තිඹිරියාගම බණ්ඩාර

විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු දුරකථන ඇමැතුමක් මගින් තමාට තර්ජනය කළ බවට සන්ධ්‍යා එක්නැළිගොඩ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියට පැමිණිලි කර තිබේ. ජනවාරි 16 දා හවස 3ට පමණ මෙම තර්ජනය එල්ල වූ බවත් පසුව කළ සොයා බැලීමක දී ඇමැතුම ලැබුණු දුරකථන අංකය 

ලියාපදිංචි කර නැතැයි අනාවරණය වූ බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් අමතමින් ඉකුත් (5)බ්‍රහස්පතින්දා පැවැසුවාය.

මිනීෙපට්ටියක දිග පළල විමසමින් ලැබුණු ඇමතුම හේතුවෙන් තමාගේ ජීවිතය අනාරක්ෂිත වී ඇතැයි ඇය පවසයි. මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන ලෙසත් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඇය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් මගින් දැනුම් දී තිබේ. මාධ්‍යවේ දී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද එම ලිපිය ඇය මගින් ඉල්ලා තිබේ.

දුරකථන ඇමතුම ගැන පසුව කළ සොයා බැලීමක දී එම දුරකථන අංකය ලියාපදිංචි කර නැති බවට අනාවරණය වූ බව පැවසූ සන්ධ්‍යා එක්නැළිගොඩ මෙසේ ද සඳහන් කළාය. 

“මිනීපෙට්ටියක් හදන්න මගෙන් දිග, පළල ඉල්ලු‍වාම එක වරම මම තිගැස්මකට ලක්වුණා. පෙට්ටියක් හදන්න මිනුම් ඉල්ලමින් ඔහු කියන දේවල් මම ටික වෙලාවක් අහගෙන හිටියා. මම දිගින් දිගටම අහනකොට “උඹේ දිග – පළල දියන් උඹේ මිනී පෙට්ටිය හදන්න” කියලා එම පුද්ගලයා කිව්වා. 

මට තර්ජනය කරමින් ආපු ඒ ඇමැතුමේ රෙකෝඩින් එක සාක්ෂියක් විදිහට පැමිණිල්ල කරද්දී භාර දුන්නා. කෝල් එක ආවේ රෙජිස්ටර් නැති අංකයකින් බව දැනගන්නට ලැබුණා. ඒ විදිහේ රෙජිස්ටර් නැති දුරකථන අංක තවමත් භාවිත වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවිතවලට ලොකු තර්ජනයක්. ඇමැතුම දුන් කෙනා කිව්වා තමන් රිටයර් බිග්‍රේඩියර් කෙනෙක් කියලා. ලියාපදිංචි නැති දුරකථන අංක හමුදා සාමාජිකයන් භාවිත කරන්නේ කොහොමද කියන එක ගැටලු‍වක්.”