
නීතිපතිවරයා යනු කවුදැයි නීතිපතිගේ කාර්යභාරය අනුව කෙටියෙන් හඳුන්වා දෙන්න පුළුවන් ද?
නීතිපතිතුමා යනුවෙන් අදහස් කරන්නේ රජය වෙනුවෙන් නඩු මෙහෙයවන ප්‍රධාන නිලධාරියා ලෙස හඳුන්වන්න පුළුවන්. එහි දී රජය යනු බලයේ සිටින ආණ්ඩුව නොව රාජ්‍යය වේ. එනම් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, රාජ්‍ය නිලධාරින් සහ මහජනතාව ඇතුළත් වේ. ඔවුන් වෙනුවෙන් නඩු මෙහෙයවීම නීතිපතිතුමා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පැවරී තිබෙන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක්.
මහජනයා වෙනුවෙන් නඩු මෙහෙයවනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
එනම් අපි හිතමු නෑදෑයෝ, අඹුදරුවෝ කිසි කෙනෙක් නැති එහෙම නැතිනම් කාත් කවුරුත් නැති පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඔහුව කිසියම් පිරිසක් විසින් හෝ අයෙකු විසින් ඝාතනය කරනු ලැබූ අවස්ථාවක එකී පුද්ගලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ රජය නැත්නම් රජය වෙනුවෙන් නීතිපති හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධාරින් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරෙනවා. රජය වෙනුවෙන් එම පුද්ගලයාගේ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම නැති නම් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධ නඩුව මෙහෙයවන්නේ නීතිපති හෝ නීතිපතිතුමාගේ බලයලත් නිලධාරියෙක්.
ජනාධිපතිවරයා, මැති, ඇමතිවරු හෝ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක් ද?
ඇත්තෙන්ම ඇමතිවරයකුට ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව නඩුවක් ඉදිරිපත් වන විට දී එම නිලධාරියා, ඇමතිවරයා, ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ නීතිපතිතුමා හෝ එතුමාගේ බලයලත් නීතිපති දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙක්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393(3) වගන්තිය අනුව රාජ්‍ය නිලධාරීන්ට නීතිපතිගේ උපදෙස් ලබා දිය හැකියි.
පවත්නා රජය හෝ ජනාධිපතිවරයාට නීතිපතිවරයාව මෙහෙයවීමට හැකියාවක් තියෙනව ද?
නීතිපතිවරයා ජනාධිපතිවරයා හෝ ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට මෙහෙයවන්න බැහැ. නමුත් ජනාධිපතිවරයාට අගමැතිවරයාට හෝ අමාත්‍යවරයෙකුට නැත්නම් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නෛතික දැනුම ලබාගැනීමට නීතිපතිවරයා විමසා උපදෙස් ලබාගත හැකිය. අපරාධ නඩු විධාන සංග්‍රහය 393(3) වගන්තිය අනුව එවැනි අවස්ථාවක දී නඩුවට අදාළ ලේඛන රැගෙන එන්නට නියම කිරීමට සහ අදාළ නිලධාරියා සාකච්ඡාවකට කැඳවීමට නීතිපතිවරයාට බලය පැවරෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය යම් විශේෂඥ සාක්ෂියක් තියෙනවා නම් ඒක කැඳවන්නත් නීතිපතිවරයාට බලය තියෙනවා.
කිසියම් විනිශ්චකාරවරයකු සමග ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ ඇමතිවරුන්ට හෝ කතා කරන්න බැහැ. නමුත් නීතිපතිවරයා සමග කතා කිරීමට ඔවුන්ට නෛතික බාධාවක් නැද්ද?
නැහැ. නීතිපතිවරයා විමසා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ හැකි රජයේ ප්‍රධාන නීති උපදේශක ලෙසත් නීතිපතිවරයා හඳුන්වා දෙන්න පුළුවන්. රාජ්‍ය කටයුතු ගැටලුවකින් තොරව කරගෙන යාමට නීති උපදෙස් රජයට අවශ්‍යයි. එවිට එම නීති උපදෙස් ලබාදෙන්නේ නීතිපතිතුමන් විසින්.
නීතිපතිවරයා පත් කරන්නේ කෙසේද? ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුවද?
ඔව්, ජනාධිපතිතුමා විසින් නීතිපතිවරයාව පත්කිරීම තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් ක්‍රමවේදය වුණේ. නමුත් 2015 ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය හඳුන්වා දුන්නට පස්සේ පාර්ලිමේන්තුවෙ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබූ පසුව ජනාධිපතිතුමා විසින් නීතිපතිතුමන් පත් කිරීම සිදු කරනු ලබනවා. ජනාධිපතිතුමාගේ තනි කැමැත්තට මේ නිසා නීතිපතිවරයා පත් කිරීමට නොහැකියි.
ඇතැම් විට සමාජ මාධ්‍යය මගින් අසන්නට ලැබෙනවා නීතිපතිවරයා ඉවත් කළ යුතු බව. එසේ නීතිපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිතුමාට හැකි ද?
කොහෙත්ම නීතිපති ඉවත්කිරීමට ජනාධිපතිවරයාට බෑ. දාහත (17) සහ දහනවය (19) කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනවලින් පසුව අගවිනිසුරුතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා සහ එහි සෙසු විනිසුරුතුමන්ලා සහ නීතිපති තුමා ඉවත් කිරීම සෘජුව සිදුකළ නොහැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එය ඉතා සංකීර්ණයි. එනම් යම් වරදක් තිබෙනවා නම් අදාළ නිලධාරීවරයාට විරුද්ධව පරීක්ෂණයක් සිදුකර බලා දෝෂාභියෝගයක් ගේන්න ඕනෑ.
අපේ රටේම විවිධ චෝදනා නගා ඉවත් කරන ලද නීතිපතිවරයෙකු මීට පෙර ඉඳලා තිබෙනවා ද?
නැහැ. ලංකාවේ නීතිපති තනතුර ඇතිකරන්නේ ඉංග්‍රීසින් මුහුදුබඩ පළාත්වල පාලනය ලබාගත් මුල් අවධියේ. එනම් 1801 පෙබරවාරි 19 වැනි දා මුල්ම නීතිපතිතුමා තමයි ජේම්ස් ඩන්කින් මැතිතුමා. එදා ඉඳලා මේ දක්වා නීතිපතිතුමන්ලා හතළිස් නවයක් සේවය කර තිබෙනවා. දැන් ඉන්නේ 49වෙනි නීතිපතිතුමා. ඒ කිසිවකුත් දෝෂාභියෝග මගින් ඉවත් කර නැහැ.
එතකොට ඔබ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු සම්බන්ධව කිසිම ප්‍රමාදයක් නොවන බවද? ප්‍රායෝගිකව එසේ නඩු ප්‍රමාද වන බවක් පේන්නේ නැද්ද?
නැහැ, ප්‍රායෝගිකව ගත්තොතින් සාමාන්‍යයෙන් ලංකාවේ නඩු ලක්ෂ පහළොවක් පමණ තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මහාධිකරණවල අධිචෝදනා ඉදිරිපත් කරන නඩු සහ මහේස්ත්‍රාත් අධිකරණවල මූලික පරීක්ෂණ පවත්වන නඩු සම්බන්ධයෙන් පමණයි. එම ප්‍රමාණය වුණත් ඉතා විශාලයි. පවත්නා නිලධාරී හිඟය නිසා යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙනවා. මට මතක හැටියට 2013 හෝ 2014 වර්ෂයේ රජයේ නීතිඥයන් සියයක් බඳවාගන්න අවශ්‍ය මූලික කටයුතු කළා. ඉන්පසුව බඳවා ගත්තා. සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට තවත් 200ක් වත් රජයේ නීතිඥයන් ලෙස බඳවා ගත්තොත් හොඳයි. ප්‍රමාදය වළක්වන්න එයින් යම්තාක් දුරට හැකි වේවි.
රටේ විශාල අපරාධ රැල්ලක් පවතිනවා. ඒ අපරාධ මර්දනය කිරීමට නීතිපතිතුමන් සතු බලතල ක්‍රියාත්මක කරන්නෙ මොන වගේ ආකාරයකට ද?
ඇත්ත කියනවා නම් මිනීමැරීමක් වැනි අපරාධයක් හෝ අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනය එන වරදක් සම්බන්ධව සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393(7) වගන්තිය යටතේ මූලික පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ මහේස්ත්‍රාත්තුමාට නියෝග නිකුත් කරන්නේ නීතිපතිතුමා. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහය 395 වගන්තිය අනුව එවැනි පරීක්ෂණයක සහතික පිටපතක් නීතිපති වෙත එවනු ලැබූ පසුව එහි මුල් නඩු ගොනුව කැඳවීමට නීතිපතිවරයාට බලය හිමිවේ. එවැනි පරීක්ෂණයක දී චූදිතයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයාට පෙනී යන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වගන්තිය යටතේ චූදිතයා නිදහස් කිරීමේ බලය නීතිපතිවරයාට හිමිවන තිබෙනවා. එවැනි නඩුවක සාක්ෂි ඉදිරිපත් වීම ප්‍රමාණවත් නොවන බව නීතිපතිවරයාට පෙනී යන්නේ නම් තවදුරටත් සාක්ෂි කැඳවන ලෙස මහේස්ත්‍රාත්තුමාට නියෝග කිරීමට නීතිපතිවරයාට බලය තියෙනවා. එවැනි නඩුවක දී 153 වගන්තිය අනුව යම් චූදිතයකු මහේස්ත්‍රාත්තුමා විසින් නිදහස් කර තිබෙනවා නම් එම නඩුව ඉහළ අධිකරණයට තබන ලෙස සහ ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ හැකියි. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393(5) වගන්තියට අනුව මූලික විමර්ශනයක් පැවැත්විය යුතු යැයි නියම කර ඇති වරදක් සම්බන්ධව නඩු පැවරීමට නීතිපතිගේ අනුමැතිය අවශ්‍යයි. එසේම නීතිපතිවරයා වාර්තාවක් ඉල්ලා ඇති වැරදි, නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍යයයි පොලිස් අධිකාරිවරයා සලකන වැරදි, වාර්තාවක් එවන ලෙස මහේස්ත්‍රවරයා විසින් විධානය කර ඇති වැරදි සම්බන්ධව කොට්ඨාස භාර පොලිස් අධිකාරී හෝ සහකාර පොලිස් අධිකාරිය විසින් නීතිපතිවරයාට වාර්තා කර නීතිපතිවරයාගේ තීරණය ලබාගත යුතුයි. එසේම යම් නඩුවක සාක්ෂි ප්‍රමාණවත් නොවන විට යම් වරදකට හවුල් අයෙකුට සමාව දී රජයේ සාක්ෂිකාරයකු කරගැනීමට අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 256 වගන්තිය අනුව නීතිපතිවරයාට හැකියි. එසේම ත්‍රී පුද්ගල මහාධිකරණයක් ඉදිරියේ නඩුවක් විභාග කරන ලෙස අගවිනිසුරුතුමන්ගෙන් ඉල්ලීමක් කිරීමට නීතිපතිවරයාට බලය තිබෙනවා. එවැනි ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුට ඇප ලබා දීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය අනුව නීතිපතිගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. එවැනි බලතල රැසක් නීතිපතිවරයාට ලබා දී ඇත්තේ අපරාධ මර්දනය සඳහා සුවිශාල දායකත්වයක් නීතිපතිවරයා ලබාදෙන නිසයි.
නීතිපතිවරයාට විශාල බලතල ප්‍රමාණයක් ගැබ්ව තිබෙනවා. ඒවා යම් ආකාරයකට අත්තනෝමතිකව හා වැරදි ලෙස යොදා ගතහොත් ඒ පිළිබඳ කටයුතු කළ හැක්කේ කෙසේ ද?
ඔව් ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. උදාහරණයක් වශයෙන් නීතිපතිතුමාගේ තීන්දුවක් සම්බන්ධව අතෘප්තියට පත් පාර්ශ්වයකට අභියාචනා අධිකරණයට ගොස් ආඥාවක් ලබාගැනීමට හැකියාව පවතිනවා. නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට හැකියාව තිබෙනවා . එවිට එම පෙත්සම් විභාග කර නීතිපතිවරයාගේ ක්‍රියාව විමර්ශනය කර අවශ්‍ය නම් එය නිෂ්ප්‍රභ කරනු ඇත.
නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය කිරීම හා සමාජ මාධ්‍යයෙන් නීතිපතිවරයා විවේචනය කිරීම ඔබ දකින්නේ කවර ආකාරයට ද?
ඇත්තෙන්ම නීතියෙ ආධිපත්‍යය රැකීමට නම් අධිකරණ විනිසුරුතුමන්ලාට නීතිපතිතුමන්ට සහ නීතිඥයන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරයක් බිහි කිරීම රජයේ පරම යුතුකමකි. නීතිපතිවරයා රජය නියෝජනය කරන ප්‍රධාන නීති නිලධාරීයායි. අධිකරණ විනිසුරුතුමන්ලාට ද යුක්තිය පසිඳලීමට සහ පෞද්ගලික නීතිඥවරුන්ට ඒ සඳහා අධිකරණයට සහායවීම සඳහා ද අවස්ථාව තිබිය යුතුයි. පෞද්ගලික නීතිඥයෙකු වුවත් මුදලට පෙනී සිටිය ද ඔහු අධිකරණයට සත්‍ය සොයාගැනීම සඳහා සහාය වන අධිකරණ නිලධාරියෙක්. එබැවින් මේ සියලු දෙනා සාමාන්‍ය ජනතාවගේ උසිගැන්වීම්වලට විරෝධයට හා විවේචනයට ලක්වීම වැළැක්වීම රජයේ වගකීමයි. එවැනි විරෝධතාකරුවන් පොලිසිය යොදවා විසුරුවා හැරීම රජයෙ සහ පොලිසියෙ යුතුකමයි. සමාජ මාධ්‍ය මගින් මෙම අධිකරණ හෝ අර්ධ අධිකරණ බලය ඇති නිලධාරීන්ට අපහාස වන ආකාරයට කටයුතු කරන අය නීතිය ඉදිරියට ගෙනවිත් කටයුතු කිරීම පොලිසියෙ හා රජයේ වගකීමයි. එසේ නොමැතිව රජය ඒ සියල්ල වන්නට ඉඩ දී බලා සිටී නම් ප්‍රතිඵලය භයානක වනු ඇත. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙනු ඇත.
රජය සහ මහජනතාවගේ අභිලාෂය සහ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය අතර යම් ගැටලුවක් පවතිනවා කියලා අදහසක් පළවෙලා තියෙනවා නේද?
රජය නැතහොත් දේශපාලනඥයන්ට යුක්තිය පසිඳලන්නට ඉඩ සලසා නැත්තේම ඔවුන් යුක්තිය පසිඳලන්නට ගියහොත් අවැඩක් වන නිසයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ අනුගාමික ජනතාවගේ අභිලාෂය සමාන විය හැකියි. නමුත් නීතිය හා යුක්තිය පසිඳලීම නිතරම නීතියට හා සාධාරණත්වයට එකඟව සිදුවිය යුතුයි. යුක්තිය පසිඳලීම නීතිය හා සාධාරණත්වයට මිස පුද්ගල කණ්ඩායමක හෝ බලවත් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත සිදු නොවිය යුතුයි. එසේ වීමෙන් බලය අනිසි ලෙස ක්‍රියාත්මක වී තවත් පිරිසකට විශාල අසාධාරණයක් සිදුවේ. මේ අනුව නීතිය ක්‍රියාත්මක වීම යුක්ති සහගතව සහ සාධාරණවීමටත් යුක්තිය පසිඳලීම නීතියට හා සාධාරණත්වයන්ට අනුව සිදු කිරීමටත් රජය හා සියලු පුරවැසියන් වග බලා ගත යුතුයි.
රජය නීතිය තමන්ගේ පැත්තට හරවා ගන්න උත්සාහයක් ගෙන තිබෙන බවට චෝදනාවක් තිබෙනවා ඒ ගැන මොකද කියන්නේ?
අපේ වගේ සංවර්ධනය වන තුන්වන ලෝකයේ රටවල පාලකයෝ හැමවිටම උත්සාහ කරන්නේ නීතිය ක්‍රියාත්මකව වෙන්න ඕනැ පාලකයන්ගේ අවශ්‍යතාවයට කියලා හිතල වැඩ කරන එක. එහෙම හිතන නිසා පාලකයන්ගේ වාසියට තීන්දු තීරණ ලබා නොදෙන අධිකරණ සහ අර්ධ අධිකරණ බලය සහිත නිලධාරීන්ට පාලකයන්ගේ හෙන්චයියලා ලවා විරෝධතා දක්වනවා සමාජ මාධ්‍ය යොදාගෙන බොරු චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා.
රජය මේවා නොදැක්කා වගේ ඉන්නවා. ඊළඟට ඔවුන්ට ස්ථාන මාරු ලබා දිය හැකිනම් ඔවුන්ව මාරු කරනවා. නැතිනම් ඇතැම් අයගේ වැඩ තහනම් කරනවා. නැතිනම් ඉල්ලා අස්වීමේ ලිපි බලෙන් ලබාගන්නවා. උසස්වීම් දෙන විට නිසි කාර්ය පටිපාටිය හෝ ජ්‍යෙෂ්ඨත්වයන් නොසලකා උසස්වීම් ලබාදෙනවා. මේ කාලයේ එවැනි දේ අසන්නට ලැබුණා නම් එයින් පැහැදිලි වන්නේ නීතිය පාලකයන්ගේ පැත්තට නවාගන්න කරපු උත්සාහයයි.
රටකට සමාජයකට නීතියේ ආධිපත්‍යය වැදගත් වන්නේ ඇයි?
රාජ්‍ය යාන්ත්‍රණය දූෂණයෙන් තොරවීමට නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම වැදගත්. එමෙන්ම ගම් මට්ටමින් වුවත් නීතියේ ආධිපත්‍යය දුර්වල වුවහොත් ආර්ථික හෝ දේශපාලනික වශයෙන් ශක්තිමත් අයගේ වුවමනාවන්වලට සෙසු අය බිලිවීමට හැකියි. රජයකට පවා නීතියේ ආධිපත්‍යය බිඳවැටීම නිසා දූෂණයන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා.
සාකච්ඡා කළේ
දීප්ති ප්‍රමිතා අධිකාරී
කවුරු මොන තනතුරේ හිටියත් වැරදි කරලා නම් නීතිය ක්‍රියාත්මක කරනවා - අධිකරණ ඇමැති
කවුරු මොන තනතුරේ සිටියත් වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමට නොපැකිලෙන බවත් තමා වැඩ කරනවිට වළං කඩයට පැන්න ගොනා වගේ ඇනගෙන යන සිරිතක් නැත් බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නීතිපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් තමා තනිවම පෙනී නොසිටින බවත් ජනාධිපතිවරයාත් මන්ත්‍රී එකසිය පනස් නවයත් සමග එකට පෙනී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය.
“නඩුකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගහපු යුගයක් තිබුණා. පෝස්ටර් ගැසීම් පවා සිද්ධ වුණා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට මහත්මියට සලකපු විදිහ අපි දැක්කා. මේ රජය ඒ විදිහට කටයුතු කරන්නේ නෑ. නීතියට අනුව තමයි අපි කටයුතු කරන්නේ.”
සජිත් ප්‍රේමදාස මහතා:
“ඔබතුමා නීතිපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බව ආරංචියි. මේ නිසා ඔබතුමාටත් පහර ගැහුවා. මම දේශපාලනය මතු කරන්න කතා කරනව නොවේ. ඩ්‍රින්කින් පාර්ට්නර් ආරක්ෂා කරනවා කියලා ඹබතුමාට චෝදනා කළා. ඔය මොන වෙබ් අඩවිද ඔබතුමාට පහර ගැහුවේ. මම වැඩිය විග්‍රහ කරන්න යන්නේ නැහැ. වැඩිය විග්‍රහ කළොත් ඔබතුමාට අසාධාරණයක් වෙනවා. නලින්ද ජයතිස්ස, විජිත හේරත් මේවට සම්බන්ධ නැහැ. නීතිපතිවරයාගේ ස්වාධීනත්වය නිදහස අතිශයින්ම වැදගත්. අධිකරණ ඇමතිතුමා ඒ වෙනුවෙන් පෙනී සිටීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නීතිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි දෙසිය විසිපහම පෙනී සිටිනවා”
නානායක්කාර මහතා;
“නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ගැන මම තනිවම පෙනී සිටින්නේ නැහැ. අපේ එකසිය පනස් නවයත් ජනාධිපතිතුමාත් එකට පෙනී සිටිනවා. ඒකයි ක්‍රමය. ඒ වගේම හර්ෂණ නානායක්කාර තනිවම ආණ්ඩු කරනවා නොවෙයි.විවිධ මාධ්‍යවල තහවුරු කර නොගත් තොරතුරු යනවා. අපි ඒ හැමදේටම උත්තර දෙන්න බැඳිලා නෑ. ගරු විපක්‍ෂනායකතුමාටත් කතන්දර කියන්නේ. ඒවා වැඩිය ගණන් ගන්න හොඳ නැහැ. ඕක ඔබතුමාට කරන්න බැහැ පොඩි ළමයෙකුට බාරදෙන්න වගේ කතා කියනවනේ. ඒවා ගණන් ගන්න හොඳ නෑ විපක්ෂ නායකතුමනි.
මට මගේ කණ්ඩායම ගැනත් ආණ්ඩුව ගැනත් ජනාධිපතිතුමා ගැනත් හොඳ විශ්වාසයක් තියෙනවා. මට මේ ඇමැති ධූරය බාර දීලා තියෙන්නේ සමාජ මාධ්‍ය නොවෙයි. ජනාධිපතිතුමා. ඔබතුමා දක්වපු අවධානය ගැන ස්තුතියි. කවුරු මොන තනතුරේ හිටියත් වැරදි කරනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පැකිලෙන්නේ නෑ. අපි වැඩ කරනකොට අර වළං කඩේට පැනපු ගොනා වගේ ඇනගෙන යන සිරිතකුත් නැහැ.”
සුජිත් හේවාජුලිගේ සහ
අංජුල මහික වීරරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd