පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 12දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් 25 දෙනකු පසුගිය 11 දා නිදොස් කොට නිදහස් කළේය. 

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් දොළොස් දෙනා ඇතුළු විත්තිකරුවන් 16 දෙනකු වරදකරුවන් බවට තීරණය කළ අතර, සෙසු විත්තිකරුවන් සිවුදෙනාටම අවුරුදු පහකට අත්හිටවනු ලැබූ මාස හය බැගින් සිර දඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව මේ සිද්ධියෙන් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ වන මාලනී අතුකෝරළ මහත්මියට සහ අමරකීර්ති අතුකෝරළගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන් ජයන්ත ගුණවර්ධනගේ බිරිඳ වන අනූෂා ඉන්දිකා ගුණවර්ධන මහත්මියට රුපියල් පනස් දහස බැගින් වන්දි ගෙවීමට නියම කළ විනිසුරු මඬුල්ල, ඔවුන්ට වන්දි මුදල් නොගෙව්වහොත් අමතර වසර දෙක බැගින් ලිහිල් වැඩ ඇතිව සිරදඬුවම් නියම කෙළ්ය.

විත්තිකරුවන් සිවුදෙනාට රුපියල් දස දහස බැගින් දඩ ගෙවීමට ද නියම කළ විනිසුරු මඬුල්ල, දඩ මුදල් නොගෙව්වහොත් මාස තුන බැගින් ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කළේය.

වසර දෙකකට අධික කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා බෙදුණු තීන්දුවේ සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තිකරුවන් සියලු‍‍ම දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරුවරුන් වන රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දහසය දෙනකු වැරැදිකරුවන් බවට ද, තවත් විත්තිකරුවන් 25 දෙනකු නිවැරැදිකරුවන් බවට ද තීරණය කළහ.

විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නගා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් ඔවුන් සියලු‍‍ දෙනා නිදොස් කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල චෝදනාවලට වරදකරුවන් කළ විත්තිකරුවන් 16 දෙනා අතුරින් විත්තිකරුවන් හතර දෙනකු වරදකරුවන් කරනු ලැබුවේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමේ චෝදනාවට පමණි.

ඔවුන්ට එරෙහිව පවරා තිබූ සෙසු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කළ විනිසුරු මඬුල්ල එම සියලු‍‍ චෝදනාවලින් ඔවුන් සියලු‍‍ දෙනා නිදොස් කළේය.

මිනීමැරීම, දේපළ කොල්ලකෑම, මෝටර් රථයට අලාභහානි කිරීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කර මෙලෙස මරණ දණ්ඩනය නියම කරනු ලැබුවේ නඩුවේ පළමු විත්තිකරු වූ ධනුෂ්‍ය ලක්ෂාන්ත, හතර වැනි විත්තිකරු මොහොමඞ් ඩිල්ෂාන්, පස් වැනි විත්තිකරු සාගර ප්‍රනාන්දු, හය වැනි විත්තිකරු සුපුන් තරිඳු සුනිල් රත්න, හත්වැනි විත්තිකරු ඉන්දික කුමාර විජේසිංහ, 14 වැනි විත්තිකරු රාමයියා සත්‍ය කුමාර්, දහනව වැනි විත්තිකරු චාරුක දේශාන්, විසි එක් වැනි විත්තිකරු සනත් වීරප්‍රසන්න, විසි හය වැනි විත්තිකරු වූ යොහාන් මදුභාෂිත ජයවීර, විසි හත්වැනි විත්තිකරු වූ රංගන රුවන් නන්දසේන, තිස් පස්වැනි විත්තිකරු දිනුක ප්‍රභාත් ජයතිලක සහ හතළිස් වැනි විත්තිකරු ඉෂ්රක අශාන් පීරිස් නමැත්තන්ටය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු වී අත්හිටවූ සිරදඬුවම් නියම කෙරුණේ නඩුවේ දෙවැනි විත්තිකරු ඔෂාන් සර්වනා දිල්ෂාන්, විසි තුන්වැනි විත්තිකරු සමිත අනුරංග සූරසිංහ, තිස්වැනි විත්තිකරු චාමර ප්‍රසන්න හෙවත් සිංගා තිස්පස් වැනි විත්තිකරු දිනුක ප්‍රභාත් ජයතිලක නමැත්තන්ටය.

මරණීය දණ්ඩනය නියම කෙරුණු විත්තිකරුවන් දොළොස් දෙනා ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාර තුළදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් ගෙළ සිරකොට තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය මස 14 වැනිදා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ විත්තිකරුවන් 41 දෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්කි සහ කරුණු වෙන වෙනම සලකා බැලිය යුතු බවත්, ඒ සඳහා වීඩියෝ පට ද සලකා බැලිය යුතු බවත් පෙන්වා දෙමින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව සඳහන් කරමින් තීන්දුව දීම පෙබරවාරි 11 දා දක්වා කල් තබනු ලැබීය.

මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙලගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවීය.

මෙය සමාජයේ මහත් කැලඹීමක් ඇති කළ සිදුවීමක් නිසා නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරනු ලැබීය.

2022 මැයි 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේ දී නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන් (5565) ජයන්ත ගුණවර්ධන නමැති නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

අමරකීර්ති අතුකෝරළ සහ ජයන්ත ගුණවර්ධන යන අයට පහරදීම, ඔවුන් ඝාතනය කිරීම, ඔවුන් ගමන් ගත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරළට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ රජයට අයත් ඩබ්ලිව්.පී.කේ.ජේ. 2649 දරන රථය එම සිද්ධියේ දී ගිනි තබා විනාශකර රුපියල් මිලියන 45ක අලාභයක් කිරීම, ජීප් රථයේ අමතර රෝදය සහ පැති දොරක් සොරාගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ අතේ පැලඳ සිටි මුදු තුනක් සොරා ගැනීම, ඔහුගේ සාක්කුවේ තිබූ බිරිඳට අයත් ණය කාඞ් පතක් සොරා ගැනීම සහ ඉන් නීති විරෝධී අන්දමින් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා 14ක් මෙම නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබිණි.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන 350ක් සහ සාක්කිකරුවන් 163 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

විත්තිකරුවන් අතර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු, ත්‍රිරෝද රියැදුරන්, නිට්ටඹුව නගරයේ වෙ​ෙළඳ ව්‍යාපාරිකයන්, වෙළෙඳසල් සේවකයන් ද සිටින අතර, ඔවුහු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේ දී පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, ග්‍රාමසේවක නිලධාරීන්, වෛද්‍යවරුන්, ප්‍රභූවරුන් හා භික්ෂූන් වහන්සේලා ඇතුළු 80 දෙනකුගෙන් පමණ සාක්කි ලබා ගැනිණි.

නඩු විභාගයේදී සොකෝ නිලධාරීහු පරීක්ෂණ සාක්කි, විද්‍යාත්මක සාක්කි, සී.සී.ටී.වී. දර්ශන සාක්කි, මුහුණු හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සාක්කි මෙහෙයවූහ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, රිමාන්ඞ් බාරයට පත් කර ඇති විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

උදෑසන එකොළහයි විස්සට පමණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අධිකරණය අමතමින්, මෙම නඩුව පවත්වාගෙන යෑම සඳහා අධිකරණයට සහ නීතිපතිවරයාට විත්තියේ නීතිඥවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට මෙන්ම පොලිසියට ද විශේෂ ස්තූතියක් පුද කළේය.

වසර දෙකකට අධික කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක් බව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තමා තීන්දු කළ බවත්, එය සුළුතර තීන්දුව බවත් දැනුම් දුන්නේය.

සාමාජික විනිසුරුවරුන් දෙදෙනා බහුතර තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් අතරින් විත්තිකරුවන් 16 දෙනකුට එරෙහිව නගා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කර ඇතැයි පැවැසූ සභාපති විනිසුරුවරයා, එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා සාමාජික විනිසුරුවරුන්ට අවස්ථාව ලබා දුන්නේය.

ඒ අනුව අධිකරණය ඇමැතූ මහාධිකරණ විනිසුරු රසන්ත ගොඩවෙල මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගයේ දී ඉදිරිපත් කළ සාක්කි ලේඛන වීඩියෝ පට විශ්ලේෂණ සහතික, පර්‌යේෂණ යනාදී සියලු‍‍ කරුණු කෙරෙහි කීප අවස්ථාවක්ම සැලකිල්ලෙන් කියවා තේරුම් ගත් බවත්, මීට සිද්ධියට අදාළ වීඩියෝ පට අවස්ථා කීපයකදීම ඉතා විමසිලිමත් අන්දමින් පරිශීලනය කළ බවත් සඳහන් කළේය.

ඇත්තෙන්ම චෝදනාවේ සඳහන් කරන ආකාරයට නීති විරෝධී රැස්වීම පටන් ගත්තේ කුමන අවස්ථාවේ සිටදැයි තමන් ඉතා විමසිල්ලෙන් සෙවූ බවත්, නීති විරෝධී රැස්වීම පටන් ගත්තේ ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරයා සිය වාහනයෙන් බිමට බැස්ස අවස්ථාවේ සිට බවට නීතිපතිවරයා නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් කළත්, සියලු‍‍ කරුණු විශ්ලේෂණය කිරීමේ දී හෙළි වූයේ ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව භාරව කටයුතු කළ පොලිස් සැරයන්වරයා සිය පිස්තෝලයෙන් අහසට වෙඩි තැබූ අවස්ථාවේ සිට මෙම නීති විරෝධී රැස්වීම ආරම්භ වූ බව අනාවරණය වූයේ යැයි ද සඳහන් කළේය.

පොලිස් සැරයන්වරයා ඔහු අත තිබූ පිස්තෝලයෙන් අහසට වෙඩි තැබූ අවස්ථාවේ දී විත්තිකරුවන් ඇතුළු පිරිසක් කටයුතු කළ ආකාරය අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පසුපස හඹායන්නට පටන් ගැනීම ආරම්භ වූ බවත් සඳහන් කළ විනිසුරු මඬුල්ල, ඒ අවස්ථාවේ සිට පිරිසක් ගල් මුල් අතැතිව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් ඔවුන් පසුපස එළවීම ආරම්භ කළ බවත් තීන්දුවේ සඳහන් වී ඇතැයි පැවැසීය.
 
සිද්ධිය නැරඹීම සඳහා පමණක් එම ස්ථානයට පැමිණි අය සිටි බව ද සඳහන් කළ විනිසුරු මඬුල්ල, මෙම සිද්ධියේ දී තමන්ට අමාරු වූයේ නියම විත්තිකරුවන් කවුරුන් ද යන්න හඳුනා ගැනීම බවත් සඳහන් කළේය.
 
ඒ සඳහා ස්වාධීන සාක්කි මෙන්ම වෝහාරික මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය තමන් යොදා ගත් බවත්, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පිළිබඳව පැහැදිලි කරමින් සාක්කි දුන් සඳගිරි තමන් වෝහාරික මුහුණු හඳුනාගැනීමේ විද්‍යාව පිළිබඳ විශේෂඥයකු බව අධිකරණය පිළිගන්නා බව ද විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
 
විත්තිකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා සඳගිරි යොදාගත් තාක්ෂණය නිවැරැදි නොවන බවට විත්ති පාර්ශ්වයෙන් මතු කළ තර්ක මෙන්ම, නඩු භාණ්ඩ දාමය පිළිබඳ මතු කළ තර්ක ද ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරු මඬුල්ල, වීඩියෝ පටවල සිටි පමණින් පුද්ගලයන් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර නොමැති බවත්, සිද්ධිය කුමක් ද යන්න දැකබලා ගැනීම සඳහා පැමිණි පිරිස් ද මෙම වීඩියෝවල සිටි බවත් සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවාසීන් සාමාන්‍යයෙන් යම් සිද්ධියක් වී අවසන් වන තුරු බලා සිටීම සාමාන්‍ය තත්ත්වය බව සඳහන් කළ විනිසුරු මඬුල්ල, සිද්ධිය බලා සිටි විත්තිකරුවන් මෙම චෝදනාවලට වරදකරුවන් බවට තමන් නිගමනය කර නොමැති බව ද සඳහන් කළේය.
 
සඳගිරි විශේෂඥ දැනුම ඇති පුද්ගලයකු බව තමන් පිළිගන්නා බවත්, මෙම නඩුවේ සාක්කිදීමට ඔහුට අවශ්‍ය කරන සුදුසුකම්වලටත් වඩා සුදුසුකම් ඇති බවටත් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල, සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න විශේෂඥ විමර්ශකයකු වශයෙන් තමන් පිළිගන්නා බව ද සඳහන් කළේය.
 
විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නීතිපතිවරයාගේ ගෞරවය පුද කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, අරගලය කියන සංසිද්ධියත් සමග ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය හා ආර්ථිකය වෙනස්වීමට පටන් ගත්තේ යම් සේද නීතිමය සංකල්ප සාකච්ඡා කරමින් පවත්වාගෙන ගිය මෙම නඩුවේදී තාක්ෂණික කරුණු විද්‍යාත්මක සාක්‍ය වශයෙන් පිළිගැනීමට ලක් වූ එක් සන්ධිස්ථානයක් බව පෙන්වා දුන්නේය.
 
 
නීතියේ ආධිපත්‍යයේ නැති වූ විට මිනිහා ඇතුළේ සිටින සතා එළියට පැමිණෙන බවත්, එයට හොඳම උදාහරණය 2022 මැයි 22 වැනි දා නිට්ටඹුවේදී ඇතිවූ මෙම සිද්ධිය බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, අද මෙම උසාවියේ දහයටවත් ගණින්න බැරි ආකාරයෙන් සිටින විත්තිකරුවන් එදා හැසිරුණු ආකාරය වීඩියෝ පටවලින් මැනවින් දුටු බව ද පෙන්වා දුන්නේය.
යම් සිද්ධියක දී චණ්ඩින් මෙන් එක් රැස්ව කටයුතු කළත් ප්‍රශ්නයක් පැමිණි විට එයට තමන් තනිව මුහුණ දිය යුතු බව සමාජයට පෙන්වා දීමට මෙම නඩුව කදිම උදාහරණයක් යැයි පෙන්වා දුන් ජනක බණ්ඩාර, අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා වෝහාරික මුහුණු විශ්ලේෂණ විද්‍යාව අධිකරණයක් හමුවට ගෙනා මුල්ම අවස්ථාව මෙය බව ද එම විද්‍යාත්මක සාක්කි පිළිගැනීම පිළිබඳව සිය ස්තූතිය පුද කළේය.
 
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි නීතිඥවරුන් වන මහේෂ් කුමාර ශානිකා ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු කරුණු දක්වමින් දරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල සාමාජිකයන් වන තම සේවාදායකයන්ට යළි සමාජගත විය හැකි ආකාරයේ ලිහිල් දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා සිටියහ.
 
මරණීය දණ්ඩනයට ලක්වූ විත්තිකරුවන් දොළොස් දෙනා වෙන වෙනම අධිකරණය අමතමින්, තමන් මෙම අපරාධයට සම්බන්ධයක් නොමැති බවත්, තමන් නිර්දෝෂී පුද්ගලයන් බවත් පැවැසූහ.
තමන් වයෝවෘද්ධ මවුපියන් මෙන්ම කුඩා දරුවන් ද රැකබලා ගෙන පවුල් නඩත්තු කරන පුද්ගලයන් බව පැවැසූ විත්තිකරුවෝ, තමන්ට මරණ දඬුවම නියම නොකර ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
 
සියලු‍‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දහවල් දොළහයි හතළිහට අධිකරණය තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අධිකරණ ශාලාවෙන් පිටව ගියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් ‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනී සිටියේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී තෙන්නකෝන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර පැමිණිල්ලට සහාය වූහ. 

‘9’ නපුරු බවට මතයකි. ඇත්තෙන්ම 2022 මැයි 9 වැනිදා නපුරු පමණක් නොව ම්ලේච්ඡත්වය වැපුරූ දිනයක් විය.

2022 මැයි 9 දිනය ආරම්භ වූයේම ගාලු මුවදොර අරගල බිමට බීගත් ත්‍රාඩ කල්ලියක් විසින් අශිෂ්ට ප්‍රහාරයක් එල්ල කරමිනි. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල, පිටිකිරි පෝලිම්වල දිවා රෑ වෙනසකින් තොරව සංවිධානිතව නිරා දුක් විඳි සකල ජනයා වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන් යුත් ළමා  තුරුණු වැඩිහිටි පිරිස් අරගල බිම අරා රොඳ බැඳ සිටියහ. එහි නොසිටි ජනී ජනයාගේ ද බහුතරයේ ආශීර්වාදය ද අරගල බිමට ලැබී තිබිණි.

ඒ ජනයාගේ හද ගැස්ම හඳුනා නොගත් ත්‍රාඩ කල්ලිය, පොලිසිය බලා සිටියදීම තම අශිෂ්ටත්වය පළ කළහ. නිරායුධ ජනයාට එම ත්‍රාඩ කල්ලිය පහර පිට පහර දුන්හ.

ජනමාධ්‍ය, සමාජමාධ්‍ය ජාලා හරහා මෙම මුග්ධ ක්‍රියාව පිළිබඳව ආරංචිය රට පුරාම පැතිරී ගියේය. යුක්තිය ඉල්ලා සිටි ජනීජනයා තිගැස්සී ගියහ. ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවන්නේ දැයි නොදැන දෙගිඩියාවට ලක් වූහ.

රටම යුද පිටියක් වීමේ නිමේෂයෙන් එළැඹුණි. එය කිසි ලෙසකින් හෝ අහඹුවක් නොවේ. අරගල බිමට පහරදීම කලින් සකස් කළ පිටපතකට අනුව සිදු වූවා මෙන්ම රටම යුද පිටියක් වීමද සංවිධානාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විය.

අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට රට වටෙන්ම පැමිණ සිටි පිරිසෙන් කොටසක් අරගල බිමට පහර දීමට එක්ව සිටි හෙයින් ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. ඇතැමුන්ට බේරේ වැවේ ජලයේ රස විඳීමට සිදුවිය. නැවත ගම්බිම් බලා යමින් සිටි පිරිස් ද ප්‍රහාරයට ලක් වූහ. ඔවුන් පැමිණි බස් මහමග ගිනිගෙන දැවෙන්නට විය. සැබැවින්ම එළැඹ තිබුණේ ඝාතනයේ හෝරාවය.

‘ප්‍රතිචාරය’ නිශ්චිත මග පෙන්වීමකින් තොරව ඉබාගාතේ ගලා ගියේය. ආණ්ඩුවට සම්බන්ධ යැයි පෑහෙන දැනෙන ඕනෑම දෙයක් සුනු විසුනු කර දමන තරමට ආවේගය බලවත් විය. ඔවුන් මෙල්ල කළ හැකි කිසිවකු ඒ මොහොතේ නොවීය.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ නියෝජනය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. එනම් පොහොට්ටුවයි. අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගී වී ඔහු නැවත පොළොන්නරුව බලා යමින් සිටියේය. ඔහු සමග සිටියේ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන සහ රියදුරා පමණි. වාහනයේ ඉදිරිපස වීදුරුවේ රාජ්‍ය ලාංඡනය අලවා තිබිණි.

මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට නිට්ටඹුව නගරය පසුකර යාමට අවසරයක් නොවීය. පොලු මුගුරු අතින් ගත් කැරැලිකරුවන්ගේ ග්‍රහණයට එම රථය හසුවිය. මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා සිය ගිනි අවියෙන් උණ්ඩ කිහිපයක් මුදා හැරිය ද කැරලිකරුවන් මෙල්ල කිරීමට එය ප්‍රමාණවත් නොවීය. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි අන් යමක් නොවුණු තැන මන්ත්‍රීවරයා වාහනයෙන් බැස ආරක්ෂිත ස්ථානයක් සොයා දිව ගියේය. මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා ද ඔහු පසුපසින් විය. මහ මාර්ගය අයිනේ වූ පෞද්ගලික ආයතනයක උඩු මහලට දිවගිය මන්ත්‍රීවරයා හා ආරක්ෂකයා දිවි බේරාගැනීමට අවසන් උත්සාහය දැරූහ. එහෙත් ඝාතනයේ හෝරාවේ සියල්ල සිදුවෙමින් පැවැතියේ ඝාතනට ඇවැසි පරිදිය. කැරැලිකරුවන්ගේ ග්‍රහණයට හසු වූ මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා ලේවලින් පෙඟී යනතුරුම ප්‍රහාරයට ලක් වූහ. අවසන මන්ත්‍රීවරයාගේ ලේ ගලන නිසල සිරුර උඩුමලේ සිට පහත මාලය දක්වා කැරලිකරුවෝ ඇදගෙන ආහ.

එතැන් සිට මේ දක්වා සිදුවීම් ඔබ දනී. එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ තීන්දුව ඉකුත් 11 වැනිදා ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ප්‍රකාශයට පත්විය. ඒ අනුව විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම විය. විත්තිකරුවන් සිවු දෙනෙකුට අත්හිට වූ සිරදඬුවම් නියම විය. විත්තිකරුවන් 25 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

‘‘ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය මනින්න එපා’’ යැයි එකල පැවසුවේ අද ප්‍රබල අමාත්‍යවරයෙකි.

එහෙත් ඔබට කීමට අපට කතාවක් තිබේ. මරණ දඬුවම නියම කිරීමට පෙර  ගරු අධිකරණයේ දී විත්තිකරුවන් කළ ප්‍රකාශ කිහිපයක් අපි කියවමු.

මේ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ධනුෂ්ක ලක්ෂාන් විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයයි මේ.

‘‘මම ත්‍රීරෝද රථ රියැදුරෙක්. මට දරුවන් හතර දෙනෙකු ඉන්නවා. මගේ ලොකු දුවට වයස 24යි.

දෙවැනි දුවට  වයස 21යි. පොඩි දුවට අවුරුදු 2යි. මේ දේ සිද්ධ වුණේ මගේ ගෙදර ඉදිරිපිටදීයි. මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ. ස්වාමිනි,  නිට්ටඹුව පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සෙ තමයි දන්නේ මේ සිද්ධියටයි ගත්තේ කියලා. නිට්ටඹුව නගරයේ මම වසර 29ක් ත්‍රීවිල් රස්සාව කරනවා. මම තාමත් කුලියට ඉන්නේ. මගේ දරුවන් පිළිබඳ සලකා බලා ලිහිල් දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.’’

මෙම නඩුවේ 35 වැනි විත්තිකරු දිලුක ප්‍රභාත් ජයතිලකගේ ප්‍රකාශය මෙසේය.

‘‘මම මේ චෝදනාවලට නිවැරැදිකරු.  එම මන්ත්‍රීවරයා හෝ පොලිස් නිලධාරියා මම දන්නේ නෑ. මමඑම ස්ථානයට ගියෙත් නෑ. අපි කුළි නිවසක තමයි ඉන්නේ. මම ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරනවා. ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලනවා.’’

නඩුවේ 27 වැනි විත්තිකරු වන රංගන රුවන් නන්දසේන මෙසේ ප්‍රකාශ කළේය.

‘‘මේ නඩුවේ සියලු චෝදනාවලට මම නිවැරැදිකරුවෙක්. මන්ත්‍රීවරයාත් පොලිස් නිලධාරියවත් මම දන්නේ නෑ. මගේ අම්මා තාත්තා වයසයි. මගේ පුතාට පසුගිය මාසයේ ශල්‍යකර්මයක් කළා. තවත් ශල්‍යකර්ම කරන්න තියෙනවා. මම ත්‍රීවිල් රියැදුරෙක්. මරණ දඬුවම දෙන්නේ නැතිව ලිහිල් සිර දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම සෑම ප්‍රකාශයකින්ම ප්‍රකාශයට පත්වන්නේ ආත්මීය වේදනාවය. ඒ සම්බන්ධයෙන් කම්පනයක් ඇතිවීම ස්වාභාවිකය.

2022 යනු මේ රට දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වූ වසරකි. එකී පීඩනය තරාතිරම් භේදයකින් තොරව සත්‍යයේ සියලු දෙනාටම දැනුණි. එය හිතට මහත් වූ වේදනාවකි. එම වේදනාව විනෝදයක් කරගත් පිරිසක් ද වූහ. විනාශයම විනෝදයක් කර ගැනීම තරම් ඛේදවාචකයක් තවත් නැත. අමරකීර්ති අතුකෝරාළ ඝාතනය යනු විනාශය විනෝදයක් කර ගැනීමේ තාර්කික අන්තය වේ.
ඕනෑම සිදුවීමක් තමන්ගේ දේශපාලන ගිණුමට බාරකර ගැනීමට උත්සහ දරන නීච දේශපාලනයක් අප රට තුළ වේ. 2022 අර්බුද​යේ දී ද එය සිදුවිය. ඔවුහු පෙහෙඹින් හා නොපෙනෙමින් ජනතාව උසි ගැන් වූහ. ඒ සඳහා ඇවැසි තරම් මුදල් ද ලැබිණි. ජනතාව ආවේගයට අත් කරනු ලැබුවේ එම මුදල්වලිනි. නිරායුධ සාමාන්‍ය ජනයා එහි පහසු ගොදුරු බවට පත් වූහ.

‘‘දැක්මක් නැති සංවිධානයක් අන්ධයි. සංවිධානයක් නැති දැක්මක් වඳයි’’ යනුවෙන් ප්‍රබල කියමනකි. සැබැවින්ම අරගලය නමින් සිද්ධ වූයේ එම කියමන ප්‍රා​යෝගිකව ඔප්පු කිරීමකි.

මෙම සමාජයට කැරැලි  ආගන්තුක නැත. 1971 දීත් 1987 ඇරඹී 1989 දක්වාත් පැතිර ගිය කැරැලි දෙකක බර මෙම සමාජය උසුලා සිටි පරාජයෙන් කෙළවර වූ එම කැරැලිවලින් ඉගෙන ගත යුතු පාඩම ඉගෙන ගත්තේ නම් මෙබඳු විනාශයන් වළක්වා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් නොදන්නාකම විනාශයන් වළක්වන්නේ නැති බව ඉතිහාසයෙන් අප ​ඉගෙන ගත යුතු ​ හොඳම පාඩම වේ. දැන් වේදනාව මරණීය දණ්ඩනය නියමවූවන්ටය. ඔවුන්ගේ පවුල්වල සමීපතයන්ටය. නිවසේ සිටි එකම උපයන්නා එම නිවසට අහිමි වූ පසු ඒ මුළු පවුලම විනාශ වී යා හැකිය. දරුවන් අනාථවනු ඇත. ඒ ඛේදවාචකයට නිමාවක් නැත.

ඒ දරු පවුල්වල දුක සැප විමසන්නට කිසිවකු නොවනු ඇත. අරගලයට පාවාඩ එලූ පිරිස් ‘අප ඕවට සම්බන්ධ නැතැ’ යි කියනු ඇත. අරගලයේ පිහිටෙන් අලුත් ජීවිත තනාගත්තවුන් මුනිවත රකිමින් අහක බලනු නියතය.

මේවා පාඩම්ය. මහ පොළොව උඩ මෙසේ අසරණවීම ඒ අසරණ වූවන්ට දරාගැනීම පහසු නැත. එහෙත් ඒ කිසිවකට පිළිතුරු නැත. යමක් කිරීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස්වාරයක් කල්පනා කළ යුතු වන්නේ එහෙයිනි. අතරමග නතරවන සටන්වල ඵල නෙළා ගනු ලබන්නේ වෙනත් පිරිස්ය.

කම්පාව ඒ සම්බන්ධයෙනි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්