සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳගේ ඝාතන මෙහෙයවා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ටුටූ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන තරිඳු මදුශංඛ නමැත්තා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සිද්ධියට අදාළ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් දොළහක් යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයාගේ සහ බිරිඳගේ ඝාතන සිදුකිරීම සඳහා රූබට් සුරේෂ් රිවෝල්වරයෙන් වෙඩි තැබූ බවට තහවුරු වී තිබෙනවා. වෙඩික්කරුවන් නවාතැන්පොළකට රැගෙන ගිය වාහනේ  හිමිකරු සිහින දිල්සර බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරගෙන යනවා. මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ටුටූ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන තරිඳු මදුශංක නමැත්තා මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු ගැන පුළුල් විමර්ශන පවත්වනවා. වෙඩික්කරුවන් ළඟදිම අත්අඩංගුවට ගන්නවා.

විමර්ශන කණ්ඩායම් දොළහක් යොදවලා තියෙනවා. වෙඩික්කරුවන් පැමිණි වාහනය කේ අයි 7738 බද්දේගම ප්‍රදේශයේ ගිනි තබා තිබියදී සොයාගෙන තිබෙනවා. අපරාධය සඳහා ගිනි අවි ලබාදීමට පැමිණි රථය කේ. එස් 8987 කොට්ටාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් නවාතැන්පොළට රැගෙන ආ මෝටර් රථය කේ ඩබ්ලිව් 8733 අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. එහි හිමිකරු හඳුනාගෙන තියෙනවා. සනෝජ් කෝකිල ලියනාරච්චි අත්අඩංගුවට ගෙන තියෙනවා. මොහු ගිනි අවි ප්‍රවාහනය කර වෙඩික්කරුවන්ට ලබා දී තිබෙනවා. දිලින ප්‍රබෝධ හපුආරච්චි නොහොත් ඩිලා මෝටර් රථයක් කුලියට ලබාගෙන ප්‍රවාහන කටයුතු  කළ කෙනා. ඔහු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා”.