
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය දේශපාලන තරගයක් වූයේ තරගාවලිය ඇරඹීමටත් පෙරය. ඉන්දීය මාධ්‍ය සහ අළවිකරුවන් විසින් තමන්ගේ ප්‍රේක්ෂකාගාරයට උපරිමයෙන් විකුණා ගන්නා තරගයක් බවට පත්ව ඇති ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරග මෙවර යම් ආකාරයක යුද්ධයක් බවට පත් විය. ඒ යුද්ධය ඇරඹුණේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ඇති අර්බුදය ක්‍රිකට් පිටියට පැමිණීමත් සමගය.
බංග්ලාදේශයේ හින්දු ජනතාවට විඳින්නට වෙන පීඩාවත් බංග්ලාදේශ සහ ඉන්දීය ආණ්ඩු අතර ඇති විරසකයත් පුපුරා ගියේ අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට තෝරාගත් මුස්ටෆිසර් රහමාන් එම කණ්ඩායමෙන් ඉවත්කරන්නැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමත් සමගය. මෙය විවාදාත්මක කතාබහකට ලක්වූ මාතෘකාවක් විය. මේ සමගම බංග්ලාදේශ රජය මෙවර අයි.පී.එල්. තරගාවලිය බංග්ලාදේශයේ විකාශය කිරීම තහනම් කළේය. එයින් පසුව ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ පැවැත් වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන්නැයි ඉල්ලීමක් කෙරුණි. එසේ නොකළහොත් තරගාවලියෙන් ඉවත්වන බව බංග්ලාදේශය දැන්වීය. මෙය සම්පූර්ණයෙන්ම බංග්ලාදේශ රජයේ තීරණයක් ලෙසින් පෙනෙන්නට තිබුණි. එහෙත් ඉන්දීය බලය ඇති අයි.සී.සී.ය එයට එකඟ නොවූ අතර බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට එක්කර ගනු ලැබුණි.
ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය අකැමැත්ත පළ කළ සැණින් පාකිස්ථානය කළේ බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටීමයි. එසේම බංග්ලාදේශයේ තරග ශ්‍රී ලංකාවට යොමු කිරීමට නොහැකි නම් පාකිස්ථානයේ පැවැත්වීමට ද ඔවුහු යෝජනා කළහ. මෙය තරගාවලිය ඉන්දියාව මූලික කරගෙන පැවැත්වීමට වක්‍රාකාරයෙන් පහර ගැසීමක් ලෙස බොහෝ දෙනා කල්පනා කළහ. කෙසේ වුවද ඉන්දීය ජාතික ජේ. ෂා ගේ සභාපතිත්වයෙන් යුත් අයි.සී.සී.ය බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කළ පසුව ඉන්දියාව සමග පැවැත්වෙන තරගය තමන් වර්ජනය කරන බව පාකිස්ථානය දැන්වීය. එහිදී පාකිස්ථානයේ තර්කය වූයේ සත්කාරක රටක් වන ඉන්දියාව, පාකිස්ථානය සමග තරගය මැදිහත් රටක ( ශ්‍රී ලංකාවේ) ක්‍රීඩා කරන්නේ නම් අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකත්වය ඇති බංග්ලාදේශයට ද මැදිහත් රටක ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුය බවය. මේ තත්ත්වය ඇදී යද්දී කලබල වූයේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ මැදිහත් වීම
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගයක් යනු පාකිස්ථාන ප්‍රේක්ෂකයන් කෙසේ වෙතත් ධනවත් ඉන්දියානුවන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවට ඇදගැනීමට ඇති අවස්ථාවකි. මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි නම් ඉන්දියාව සහ පාකිස්ථානය අතර අවසන් තරගයක් පැවැත්වෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ තත්ත්වය මැද පෙබරවාරි දෙවැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොසින් නක්වි වෙත දීර්ඝ ලිපියක් යැව්වේය.
මේ වනවිට ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව කොතරම් සූදානම් වී තිබේද විශේෂයෙන්ම පෙබරවාරි 15 පැවැත්වීමට නියමිත ඉන්දියා- පාකිස්ථාන තරගයට කොතරම් අවධානයක් යොමු කර තිබේද යන්න එහිදී දක්වා තිබුණි. එසේම මේ තරගය නොපැවැත් වුවහොත් ටිකට් පත් විකිණීමේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන පාඩුව ගැනද ෂම්මි සිල්වා ලියා තිබුණි. එසේම ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබාගත හැකි වාසියක් ගිලිහී යෑම සඳහන් කර තිබුණි.
එසේම පාකිස්තානය අමාරුවේ වැටුණු සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරු හැඟවීම් නොතකා පාකිස්ථානයේ සංචාරය කරමින් පාකිස්ථානයට දැක්වූ සහයෝගයද මෙහිදී පෙන්වා දී තිබුණි. එසේම 15 වැනිදා තරගයට අවශ්‍ය සියලුම ආරක්ෂාව, මැදිහත් බව සහ වෘත්තීයභාවය තමන් ආරක්ෂා කරන බවට තහවුරුවක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා දී තිබුණි. මේ ලිපිය ශ්‍රී ලංකාව පැත්තෙන් කළ පළමු සහ ප්‍රමුඛ මැදිහත් වීමයි.
පෙබරවාරි 8 වැනිදා වනවිට මෙම තරගාවලියේ තරග විකාශය කරන සමාගම් කෙසේ හෝ පාකිස්ථානය සාකච්ඡා මේසයට කැඳවා තිබුණි. ඒ අනුව බංග්ලාදේශයට සාධාරණයක් කරන්නේ නම් ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමට පාකිස්ථානය කැමැත්ත පළ කළේය. එහිදී පාකිස්ථානය අයි.සී.සී.යට කොන්දේසි දෙකක් පැනෙව්වේය. පළමු වැන්න ලෝක කුසලානයට සහභාගී නොවූවා කියා බංග්ලාදේශයට දඩ ගැසීමක් හෝ තරග තහනමක් පැනවීම නොකළ යුතු බවයි. දෙවැන්න එසේම 2031 කට පෙර අයි.සී.සී. තරගාවලියක සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට අවස්ථාව දිය යුතු බවයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නොපැවැත් වූයේ නම් අයි.සී.සී.යට අහිමිවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන174 ක් පමණ වනු ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකා ආණ්ඩුව ජනවාරි මාසයේ දී මේ සම්බන්ධයෙන් උදාසීන බවක් පෙන්නුම් කළද පෙබරවාරි 9-10 දෙදින දී සක්‍රීය විය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සමග විනාඩි 30 ක දුරකථන සංවාදයක් පැවැත්වීය. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය ගැනත් අතීතයේ දී පාකිස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ආකාරයත් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මතක් කර දී තිබුණි.
පාකිස්ථානය පැන වූ කොන්දේසිවලට අයි.සී.සි.ය එකඟ වූ අතර ශ්‍රී ලංකාවේ මැදිහත් වීමත් සලකා බැලූ පාකිස්ථානය පෙබරවාරි 11 වැනිදා කියා සිටියේ 15 වැනිදා තරගයට තමන්ගේ කණ්ඩායම සහභාගී වන බවයි.
“පාර්ශ්ව කිහිපයක් සමග කළ සාකච්ඡාවල තීරණ මෙන්ම, මිත්‍ර රටවල් කළ ඉල්ලීම් ද සලකා බලා පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගී වන ලෙස පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථාන රජය මේ අනුව දන්වා සිටියි. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමටත් තරගාවලියට සහභාගීවන සියලු කණ්ඩායම්වලට සහ ක්‍රීඩාව දක්වන සහයෝගය පෙන්වා දීමටත් මෙම තීරණය ගනු ලැබුණි” යැයි පාකිස්ථාන රජය විසින් නිවේදනය කළේ ඉන් පසුවය.
අයි.සී.සී.යේ ඉන්දියනු වෙස් ගැලවීම
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නොපැවැත් වූයේ නම් අයි.සී.සී.යට අහිමිවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන174 ක් පමණ වනු ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. අනුග්‍රාහක මුදල්, ප්‍රවේශ පත්‍ර අළවිය සහ තරග විකාශනයෙන් ලැබෙන මුදල් ද මෙයට එක්ව තිබේ. ඒ අනුව ඉන්දියානු වෙස් ගලවා අයි.සී.සී.යට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට අයි.සී.සී.ය මේ අවස්ථාවේ දී උත්සාහ ගත් බව පැහැදිලිය. පාකිස්ථානයේ කොන්දේසි වලට ඔවුන්ට අවනත වෙන්නට සිදු වූයේ මේ නිසාය.
මේ තරගයේ දී අයි.සී.සී. ප්‍රධානී ජේ.ෂා සහ පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානී මොසින් නක්වි යන දෙදෙනාම එකම වේදිකාවක දැකගත හැකිවන තරගයක් ලෙස ද දැක්විය හැකිය. ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ නක්වි මුල් වූ සිදුවීමෙන් පසුව එය සුවිශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
ටිකට් මිල අහස උසට
මෙම තරගය පැවැත්වීම වැට උඩ තිබිය දී තරගයේ ටිකට් පත් අළවිය නතර වී තිබුණි. එහෙත් තරගය පැවැත්වෙන බව දැන්වූ සැණින් අයි.සී.සී.යේ ප්‍රධාන ටිකට් අලෙවි මූලාශ්‍රය වන bookmyshow හි ටිකට් මිනිත්තු ගණනක් තුළ විකිණී ගියේය. 35000ක පිරිසකට තරග නැරඹිය හැකි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ ටිකට් ඉල්ලා 88000 කට අධික ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි. පසුගිය සිකුරාදා වනවිට ටිකට් විකුණන වෙනත් වෙබ් අඩවිවල ටිකට් පතක මිල ඩොලර් 80 සිට ඩොලර් 295 දක්වා සඳහන් විය. එසේම තරගය නැරඹීමට එන අය වෙනුවෙන් වෙන් කළ පැකේජ ඩොලර් 900 සිට ඉහළට විය. එහෙත් ඒවාට නවාතැන් ගන්නා හෝටල්වල මිල ඇතුළත්ව නොතිබිණි. මෙවර ටිකට් පත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ආරක්ෂණ ක්‍රමයක් ඇති නිසා බොහෝ විට ව්‍යාජ ටිකට්පත්වලට ඇති ඉඩ අවම වී තිබේ.
ගුවන් ටිකට් සහ හෝටල් මිල
ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පසුගිය බදාදා වාර්තා කළේ තරගය පැවැත්වෙන බව දැන්වූ සැණින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ටිකට්පත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි. දිල්ලියේ සිට කොළඹ දක්වා සාමාන්‍ය ගුවන් ටිකට්පතක මිල ඉන්දීය රුපියල් 30,000 ක් වුවද පසුගිය අඟහරුවාදා සවස වනවිට එය ඉන්දීය රුපියල් 120,000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව සඳහන් විය.චෙන්නායි සිට ඉන්දීය රුපියල් 16000 ක් වූ ටිකට්පතක මිල ඉ.රු. 54000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ශ්‍රී ලංකාවේ හෝටල් ගාස්තු ද හය ගුණයේ සිට දස ගුණය දක්වා ඉහළ ගොස් තිබූ බව කියවෙයි. එය ශ්‍රී ලංකාව පැත්තෙන් විශාල ආර්ථික වාසියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
ප්‍රතිඵලය
මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඉන්දියාවේ බල මහිමය අභියෝගයට ලක් කිරීමට පාකිස්ථානය සමත් වූ බව අවසාන වශයෙන් විග්‍රහ කළ හැකිය. බංග්ලාදේශයට එරෙහිව පියවරක් නොගන්නා තැනට අයි.සී.සී.ය තල්ලු කිරීමට මෙහිදී පාකිස්ථානය සමත් විය. එහෙත් අවසානයේ ජයගත්තේ මුදල්ය. ක්‍රීඩාවේ ජීව ගුණය, මිත්‍රත්වය, කළගුණ සැලකීම මේ මොනවා මතුපිටින් පෙනුණත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වටින්නේ මුදල් බව මේ අනුව තහවුරු වූ බව ලියා තැබිය හැක.
ඩී.ආර්.එස්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd