
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මුද්‍රණය කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුයෙහි සමලිංගිකත්වය සම්බන්ධ වෙබ් අඩවියක නාමයක් සඳහන් වීම පිළිබඳව ඇති වූ උණුසුම් තත්ත්වය මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයට එල්ල වන චෝදනා, විවේචන ඔඩු දුවා අවසන්ය.
අධ්‍යාපන පෙළපොත් හා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙහිදී දෝෂ සිදුවූ අවස්ථා මීට පෙරද අප දැක ඇත. ඒවා නිවැරදි කිරීමට පියවර ගැනීම ඒ මොහොතෙහි පවත්නා රජයේ ස්වභාවය වන අතර මෙවර සිදුවී ඇති දෝෂය තාක්ෂණය හා ලිංගිකත්වයට අදාළ සංවේදී මාතෘකාවක් වීම නිසා ඒ බරපතළ වරදෙන් රජයට මිදිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් පසුව ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව අයත් පීඨය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු යැවීම සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක සහ සහකාර කථිකාචාර්යවරියක වැඩ තහනමකට ලක්කිරීම මේ වන විට සිදුවී ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බොහෝ දෙනා චෝදනා නගන්නේ අවබෝධයක් නැති තනතුරු දරන හිස්ගෙඩි කිහිපයක් මේ රටේ දරු පරපුරට එල්ල කළ මාරක තර්ජනයක් ලෙස ය. කෙසේ නමුත් හයේ මොඩියුලයේ සිදුවීමත් සමඟ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් නිකුත් කරන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ මොඩියුල සම්බන්ධයෙන් බොහෝ දෙනා නොදත් පැතිකඩක් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානී බන්දුල පී. දයාරත්න පළ කරන අදහස් මෙසේය.
පෙළ පොතක් හෝ මොඩියුලයක් සකස් කිරීම සරල වැඩක්ද ?
විෂය නිර්දේශ හා ගුරු මාර්ගෝපදේශ සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසිනුයි. විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශයන්ට යටත්ව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පෙළපොත් සකස් කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය හා පාලක සභාව විසින් මෙම ශාස්ත්‍රීය ලේඛන අනුමත කළ යුතුයි. ශාස්ත්‍රීය ෙල්ඛන සකසන උපදේශක මණ්ඩලවල ප්‍රධානියෙකු සිටිනවා. පෙළපොතක් භාරව උපදේශක මණ්ඩලයේ ප්‍රධානියකු පත් කිරීම සිදු කෙරෙනවා.
ඊට අමතරව පෙළ පොත සකස් කිරීමේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සැලසුම් අංශය මගින් චිත්‍ර රූප ආදී දෑ යොදා සකස් කිරීම සිදු කරනවා. මෙහි මුද්‍රණය කරන්න වුණේ පසුවයි.
මොඩියුලයක ස්වභාවය
මොඩියුලයක් යනු ඉගෙනුම් ඒකකයක්. මොඩියුලය කියන වචනය මීට පෙර පාසල් පද්ධතියෙහි පාවිච්චි කර තිබුණේ නැහැ. එය පාවිච්චි කරන්නේ පළමු වතාවට. විවෘත විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවල තියෙන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක්. එවැනි අධ්‍යාපනයක් ශිෂ්‍යයන්ට ලබා දෙන්න තමයි මුද්‍රිත මොඩියුලය සකස් වුණේ.
යම් කිසි විෂයකට අදාළව ස්වයං අධ්‍යයනය කිරීමට අදාළ සියලු තොරතුරු මොඩියුලයක මූලික වශයෙන් ඇතුළත් වෙනවා. ඒ විෂයට අදාළ අමතර පොතපත මොනවාද කියාත් එහි ඇතුළත් කරනවා. එවිට ශිෂ්‍යයන්ට පුළුවන් මූලික ටිකෙන් දැනුම ලබා ගෙන ඊට පස්සේ තවදුරටත් එහි ඇතුළත් පොත්පත් අධ්‍යයනය කරලා දැනුම පුළුල් කර ගන්න. මොඩියුලය මෙබඳු යැයි ආකෘතියක් නැහැ. එය තීරණය කරන්නේ ඉගෙනුම් වැඩටහන සකස් කරන කළමනාකරණ පාර්ශ්වය විසින්. මෙපමණ කාලයක් පාසල් අධ්‍යාපනය හදාරන දරුවන්ට දුන්නේ මුද්‍රිත පෙළ පොත. ඒ පොත ඇතුළේ සම්පූර්ණ දැනුමක් තිබුණා. එම පොත්වල අභ්‍යාස දක්වලා තිබුණා. මෙන්න මේ පෙළ පොතට විකල්පයක් විදිහට තමයි පාසල්වලට මොඩියුලය ආවේ.
පාසල් පෙළපොත වෙනුවට එන මොඩියුලයට ආදර්ශයක් නැහැ. මොඩියුල සැලසුම්කරුවන් උත්සාහ ගන්නේ දරුවාට ස්වාධීනව ස්වයං විදිහට ඉගෙනගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටයි. පෙළ පොත හැදෙන්නේ අවුරුද්දකට වාර තුනකට. මොඩියුලය හදන්නේ අවම වශයෙන් වාරයට එක යි. ඒ නිසා පාසල් විෂයන් සඳහා මොඩියුලයේ ආකෘතිය මොකද්ද කියලා අලුතින් විනිශ්චය කරන්නට අවශ්‍යයි.
පෙළ පොත වගේම මොඩියුලයක් සකස් කිරීමත් සංකීර්ණ ක්‍රියාවලියක්.
මොඩියුලයේ වර්ණ පාවිච්චියේදී පවා මෙයට ඇතුළත් කරන රූරටා සහ පිටු සැලසුම් සියල්ල සැලසුම්සහගත විය යුතුයි. මේක යවන්නේ අපි පාසලේ මිශ්‍ර කණ්ඩායමකට. හැමෝටම ගැළපෙන විදිහට නිර්මාණශීලීව ඒ අයට ග්‍රහණය කරගත හැකි ආකාරයට ආකර්ෂණයක් ඇති වන ආකාරයට මේ මොඩියුලය නිර්මාණය කළ යුතුයි. ඒ නිසා මොඩියුලකට දායක වන කණ්ඩායමෙහි මුලින්ම ඒ ප්‍රමිතිය තිබිය යුතුයි.
මොඩියුල අවුලට වගකිවයුත්තා කවුද
ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන සාමාන්‍ය පිළිවෙත අනුව එහි විෂය දෙපාර්තුමේන්තු තියෙනවා. ඒ විෂය දෙපාර්තමේන්තුව ඇතුළේ විෂය භාර නිලධාරීන් ඉන්නවා. ඒ අයගේ තනතුරු හැඳින්වෙන්නේ කථිකාචාර්ය, සහකාර කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යක්ෂ හැටියට. ඒ අයට තමයි මෙම වගකීම පවරන්නේ.
මෙහිදී අප සාකච්ඡා කරන ඉංග්‍රීසි මොඩියුලයට අදාළ වගකීමත් එක නිලධාරියෙකුට තමයි පැවරී තිබෙන්නේ. මේ සඳහා විශාල කණ්‍ඩායමක් අවශ්‍යයි. මේ සියල්ලක්ම සැලසුම් කරලා අවසාන ප්‍රතිඵලය එළිදැක්වීම අයත් වන්නේ එම ප්‍රධාන නිලධාරියාට. වර්ණ මොනවද, පිටු හැදෙන්නේ කොහොමද, ඒවායේ ටයිප් වෙලා තියෙන්නේ මොනවද, මේ සියල්ලටම වගකියන්න ඕන ඒ ප්‍රධාන නිලධාරියා. ඒ අනුව කිසිම මොඩියුලයක එම විෂය භාර නිලධාරියාගේ අනුදැනුමකින් තොරව මොඩියුලයට කිසිම දෙයක් ඇතුළත් වෙන්නේ නැහැ. රහසිගතව කිසිම දෙයක් ඇතුළත් කරන්නත් බැහැ. එතකොට මෙතනින් නිකුත් කරන පිටපත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට ඉදිරිපත් විය යුතුයි. එවිට අධ්‍යක්ෂවරයාගෙන් පසුව පීඨ සභාව ඉදිරිපත් කළ යුතුයි. එතනින් පසුව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත මෙම මොඩියුලය ඉදිරිපත් වෙනවා. ඉන් පසුව තිබෙනවා ආයතනයට සම්බන්ධ නැති බාහිරින් පත් කරන ලද සමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒක ඇතුළේ ඉන්නවා විවිධ විෂයන්වලට සම්බන්ධ විශේෂඥයෝ. අධ්‍යක්ෂ ජනරාල් අත්සන් කළාට පස්සේ මොඩියුල ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය අනුමත කරන්න ඕන.
බෝඩ් එකේ 25 දෙනෙකු ඉන්නවා නම් එම 25 දෙනාගේම අනුමතිය ලබාගත යුතුයි. අදාළ පිටපත් ආයතනයේ වාහනයකින් ඉතාමත් පරික්ෂාකාරීව ඒ ඒ අදාළ සාමාජිකයන් 25 දෙනාගේ හෝ කිහිප දෙනාගේ නිවෙස්වලට ලැබීමට කටයුතු සැලැස්වීම සිදු කරනවා. කොහොම වුණත් අවස්ථා ගණනාවකදී මේ මොඩියුල නිරීක්ෂණයට ලක්විය යුතුයි. මෙහිදී ඇති වැදගත්ම කතාව වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. ඒ අනුව සභාපති තනතුර නිල බලයෙන් ලැබෙන්නක් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ඔහුයි. සියලු ශාස්ත්‍රීය ලේඛන ජා.අ.ආ. පාලක මණ්ඩලයේ ප්‍රධානියා විසින් අනුමත කළ යුතුයි. මුද්‍රණයට යොමු කරන්නේ ඉන් පසුවයි.
කලින් පොත්වලත් අඩුපාඩු තිබුණා. මේවා සකස් කරන මණ්ඩලයේ ප්‍රධානියා සම්බන්ධයෙන් සෙසු පිරිස විශ්වාසය තියනවා. ප්‍රධානියා අත්සන් කරලා නම් ඔක්කොම හරි කියලා සෙසු පිරිස හිතනවා. අන්තිමට ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වෙනවා. සෙසු පිරිස කරන්නේ මේවා කිසිම දෙයක් විමර්ශනය නොකර නාමික අනුමත කිරීමයි.
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් විදියට ඉන්නේ නාලක කළුවැවයි. මේක මුද්‍රණය කරන්න අනුමතිය දුන්නෙත් නාලක කළුවැව.
ඒ ජා.අ.ආ. සභාපති හැටියට. ඒක තහනම් කරන අධ්‍යාපන ලේකම් විදිහට ඉන්නෙත් නාලක කළුවැව. ඒක අනුමත කළෙත් එයා. දැන් අධ්‍යාපන ලේකම් හැටියට ඒක තහනම් කරනවා. ඒක තමයි ලස්සන කතන්දරේ. එතකොට එයා අනුමත කරන අවස්ථාවෙදි වගකීම පැහැර හැරලා නැද්ද. මෙතන තියෙන්නේ අකාර්යක්ෂමතාවෙහි ප්‍රතිපලයක්.
මේ සිද්ධිය එළියට ආවම මුලින්ම කළ යුතු දේ තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියට අධ්‍යාපන ලේකම් මේක භාරව හිටපු නිලධාරියාගෙන් වහාම වාර්තාවක් කැඳවීම. ඒ ඔක්කොම පැත්තකින් තියලා මේක කුමන්ත්‍රණයක් කියලා සීඅයිඩී එකට ගියා.
ඒ අය අවසාන කොපිය නිරීක්ෂණය කරලා තමයි එළියට දාන්නේ. මුලින්ම කළ යුත්තේ නිලධාරියාගෙන් නිදහසට කරුණු විමසා වාර්තාවක් ලබා ගැනීම. ඒත් එහෙම එකක් එළියට ආවේ නැහැ. අකුරක වැරැද්දක් තියෙනව නම් අපට පේනවනේ. ඔය හැම තැනකම තියෙන්නේ නොසැලකිල්ල.
6 මොඩියුලයේ පිටුව කැඩීමට විකල්ප නැද්ද
මේකට පිටු කැඩුවාට වඩා වෙන විකල්ප තියෙනවා. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ දොළහ ශ්‍රේණියේ 2010 ගුරු මාර්ගෝපදේශ ගයිඩ් එක හදනකොට එක තැනක වැරදියට නමක් මුද්‍රණය වුණා. දැන් මේක මුද්‍රණය කරලා ඉවරයි. ඇත්තටම මේක වැරදියි කියලා දැන දැනත් කොහොමද අපි බෙදා හරින්නේ? ඒ නිසා මම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට කිව්වා මේක මොන විදිහකින්වත් දෙන්න බැහැ අපි ඒ නම වැහෙන්න නිවැරදි නම දාලා ස්ටිකර් එකක් ගහමු කියලා. ඒ විදිහට නම නිවැරදි කරලා පොත් බෙදාහැරීම සිදු කළා.
දැනට මේ වුණ වැරැද්ද භාර ගන්න අයිතිකාරයෙක් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ කලින් හිටියා පරිණත නිලධාරීන් කණ්ඩායමක්. හතරවැනි අධ්‍යක්ෂ ජනරාල්ගේ කාලේ එයාට අවශ්‍ය වුණා පරණ අය එක්ක කරන්න බැහැ කියලා අලුත් අය. කිසිම පළපුරුද්දක් නැතුව උපාධිධාරීන් 30 ක් සේවයට බඳවාගත්තා. අවසානයේ අද වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න ශාස්ත්‍රීය නිලධාරීන් සියයට 95 ක්ම ඉන්නේ ඉස්කෝලේ පන්ති කාමරේ සක්‍රීය පුහුණුවක් නැති අය. පුහුණුවට ආපු උපාධිධාරීන් ශාස්ත්‍රීය තනතුරුවල ස්ථිර කළා. ආයතනයේ ලිපිකරුවන්, පරිගණක ක්‍රියාකරුවන් ශාස්ත්‍රීය නිලධාරින් හැටියට බඳවා ගත්තා. පාසල් පළපුරුද්දක් නැතිව රටේ අධ්‍යාපනයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරියෙක් වෙන්න බෑ. අධ්‍යාපන සුදුසුකමට අමතරව පන්ති කාමරයේ සක්‍රීය පළපුරුද්ද අත්‍යවශ්‍යමයි. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙන්නේ පරිණත ශාස්ත්‍රීය නිලධාරීන් කණ්ඩායමක් එක්ක නොවෙයි. ඉදිරියේදී එය බරපතළ අභියෝගයක්. පැලැස්තර දාගෙන ශාස්ත්‍රීය කටයුතු කරන්න බැහැ.
මෙහි බරපතළ වැරදි ගොඩාක් තියෙනවා. මේ මොඩියුලය හදන්නේ 6 පන්තියේ දරුවන්ටයි. උපාධියකට ඉගෙන ගන්නවා නොවෙයි. ඒ විෂයට අදාළව යම් විෂය කරුණු ප්‍රමාණයක් දිය යුතුයි. දැන් මෙයාලා කරන්නේ විෂය කරුණු දෙන්නේ නැහැ. විෂය කරුණු ළමයි ගවේෂණය කරලා හොයාගන්න ඕන. දෙමාපියන් රස්සාවට නොගිහින් දරුවන් කුඹුරු බලන්න, වේල්ල බලන්න එක්ක යන්න වෙනවා. ටියුෂන් ව්‍යාපාරයට ඇති කරපු අලුත් අවකාශයක් මේක. සැලසුමක් නැතුව කරන වැඩ නිසා හරි හමන් අධ්‍යාපනයක් නැති වෙන්නේ අපේ රටේ දරුවන්ටයි. ෆින්ලන්තයේ නෙමෙයි කොයි රටේ මොන ක්‍රමයට කළත් අපේ රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ. අපි තේරුම් ගන්න ඕන අපේ දරුවන්ගේ සමාජ පන්ති ස්වභාවය. මොඩියුලයේ QR කෝඩ් එක ගහලා වැඩක් නැහැ. දරුවන්ට ඉස්කෝලෙට යන්න සපත්තු දෙක ගන්න විදිහක් නැත්නම්, මේ ප්‍රතිසංස්කරණය කරන්න කලින් සියලු සම්පත් පාසලේවත් සැලසුම්සහගතව සැකසිය යුතුයි.
නදීශා අතුකෝරළ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd