මාලිමා ආණ්ඩුවත් රිවර්ස් ගියරයට

ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දේශපාලන පිටිය ගිනි ගත්තේය. විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එල්ල වූ විරෝධයට වඩා අධ්‍යාපන ඇමැතිනිය ලෙස අගමැතිනි හරිනි අමරසූරියට එල්ල වූ විරෝධයක් බඳු විය. භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් එල්ල වූ වාග් ප්‍රහාර සභ්‍ය සීමාව ද ඉක්මවා තිබුණි. එම සියලු වාග් ප්‍රහාර සිනාමුසු මුහුණින් භාරගත් අගමැතිනිය තම රාජකාරිය සාමාන්‍ය පරිදි සිදු කළාය.

එහෙත් රජයේ මතය වූයේ දේශපාලන පක්ෂවල මතය කුමක් වුවද අධ්‍යාපන ක්ෂෙත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන විරෝධය නොසලකා හැරිය නොහැකි බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක සිටියේ ද එම මතයේය.

‘‘අපි මේ ප්‍රතිසංස්කරණ කිසිසේත්ම හකුලා ගත යුතු නෑ. ඒත් මතුවෙලා තියෙන තත්ත්වය තුළ අධ්‍යාපනය වැනි සංවේ දී ක්ෂේත්‍රයක් තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී මේවා නොසලකා වැඩ කරන්න බෑ...’’ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමැතිවරුන් මුණ ගැසුණු සාකච්ඡාවක දී තම අදහස කියා සිටියේය.

‘‘ඔව් ඒක ඇත්ත... අපට එක වසර නම් ගැටලුවක් නෑ. ඒත් හය වසරේ ප්‍රතිසංස්කරණ මේ තත්ත්වයන් එක්ක ක්‍රියාත්මක කරන්න යන එකෙන් ගැටලු ගොඩක් මතුවෙන්න පුලුවන්. ගුරු වෘත්තීය සමිති ගුරුවරුන්ව නිතර මේකට විරුද්ධව උද්ඝෝෂණවලට අරගෙන ගියොත් ඒක දරුවන්ට බලපානවා. ඒකෙන් අපේ ප්‍රතිසංස්කරණ අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා...’’ ජනාධිපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අගමැතිනිය කියා සිටියාය.
‘‘පොතේ මේ මොඩියුලය ඉවත් කරන්න පුළුවන්... කොහොමත් ඒක අපේ සැලසුමේ තිබුණු කොටසක් නොවෙයි... ඒත් මේ විරෝධය එතැනිනුත් නවතින එකක් නෑ....’’ අගමැතිනිය කියා සිටියාය.

‘අන්න ඒකයි ප්‍රශ්නෙ... මේක ඔයා ගාවන්න ගහපු ප්ලෑනක්... කුහකකම...’’ ජනාධිපතිවරයා සඳහන් කළේය. අගමැතිනිය එයට සිනාසුණාය. 

‘‘අපට ඒ අරමුණ ඉටු කරන්න කොහෙත්ම ඕනෑ නෑ... විශ්වාසභංගයක් ඕනෙ නම් ගේන්න කියන්න...’’ ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කළේය.

‘‘ඒවට නම් බයවෙන්න දෙයක් නෑ... විශ්වාසභංගගේන තරමට අපට මේ ගැන සංවාද කරන්න ඉඩ ලැබෙනවා’’’ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කීවේය.

‘‘අපි හය වසර විතරක් පස්සට දාමු...’’ තවත් ඇමැතිවරයෙක් පැවසීය.

‘‘ප්‍රශ්නෙ තියෙන්නෙ පොත් හැදෙන්නේ අවුරුද්දකටමනේ... කල් දානවා නම් අවුරුද්දකික් කල් දාන්න වෙනවා...’’ අගමැතිනිය කීවාය.

‘‘හරි.... ඔයා මේක අමාත්‍යාංශයත් එක්ක කතා කරන්න... අපි කැබිනට් රැස්වීමේ දී තීන්දුවක් ගනිමු...’’ ජනාධිපතිවරයා අගමැතිනියට උපදෙස් දුන්නේය. ඒ අනුව ඉකුත් 12 වැනි සඳුදා සවස රැස් වූ කැබිනට් මණ්ඩලය හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමීමට තීන්දු කළේය. එම තීන්දුවත් සමග ආණ්ඩුවට එරෙහිව මතුවෙමින් තිබූ විරෝධතා සමනය වූ ආකාරය දැකගත හැකිවිය.

කන්නංගර පිළිරුව ළඟ කන්නලව්ව

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අගමැතිනියට එරෙහිව සමගි ජනබලවේගයේ නිදහසේ අධ්‍යාපනයේ පියා වන කන්නන්ගරයන් වෙනුවෙන් මතුගම ඉදිකර ඇති පිළිරුවට කන්නලව් කිරීමට යොදාගෙන තිබුණේ ඉකුත් සෙනසුරාදාය. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතානගේගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම කන්නලව්වට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, සංජීව එදිරිමාන්න, දිලිත් ජයවීර, මධුර විතානගේ, සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගි වූහ. ‘‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි. ඒත් මේ කරගෙන යන්නේ ඒක නෙවෙයි. ළමා පරපුර වෙනත් වැරදි මගකට ගෙන යාමයි...’’ විපක්ෂ නායක සජිත් එහිදී කියා සිටියේය.

විපක්ෂය අත්සන් කළ විශ්වාස භංග යෝජනාව මෙම නව තත්ත්වය යටතේ කතානායකවරයාට භාර දීමක් සිදු නොවන අතර ඒ වෙනුවට විපක්ෂය උත්සාහ කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමටය. රජයද ඒ පිළිබඳ කැමැත්ත පළකර ඇතැයි දැන ගන්නට ඇත. විපක්ෂය පවසන්නේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් අගමැතිනිය අපහසුතාවට පත්වන නිසා රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට තීන්දු කළ බවය. ඒ නිසා එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස විපක්ෂය සලකයි. කෙසේ හෝ ආණ්ඩුවේ පදනමට එරෙහිව රට පුරා මතුවෙමින් තිබූ යම් මට්ටමක විරෝධතා මතවාදයන් මේ තරමින් සමනය කර ගැනීමට හැකිවූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට ගත් නිසාය.

අධිකරණ සේවා කොමිසම ගැන ප්‍රශ්නය

අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් සිදු කරන විනිසුරුවරුන්ගේ පත් කිරීම් මාරු කිරීම් ආදිය පිළිබඳව විපක්ෂය ඉල්ලා සිටි තේරීම් කාරක සභාව ප්‍රතික්ෂේප කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න ගත් තීන්දුව පිළිබඳව ගත හැකි පියවර ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඉකුත් සතියේ කතාබහක් ඇතිවිය. අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර හෙයින් මෙම තේරීම් කාරක සභාව පත්කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇතැයි විපක්ෂය කියයි. එහෙත් කතානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ එම කොමිෂන් සභාව ගැන විවාද කිරීමට බලයක් නොමැති බව පවසමිනි. එම තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරුන් විසි දෙනකුගේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීන්දු කර ඇත. මන්ත්‍රීවරුන් විසි දෙනකුට වැඩි පිරිසකගේ ඉල්ලීමක් විධිමත් ඉල්ලීමක් බව පිළිගැනේ. ඒ පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී තවදුරටත් සාකච්ඡා වීමට නියමිතය.

පළාත් සභා ගැන තේරීම් කාරක සභාවක්

ඊළඟට මතුවී ඇත්තේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පනත 2015 යහපාලන රජය මගින් අහෝසි කළ අතර ඒ නිසා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නීතිමය පනතක් දැනට මෙරට නැත. මේ නිසා විපක්ෂය ඉල්ලා සිටින්නේ එදා අහෝසි කළ පනත යළි පණගැන්වීමට අවශ්‍ය කටයුතු කරන්නේ නම් විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බවය. එහෙත් රජය පවසන්නේ පැවැති රජයක් ජනතා විරෝධය සලකා බලා එම් ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කර ඇති බැවින් නැවත එම ඡන්ද ක්‍රමය පණ ගැන්වීමට රජයේ අදහසක් නැති බවය. මේ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු පනතක් සහ ඡන්ද ක්‍රමයක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව රජය පවසයි. රජය පවසන්නේ පළාත් සභා ක්‍රමය ඇතුළත් වන්නේ ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ බැවින් එය ඇතුළුව සමස්ත ව්‍යවස්ථාවම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය කටයුතු කරන බවය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මාසයකින් හෝ දෙකකින් තොරතුරු විමසා නීති සකසන්නේ නැත. එය දීර්ඝ ක්‍රියාවලියකි. ඇතැම් විට වසර දෙක තුනකටත් වඩා කල් ඇදෙන ක්‍රියාවලියකි. මේ නිසා විපක්ෂය කියන්නේ රජය පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සඳහා උපක්‍රමයක් ලෙස මෙම තේරීම් කාරක සභාව ගෙන ඒමට තීන්දු කර ඇති බවය. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රජයේ ඡන්ද පදනම අතිශය දරුණු ලෙස පහතට වැටෙන බවත් ඒ නිසා මීළඟ ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය එයට පෙර වෙනත් කිසිම ජාතික මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීන්දු කර ඇති බවත් විපක්ෂය කියයි.

විපක්ෂයේ මෙම චෝදනාව ගැන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල  පවසන්නේ එදා පළාත් සභා ඡන්දය  නොපවත්වා එම ඡන්ද ක්‍රමය  අක්‍රිය කර දැමූ විපක්ෂය කරන චෝදනාව හාස්‍යයට කරුණක් බවයි. ඔවුන්ට ඡන්දය තියන්න තිබුණා. පැරදෙන නිසා තමයි එදා නොතිබ්බේ. අපි පැහැදිලිවම ඉන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන මතයේ. අපේ මැතිවරණ ප්‍රකාශනයේත් ඒක තියෙනවා. ඒ අනුව පළාත් සභා ඡන්ද ක්‍රමයක් ඇතුළුව නව ව්‍යවස්ථාවක් අපි ඉදිරි කාලයේ ගෙන එනවා....’’ඇමැති සුනිල් වටගල කියයි.

‍ඒ අනුව පළාත් සභා ඡන්දය මෙම වසරේ කිසිසේත්ම නොපැවැත්වෙන බව ස්ථිරව පත් කර අදහස් විමසා අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීමට නීතියෙන්ම අත්හිටුවෙනු ඇති අතර ඒ නිසා 2029 වනතුරු පළාත් සභා දැන් පවතින අයුරින්ම පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ  මෙම පළාත් සභා ප්‍රශ්නය ඉන්දියානු දේශපාලනයේද කතිකාවක් ඉකුත් සතියේ ඇති කළේ තමිල්නාඩු මහ ඇමැති ඇම්.කේ. ස්ටාලින් ඉකුත් සතියේ අගමැති මෝදිව යැවූ ලිපියක් නිසාය. මහ ඇමැති ස්ටාලින් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය ජනවාර්ගික ගැටලු  විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය මේ ගමන් කර ඇති බවය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති රාමුවෙන්ද ඉස්මතු වන්නේ තවදුරටත් ඒකීය රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙන යෑම බව ද ඔහු කියයි. මහ ඇමැති ස්ටාලින් මෝදි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සුළු ජන අයිතිවාසිකම් ඉස්මතු වන අයුරින්  පළාත්වලට බලය බෙදී යන පෙඩරල් ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නැයි  ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසය. මහ ඇමැති ස්ටාලින්ගේ මෙම ලිපියෙන් ද අපට තහවුරු වන්නේ පළාත් සභාවලට බලයදීමක් වත්මන් ශ්‍රී ලංකා රජයෙන්ද සිදු නොවන බවය. 

මහින්ද  බලන්න ගිය මන්ත්‍රීවරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කොළඹ නිල නිවස අහිමි වූ පසු ඉකුත් කාලයේ තංගල්ලේ පෞද්ගලික නිවසට ගොස් සිටි අතර ඔහු යළිත් කොළඹ නිවසක පදිංචිය සඳහා පැමිණීමට ඉකුත් දිනවල කටයුතු කළේය. නව නිවස ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේය.

නව නිවසකට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා තම හිතවත් හිටපු මන්ත්‍රීවරුන් ගණනාවකටම පවසා තිබුණේ විවේක වේලාවක පැමිණ තමා හමුවන ලෙසය. ඒ අනුව මන්ත්‍රීවරුන් විසි දෙනකු පමණ ඉකුත් සතියේ ඔහු හමුවීමට නව නිවසට ගියහ. අනුර යාපා, ෆයිසාර් මුස්තපා, රමේෂ් පතිරණ, නිමල් පියතිස්ස, සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එම හමුවට සහභාගී වූ අතර කගේත් කතාබහට ලක්වූයේ රටේ පවතින දේශපාලන වටාපිටාවය. ‘‘මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර නෑ..... රටේ කිසිම පිබිදීමකුත් නෑ..... අලුත් ආණ්ඩුවෙ අයගෙ මහජන සබඳතාත් නෑ....’’ එහි සිටි මන්ත්‍රීවරු කියා සිටියහ.

ශාන්ත බණ්ඩාර  හිටපු මන්ත්‍රීවරයා ඇතුළු කිහිපදෙනකු ගියේ මඳක් ප්‍රමාදවය. ‘ශාන්ත මොකද පරක්කු?’’ හිටපු ජනාධිපතිවරයා ශාන්ත බණ්ඩාරගෙන් විමසීය.

සර් ජොනී ඇමැතිතුමා අද වත්තල උසාවියට ගෙනාවනෙ.. ඇප දෙයි කියලා අපි කට්ටියම ගියා... උසාවි වැඩ ඉවර වෙද්දී සවස් වුණා...’’ශාන්ත බණ්ඩාර කීවේය.

‘‘ජොන්ස්ටන්ට අැප ලැබුණේ නැද්ද?...’’මහින්ද විමසුවේය.

‘‘නෑ සර්..... තිස් එක වෙනකම්ම ආයෙ ඇතුළට දැම්මා.....’’ ශාන්ත කීවේය.

‘‘හරි... මං හැමෝටම එන්න කීවෙ මාත් එක්ක ඩිනර් එකක් ගන්න... ස්තුතියි මාව බලන්න ආවට....’’එසේ කී  හිටපු ජනාධිපතිවරයාගේ රාත්‍රි ආහාරය භුක්ති විඳින ලෙස සියලු දෙනාටම ආරාධනා කළේය.

පොහොට්ටුවේ රැස්වීම් මාලාවක් මෙම 17 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගමින් ආරම්භ වෙයි. එම රැස්වීම් මාලාව පැවැත්වෙන්නේ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. එම දිස්ත්‍රික්කයේ කොට්ඨාස භාරව සිටින සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ද එදින සිදුවේ. දිස්ත්‍රික් සංවිධායක තිස්ස කුට්ටි ආරච්චිගේ සංවිධායකත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

සජබ කෘත්‍යාධිකාරී රැස්වීම

මාස තුනකට පමණ පසු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉකුත් සතියේ පැවැත්විණි. රැස්වීම ආරම්භ කරමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස එජාපය සමග පැවැත්වෙන සාකච්ඡා ගැන විස්තර කළේය.

මම එජාපය සමග සාකච්ඡා කරගෙන යනවා. සුබදායක තත්ත්වයක් තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. පක්ෂ දෙකටම හොඳ විදිහට තීන්දුවකට එන්න පුළුවන් වේවි. මට මේ සාකච්ඡා දිගටම කරගෙන යන්න අවසර දෙන්න. ඒ වගේම අනිත් අය විවිධ ප්‍රකාශ කරන්න එපා. එතකොට අපිට මේ සාකච්ඡා කරගෙන යන්න බැරිවෙනවා..’’කවුරු හරි ඇහුවොත් කියන්න සාර්ථකව කරගෙන යනවා කියලා.. ඒ ඇති....’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ඉන්පසුව සාකච්ඡා වූයේ 2026 වසරට අදාළව පක්ෂයේ බිම් මට්ටමේ ශාඛ්‍යා ජාලය පණගන්වන ආකාරය ගැනය. තරුණ ව්‍යාපාරය, කාන්තා සංවිධාන, සමාජ මාධ්‍ය කණ්ඩායම් මේ වසර සඳහා ප්‍රතිසංවිධානය කළ යුතු බව සාකච්ඡා කෙරිණි.

එක්දහස් නවසිය හැත්තෑ හයේ දී  කළ  ආකාරයට කොට්ඨාස මට්ටමින් කාන්තා තරුණ සංවිධාන ඇති කරන ලෙස ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යෝජනා කළේය. ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා යෝජනා කළේ පක්ෂයේ තරුණ සංවිධාන සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් ශක්තිමත් කළ යුතු බවය. එසේ නොමැති වුවහොත් සමාජයේ පහළම තලය දක්වා ආමන්ත්‍රණය කිරීමට පක්ෂයට නොහැකි වනු ඇතැයි ද ඔහු කීවේය. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු  කිරීම සඳහා රජය ගෙනැවිත් ඇති පනත ගැන කෘත්‍යාධිකාරියේ සිටින හිටපු මන්ත්‍රීවරු අදහස් පළ කළහ. වත්මන් රජය මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන සමාජයේ මවා තිබූ චිත්‍රය වැරදි සහගත බව කී එම හිටපු මන්ත්‍රීවරු විශ්‍රාම මන්ත්‍රීවරුන් ගණනාවක්ම ජීවත්වීම සඳහා මහත් දුෂ්කරතා විඳින බව ඔවුහු කීහ.’’මුදල් නැති මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවා. 

මේ අයට විශ්‍රාම වැටුප අහෝසි කරන එක අසාධාරණයි. ඒ වගේම ධනවත් මන්ත්‍රීවරුන්ට  විශ්‍රාම වැටුප අවශ්‍ය නෑ.... මේ දෙපැත්තම බලලා තමයි මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කළ යුත්තේ, ඔවුහු කීහ. එහෙත් කෘත්‍යාධිකාරියේ ඇතැම් සාමාජිකයන් කියා සිටියේ සමාජයේ සංවේදී කරුණක් වන විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව අදහස් දැක්වීම පක්ෂයේ ඡන්ද පදනමට නොසුදුසු බවය. විශ්‍රාම වැටුප අහෝසි කිරීමේදී යම් නිර්ණායක  අදාළ කරගත යුතු බවත් අවශ්‍යම අයට එය ලබාදිය යුතු බවටත් පක්ෂයේ මතය විය යුතු බව මේ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළේය.

ඩබ්ලිව්. දහනායක සහ රත්නසිරි වික්‍රමනායක යන හිටපු අගමැතිවරුන් දෙදෙනාම විශ්‍රාම වැටුපේ ආධාරයෙන් විශ්‍රාමික ජීවිතය ගතකළ බවටද කතා බහ වූ  අතර මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තම විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සුදානම් වන බවටද එහි පැමිණ සිටි අයගේ කතාබහට ලක්විය. 

අනුරාධපුරයේ කතා 

පසුගියදා අනුරාධපුර පූජා භූමියට ගිය රනිල්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. මහා සංඝරත්නයෙන් පමණක් නොව එහි පැමිණ සිටි ජනතාව ද රනිල් වටා රොක් වූහ.

ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වන්දනා කළ රනිල්ට සෙත් පතන්නට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. 

එහිදී අනුශාසනාවක් කරමින් ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්ම ජෝති නාහිමි කීවේ රට දෙපැත්තට දෝලනය වෙමින් තිබූ වෙලාවේ බොහෝ දෙනෙක් රට ගැන හැඟීමක් නැතිව කටයුතු කළ බවයි. ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ එකම නායකයා රනිල් පමණක් බවද ධම්මජෝති නා හිමියෝ කීහ.

“ඒ කාලේ දිග පෝලිම් අපි දැක්කා.ඒවා මිනිස්සුන්ට අමතක වෙලාද කියලා අපි දන්නේ නෑ. මිනිස්සු සැතපුම් ගණන් දිග පෝලිම් වල ඇද වැටිලා මරණයට පත්වුණා.ඔබතුමා ජාත්‍යන්තරයේ සහයෝගයත් අරගෙන ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ දුක් නිවපු හැටි අපට මතකයි.ඔබතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයෙක්ගෙන් රටට වෙන්න ඕන සේවය ඒ අයුරින්ම කළා කියන කාරණය ඉතිහාස ගතවෙලා තියෙනවා”‍ යනුවෙන්ද ධම්මජෝති නාහිමියෝ කීහ.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණු වැ⁣වේ ඤාණතිලක හිමියන් රනිල් හමුවූ මොහොතේ කීවේ සුබ අසුබ මොන දේ ලැබුනත් රනිල් අටමස්ථාන භූමියට ඇවිත් සිරිමා හාමුදුරුවෝ ලඟ, මහා සෑය ලඟ පුද පූජා කරන බවයි.

රනිල්-විමල් 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි සටනේ ජය විමල් ගත් බව එජාපයේ අදහස විය. 
“ඔයා මොකක්ද හරිනිට කළේ”‍ යැයි රනිල්ද විමල්ට දුරකථන ඇමතුමක් දී විමසා ඇති බව ආරංචිය.

රාජ දූත