වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයෙන් බරපතළ චෝදනා
වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වයේ දුර්වල තීන්දු හේතුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකිරීම් ප්‍රමාදවීම නිසා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් හෙවත් ඩොලර් කෝටි 30 ක පමණ ආදායමක් රටට අහිමිවන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න පවසයි. වරාය සේවකයන්ට සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට මෙමගින් විශාල අගතියක් සිදුවෙන හෙයින් මෙම කරුණ අනාවරණය කරන බැව් කී ඔහු, වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස එය රට වෙනුවෙන් කෙරෙන යුතුකමක් සේ සලකන්නේ යැයි ද, කීවේය.
ඔහු ප්‍රස්තුතයට අදාළව අනාවරණය කරන කරුණු මෙසේය.
දුර්වල හා සදොස් තීන්දු හේතුවෙන් නැගෙනහිර බහලුම් පර්යන්ත (ECT) ව්‍යාපෘතිය 2027 මැදභාගය දක්වා කල්යන ලකුණු පළ වී ඇත. පසුගිය වසරේ ආණ්ඩු මාරුවත් සමග නව වරාය කළමනාකාරිත්වය මෙහෙයුම් උපකරණ ටෙන්ඩර් අවලංගු කිරීම්, කොන්ත්‍රාත් සමාගම සමග පුද්ගලික හේතු මත නිර්මාණය කරගත් ගැටලු, අත්දැකීම් සහිත දක්ෂ නිලධාරීන් ව්‍යාපෘතියෙන් ඉවත්කර ඒ පුරප්පාඩු සඳහා හිතවතුන් පත්කර ගැනීම් සහ අත්තනෝමතික ලෙස අනුමත සැලසුම් වෙනස් කිරීම් යනාදිය හේතුවෙන් යථෝක්ත කටයුත්ත පමාවී - දකුණු ආසියානු කලාප කේන්ද්‍රීය ප්‍රධානතම වරාය වන කොළඹ වරාය වෙත නැව් සමාගම්වලින් තිබෙන ධාරිතා ඉල්ලුම සපුරාගැනීමට නොහැකි වී තිබේ.
දකුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) හා බටහිර ජැටිය (WCT) කඩිනමින් සංවර්ධනය කර එම ඉල්ලුම සපුරාලීමට සැලසුම් කර තිබිණ. 2013 වසරේ දී දකුණු කොළඹ වරායේ දකුණු ජැටිය චීනයේ CM Port සමාගම Colombo International Container Terminal නමින් සංවර්ධනය කළ අතර වසර3ක් යාමට පෙර එහි පූර්ණ ධාරිතාවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.
එයට සමගාමීව වරාය අධිකාරිය විසින් ආරම්භ කරන ලදECT පර්යන්තයේ ඉදිකිරීම් මේ වන තෙක් සම්පූර්ණ කරගැනීමට නොහැකී වී ඇත. 2023 වසරේ දී මෙම ව්‍යාපෘතිය කඩිනම් කර 2025 පළමු කාර්තුව වන විට මෙහි සම්පූර්ණ වැඩ නිමාකර මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද, ආණ්ඩු මාරුවත් සමග පත් වූ නව වරාය කළමනාකාරීත්වයේ ක්‍රියාකාරීත්වය මත 2027 මැද භාගය දක්වා කල් යා හැකිය.
කෙසේ වෙතත් ECT ජැටියට පසුව වැඩ ආරම්භ කළ එනම් 2025 වසරේ පළමු කාර්තුවේ දී බටහිර ජැටියේ කොටසක පමණක් මෙහෙයුම් ආරම්භ කළ අදානි සමාගමට අයත් CWIT පර්යන්තය 2025 දෙසැම්බර් වන විට බහලු 700,000 කට වඩා මෙහෙයවා ඇත.
නැගෙනහිර පර්යන්තය2025 ජූලි මස අවසානයේ විවෘත කර මෙහෙයුම් ආරම්භ කළ හැකි බවට නව කළමනාකාරීත්වය ලබාදී තිබූ දුෂ්තොරතුරු මත රැඳෙමින්, එක්තරා අවස්ථාවක දී ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවක දී පොරොන්දු ද දුන්නේය.
එවකට වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ගිය වසරේ අයවැය විවාදයේ දී නැගෙනහිර පර්යන්තය 2025 ජූලි මස වැඩ ආරම්භ කරන හෙයින් එයට සහභාගී වන ලෙස විපක්ෂයට විවෘත ආරාධනා කළේය. කෙසේ වුවද අදටත් නැගෙනහිර පර්යන්තය නිසි පරිදි වැඩ ආරම්භ කිරීමට නොහැකිවී තිබේ. එසේ තිබිය දී වරාය උසස් නිලධාරියකුගේ අසත්‍ය තොරතුරු මත පදනම්ව 2026 වර්ෂයේ ජූලි වන විට සමස්ත පර්යන්තයේ කටයුතු නිමකළ හැකි බවට වරාය සභාපතිවරයා විසින් 2026 වර්ෂය සඳහා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දක්වා තිබේ.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන ස්ට්‍රැඩල් කැරියර්ස් (Straddle Carriers) 30 ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කිසිම පදනමකින් තොරව අවලංගු කිරීම මෙයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. පෙර පැවති ටෙන්ඩරය අවලංගු කර වසරකුත් මාස 5ක් පමණ ගතවුව ද, අදටත් එම ටෙන්ඩරය නැවත කැඳවීමෙන් පසුව ප්‍රදානය කළ නොහැකිව කළමනාකාරීත්වය කල් මරමින් සිටී.
එය ප්‍රදානය කිරීමෙන් අනතුරුව ද එම උපකරණ නිෂ්පාදන කර රැගෙන ඒමට අවම වශයෙන් මාස 10ක කාලයක් ගතවන අතර ස්ට්‍රැඩල් කැරියර්ස් (Straddle Carriers) නොමැතිව සාම්ප්‍රදායික ප්‍රයිම් මූවර් මගින් මෙම පර්යන්තයේ වැඩ කටයුතු කාර්යක්ෂමව කළ හැකි බවට වරායේ උසස් නිලධාරියෙකු අමාත්‍යවරයා ඇතුළු දේශපාලන අධිකාරිය නොමග යවා ඇතත් මෙවැනි ස්වයංක්‍රීය පර්යන්තයක් එසේ කළ නොහැකි බව නැව් සමාගම් ඇතුළු වරාය පිළිබඳ දැනුමක් ඇති සියලු දෙනා දන්නා කරුණකි.
තව ද නව කළමනාකාරීත්වය පත්වීමෙන් පසුව ඔවුන්ට තිබූ අත්දැකීම් මඳ බව හේතුවෙන් කොන්ත්‍රාත්කරු සමග විවිධ ගැටලු ඇති කරගෙන තිබූ අතර, විශේෂයෙන්ම ඔවුන්ගේ අතරමැදි ගෙවීම් සහතික කර මුදල් ගෙවීම් සඳහා තීරණ ගැනීම අත්දැකීම් නොමැතිකම නිසා ප්‍රමාද වී තිබේ.
එම සමාගම වෙත ඉටුකළ නොහැකි ඉලක්ක ලබාදෙමින් ඔවුන් පීඩනයට ලක්කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාගමේ අත්දැකීම් බහුල චීන ජාතික ප්‍රධාන ව්‍යාපෘති කළමනාකාරවරයා “Get Out” කියා පන්නා දැමීමට වරාය ඉහළ නිලධාරියකු කටයුතු කර ඇත.
නව කළමණාකාරීත්වය පත්වීමෙන් පසු ඔවුන් විසින් අත්තනෝමතික ලෙස ව්‍යාපෘතියේ මාර්ග ඇතුළු යටිතල පහසුකම් සැලසුම් වෙනස් කිරීමෙන් ව්‍යපෘතියෙහි විශාල ප්‍රමාදයක් වූ බවත් එමගින් වරාය අධිකාරියට සිදුවූ මූල්‍ය පාඩුව ගණනය කළ නොහැකි තරම් බවත් චෝදනාවකි.
මෙසේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් කිසියම් නිලධාරියකුගේ හෝ පිරිසකගේ අත්තනෝමතික තීරණ නිසා විනාශ වී යාම රටට සිදුකරන විශාල අසාධාරණයකි.
මේ පිළිබඳ ජනාධිපතිවරයා හා වරාය අමාත්‍යවරයාගේ අවධානය යොමුකර තොරතුරු දන්නා සියලුම නිලධාරීන්ගෙන් අදහස් විමසා සත්‍ය තත්ත්වය තේරුම්ගෙන 2027 වර්ෂයේ හෝ නැගෙනහිර පර්යන්තය උපරිම ධාරිතාව දක්වා පුළුල් කර රටට අහිමි වන ඩොලර් මිලියන ගණනක ධනය ලබාගැනීමට කටයුතු කළ යුතුය.
වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමන් සුමනරත්න අනාවරණය කරන මෙම තොරතුරු බරපතළ ය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් එස්.එස්. රණසිංහ ඇතුළු බලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සාහ කළ ද, ඔවුහු කිසිවෙක් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූහ.
ඔවුන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ අයිතිය තහවුරු කරන බවද දන්වමු.
යොහාන් භාසුර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd