උපුල් වික්‍රමසිංහ

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව  ජනවරම ලැබුණු වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු වුවත් එම අවස්ථා මහගැර ගත් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉකුත්දා කොළඹ දී සංවිධානය කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සාකච්ඡාවක දී පැවසීය.

වසර 2016 දී ආරම්භ කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දී ඇති බව සිහිපත් කළ ඔහු එය හොඳ ආරම්භයක් බවත් එවකදී ආරම්භ කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අර්ථවත් එකක්ය යන්න සිය අදහස බවත් ප්‍රකාශ කළේ ය.

ව්‍යවස්ථාවේ මූලධර්ම හා අරමුණු සලකන විට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වැදගත් බව ද එය කළ යුත්තේ ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය සහතික කරන අතරවාරයේ බව ද ඔහු කීවේ ය.

“ශ්‍රී ලංකාව සඳහා වන ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව OTI ආයතනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධන ක්‍රියාවලිය” මැයෙන් ONE TEXT INITIATIVE විසින් සංවිධානය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාවේදී හෙතෙම මේ අදහස් පළ කළේ ය.