
අධ්‍යාපන උණුසුමේ විවාදය
ගෙවුණු සතිය ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් උණුසුම් විය. ඉකුත් සතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස රජයට බල කළ විපක්ෂයේ හා ඒ හා සම්බන්ධ සංවිධානවල උද්ඝෝෂණවලින් උණුසුම් වෙද්දී මෙම සතිය උණුසුම් වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමන ලෙස බලකරන දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ උද්ඝෝෂණ වලිනි.
රට පුරා නගර ගණනාවක එවැනි උද්ඝෝෂණ මාලාවක් පැවැති අතර මව්පියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ද රැස්වී ප්‍රතිසංස්කරණ හකුළාගැනීමට විරෝධය පළ කළහ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ පිරිසක් ද ඉකුත්දා ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
දැනට පවතින නීතිරීති අණ පනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට සිදුව ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමේ දී ගැටලු මතුව ඇති බවත් සරසවි ආචාර්යවරු මෙහිදී කියා සිටියහ. එම ආචාර්යවරුන් පෙන්වා දුන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් අවශ්‍ය වන්නේ නාගරික පාසල්වල දරුවන්ට වඩා ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවය.
මෙම ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය අගය කළ ආචාර්යවරු ඒ සඳහා තම සහාය ලබාදීමට සූදානම් බව ද කියා සිටියහ.
‘මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යූහයක් මගින්. මේක ඒ ආයතනයෙන් කරපු නිසාම සිදුවුණා කියන්න බෑ. ඒත් මේ මොඩියුල අමාත්‍යාංශයෙන් බලද්දීත් මේ කොටස තිබිලා නෑ. ඒක පස්සේ එකතු කරලා තියෙන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි එහෙම කළේ කියන එකයි. දැන් ඒ ගැන පරීක්ෂණ කෙරෙනවානේ... බලමු එතකොට.....’ ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘මොනව වුණත් හයවසරෙ ප්‍රතිසංස්කරණ තාවකාලිකව නවත්වපු එක හොඳයි.’ සරසවි ආචාර්යවරයෙක් පැවසීය.
‘මේක කරගෙන යන්න අපිට පුළුවන්. ඒත් තවත් පුංචි අඩුපාඩුවක් හොයාගෙන ආයෙත් අරගල කළොත් ළමයි අමාරුවෙ වැටෙනවා. ඒකයි මේ තීන්දුව ගත්තේ. ඔබතුමාලගේ සහාය අපිට අපිට ඕනෑ. ජනාධිපතිවරයා පැවසීය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කළේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමේ වුවමනාවෙන් බවට වූ මතයක් සමාජ ගතව තිබේ. මේ ගැන මැති ඇමැතිවරුන් සහ ජාතික ජනබලවේගයේ සංවිධායකවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ද සාකච්ඡාවට ලක්විය. එහිදී අනුර කරුණාතිලක ඇමැතිවරයා සඳහන් කළේ එවැනි ගිවිසුමකට කලින් ආණ්ඩුව අත්සන් කර තිබූ බවය. නව රජය කරගෙන යන ප්‍රතිසංස්කරණවල දී කලින් ඇතිකරගෙන තිබූ එකඟතාවල වෙනස්වීම් සිදුවීම නිසා එම ණය මුදලේ ඉදිරියට ලැබෙන්නට තිබූ කොටස අහිමිව ඇති බවද එහෙත් ආණ්ඩුව කරන්නේ තම ප්‍රතිපත්තිවලට අනුකූල ප්‍රතිසංස්කරණ පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
‘ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ඒ.ඩී.බී. ණය අරගෙන තියෙනවා. ඒක අමුතු දෙයක් නොවෙයි. දැනට ඩොලර් මිලියන 800 කට වැඩිය අරගෙන තියෙනවා. ඒත් අපේ රජය ගත්තේ නෑ. අපි ගත්තත් කරන්නේ අපේ රටට ගැළපෙන ප්‍රතිසංස්කරණ පමණයි.’ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා එහිදී පැවසීය.
ප්‍රතිසංස්කරණ ගැන රජයෙන් සංවිධානයක්
මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නව සංවිධානයක් ගොඩනැගීමේ කටයුතු ද රජයේ පාර්ශ්වයෙන් ආරම්භ කර තිබේ. මෙහි මූලික සාකච්ඡා කීපයක් ඇමැතිවරුන් පිරිසක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදුහල්පතිවරුන් ආගමික නායකයන් සහ මව්පියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා කොළඹ දී පැවැත්විණි. එම සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය’ යන නමිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර සහ ලංකා විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් ලෙස පත් වූහ. මහාචාර්ය විතාරන්දෙණියේ චන්ද්‍රසිරි හිමි දමන සුගතධම්ම හිමි, මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු නීතිඥ අකලංක උක්වත්ත, ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම ඇතුළු පිරිසක් විධායක සභාවට ද පත් විය. මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ දී සහ අනුරාධපුර යොවුන් නිකේතනයේ දී මෙම සංවිධානය රැස්වීම් දෙකක් පවත්වා ඇත.
හරිනි නැති වෙලාවේ විවාදය දුන්නේ ඇයි ?
ආණ්ඩුව එවැනි මතයක සිටින විට ප්‍රධාන විපක්ෂය වන සජබය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට යොදාගැනීමට රජය කටයුතු කළේය. එහෙත් විපක්ෂය කියන්නේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට වගකිව යුතු අධ්‍යාපන ඇමැතිනිය වන අගමැතිනිය ජාත්‍යන්තර සමුළුවක් ඇමතීම සඳහා රටින් පිටව ගොස් සිටිය දී එම විවාදය ලබාදීමට රජය කටයුතු කළේ අගමැතිනියට එම විවාදයේ දී නැගෙන චෝදනාවලට උත්තර දීම අහිමි කිරීමට බවය. මෙමගින් ආණ්ඩුව කණ්ඩායම් දෙකකට බෙදී ඇති බව පෙන්නුම් කරන්නේ යැයි විපක්ෂය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
රටට ආවරණය කරන පොහොට්ටුවේ කමිටු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල තමන්ට අනන්‍ය වූ පැරණි ගමනේම යෙදී සිටියි. පක්ෂයේ සංවිධාන ව්‍යූහය අංශ විසිහයකට බෙදා සංවිධායකවරුන් විසිහය දෙනකු යටතට පත්කර ඇත. ජාතික සංවිධාන ආශ්‍රිත කටයුතු භාරව ඇත්තේ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරටය. ඔහු ඉකුත් සතියේ ද ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය. අධ්‍යාපන පොදුජන සේවක සංගමය හා ගුරු සංගම් හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට භාර දී තිබේ. සංචාරක ක්ෂේත්‍රය අරුන්දික ප්‍රනාන්දුට ද ඉංජිනේරු අංශ ඉන්දික අනුරුද්ධට ද පවරා ඇත. ත්‍රිරෝද සංගම් පෙරපාසල් වැනි අංශවල ප්‍රශ්න කතාකිරීම සඳහා සංවිධායකවරුන් පත්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමෙන් ක්‍රියාකාරීව පවත්වාගෙන යයි.
පොහොට්ටුව සත්‍යග්‍රහයකට සූදානම් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් නෙළුම් මාවත මූලස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා පැවැත්වුණේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. රැස්වීමේ අරමුණු පැහැදිලි කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් කියා සිටියේ මේ වකවානුව බුද්ධාගම ඇතුළු ආගම්වලට කරදරකාරී වකවානුවක් බවය. ‘ ත්‍රිකුණාමලයම ගන්නකො... බුදු පිළිමයක් තිබ්බ කියලා හිමිවරුන් සිරගත කිරීම දක්වා ප්‍රශ්න මතුවෙලා.. මේ කටයුතුවලට එරෙහිව අපි සත්‍යග්‍රහයක් කරමු....’ සාගර කාරියවසම් කීවේය. බොහෝ දෙනා යෝජනා කළේ පෙබරවාරි හත්වැනිදා එම සත්‍යග්‍රහය පවත්වමු කියාය. ‘මටත් නායක හාමුදුරුවරුන් පවා කතා කර කියනවා මේ තත්ත්වය හොඳ නෑ... මොනව හරි කරන්න කියලා. දරුණු විදිහට ආගමික මර්දනය පටන් අරගෙන. නිහඬව ඉන්න එපා කියලයි මහා සංඝරත්නය මටත් කතා කරල කියන්නෙ....’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.
‘දැන් ඔය ගංගාරාම පන්සලේ දී ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවනේ. ඒ ප්‍රදර්ශනය හතර වැනිදා පටන් ගන්නවා. අපේ සත්‍යග්‍රහය හත්වැනිදා කොටුව විහාරස්ථානයේදී කළොත් මෙතැන හිතාමතාම ගැටුමක් ඇති කළා කියල චෝදනා කරයි. අපි වෙනත් දිනකට යොදා ගනිමු...’ ජානක වක්කුඹුර කීවේය. එවැනි විවිධ මත ගණනාවක්ම මතු වූ අතර එහිදී තීන්දු වූයේ ඉන්පසුව එළඹෙන දිනයක භික්ෂුන් වහන්සේලා දහස් නමක් වැඩමවා බෞද්ධයන්ට ඇතිවන හිරිහැරවලට එරෙහිව සත්‍ය ග්‍රහයක් පැවැත්වීමටය. කොළඹ දී එම සත්‍යග්‍රහය පැවැත්වීමෙන් පසු ආසන මට්ටමෙන් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට ද එහිදී සාකච්ඡා කෙරිණි.
සමුපකාර ඡන්දයෙන් ශාන්ත කරළියට
සමුපකාර සමිතිවල පාලනය අල්ලා ගැනීමට දිගු කලක සිට මෙරට දේශපාලන පක්ෂ දැඩි වෙහෙසක් දරයි. ප්‍රාදේශීය දේශපාලනයේ දී පළමු මැතිවරණය බවට පත්වන්නේ විවිධසේවා සමුපකාර සංගම්වල පාලනය අත්පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මෙම සටනය. පසුගිය මාසය කිහිපය පුරාම සමුපකාර සංගම්වල පාලනය සඳහා පැවැති නිලවරණවල දී වැඩි ප්‍රමාණයක ජය අත් වූයේ විපක්ෂයටය.
අලව්ව විවිධ සේවා සමුපකාර සමිතියේ පාලක මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය ඉකුත් සති අන්තයේ පැවැත් වූ අතර ශ්‍රී පොදුජන පෙරමුණ යටතේ මෙතෙක් පැවැති බලය එම නිලවරණයේදීත් තහවුරු කරගැනීමට ආසන සංවිධායක ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයාට හැකි විය. මෙවර ඒකාබද්ධ විපක්ෂය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබුණි. අවසන් ප්‍රතිඵලය වූයේ විවිධ සේවා සමුපකාරයේ ප්‍රාදේශික තිස් පහෙන් තිස් එකකම බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීමය. ජාතික ජනබලවේගයට හිමි වූයේ ප්‍රාදේශීක හතරක බලය පමණකි.
නව ව්‍යවස්ථාවකට විපක්ෂයෙන් සමුළුවක්
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙරට බලයට ආ බොහෝ දේශපාලන පක්ෂවල මැතිවරණ පොරොන්දුවකි. 1977 ජේ.ආර්. ජයවර්ධන රජය එම පොරොන්දුව ඉටුකරමින් සැකසූ නව ව්‍යවස්ථාවෙන් පසු වෙනත් කිසිදු පාලක පක්ෂයකට ව්‍යවස්ථාවක් පැනවීමට නොහැකි විය. වත්මන් රජය ද බලයට ආවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බවට පොරොන්දු වෙමිනි. මේ නිසා රජයේ බලවත් ඇමැතිවරුන් පවසන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවය.
මේ අතරතුර නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු ක්‍රියාකාරීකයන් පිරිසක් නියෝජනය කරන ‘වන් ටෙක්ස්ට්’ ආයතනය දේශපාලන පක්ෂ ප්‍රධානීන් ගණනාවක් කැඳවා කොළඹ ජානකී හෝටලයේ දී නව ව්‍යවස්ථාවකට අන්තර්ගත විය යුතු දේ ගැන කතිකාවක යෙදුණේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නීතිඥ අනුර යාපා, රවි කරුණානායක, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ලාල් විජේනායක, සුමන්දිරන්, මහින්ද අමරවීර ඇතුළු දේශපාලන පක්ෂ ප්‍රධානීහු එම කතිකාවට සහභාගි වූහ.
ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන විට ඇතුළත් විය යුතු අංශ මොනවා ද යන්න එදින සාකච්ඡාවට බඳුන් විය. මෙයට පෙරද ‘වන් ටෙක්ස්ට්’ ආයතනය මෙවැනි කතිකාවක් කැඳවා තිබූ අතර ඉකුත් දා පැවැත් වූයේ එහි දෙවැන්නය. 2016 වසරේදීද එවකට රජය සැකසූ ව්‍යවස්ථාවක් ඇති අතර ඒ ගැනද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම කතිකාවේ දී සාකච්ඡා කළ කරුණුවල සම්පිණ්ඩනයක් පෙබරවාරි මස 3 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්වීමට නියමිතය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙම කතිකාවේ කරුණු ඇතුළත් වේදැයි පැහැදිලිකමක් දැනට නැත.
රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ඇමැතිවරයකු වූ රමේෂ් පතිරණ ඉකුත් කාලයේ සිටියේ එම පක්ෂයෙන් දුරස්ථවය. රමේෂ් ඉකුත් සතියේ යළිත් පොහොට්ටුවට සම්බන්ධ විය.
‘අපේ තාත්තගෙ ගම බෙන්තර ඇල්පිටියෙ. ඒ නිසා මට බෙන්තර ඇල්පිටිය ආසනය හොඳයි...’ රමේෂ් එහෙම කීවේ යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙමින් නාමල් රාජපක්ෂ අතින් ආසන සංවිධායක ධුරය භාර ගනිමිනි. ඔහු එයට පෙර සිටියේ අක්මීමන සංවිධායක ලෙසය.
‘පසුගිය කාලෙ අපෙන් ඈත්වුණු අය යළිත් එකතු වෙමින් ඉන්න එක සතුටක්. රමේෂ් ඇමැතිතුමාගෙ තාත්තා අපේ තාත්තත් එක්ක දේශපාලනයය කරපු කෙනෙක්. ඒ වගේම රමේෂ් ඇමැතිතුමා වැදගත් වෘත්තීය භාවයක් සහිත දේශපාලන නායකයෙක්...’ රමේෂ් යළි පොහොට්ටුවට එක්වීමේ අවස්ථාව අමතමින් නාමල් රාජපක්ෂ කීවේය. ‘ගාල්ලේ අපේ නායකයා මොහාන් සිල්වා මැතිතුමා... එතුමාගේ නායකත්වය යටතේ අපි නාමල් දිනවන සටන කරගෙන යමු...’ රමේෂ් එහි දී කීවේය.
විදුලි බිල සහ අයි.එම්.එෆ්. තීන්දුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට අනුමත කළ ණය වැඩපිළිවෙළේ පස්වැනි වාරිකය තවමත් නිකුත් කර නොමැත. ඉකුත් නොවැම්බරයේ නිකුත් කිරීමට තිබූ එම ණය වාරිකය සහ දිට්වා ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති අමතර ණය පහසුකම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන කරළියේ කතාබහක් මතුව තිබේ.
නොවැම්බරයේ ලැබීමට නියමිතව තිබූ පස්වැනි වාරිකය තවමත් මුදා හැර නැත්තේ මූල්‍ය අරමුදලට පොරොන්දු වූ කොන්දේසි ශ්‍රී ලංකා රජය ඉටු නොකළ නිසා ද? යන්න එම කතා බහට හේතුවය. විදුලිබිල වැඩි කිරීමට සහ විදුලිබල මණ්ඩලය කොටස් හයකට කඩා එම මණ්ඩලය අහෝසි කරන බවට ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදලට පොරොන්දු වී තිබුණේය. එහෙත් එම ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කිරීමට රජයට නොහැකිව තිබේ. මේ නිසා මූල්‍ය අරමුදල අදාළ වාරිකය මුදා හැරීම කල් දැමීමට ද පියවර ගත්තේය. දිට්වා සුළි කුණාටුවෙන් පසුගාමී වූ මෙරට ආර්ථිකය නංවන මාර්ගයක් සාකච්ඡා කිරීම සඳහා මෙම සති අන්තයේ දී මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීට නියමිතය.
එහිදී පස්වැනි වාරිකයට අදාළ කොන්දේසි ඉටු නොවීම පිළිබඳව ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂිතය. විදුලිබිල වැඩි නොකළහොත් අයි.එම්.එෆ්. වාරිකය නොලැබේ ද? නැතිනම් වාරිකය ගන්න විදුලි බිල වැඩි කරන්න රජය එකඟ වේ ද? මේ තීරණාත්මක ප්‍රශ්නය එළඹෙන සතියේ විසඳීමට නියමිතය.
නන්දන ගුණතිලකගේ අවමඟුලේ පලහිලව්ව
ජවිපෙ හිටපු මුල්පෙළේ නායකයාකු වූ නන්දන ගුණතිලකගේ අභාවය ඉකුත් සතියේ දේශපාලන අංශ අතර ආන්දෝලනාත්මක සිදුවීමක් විය. කළුතර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු ලෙස ජවිපෙන් ඉවත්වීමෙන් පසුව කටයුතු කළ නන්දන පානදුර නගරාධිපති ලෙසද කටයුතු කර ඇත. ඉකුත් දිනක දොස්තර රාජිත සේනාරත්න හමුවී තමාට ඇති ආර්ථික ප්‍රශ්න කිහිපයක් කතා කළ නන්දන ඒවා නිරාකරණය කරගැනීමට රාජිතගේ සහාය ඉල්ලා සිටියේය. දොස්තර රාජිත පවසන්නේ නන්දන තමා හමුවට එනවිටත් ඉතා නිරෝගී බවක් ඔහුගෙන් පෙන්නුම් කළ බවය.
‘වාහනේ පදවාගෙන ආවෙත් නන්දනමයි. මට මේක හිතාගන්න බෑ....’ දොස්තර රාජිත තම හිතවතුන්ට කියා සිටියෝය.
නන්දන ගුණතිලක රෝහලේ සිට තමාට කතා කළ බවත් එහිදී තමාට අමාරු යැයි නන්දන පැවසූ බවත් කියන දොස්තර රාජිත රෝහලේ දී වූ යම් දෙයක් ගැන සැක මතු කරයි. ඔහුගේ අභාවයෙන් පසු දේශපාලකයන් අතර කතාබහට ලක්වී ඇත්තේ නන්දන කලින් නියෝජනය කළ කඳවුරක යම් පිරිසකගේ බලපෑමෙන් ඔහු බරපතළ ලෙස රෝගී වී දැයි සැක පහළව ඇති බවය.
නන්දන ගුණතිලකගේ අභාවයෙන් පසු ඔහු ආදාහනය කිරීමට තීන්දු කර තිබුණද අවසාන මොහොතේ එම ආදාහනය භූමදානයක් කරා වෙනස් කිරීමට පවුලේ ඥාතීන් ඇතුළු සංවිධායකයෝ පියවර ගත්හ. නන්දන ජීවතුන් අතර සිටියදී තමාට මරණ තර්ජන ඇතැයි මෙරට මානව හිමිකම් සංවිධානයකට දැනුම් දී තිබූ බවත් එම සංවිධානය ජාත්‍යන්තර මව් සංවිධානයට දැනුම් දීමෙන් පසු එම මව් සංවිධානය සිරුර භූමදානය කරන්නැයි දැනුම් දී ඇති බවත් දේශපාලකයන් අතර කතා බහට ලක්විය.
මේ පිළිබඳ සැකය දේශපාලකයන් අතර මතුව ඇත්තේ නන්දන ගුණතිලක පසුගිය කාලයේ කළ ප්‍රකාශයක් නිසාය. එක්තරා පිරිසකට ඝාතන සිදුකිරීමට අවශ්‍ය නම් පිහි ප්‍රහාර, පාතාල ප්‍රහාර සර්ප දෂ්ටන හා වස දීම යොදා ගත් බවත් තමා ඒ පිළිබඳ දැනුවත් බවත් නන්දන ප්‍රකාශ කර ඇත. 1987 භීෂණ සමයේ යටි බිම්ගත දේශපාලනයේද නියැළි නන්දන ගුණතිලක මෙවැනි ප්‍රකාශ නිසා ඉකුත් මැතිවරණ සමයේ දැඩි ආන්දෝලනයකටද තුඩු දුන්නේය.
එජාප දේශපාලකයකු සඳහන් කළේ තම පැරණි සගයකු වන නන්දන ගුණතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද පැමිණීමට තීන්දු කර තිබුණත් අවසාන මොහොතේ දී එම ගමන අවලංගු වූ බවය.
අවමඟුල් උලෙළේ දී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දොස්තර රාජිත සේනාරත්න, සංජීව එදිරිමාන්න, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් ගුණ සමරු කතා පැවැත් වූහ.
ආදාහනය නැවතී භූමිදානයක් සිදුවීමෙන් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගත් අයුරින් යම් දිනක නන්දනට ද එවැනි ඉරණමක් අත්වේදෝයි සැකයක් මතුවීම ද වැරදි නැත.
රනිල් බුදුදහමට ප්‍රමුඛතාව දීම ගැන කියයි
රනිල් පසුගිය දා ගාල්ල නෙලුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට සහභාගී විය. එය තිබුණේ මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති පැලවත්තේ චන්දිම නාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කරන්නටය.
වජිර, ගයන්ත, පියසේන ගමගේ ආදීහු එහි වූහ. අක්තපත්‍ර ප්‍රදානය කරන්නට තිබුණේ රනිල්ගේ අතිනි. රනිල් එහි දී අක්ත පත්‍රය වජිර, ගයන්ත සහ පියසේන ගමගේ අතට දී මෙසේ කීවේය.
“මේ හැම එක්කෙනාටම දැන් යුතුකමක් තියෙනවා ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ආරක්ෂා කරන්න. රටේ පාලකයන් බුදුදහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳිලා ඉන්නවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ පාලන යුගයේ දී පවා බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීම යන කාරණය පිළිගෙන ඒ අනුව කටයුතු කළා. බුදුදහමට ලැබිය යුතු ප්‍රමුඛතාවය අහිමි කළහොත් කරන්නේ කුමක්දැයි පක්ෂ නායකයන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කළ යුතුයි.” රනිල් සිය කතාවේ දී සඳහන් කළේය.
“මේ බෞද්ධ පුනරුදයෙන් බුද්ධාගම ඉදිරියට ආවා. අපේ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේත්, ජේ.ආර්. ජනාධිපති විපක්ෂ නායක හැටියට බුද්ධාගමට විශේෂ තැනක් ලබා දෙන්න කියා ඉල්ලීමක් කළා. කළුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රැජිණ ඊට විරුද්ධ වුණා. ඒ නිසා අද මේ පළාතේ සමහර විහාරස්ථානවල 19වෙනි සියවසට අයත් බිතු සිතුවම්වල වික්ටෝරියා රැජිණගේ පින්තූර නිර්මාණය කර තිබෙනවා. ඒකට උදාහරණයක් හැටියට කතලුවේ පන්සල පෙන්වා දෙන්න පුළුවනි”
රනිල් ඉතිහාසයෙන් බිඳක් විස්තර කළේ එසේය.
ඔහු විහාර දේවාලගම් පනත ගැනත් එහිදී යමක් කීවේය.
“ලංකාවේ විහාර - දේවාලගම් පනත සම්මත කර තිබෙන්නේ බුද්ධාගමට ලැබිය යුතු නිසි තැන ලබා දීම සඳහායි. ඒකෙන් කියන්නේ විහාරවලට අයිති දේවල් විහාරවලට අයිති බව හා දේවාල වලට අයිති දේවල් දේවාලවලට අයිති බවයි. විශේෂයෙන්ම අපේ බැතිමතුන් ලබාදෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ ඒ විහාරයට නැතිනම් ඒ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයි ද කියා මම නම් දන්නේ නෑ”
නන්දන ගේ අභාවය සහ වජිර
පසුගිය සතිය එජාපයට අසුබදායක සතියක් වුණේ පානදුර සංවිධායක නන්දන ගුණතිලකගේ හදිසි අභාවය නිසාය. කලක් රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර නන්දන රාගම ශික්ෂණ රෝහලට මාරු කරන්නේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමගයි.
නන්දනගේ වියෝවත් සමග බොර දියේ මාළු බාන්නට සූදානමින් සිටින යම් මඩ බළකායක් ක්‍රියාත්මක විය. එම මඩෙන් කියැවුණේ නන්දනගේ රෝහල් බිල ගෙවීමට රනිල් වජිරට පවරා තිබූ නමුත්, වජිර එය පැහැර ඇති බවකි.
මේ ප්‍රචාරය දියත් කෙරුණේ නායක රනිල් සහ පක්ෂ සභාපති වජිර ඉලක්ක කර ගනිමිනි. වජිරට දුරකථන ඇමතුම් එක දිගට ලැබෙන්නට වූයේ මෙහි සත්‍ය අසත්‍යභාවය දැනගැනීමටය.
කතා කරන බොහෝ දෙනෙක් වජිර ගෙන් මේ කාරණාව අසන අවස්ථාවේ දී වජිර ලබාදුන් පිළිතුර ඉතා සරල විය.
“මම තාම ජීවත් වෙනවා. ගහන මඩක් මට ගහන්න, හැබැයි නන්දන දැන් මැරිලා. ඒ මනුස්සයට මඩ ගහන්න එපා. ඒක මහා පාප කර්මයක් යනුවෙනි.”
කෙසේ නමුත් වජිරට බොහෝ හිතවත් අයට වජිර ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පවසා තිබුණේ ඔවුන්ගේ දැඩි පෙරැත්ත නිසාමය.
“ඔය කාරණාව වෙන අතරේ මමත් නායකතුමාත් හිටියේ අනුරාධපුරයේ. බිල ගෙව්වා විතරක් නෙමෙයි එතුමා අසනීප වුණ අවස්ථාවේ ඉඳලම රනිල් නායකතුමා ඔහු ගැන සොයා බැලුවා. ඔහු වෙනුවෙන් කරන්න පුලුවන් සෑම දෙයක්ම කරන්න මටත් උපදෙස් ලබා දුන්නා. මම ඒ හැම දෙයක්ම කළා. රෝහලේ බිල ආවම අපි නන්දනගේ සහෝදරියට පැහැදිලි කළා අපි ඉන්නේ අනුරාධපුරේ කියලා. එතුමිය ගෙන් අහලා බලන්න පුළුවන් ඕන කෙනෙක්ට. අපි අනුරාධපුරේ ඉඳන් ආව ගමන් ඒ බිල් සියල්ලක්ම ගෙවා දැම්මා. මගේ ගාව ඒ බිල් තියනවා. මටනේ ඔය මිනිස්සු නිව්ස් ප්ලාන්ට් කරලා මඩ ගහන්නේ. අනේ ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ.”
මඩ නිවුස් ප්ලාන්ට් කළ උදවිය පළාතේ නාවත්, වජිර නන්දනගේ අවමඟුලට ගොස් දේහයටත් කර ගැහුවේය. රනිල්ගේ ශෝක ප්‍රකාශය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේ ද ඔහුය.
“සැබෑ මානවප්‍රේමී දේශපාලනඥයකු වූ නන්දන ගුණතිලක වෙනුවෙන් ලාංකේය සබුද්ධික ජනතාව ලකුණු සියයෙන් සියයම ලබා දෙනු ඇත.” රනිල් සිය ශෝක ප්‍රකාශය අවසන් කර තිබුණේ එසේය.
රාජ දූත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd