයෙක් විය. පූකුඩුකන්නාට අයිති මත්ද්‍රව්‍ය මෙලෙස විකුණන්නේ මේ සේකර විසින් බව තහවුරු විය.

පූකුඩුකන්නා සහ ජම්පටා වීදියේ කුඩු සෙල්වි අතර කාලයක් ගැටුමක් ඇති වු අතර, පසුව සෙල්විව කන්නා ගේ පාර්ශ්වය විසින් ඝාතනය කෙරිණ. ඉන් පසුව කරළියට ආවේ පලනි රමේෂ්, පළනි රිමෝෂන් සහ පලනි කැන්සටර් යන දරුවො තිදෙනාය. දැන් එක දිගට මරාගන්නේ මේ දෙගොල්ලන්ය.

කෙසේ වෙතත් මෙහි දී තවත් අපුරු දෙයක් අනාවරණය විය.ඒ අදාළ කොකේන් තොගය පැමිණ ඇත්තේ, ගුවන් තොටුපොළ හරහා බව ය. රහස් පොලිසිය, නාකොටික්, කස්ටම් සියල්ල ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටිය දී මේ මත්ද්‍රව්‍ය ආවේ කෙසේ ද ? යන්න උභතෝකෝටියකි.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනය නොපමාව සිදු කළ යුතුය.    

ඒ කෙසේ වෙතත්, මෙම වැටලීම සුවිශේෂ වන්නේ - මෑත ඉතිහාසයේ ගොඩබිමක දී අත් අඩංගුවට ගත් වැඩිම ’කොකේන්’ තොගය ලෙසය. එහි වටිනාකම කෝටි 22 කි.

ගයාන් ගාල්ලගේ