
2025 ආර්ථික කාර්යසාධනය, දිට්වා සුළිකුණාටුවෙන් ආර්ථිකයට විය හැකි අහිතකර බලෑපෑම්, විදේශ සංචිත හා ණය ගෙවීම ආදී කාලීන ආර්ථික කරුණු රැසක් ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි.
Q ගිය වසරේ ආර්ථික කාර්යසාධනය ගැන මහ බැංකුවේ තක්සේරුව පිළිබඳ පැහැදිලි කිරීමකින් සාකච්ඡාවට මුලපුරන්න මම කැමතියි....
වසර 2022 ඇති වූ ආර්ථික අර්බුදයෙන් පස්සෙ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැගුණා. ඒ අනුව 2023 දි සියයට 2 ඉක්මවූ ප්‍රතිශතයකිනුත් 2024 දි සියයට 5කට ආසන්න අගයකිනුත් ආර්ථිකය වර්ධනය වුණා. 2025 දිත් සියයට 5කට ආසන්න ප්‍රමාණයකින් ආර්ථිකය වර්ධනය වෙලා ඇති කියලා අපි හිතනවා. මේ විදියට ආර්ථිකය වර්ධනය වීමේ ප්‍රවණතාව 2025 දිත් අපි දැක්කා. සියයට 5කට ආසන්න අගයකින් ආර්ථිකය වර්ධනයවීම ධනාත්මක තත්ත්වයක් වෙන අතර එය බිඳවැටුණු ආර්ථිකය තිරසාර විදියට ගොඩනැගෙන බවට සලකුණක්. මහ බැංකුව පැත්තෙන් තියෙන වගකීම තමයි මිල ස්ථායිතාව හා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යෑම. 2022 දි උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියත් 2023 ජූලි වෙද්දි එය සියයට 5 ක මට්ටමට ගේන්න අපට පුළුවන් වුණා. ඊට පස්සෙ උද්ධමනය බින්දුව වුණා. 2024 වසරෙදි හා 2025 දි යම් කාලයක් අවධමන තත්ත්වයක් ඇති වුණා. නමුත් අපේ ඉලක්කගත අගය වෙන සියයට 5 මට්ටම දක්වා 2025 දි උද්ධමනය ළඟා වෙමින් තිබුණා. මේ විදියට උද්ධමනය අපේක්ෂිත මට්ටම කරා ගෙන ඒමට අපට හැකි වුණා. මිල ස්ථායිතාව ගත්තම විනිමය අනුපාතයේ ස්ථායිතාව වැදගත්. අපි දන්නවා 2022 දි රුපියලේ අගය විශාල වශයෙන් අවප්‍රමාණය වෙලා ඩොලරයේ රුපියල් අගය 370 දක්වා ඉහළ ගියා. ඒත් ඊට පස්සෙ ඒ අගය ක්‍රමානුකූලව අඩුවෙලා මේ වෙද්දි රුපියල් 300-310 මට්ටමට පැමිණ තියෙනවා.
Q දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 4.1 ක පාඩුවක් විය හැකි බවට ලෝක බැංකු පුරෝකථනයකුත් ඉදිරිපත් වුණා. මෙම ව්‍යසනයෙන් මේ වසරේ ආර්ථික වර්ධනයට මොන විදියෙ බලපෑමක් ඇති කරයි කියලද ඔබ හිතන්නෙ?
දිට්වා සුළිකුණාටුවේ බලපෑම ඇති වුණේ 2025 වසරේ දෙසැම්බර් මාසයේ. තවම 2025 අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත එළිදක්වලා නෑ. ඒක ඉස්සරහට එන්න තියෙනවා. මේ ස්වාභාවික ආපදාව හේතුවෙන් අනිවාර්යයෙන්ම අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයට යම් බලපෑමක් වෙනවා. මේ නිසා 2025 වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට 4-5 අතර අගයක් ගන්නවා. ලෝක බැංකුවේ හානි ඇස්තමේන්තුව වෙන ඩොලර් බිලියන 4.1 කියන්නෙ වෙච්ච හානියේ වටිනාකම. ඒ කියන්නෙ නිවාස, මාර්ග, පාලම් ආදී විනාශ වූ දේපොළවල හානිය. නමුත් 2026 වසරෙදි කරන්න තියෙන්නෙ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය. 2026 වසර සඳහා සියයට 4-5 මට්ටමේ ආර්ථික වර්ධනයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මහ බැංකුවට පුරෝකථනයක් තිබුණා. නමුත් මේ ආපදාවත් සමග ආරම්භ කරන නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ඇතුළත රජය වෙන් කරපු මුදල් වියදම් කරනවා නම් අලුත් ආර්ථික ක්‍රියාකාරකම් සිදුවිය යුතුයි. මාර්ග, දුම්රිය මාර්ග, ගොඩනැගිලි යළි ගොඩනගනවා නම් පසුගිය වසර දෙකට වඩා වැඩි ආර්ථික ක්‍රියාකාරිත්වයක් රටේ සිද්ධ වෙනවා. ඒ නිසා වෙච්ච විනාශයේ වටිනාකම ඩොලර් බිලියන 4.1 ක් වුණත් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම අමතර වියදමක් දරන්න වෙනවා. එයින් ආර්ථික වර්ධනයට යම් ධනාත්මක බලපෑමක් වෙයි කියන මූලික අදහස දැනට තියෙනවා. ඒක වෙන්නෙ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට රජය සහ පෞද්ගලික අංශය අමතර මුදලක් වියදම් කරන නිසා.
මේ අවුරුද්දෙ වාහන ආනයනයට ඩොලර් බිලියන එකහමාරක් විතර යයි. ඒක ණය ගෙවීමට බාධාවක් නෙවෙයි
Q ඔබ කියන්නෙ ඩොලර් බිලියන 4.1 මූලික ඇස්තමේන්තුව ඊට වඩා වැඩි විය හැකියි කියල ද?
ඒ ඇස්තමේන්තුව ලෝක බැංකුවෙන් කරපු එකක්. ඒ නිසා ඒ ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් පසුගිය දාක ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස මට්ටමින් හානියේ ප්‍රමාණය පිළිබඳ රජයට තොරතුරු ලැබී ඇති බවයි. ඒ තක්සේරුව අනුව ඩොලර් බිලියන 2.8 ක පාඩුවක් වෙලා තියෙනවා කියලා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රකාශ කළා. මම හිතන විදියට ලෝක බැංකුව ඔවුන්ගේ තක්සේරුව සකස් කළේ කෙටිකාලීනව පුළුල් දැක්මක් ඇතුළත. නමුත් රජයේ තක්සේරුව ඊට වඩා විස්තරාත්මක එකක් කියලා මම හිතනවා. වෙච්ච හානියේ වටිනාකම සහ නැවත ගොඩනැගීමට යන වියදම කියන්නෙ දෙකක්. මම හිතන්නෙ ජනාධිපතිතුමා සඳහන් කළ ඩොලර් බිලියන 2.8 ක මුදල නැවත ගොඩනැගීමට යන මුදල. රජයේ ඇස්තමේන්තුවේ සඳහන් ඒ ඩොලර් බිලියන 2.8 බිලියන 3ක් විදියට සැලකුවොත් ඒ අගය රුපියල්වලින් බිලියන 900 ක් විතර වෙනවා. එයින් මේ වෙද්දි රුපියල් බිලියන 600 ක් පමණ වෙන් කරලා ඉවරයි. ලබන අවුරුද්දෙදි ඉතුරු බිලියන 300 වෙන් කළොත් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට රජය පැත්තෙන් වියදම ඉතා පහසුවෙන් කරන්න පුළුවන් කියලා මම හිතනවා.
Q එයින් අයවැය මත පීඩනයක් ඇති කරන්නෙ නැද්ද? 2026 සඳහා රජය රුපියල් බිලියන 500 ක් වෙන් කළත් මේ ගොඩනැගීමේ ක්‍රියාවලිය 2026 න් ඔබ්බටත් ගමන් ගන්න පුළුවන්
නෑ. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු පරිපූරක ඇස්තමේන්තුව අනුව 2026ට වෙන් කරපු රුපියල් බිලියන 500 ක මුදල පාවිච්චි කරන්නෙ පසුගිය අවුරුද්දෙදි ඉතුරු කරගත් මුදල්වලින් නිසා. අපි දන්නවා ආර්ථික අර්බුදයට කලින් රජයේ බැංකු දෙක අතර රුපියල් ට්‍රිලියනයක අයිරාවක් ඇතුව තමයි ගියේ. නමුත් 2025 අවසාන වෙන කොට ඒ අයිරාව රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් බවට පත්වෙලා තිබුණා. ඒ අතිරික්තය නිර්මාණය වුණේ පසුගිය වසර දෙකේදි රජයේ ආදායම් වැඩිවීමෙන් වැඩිපුර ආපු මුදලින් සහ වියදම් කිරීමට නොහැකි වීම මත ඉතිරි වූ මුදල්වලින්. ඒ ට්‍රිලියනයක මුදලින් තමයි මේ රුපියල් බිලියන 500 ක මුදල වෙන් කළේ. අමතර ණය ගැනීමක් කරන්නෙ නෑ කියලත් රජය ප්‍රකාශ කළා. මේ විදියට ඉතුරු කරගත් මුදල් පාවිච්චි කරන නිසා රාජ්‍ය මූල්‍ය පිළිවෙතට, රජයේ ණය ගැනීමට හෝ පිස්කල් ප්‍රතිපත්තියට අමතර බලපෑමක් වෙන්නෙ නෑ.
Q දිට්වා බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ගත් ණය පියවීම සඳහා සහන ලබාදීමේ වැඩසටහනක් හඳුන්වාදී තියෙනවා ද?
ඒ ආපදාවෙන් දවස් දෙක තුනක් ඇතුළත සියලුම බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කළා. පීඩාවට පත් සුළු හෝ ඉතා සුළු ව්‍යවසායකයන්ට කෙටිකාලීනව ණය ගෙවීමේ අපහසුතා තියෙනවා නම් මාස 3 සිට 6 දක්වා ඔවුන්ගේ ණය වාරික ලබාගැනීම තාවකාලිකව අත්හිටුවන්න කියලා ඒ චක්‍රලේඛයෙන් දැනුම් දුන්නා. ඒ විදියට කල් දාන ණයවලට අමතර පොලී මුදලක් අය කරන්නෙ නෑ. ඒ අය බැංකුවලට ඇවිත් දන්වන්න ඕනෑ තමන්ට මේ මුදල් ගෙවීමේ අපහසුතා තියෙනවා කියලා. දෙවැනි එක තමයි ඒ අයට නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට කාරක ප්‍රාග්ධනය අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ණයත් ලබාදෙන්න කියලා බැංකුවලට උපදෙස් දීලා තියෙනවා. ඒ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සියයට 9 ක පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන්නත් අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. මේ උපදෙස් අනුව බැංකු ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව රජය පැත්තෙන් රුපියල් බිලියන 95 ක ණය සහන පැකේජයක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. වාහන මිලදී ගැනීම සඳහා ණය මුදලක් ගත්තා නම් ඒක රක්ෂණයෙන් ආවරණය වෙන්න ඕනැ. මේ විදියට බැංකු පද්ධතිය, රජය සහ රක්ෂණය යන සෑම අංශයක්ම එකතු වෙලා තමයි මේ පැකේජ් එක හැදෙන්නෙ. එහෙම නැතුව එක කොටසකට විතරක් මේ බර පැටවීම සාධාරණ නෑ කියන එකයි මගේ අදහස.
Q වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම ආර්ථික කටයුතුවලට අහිතකර තත්ත්වයක් නෙවෙයි ද?
ඒක මහ බැංකුවට අදාළ වැදගත් ප්‍රශ්නයක්. දැනට තියෙන්නෙ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් නෙ. ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 16.5 ඉඳලා 7.75 දක්වා අඩුකරලා තියෙනවා. ඒ අඩුකිරීමේ ක්‍රමවේදය ඇතුළෙ ක්‍රමානුකූලව ප්‍රධාන ගැනුම්කරුවන්ට බලපවත්වන පොලී අනුපාතය, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට තියෙන පොලී අනුපාතය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තියෙන පොලී අනුපාතය යන මේ සියලු පොලී අනුපාත ආර්ථික අර්බුදයට කලින් තිබුණු මට්ටමට දැන් ඇවිත් තියෙන්නෙ. ඒ නිසා දැනට පවතින්නෙ වෙළෙඳපොළේ පැවතිය යුතු මුදල් ප්‍රතිපත්තියට ගැළපෙන උද්ධමන ඉලක්කය කරල ළඟාවිය හැකි පොලී අනුපාතිකයක්.
ලංකාවට තවම තියෙන්නෙ වෙළෙඳ ගිවිසුම් 4යි. වියට්නාමයට වෙළෙඳ ගිවිසුම් 18 ක් තියෙනවා
Q ආර්ථික අර්බුදයෙන් පස්සෙ ලංකාවේ බැංකු පද්ධතියේ ශ්‍රේණිගත කිරීම් පහත දැමුණු අතර ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අවදානම් බවද පැවසුණා. දැන් ඒ තත්ත්වය පහව ගිහින් ද තියෙන්නෙ?
බැංකු පද්ධතියෙ ස්ථායිතාවත් මහ බැංකුවෙ ප්‍රධාන වගකීමක්. ආර්ථික අර්බුදයත් එක්ක පොලී අනුපාතය සියයට 30-35 දක්වා ඉහළ යනකොට බැංකුවලින් ණය ගත්ත අයට ඒ ණය ගෙවීමේ හැකියාව නැතිවෙන කොට බැංකු සතු වත්කම්වල වටිනාකම අඩුවුණා. ඒක බැංකුවල ස්ථායිතාවට බරපතළ තර්ජනයක්. කොයි වෙලේ රාජ්‍ය බැංකුවක් කඩාවැටෙයි ද කියන සැකය ඒ කාලේ තිබුණා. රුපියල් හා ඩොලර් ද්‍රවශීලතාවත් ඉතා අභියෝගකාරී තැනක තිබුණෙ. නමුත් මේ වෙනකොට බැංකු පද්ධතියේ ප්‍රාග්ධනය තිබුණට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ද්‍රවශීලතාවත් ඉහළ මට්ටමක තියෙනවා. ලාභයත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් ආර්ථික අර්බුදය තිබුණු තත්ත්වයට වඩා සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක තියෙනවා කියලා. බැංකු පද්ධතියෙ ස්ථායිතාව තමයි රටක ආර්ථිකයෙ කොඳුනාරටිය කියන්නෙ. ඒක කැඩුණොත් ආර්ථිකය ගොඩනැගීම 2022 අර්බුදයට වඩා තියුණු එකක් වෙනවා. බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරද්දි බැංකු පද්ධතියට අත තිබ්බෙ නැත්තෙ.
Q ඒ දේශීය ණය ප්‍රශස්තකරණයෙන් ගෙවුණු අවුරුදු කිහිපයේදී බැංකු පද්ධතියට යම් අහිතකර බලපෑමක් වුණේ නැද්ද?
දේශීය ණය ප්‍රශස්තකරණයේ දී බැංකුවල තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අදාළ කරගත්තෙ නෑ. ඒවයෙ තියෙන්නෙ තැන්පතුකරුවන්ගෙ මුදල් නිසා ඒවා ප්‍රශස්තකරණයට ලක්කළා නම් වෙන්නෙ ඒ අයගෙ මුදල් නැති වෙන එක. රාජ්‍ය බැංකු දෙකේ විදේශ විනිමය වශයෙන් රජයට ලබා දුන් ණය, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය යන ආයතනවලට විදේශ විනිමය වශයෙන් දීපු ණය යන මේ කොටස් ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළා. නමුත් රුපියල්වලින් රජයට දීපු ණය ප්‍රශස්තකරණයට ලක්කළේ නෑ. හේතුව තමයි ඒ මුදල් දේශීය ජනතාවගේ තැන්පතුවලින් දීපු ණය. තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ.
Q 2026 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කිව්වෙ ආර්ථිකය 2019 තිබූ තත්ත්වයට මේ වසරෙ අග ගේන්න පුළුවන් කියලා. ඒක කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?
මේ වසර අවසන් වෙනකොට දළ දේශීය නිෂ්පාදිතය හැටියට ආර්ථිකයේ ප්‍රමාණය කොපමණ ද කියන දත්ත තවම නිකුත් වෙලා නෑ. 2019 දි තිබුණු ආර්ථිකයේ වටිනාකම ඉක්මවා යෑමක් මේ වසරෙ වෙන්න පුළුවන්. ඒක පැහැදිලිව පෙනෙන දෙයක්.
Q ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ඉලක්ක නැවත වෙනස් කළ යුතුයි කියා ඔබ පසුගිය දිනෙක පවසා තිබුණා. එයින් අදහස් කළේ මොකක් ද?
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරලා ඉදිරි වසරෙදි ළඟා කරගත යුතු ඉලක්ක ගැන සාකච්ඡා කරනවා. මාස හයකට වරක් ඔය වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේ තියෙන විශේෂත්වය තමයි අපි මූල්‍ය අරමුදලෙ වැඩසටහන සමග ඉදිරියට යනකොට අනපේක්ෂිත ස්වාභාවික ආපදාවකට මුහුණ දෙන්න සිදුවුණු එක. මේ තත්ත්වයත් එක්ක ආර්ථික ඉලක්කවල සිදුවිය යුතු වෙනස්කම් ගැන සාකච්ඡා කරලා ඒකට ගැළපෙන විදියට ඉලක්ක නැවත සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිය යුතුයි.
Q දැන් ඒක කරන්න පුළුවන් ද?
එහෙම හැකියාවක් පහුගිය කාලෙ තිබුණනෙ. 2023 මාර්තු මාසෙ අනුමැතිය ගත්ත අවස්ථාවේ සිට සිදු කරන ලද සමාලෝචන හතර ගත්තොත් හැම සමාලෝචනයකදීම තිබුණු ඉලක්ක සාකච්ඡා කරලා වෙනස් කරලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවලදි විශාල වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ඒත් මේ අවස්ථාවේ ඊට වඩා වැඩි වෙනසක් කළ යුතුයි. ඉලක්ක වෙනස්වීම් වැඩිවෙන්නත් පුළුවන්.
Q ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා කළ ඉහළම විදේශ සංචිත 2025 දි වාර්තා කර ඇති බව ඔබ කියා තිබුණා. වාහන වෙළෙඳපොළ විවෘත කිරීමත් ආනයන වියදම් ඉහළ යෑමත් නිසා 2028 දි විදේශ ණය ගෙවීම අභියෝගාත්මක වෙන්නෙ නැද්ද?
අභියෝගයක් වෙන්නෙ නෑ. 2025 දි ඩොලර් බිලියන 6.8 දක්වා සංචිත වැඩිකර ගත්තෙ මෝටර් රථ ආනයනය සඳහා අමතර ඩොලර් බිලියන 2 ක් වැයකරලා තියෙද්දි. ඊට අමතරව 2025 දි ණය ගෙවීමට පමණක් ඩොලර් බිලියන 3.9 ක් වෙන් කළා. මේ සියලු වෙන් කිරීම් කළාටත් පස්සෙ ඉතුරුවුණු මුදල් තමයි සංචිත වශයෙන් අපි ගොඩනගා ගත්තෙ. විදේශ විනිමය ආදායම සහ වියදම අතර ඩොලර් බිලියන 1.5 ක අතිරික්තයක් 2025 දි වාර්තා කළා. ඒ විදියෙ අතිරික්තයක් ඉතිහාසයේ පළමුවරට අඛණ්ඩව 2023, 2024 සහ 2025 යන වර්ෂ තුනේම වාර්තා වුණා. ඒ වැඩිවෙන අතිරික්තය තමයි මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී අරන් සංචිත වශයෙන් පවත්වාගෙන යන්නෙ. ඉදිරියටත් යන්නෙ මේ ක්‍රියාවලියම තමයි. ඒ අනුව 2026 අවසානයේදි ඩොලර් බිලියන 8 දක්වා සංචිත ඉහළ නංවාගන්න බලාපොරොත්තු වෙනවා. ණය වාරික ගෙවීමට ඇති අගයන් බලන කොට ඩොලර් බිලියන 4 කට ආසන්න වැඩිම මුදලක් ගෙවීමට තිබුණෙ 2025 දි. ඉදිරියට ගෙවීමට තියෙන ණය වාරිකවලට අනුව වැඩිම මුදලක් ගෙවීමට තියෙන්නෙ 2030 දි. ඒ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 3556 ක්.
Q 2028 වසරේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය කොපරණ ද?
ඩොලර් මිලියන 3231 යි.
Q ඔබ කියන්නෙ මේ යන විදියට වාහන ආනයන වියදම් සහ ආනයන වියදම් අයින් කරලා ණයවාරික ගෙවන්න පුළුවන් කියලද?
පහුගිය අවුරුදු තුනේදි ඒක අපි කරලා පෙන්නලා තියෙනවානෙ. එහෙම නම් ඒක ඊළඟ අවුරුදු තුනේ කරන්න බෑ කියලා කියන්නෙ කොහොම ද? මේ වැඩපිළිවෙළ ඉදිරියට යනවා නම් ඊළඟ අවුරුදු තුනේදිත් ණය ගෙවන්න පුළුවන්. රටේ ලොකු භීතිකාවක් ඇතිකරලා තියෙනවා 2028 ණය ගෙවන්න බෑ කියලා. මම මේක හඳුන්වන්නෙ 28 භීතිකාව කියලා.
Q තව සමහරු කියනවා දෙවැනි වතාවටත් ණය ප්‍රතිව්‍යුහගතරණයකට යන්න වෙයි කියලා...
2028 වෙද්දි ඩොලර් බිලියන 10 ක විතර සංචිත තියාගෙන රුපියල් බිලියන 3.2 ක ණයක් නම් ගෙවන්න තියෙන්නෙ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තියෙන හේතුව මොකක්ද කියලා මම අහන්න කැමතියි.
Q ඔබ කියන්නෙ නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාවක් නෑ කියලා ද?
මේ ආකාරයට ගියොත් අවශ්‍ය වෙන්නෙ නෑ. මේක වෙනස් කළොත් අවශ්‍ය වෙන්න පුළුවන්. පසුගිය අවුරුදු තුනේ ගෙනිච්ච වැඩපිළිවෙළ ඉදිරියට යනවා නම් 2028 විතරක් නෙවෙයි 2032 දිවත් ණය නැවත ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
Q 1990 ගණන්වල ලංකාවට සමාන තත්ත්වයේ හිටපු වියට්නාමය තායිලන්තය වගේ රටවල් අද වෙන කොට විශාල විදේශ සංචිත හිමි රටවල් බවට පත්වෙලා තියෙනවා. නමුත් අපි තවම ඉන්නෙ ඩොලර් බිලියන 6-7 මට්ටමේ. මේ විදියට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ද?
විදේශ විනිමය වැඩියෙන් උපයන්න පුළුවන් බව ඒ රටවල් ඔප්පු කරලා තියෙනවානෙ. කරන්න පුළුවන් ක්‍රමවේදත් තියෙනවා. විදේශ විනිමය ඉපැයීම් වැඩිකරගන්න පුළුවන් නම් ඕනෑම රටකට ණය ගෙවීම හෝ සංචිත වැඩි කරගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. අපනයන කාලයෙන් කාලයට අලුත් වෙනවා. ඉන්දියාව ගත්තොත් සේවා අපනයනය ප්‍රධානයි. අපටත් ඒවා කරන්න පුළුවන්.
Q ආර්ථික පරිවර්තන පනත සම්මත කළත් මේ වෙන තුරු එය ක්‍රියාත්මක නෑ. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මේ අණපනත් ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක් නෙවෙයි ද?
කරන්න තියෙන ක්‍රමවේද කීපයක් තියෙනවානෙ. ඒකත් එක ක්‍රමයක් පසුගිය රජය යෝජනා කරපු. ආර්ථික පරිවර්තන පනතට වඩා වැදගත් වෙන්නෙ විදේශ විනිමය ඉපැයීම් මාර්ග දියුණු කිරීමට අදාළ ජාතික අපනයන සැලැස්ම ක්‍රියාත්මක කිරීමයි. විදේශ විනිමය වැඩියෙන් ඉපැයීමට නම් විදේශ වෙළෙඳාම සහ සෙසු රටවල් සමග විවෘතව සම්බන්ධ විය යුතුයි. විවෘත වෙළෙඳ ගිවිසුම් තියෙන්නත් ඕනැ. වෙළෙඳ ගිවිසුම් වැඩි වෙන තරමට වෙළෙඳ ප්‍රවේශත් වැඩිවෙනවා. ලංකාවට තවම තියෙන්නෙ වෙළෙඳ ගිවිසුම් 4යි. වියට්නාමයට වෙළෙඳ ගිවිසුම් 18 ක් තියෙනවා.
Q මේ අවුරුද්දෙ වාහන ආනයනයට කොපමණ මුදලක් වැය වෙන බවට පුරෝකථනයක් තියෙනවා ද?
වාහන ආනයනය අවුරුදු 5ක් විතර නතර කරලා තියෙද්දි 2025 වසරෙ විවෘත කළාට පස්සෙත් වැය වුණේ ඩොලර් බිලියන දෙකක විතර මුදලක්. මේ වසරෙ උපරිම වුණොත් ඩොලර් බිලියන එකහමාරක් විතර යයි. ඒ වුණත් අපිට සංචිත කළමනාකරණය කරගන්න පුළුවන්.
Q ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු කරන රටවලට සියයට 20 ක බද්දක් පැනවීමට ඇමෙරිකාව ගෙන ඇති තීන්දුව නිසා ලංකාවට අහිතකර බලපෑම් ඇති වෙයි ද?
අපි ඉරානයෙන් තෙල් ගේන්නෙ නෑ. අපිට ඉරානය සමග තියෙන එකම ගනුදෙනුව දැනට ලංකාවෙන් තේ යම් ප්‍රමාණයක් ඉරානයට යනවා. ඉරානයට පනවා ඇති සම්බාධක නිසා බැංකු පද්ධතිය මගින් ගෙවීම් සහ පියවීම් කරන්න බෑ. ඒ නිසා අපට 2012 ඉඳන්ම ඉරානයට ගෙවිය යුතුව තිබුණු ඩොලර් මිලියන 250 ක ණයක් ගෙවන්න බැරුව හිටියෙ. ඒ නිසා ඒ මුදල වෙනුවට එරටට තේ යවනවා. මගේ දැනීමේ හැටියට ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධකවල ආහාර අදාළ වෙන්නෙ නෑ. ඒ නිසා තේ යවන එකට බලපෑමක් වෙන්නෙ නෑ.
ඉදිරියට ගෙවීමට තියෙන ණයවාරිකවලට අනුව වැඩිම මුදලක් ගෙවීමට තියෙන්නෙ 2030 දි. ඒ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 3556 ක්
Q ඇමෙරිකාව ලංකාවට පැනවූ තීරු බද්ද තවදුරටත් අඩු කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රකාශ වුණා. එහෙම සාකච්ඡා යනවා ද?
සාකච්ඡා පවත්වමින් යනවා.
Q ඒවයෙ ප්‍රගතිය ගැන යමක් කියන්න පුළුවන් ද?
තවම සාකච්ඡා යනවා. අවසන් වුණහම දැනගන්න පුළුවන්.
Q 2015 බැඳුම්කර වංචාව ගැන තවමත් කතාවෙන බවක් පේන්න තියෙනවා. ඒකෙ පාඩුව අඛණ්ඩව ඉදිරියට යන බවත් පැවසෙනවා. ඒ ගනුදෙනුවෙන් වෙච්ච අලාභය ගැන හොයන්න මහ බැංකුවෙන් වෙනම විමර්ශනයක් පවත්වලා තොරතුරු හෙළි කරගැනීමක් වෙලා තියෙනවා ද?
ඒ බැඳුම්කර වංචාව යන චෝදනාව යටතේ ජනාධිපති කොමිෂන් මගින් විමර්ශන කළා. වෝහාරික විගණනයකුත් කළා. ඒවා මගින් අධිකරණයේ නඩු පවරලත් තියෙනවා. ඒ නඩුවලට අවශ්‍ය සියලු තොරතුරු අපි ලබා දීලා තියෙනවා. පරීක්ෂණ කටයුතු, සාක්ෂි දීම, වාර්තා සැපයීම ආදී මහ බැංකුව පැත්තෙන් විය යුතු සියලු කටයුතු කරලා අවසන්. දැන් තියෙන්නෙ අධිකරණයේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම. මම හිතන්නෙත් ඒ ක්‍රියාමාර්ග ඉක්මනින් අවසන් කරන එක හොඳයි.
Q ලංකාවේ ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා ඔබ මහ බැංකු අධිපති ලෙස ආර්ථිකය හසුරුවමින් ස්ථායිකරණයක් ගොඩනැගීම සඳහා වැදගත් කාර්ය කොටසක් ඉටු කරමින් ඉන්නවා. ඒ ගැන මොකක්ද අදහස?
මම මහ බැංකුවෙ අධිපති වශයෙන් පත්වුණේ 2022 අප්‍රේල්වල. ආර්ථිකය පතුලටම වැටිලා තිබුණු අවස්ථාවෙ මම මේ තනතුර භාර ගත්තෙ. ආපසු හැරිලා බලද්දි මට සතුටුවෙන්න පුළුවන්. එදා ආර්ථිකය තිබුණු තත්ත්වයයි දැන් තියෙන තත්ත්වයයි අතර වෙනස ගැන මම අමුතුවෙන් කියන්න ඕනැ නෑ. ඒ ක්‍රියාවලිය සඳහා මහ බැංකුවේ කාර්යභාරය ඉතාම පැහැදිලියි. මහ බැංකුව විදියට අපට ඒ ආකාරයට ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගැනීම මගින් විශාල කාර්යභාරයක් මේ වෙන තුරු ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඒකට දායකවීම ගැන මට සතුටුයි.
උපුල් වික්‍රමසිංහ
ඡායාරූපය: ඉසුරු පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd