සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාප දහසයේ  අක්කර 1834ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහිව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

ආයෝජන කලාපවලට අයත් නොවන අක්කර 789 ක්ද හිස්ව පැවතුණ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ආයෝජන මණ්ඩලය අනුමත ආයතනවලින් රුපියල් කෝටි 184කට වැඩි මුදලක් 2014 දෙසැම්බර් 31 වෙන විටද අයකරගෙන නොතිබූ බව පවසන විගණන වාර්තාව එය ඊට පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 25ක වැඩිවීමක් බවද සඳහන් කරයි.

එම වටිනාකමෙන් රුපියල් කෝටි 38 කට වැඩි මුදලක් හෙවත්  සියයට විසි එකක් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ හිඟව පැවතුණ බවද වාර්තාවේ දැක්වේ.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව මත පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ආයෝජන මණ්ඩලයට පවරා තිබූ නමුත් කලාප දහයකට අයත් ආයතන දෙසිය දහයකට එම අධිකාරියේ එකඟතාවකින් තොරව 2023 හා 2024 වර්ෂවලදී ආයෝජන මණ්ඩලය පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය. වැඩබලන විගණකාධිපති ධර්මපාල ධම්මන්පිලගේ අත්සනින් යුතුව එම වාර්තාව නිකුත් කර ඇත.