
මෙරට නීති හා දේශපාලන ක්ෂේත්‍රයන්හි නිරන්තරයෙන්ම විවාදාසම්පන්න වන නීති තත්ත්ව දෙකක් වන්නේ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත සහ හදිසි නීතිය යි. බලයේ සිටි සෑම ආණ්ඩුවක් විසින්ම මේ නීති විවිධ අරමුණු වෙනුවෙන් යොදා ගනු ලැබූ අතර විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය ඒවා අතර ප්‍රධාන විය. රටේ මේ වෙද්දී හදිසි නීතිය බලාත්මක වන අතර 2025 වසරේ නොවැම්බර් මස අග රටට ඇතුළු වූ දිට්වා සුළිකුණාටුවෙන් පසු උද්ගත වූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා වත්මන් ආණ්ඩුව හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. ඒ අල්ලපනල්ලේ මෙම මස මුල හදිසි නීතිය දීර්ඝ කර ගැනීම ද සිදු විය.
මහජන ආරක්ෂක පනත ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයාට බලය ඇති අතර එසේ පනවන නීති දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත යුතු ය. හදිසි නීති පනවනු ලැබ ඇති විටෙක රටේ සාමාන්‍ය නීතිය ඉක්මවා ගොස් කටයුතු කිරීමේ හැකියාව ලැබේ. රටේ ආරක්ෂාව පවත්වා ගෙන යෑම, අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම වැනි අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් හදිසි නීති පැනවිය හැකි වුව ද අතීත අත්දැකීම්වලින් අප අත්දුටු යථාර්ථය නම් ඒවායෙන් පරිබාහිර දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් මෙය සුලභව භාවිත කර ඇති බව ය.
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් මේ වෙන විට යම් සාකච්ඡාවක් නිර්මාණය වී ඇත. විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ එමගින් විපක්ෂ ක්‍රියාකාරකම් හා මූලික මිනිස් අයිතිවාසිකම් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව ය. මේ ඒ සම්බන්ධයෙන් කිහිප දෙනකු දැක් වූ අදහස් ය.

හදිසි අවස්ථා රෙගුලාසි පනවන ලද අවස්ථා කීපයක් තියෙනවා. ඒවායෙන් අවස්ථා බොහොමයක දී හදිසි නීතිය පනවලා තියෙන්නෙ දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමට හා විපක්ෂයේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට. ඒ විදියට පනවන ලද හදිසි නීතිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ජනමත විචාරණය පැවති අවධියේ දී පවරන ලද ජෝශප් ප්‍රනාන්දු එදිරිව නීතිපති නඩුවෙදි අධිකරණය තීරණය කරලා තියෙනවා. ඒ නිසා මොන හදිසි නීතිය ගෙනාවත් මූලික අයිතිවාසිකම් තියෙන්නෙ ඊට වඩා ඉහළින්. ත්‍රස්තවාදය පැවති කාලයේත් භීෂණය පැවති කාලයේත් හදිසි නීතිය පැනවූ බව අපට මතකයි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ හදිසි නීතිය පැනෙව්වෙ දිට්වා සුළිකුණාටුව නිසා හටගත් ස්වාභාවික ව්‍යවසනය නිසා. එවැනි කාලයක හදිසි නීතිය ගෙන ඒම සාධාරණයි. 1950 මහජන ආරක්ෂක පනත යටතේ අඛණ්ඩව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා ආපදා තත්ත්වය යථා තත්ත්වයට පත් වන තෙක් හදිසි නීතිය පැනවීම අත්‍යවශ්‍යයි.
රටේ දැන් ත්‍රස්තවාදයක් හෝ භීෂණයක් නැති නිසා සාමාන්‍ය නීතිය තමයි ක්‍රියාත්මක විය යුත්තෙ. ඒත් කවර හෝ පීඩාකාරී තත්ත්ව ඇති වෙනවා නම් 1979 අත්‍යවශ්‍ය සේවා පනත තියෙනවා. මේ නිසා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඒ පනත යොදා ගන්න පුළුවන්. ඒ පනත යොදා ගන්නවා වෙනුවට තවදුරටත් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු පියවරක් නෙවෙයි. ඒකට එක හේතුවක් තමයි තව දින කීපයකින් ආරම්භ වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පෙබරවාරි-මාර්තු සැසිවාරය. කවර අවශ්‍යතා වෙනුවෙන් ද හදිසි නීතිය පනවලා තියෙන්නෙ කියලා ඒ සැසියෙ දී අන්තර්ජාතික සංවිධාන ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට ඒවට උත්තර දෙන්නත් සිදු වේවි. ප්‍රජාත්නත්‍රවාදී රටකට මේ විදියට දිගටම හදිසි නීතිය පවත්වාගෙන යෑම සුදුසු වෙන්නෙ නෑ. එහෙම වුණොත් මානව හිමිකම් ප්‍රශ්න ජාත්‍යන්තරයෙන් එන්න පුළුවන්.
හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවිට ජනතාවගේ අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස මර්දනය වෙන බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා. 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත පවා පාවිච්චි කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණින්ම නෙවෙයි. විපක්ෂය වගේම තමන්ගෙ තරහ පාර්ශ්ව මර්දනය කරන්නත් ඒ පනත අතීතයේ දී යොදා ගත්තා. හදිසි නීතියත් ඒ දෘෂ්ටිකෝණයෙන්ම පාවිච්චි කරනවාද යන සැකය අපට මතු වෙනවා. හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්න අයට ඇප ලබා ගැනීම අපහසුයි. ඒ වගේම දිගු කාලයක් අත්අඩංගුවේ රඳවා ගන්න පුළුවන්. ලංකාවේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තියෙනවා. මාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කරන්න කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය කියනවා. වෛද්‍ය, ධීවර වැනි අංශවල වෘත්තීය ක්‍රියා මාර්ග දියත් වෙනවා. ඉදිරියේදී තවත් අංශ ඇතුළත්ව වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්ව යටතේ හදිසි නීතිය බලපැවැත්වීම සුදුසු නෑ. 1935 වෘත්තීය සමිති ආඥා පනතට අනුව ජනතාවට සාමකාමී උද්ඝෝෂණ කරන්නත් පුළුවන්. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පාලනයට හදිසි නීතිය යොදා නොගත යුතුයි. විපක්ෂය පැත්තෙනුත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරලා ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි.

දිට්වා සුළිකුණාටුව එන කොට රටේ තිබුණෙ හදිසි තත්ත්වයක්. මගේ අදහස තමයි ආණ්ඩුව ඒ අවස්ථාවෙ ප්‍රමාද වෙලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ. ඒ වගේ හදිසි අවස්ථාවකදී හමුදාව ස්ථානගත කරන්න ඕන. තවත් අත්‍යවශ්‍ය සේවා සපයන්න ඕන. ඒ නිසා ඒ ආපදාව වෙලාවෙ ආණ්ඩුව කලින් හදිසි නීතිය පැනවිය යුතුව තිබුණා. නමුත් ඒක කළේ නෑ. ආණ්ඩුව මෙහෙ හදිසි නීතිය දාන කොට දිට්වා සුළිකුණාටුව ඉන්දියාවටත් ගිහින් ඉවරයි. ඒකෙන් තේරෙන්නෙ අපට නිසි සූදානමක් තිබුණෙ නැති බව. දිට්වාවලින් පස්සෙ රටේ යටිතල පහසුකම් විනාශ වෙලා ඒවා නැවත ගොඩනැගිය යුතු පරිසරයක් නිර්මාණය වුණා. නමුත් හදිසි තත්ත්වය අවසන් වුණා. ඒත් ආණ්ඩුව හදිසි නීතිය පැනෙව්වා. රටේ හදිසි තත්ත්වයක් නැති වුණත් ආණ්ඩුව හදිසි නීතිය බලාත්මක කළා. ආණ්ඩුව දැන් හදිසි නීතිය පවත්වාගෙන යන්නෙ ආපදාවට මුහුණ දෙන්න නෙවෙයි. මේ වෙද්දි ජීවන වියදම වැඩිවෙලා තියෙනවා. ඒ ගැන මිනිස්සු ආණ්ඩුව විවේචනය කරනවා. දිට්වා සුළිකුණාටුව කළමනාකරණය කරපු විදිය ගැනත් මිනිස්සු ආණ්ඩුව විවේචනය කරනවා. මේ දේවල් එක්ක ජනතා උද්ඝෝෂණ ඇති වුණොත් ඒවා මර්දනය කරන්න තමයි මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ.
තවදුරටත් හදිසි නීතිය පවත්වාගෙන යෑමට ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අපි ඒකට විරුද්ධයි. 1980 ජූලි වැඩවර්ජනය කඩාකප්පල් කරන්න ජේ.ආර්. ජයවර්ධනත් හදිසි නීතිය පැනෙව්වා. මේ ආණ්ඩුව හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නෙ රට හෝ ජනතාව හෝ හදිසි තත්ත්වයක ඉන්න නිසා නෙවෙයි. ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට තමයි මේක දැම්මෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ රෝහල්වල බෙහෙත් නෑ කියලා ආණ්ඩුවට කියනකොට ආණ්ඩුව ඒකට ඇහුම්කන් දෙනවා වෙනුවට හදිසි අවස්ථා නීතිය පනවලා ඒ සංගමයෙ වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කරන්න උත්සාහ කරනවා. දිට්වා සුළිකුණාටුව අවස්ථාවේ හදිසි නීතිය පනවන කොට සමහර අය විරුද්ධ වුණා. නමුත් මම කිව්වෙ ආණ්ඩුව ඒ වෙන කොටත් හදිසි නීතිය පනවන්න පරක්කුයි කියලා. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉද්දි කියපු දේවල් සහ දැන් කරන දේවල් අතර විශාල පරස්පරයක් තියෙනවා. උදාහරණයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටිය දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට දැඩිව විරුද්ධ වුණා විතරක් නෙවෙයි කිසිම ආකාරයක ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය නැති බවත් කිව්වා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒටීඒ (Anti Terror Act) පනත ගේන කොට මෙයාලා ඒකටත් විරුද්ධ වුණා. ඒකට විරුද්ධව ගොනු කරපු නඩුවටත් ගියා. මෙහෙම හිටපු ජවිපෙ ආණ්ඩු බලයට ආවට පස්සෙ කටයුතු කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. ආණ්ඩුව මේ විදියට කටයුතු කරන කොට ජනතාව ප්‍රශ්න කරන්නෙ ආණ්ඩුව විතරක් නෙවෙයි සමස්ත වාමාංශික ව්‍යාපාරයම ප්‍රශ්න කරනවා. අනිත් වාමාංශික බලවේගත් බලයට ආවට පස්සෙ දක්ෂිණාංශික පක්ෂ වගේ වැඩ කරනවා කියලා ජනතාව කියනවා. මේ ආණ්ඩුවේ ඔක්කොම වැඩ සමාජවාදී චින්තනයට විරුද්ධයි.

දිට්වා සුළිකුණාටුව නිසා ඇති වූ ආපදාව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඒ කටයුතුවලට මැදිහත්වීමට තමයි හදිසි නීතිය පැනෙව්වෙ. ඒ අරමුණට පිටස්තර අරමුණු වෙනුවෙන් අපි හදිසි නීතිය පාවිච්චි කළේ නෑ. එහෙම පාවිච්චි කරලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අපි විපක්ෂයට අභියෝග කරනවා. මීට පෙර බලයේ සිටි ආණ්ඩු හදිසි අවස්ථා උපයෝගී කරගෙන තියෙන්නෙ අරමුණට පිටස්තර අරමුණු ඉෂ්ට කරගන්න. නමුත් අපේ ආණ්ඩුව එහෙම නෑ. හදිසි අවස්ථාව දීර්ඝ කර ගැනීම සඳහා තිබුණු පාර්ලිමේන්තු විවාදෙදිත් අපි මේ අභියෝගය කළා. නමුත් විපක්ෂයට උත්තර දෙන්න බැරි වුණා. ඒ නිසා බංකොළොත් විපක්ෂය කියන දේවල් අපි ගණන් ගන්නෙ නෑ. මේ හදිසි නීතිය පාවිච්චි කරන්නෙ ඒක පැනවීම සඳහා මුල් වූ අරමුණ සඳහා විතරයි. අනිත් සෑම අවස්ථාවකම රටේ සාමාන්‍ය නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ.
දිට්වා සුළිකුණාටුව අවසන් වුණාට පස්සෙත් හදිසි නීතිය පවත්වාගෙන යන්නෙ ඇයි ද කියලා විපක්ෂය අහන ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය තමයි ඒ ආපදාව නිසා විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීම, බිඳවැටුණු ව්‍යාපාර ගොඩනැංවීම, නායගිය තැන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට මැදිහත් වෙන්න සිදුවීම. ඒක තමයි හේතුව. හදිසි නීතිය පැනවීම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ලංකාණ්ඩුවට චෝදනා එල්ල විය හැකියි කියන කතාවෙ පදනමක් නෑ. හදිසි අවස්ථා නීතිය පාවිච්චි කරලා අපි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා නෑ. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ ආණ්ඩුවට සුභාශිංසන පළ කළ යුතුයි.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd