ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර සටන් විරාමයක් වලංගුව පැවැති 2003 වසරේදී ජනමාධ්‍යවේදියකු කළ එක්තරා හෙළිදරව්වක් නොවේ නම් එතැන් සිට අද දක්වා වූ ශ්‍රී ලංකාවේ ඉතිහාසය බොහෝ දුරට වෙනස් වන්නට ඉඩ තිබිණි.

එසේ වූයේ නම් සමහරවිට තවමත් උතුරු නැගෙනහිර පළාත්වල සිය ගණනින් හමුදා සෙබළුන්, කොටි සාමාජිකයන් හා සාමාන්‍ය ජනතාව මියයමින් සිටින්නට ඉඩ තිබිණි. කොළඹ ද බෝම්බ පුපුරමින් තිබෙන්නට ඉඩ තිබිණි. සමහරවිට එම පළාත් දෙකේ රජයේ පාලනය නාමික එකක්  වන්නට ද ඉඩ තිබිණි.

සටන් විරාමය වලංගුව තිබුණද කොටි සංවිධානය 2003 අප්‍රේල් මාසයේ දී ව්‍යාජ හේතුවක් පෙන්වමින් සාම සාකච්ඡාවලින් ඉවත් වී සිටියේය. ඔවුන් යළි සාම සාකච්ඡාවලට කැඳවා ගැනීම සඳහා එවක පැවැති එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ඕනෑම දෙයක් කරන්නට සූදානම් තත්ත්වයකට පත්ව සිටියේය.

මේ තත්ත්වය යටතේ එවක නෝර්වේ හමුදා නිලධාරීන්ගේ නායකත්වයෙන් පැවැති  සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ (SLMM) ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ට්‍රිග්වි ටෙලිෆ්සන් (Tryggve teleffeson) අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාව අනුව නාවික හමුදාව කොටි සංවිධානයේ මුහුදු කොටි බළකාය නාවික ඒකකයක් ලෙස පිළිගත යුතු විය. 

ඉක්බාල් අතාස්

කොටි සංවිධානයට ඕනෑම අශ්ව බල ධාරිතාවකින් යුත් බෝට්ටු භාවිතයට අනුමැතිය දිය යුතුවිය. මුහුදේ නිශ්චිත ප්‍රදේශවල විනා අනෙක් ප්‍රදේශවල නාවික හමුදාව ජීව උණ්ඩ භාවිත නොකළ යුතුය. නාවික හමුදාවට හා මුහුදු කොටින්ට මුහුදේ වෙනම පුහුණුවීමේ ප්‍රදේශ වෙන් කොට දිය යුතු විය.

මෙම යෝජනාව  ක්‍රියාත්මක වූයේ නම් නාවික හමුදාවට මුහුදේ ආධිපත්‍යය  මුළුමනින්ම අහිමි  වන්නට ඉඩ තිබිණි. කොටි සංවිධානයේ ආයුධ නැව් විනාශ කරන්නට නොහැකි වන්නට ඉඩ තිබිණි.

රජයේ හමුදාවල යුද ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වූයේ යුද, නාවික හා ගුවන් හමුදා රැස් කළ තොරතුරු පදනම් කරගෙන නාවික හමුදාව කොටි සංවිධානයට ආයුධ ගෙන ආ නැව් දහයක් පමණ විනාශ කිරීමයි. 

2007න් පසු කොටි සංවිධානයට විදේශවලින් පැනඩෝල් පෙත්තක් හෝ ගෙන්වාගත නොහැකි වූ බව ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත්වූ කුමරන් පද්මනාදන් (කේ.පී.) ඩී. බී. එස්. ජෙයරාජ් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබිණි.

මේ තත්ත්වය අනුව ටෙලිෆ්සන්ගේ යෝජනාවේ බරපතළකම තේරුම් ගත හැකිය.  රටට නොකියා ක්‍රියාත්මක කරන්නට ගිය මෙම යෝජනාව හකුළා ගන්නට සිදුවූයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉක්බාල් අතාස් ලියූ සිටුවේෂන් රිපෝට් තීරුවෙන් එය හෙළිදරව් කරනු ලැබීම නිසාය.

අතාස් ඉකුත් අඟහරුවාදා අලුයම සිය 81 වැනි වියේදී අභාවප්‍රාප්ත විය.

1970 ගණන්වල ඉතා ප්‍රබල ජනමාධ්‍ය ආයතනයක් වූ සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම විසින් පළ කරන ලද සන් හා වීක් එන්ඩ් පුවත්පත්වල වාර්තාකරුවකු  ලෙස සිය ජනමාධ්‍ය ජීවිතය ඇරඹූ අතාස් අවසානයේ දී ජාත්‍යන්තර වශයෙන්ද නමක් දිනා සිටියේය.

මෙරට බෙදුම්වාදී යුද්ධයේ ආරම්භයේ සිට එනම් 1984 සිට 1990 දක්වා ඔහු වීක් එන්ඩ් පුවත්පතට සතිපතා යුද පුවත් විවරණයක් ලියුවේය. සිටුවේෂන් රිපෝට් යන පොදු හිසින් ලියන ලද ආරක්ෂක තත්ත්වය පිළිබඳ එම විවරණය මෙරට පුවත්පතක පළවූ එවැනි පළමු යුද පුවත් විවරණයයි.

එය හුදෙක් උතුරු, නැගෙනහිර පළාත්වල  ඇතිවූ යුදයට අදාළ සිදුවීම් මාලාවක එකතුවක් නොවීය. එය එම සිදුවීම්වලට පාදකවූ හා බලපෑ සංග්‍රාමික හා දේශපාලන පසුබිමද නම් ගම් සහිතව විස්තර කිරීමක් විය. එමෙන්ම ජාත්‍යන්තර යුද්ධ විවිධ රටවල කැරැලි කෝලාහල ආදිය පිළිබඳ පොත පත කියවා යුද ගැටුම් පිළිබඳව රැස්කරගත් විශාල දැනුමක් ඔහු සතුවිය.

මේ සියල්ලටම වඩා වාර්තාකරුවකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා ඔහුගේ ලිපිවල භාෂාව ඉතාමත් සරල විය. ඔහු බර  වචන භාවිත කළේ ඉතා අඩුවෙනි. ඔහුගේ යුද පුවත් විවරණය ඉතා ඉක්මනින් රටේ දකුණු ප්‍රදේශවල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද අතිශයින් ජනප්‍රිය විය

ඉක්බාල්ගේ ලිපිවල යුද්ධය පිළිබඳ අනෙක් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රවෘත්ති හා ලිපිවල නැති තොරතුරු රාශියක් ඇතුළත්  විය. ඊට හේතු වූයේ මේ රටේ කිසිදු ජනමාධ්‍යවේදියකුට නැති අතිවිශාල සබඳතා ජාලයක් ඔහු සතු වීමයි. අනෙක් අතට ඔහු වාර්තාකරුවකු වශයෙන් වෘත්තීයමය කටයුතුවලදී සබඳතා පැවැත්වූ බොහෝ හමුදා හා පොලිස් නිලධාරීහු ඔහු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු වශයෙන් මෙම යුද පුවත් විවරණය  ලියන විට තම තමන්ගේ ක්ෂේත්‍රවල වගකීම් දරන ඉහළ නිලධාරීන් බවට පත්වී සිටියහ. අනෙක් බොහෝ ජනමාධ්‍යවේදීන්ට නොලැබුණු තොරතුරු ඔහුට ලැබෙන්නට එය ද හේතුවක් විය.

මා 1984 දී ස්වාධීන පුවත්පත්  ආයතනයට වාර්තාකරුවකු වශයෙන් සම්බන්ධ වනවිට ඉක්බාල් අතාස් එම ආයතනයේ සන් හා වීක්එන්ඩ් නම් ඉංග්‍රීසි පුවත්පත්වලත්, දවස හා රිවිරැස යන සිංහල පුවත්පත්වලත් දිනපතා  හා චින්තාමනී යන දෙමළ පුවත්පත්වලත්  ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂවරයා විය.

ඒ කාලයේ අප උදෑසන  නවයට කාර්යාලයට පැමිණිය යුතු විය.  9.30දක්වා එදින පළවූ පුවත්පත්  කියවිය යුතු විය. ඉන්පසු ප්‍රවෘත්ති සොයා අපට බෙදාදෙනු ලැබ ඇති අමාත්‍යාංශ, දේශපාලන පක්ෂ ආදියේ කාර්යාලවලට යා යුතුය. එසේ ගෙන එනු ලබන පුවත් ප්‍රවෘත්ති කර්තෘවරුන්ට  විස්තර කළ යුතුය. ඒවායින් වැදගත් ප්‍රවෘත්ති ඉක්බාල් වෙත යොමු කෙරේ. ඉන්පසු ඔහු හරස් ප්‍රශ්න අසමින් එම ප්‍රවෘත්ති ප්‍රබල ලෙස ගොඩ නඟන  අන්දම කියා දෙයි. මෙය එම ආයතනයෙන් වාර්තාකරුවන්ට අනියමින් ලැබුණු දෛනික පුහුණුවකි.

අතාස් මගේ මතය අනුව ඉතා හොඳ දේශප්‍රේමියෙකි. ඔහු සිංහල හා මුස්ලිම් දේශපාලනඥයන් සමඟ මෙන්ම දෙමළ දේශපාලනඥයින් සමඟද සබඳතා පවත්වාගෙන ගියේය. හමුදා නිලධාරීන් සමඟ මෙන්ම දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධානවල ඇතැම් පුද්ගලයන් සමග ද  සබඳතා පැවැත්වූ බව ඔහුගේ ලිපිවල ඇතුළත් ඇතැම් තොරතුරුවලින් පෙනේ. එහෙත් ඔහු බෙදුම්වාදයට විරුද්ධ විය.

පොලිසිය  2002 ජනවාරි මාසයේ අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ රහස් නිවස්නය වටලා එහි තිබූ අවි ආයුධ ප්‍රසිද්ධියට පත් කළ විට ඒ ගැන ලියන ලද ඉක්බාල්ගේ ලිපියේ සිරස්තලය වූයේ ‘‘මහා පාවාදීම’’යි.

ඔහු යුද්ධය  පැවැති කාලයේ හමුදාවන්ගේ ජයග්‍රහණය ඉත සිතින් ප්‍රාර්ථනා කරන බව ඔහුගේ ලිපිවලින් පෙනීගියද ඔහු එය කෙළින්ම ප්‍රකාශ කළේ නැත.  හමුදාවන්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ නිසාම ඔහු හමුදා මෙහෙයුම්වල අඩුපාඩු විවේචනය කළේය. හමුදා නිලධාරීන්ගේ දූෂණ හෙළිදරව් කළේය. මේ නිසා ඔහු ආරක්ෂා කරන්නට ඕනෑම දෙයක් කරන්නට සූදානම් පිරිස් හමුදාව තුළ සිටියා සේම ඔහු විනාශ කරන්නට සුදානම් පිරිස්ද  ඒවා තුළ සිටියහ.

1998 පෙබරවාරි මාසයේ දිනෙක ආයුධ  සන්නද්ධ හැඩි දැඩි මිනිස්සු කණ්ඩායමක් නුගේගොඩ පිහිටි ඉක්බාල් අතාස්ගේ නිවසට කඩා වැදුණාහ. ඉන් එකකු ඉක්බාල්ගේ බිරිඳ  අනෝමා හා  සත් හැවිරිදි දියණිය ජැස්මින් ඉදිරියේම ඔහුගේ නළලට පිස්තෝලයක් තද කර ගෙන සිටිද්දී තවත් පුද්ගලයෙක් ඔහුට පිටට තවත් පිස්තෝලයක් තදකරගෙන නිදන කාමරයෙන් ඔහු එළියට තල්ලු කර ගෙන ගියේය.

බියට පත් ඉක්බාල්ගේ දියණිය මහා හඬින් හඬන්නට වූවාය. සන්නද්ධ පිරිස්  ඉක්බාල් පහත මාලයට ගෙන යන්නට සැරසෙන විට ඇය ‘මගේ තාත්තී...’ යි පිටතට ඇසෙන තරම් මහ හඬින් කෑ ගසන්නට වූවාය. ඒ සමඟම සන්නද්ධ පිරිස් පලා ගියහ.

මේ පිළිබඳව පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පැවැත්වුණේ නැත. එහෙත් ජාත්‍යන්තර වශයෙන් ඉක්බාල්ට තිබූ පිළිගැනීම ඔහුට පිහිට විය. සති ගණනාවකට පසු එවක සිටි ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ විශේෂ නියෝජිතයකු වශයෙන් එවක එ.ජා සංවිධානයේ ඇමරිකානු තානාපති බිල් රිචඩ්සන් වෙනත් කටයුත්තක් සඳහා මෙරටට පැමිණියේය. ඔහු ඉක්බාල්ගේ ප්‍රශ්නය ගැන එවක සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමඟ සාකච්ඡා කළේය. රිචඩ්සන් ඉක්බාල්ද හමුවිය. 

ඔහු ජනමාධ්‍ය හමුවකදීද තමන් ජනාධිපතිනිය සමඟ  ඉක්බාල්ගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ බව කීවේය.

අවසානයේ දී හිටපු ගුවන් හමුදාපතිවරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඔවුනට අධිකරණයෙන් වසර නවය බැගින් සිරදඬුවම් නියම විය.

1993 දී වන්නියේ ක්‍රියාත්මක කරන ලද හමුදා මෙහෙයුමක් විවේචනය කරමින් ඉන් ඇතිවිය හැකි විනාශය ගැන අනතුරු අඟවමින් ඉක්බාල් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියුවේය. ඔහු කී ආකාරයටම එම මෙහෙයුම අසාර්ථක විය. ඉන්පසු යම් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා ගොස්  තිබිණි.

හතරවැනි ඊළාම් යුද්ධය පැවැති කාලයේ හරියටම සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත  වික්‍රමතුංග ඝාතනය කරන්නට දින දහයකට පෙර දිනක රාත්‍රි 11ට පමණ සන්නද්ධ පිරිසක් ඉක්බාල්ගේ නිවස වටා ඇති උස් තාප්පයෙන් ඇතුළට පනින්නට උත්සාහ කළහ. එහෙත්  තාප්පය උඩ සවිකොට තිබූ කටුකම්බි රෝල නිසා ඔවුනට එය පහසුවෙන් කළ නොහැකි විය. මේ අතර මුර  සංචාරයේ  යෙදුණ පොලිස් වාහනයක් ඒ දෙසට පැමිණියෙන් සන්නද්ධ පිරිස පලා ගියහ. 

පසුදින ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණි. ‘‘අපට ඊයේ උඹව අල්ලගන්න බැරිවුණා.  උඹ ලියන එක නතර නොකළොත් අද හෙටම අපි උඹව මරනවා’’ ඒ ඔවුන්ගේ පණිවිඩයයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබීමෙන් දින දෙකකට පසු ආරක්ෂක අංශයේ ඉක්බාල්ගේ හිතවත් නිලධාරියකු ඔහු අමතා ඊළඟ ඉලක්කය ඔහු බවට අනතුරු ඇඟවීය. ඉක්බාල් පසුදාම රටෙන් පිටවී තායිලන්තයට ගොස් මාස ගණනාවක් එහි ජීවත් විය.

රට වටා ඇති මුහුදේ නාවික හමුදාවේ ආධිපත්‍යය නැති කොට එහි කොටි සංවිධානයේ ශක්තිය තහවුරු කිරීමට සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ නායක ට්‍රිග්වි ටෙලිෆ්සන් දැරූ උත්සාහය ගැන ඉක්බාල් අතාස් කළ හෙළිදරව්වෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  ඒ ගැන සඳහන් කරමින් නෝර්වේ අගමැති ෂෙල් මැග්න බොන්ඩවික්ට ලිපියක් ලියා ටෙලිෆ්සන් යළි කැඳවා ගන්නා ලෙස ඉල්ලා සිටියාය.  එය එසේම සිදුවිය.

එම සිදුවීමෙන් පසු ඉක්බාල් සටන් විරාමයට මුවා වී කොටි සංවිධානය ත්‍රිකුණාමලය වරාය වට කොට කඳවුරු 18ක් ඉදිකොට ඇති බව හෙළි කළේය. ඉන්පසු ජනාධිපතිනිය එවකට එ.ජා. පෙරමුණ ආණ්ඩුවේ සටන් විරාම ගිවිසුමට දුන් සහයෝගය ඉවත් කරගත්තාය.

කොටි සංවිධානය සටන් විරාම ගිවිසුමෙන් අයුතු ප්‍රයෝජන ගැනීම ගැන තමන් ලියූ ලිපි පිළිබඳව එජාප  නායකයන් අප්‍රසාදය පළ කළ බවත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනමාධ්‍ය හමු  තමන්ට තහනම් කළ බවත් ඉක්බාල් තමන්ගේ අත්දැකීම් අලළා ලියූ ලිපියක සඳහන් වේ.

ඉක්බාල් අතාස් දීර්ඝ කාලයක් ඇමරිකාවේ සී.එන්.එන්. රූපවාහිනී සේවයේත් ඩබ්ලිව්.ටී.එන් රූපවාහිනී සේවයේත් වසර 18ක් යූ.පී.අයි. පුවත් සේවයේත් මෙරට නියෝජිතයා විය.  එසේම ඔහුට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක්ද තිබිණි. 

1994 දී ඔහුට ඇමරිකාවේ නිව්යෝර් නුවර සිට ක්‍රියාත්මක වන ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවෙන් ජනමාධ්‍ය නිදහස සඳහා  වූ ජාත්‍යන්තර සම්මානය  හිමිවිය. එදින ඔහුට පෞද්ගලිකව සුබ පතන්නට ඉදිරිපත් වූවන් අතර පසු කලෙක ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය සඳහා වූ ජනාධිපති බැරක්  ඔබාමාගේ විශේෂ නියෝජිත රිචඩ් හෝල්බෲක්ද විය.

අනෙක් ජනමාධ්‍යවේදීන්ට ඉක්බාල්  අතාස්ගෙන් ඉගෙනගැනීමට බොහෝ දෑ ඇත. වැඩ කිරීමේ අසාමාන්‍ය  වේගය හා තොරතුරු සඳහා වැදගත් වන අතිවිශාල සබඳතා සංඛ්‍යාවක් පවත්වාගෙන යාම ඉන් වැදගත් කාරණා දෙකකි.

මා මෙය පෞද්ගලිකවම දුටුවේ 1980 ගණන්වලදී එක් සිංහල අවුරුදු සමයකදීය. එවර සිංහල හා දෙමළ අවුරුදු දින දෙකට පෙරත් පසුත් දින ගණනාවක්ම අපට වැඩ කරන්නට සිදුවූයේ ඉතා කුඩා කණ්ඩායමක් ලෙසයි. ඒ කර්තෘ මණ්ඩලයේ වැඩි දෙනකු නිවාඩු ලබා ගම් රටවල් බලා ගොස් සිටි හෙයිනි. 

ඉක්බාල් සිය සබඳතාවලට කතා කරමින් යන්ත්‍රයක් මෙන් වැඩ කරමින් සවස තුන පමණ වනවිට ප්‍රාදේශීය මුද්‍රණයට අවශ්‍ය ප්‍රවෘත්තිවලින් වැඩි සංඛ්‍යාවක් තමන්ම ලියා ගත්තේය. ඒවා පරිවර්තනය කර ගන්නා ලෙසට ප්‍රවෘත්ති අංශයේ දවස හා දිනපති පුවත්පත්වල වාර්තාකරුවන් අතට පත් කළේය. ඊටම සරිලන සේ ඔහුට අසාමාන්‍ය වේගයෙන් යතුරු ලියනය කරන්නටද හැකියාව තිබිණි.

යුද්ධය ගැන ලියුවද ඉක්බාල් කිසි විටෙක හැඟීම්බරව ලියුවේ නැත. සාක්ෂි සාධක නැතිව ලියුවේ නැත. මුදලට ලියුවේ නැත. (ඔහුට ඕනෑ තරම් මුදල් තිබිණි). ඔහු ලිවීමේදී කෙතරම් භූමියේ සිදුවන සිදුවීම් මත පදනම් කරුණු ඉදිරිපත් කළේද යත් ඔහුගේ දේශපාලනය කුමක්දැයි කෙනකුට සිතා ගත නොහැකිය.

එම්. එස්. එම්. අයුබ්