කිසි ලෙසකින් හෝ සාධාරණය කළ නොහැකි, එමෙන්ම සමාජයේ සාමාන්‍ය පුරවැසියන්ට දඬුවම් නියම කළ නොහැකි ‘වරදක්’ සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. එම කතාබහ ඇවිළී යා යුත්තේ සාරධර්ම උද්දීපනය කරන ප්‍රබෝධවත් මාවතක් ඔස්සේ ය.
 
පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේ රටේ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ගුරුවරියන් තිදෙනෙකු, ප්‍රාථමික අංශයේ සිසුවෙකුගේ මවක්ද සම්බන්ධ වූ කතා පුවතකි. මේ පුවතට විවිධ අර්ථකතන ඇත. ඇතැම්හු ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටිති. සමහරු ගුරුවරින් වෙනුවෙන් පෙනී සිටිති. මේ සියලු දේ අතර මෙවැනි සම්බන්ධතා ගැන කතා බහක් ඇතිව තිබේ. එහෙත් මතක් කළ යුත්තේ මෙය එක් විශේෂිත සිදුවීමක් පමණක් බවය.
 
‘විශේෂිතය සමස්තය නොවේ’’ යන්න ඒකාන්ත සත්‍යයකි. එක් සිදුවීමක් පදනම් කරගෙන සමස්ත සමාජයම එම මිම්මෙන් මැනීමට යාම අසාධාරණය. එහෙත් සමාජය තිබෙන්නේ කිනම් මොහොතක හෝ නරකාදියට ඇද වැටිය හැකි අවස්ථාවකය. එය වළක්වා ගැනීමට සමත් දියුණු පෞරුෂයක් සහිත පුරවැසියන් උවමනාකර තිබේ.
 
ප්‍රශ්නය අනෙකාගේ වනතුරු උත්තරය දාර්ශනිකය. සමාජය බොහෝ දෙනකු මේ මොහොතේ සිටින්නේ එබඳු දාර්ශනික උත්තර මිටි මොළවාගෙනය. ජීවිතයේ කිසිදු දිනක රහසින් හෝ වරදක් නොකළ පාපී සිතිවිල්ලක් පපු කුහරයට නොපැමිණි සත් ගුණවත්හු අනෙකා දඬුකඳේ ගැසීමට වෑයම් කරති.
 
‘මිනිසා’ යන්නට දී ඇති නිරුක්තිය වන්නේ“මනං උච්චාතීති මනුස්සා” යන්නය. එනම් උසස් තත්වයට රැගෙන ආ හැකි මනසක් තිබෙන හෙයින් මිනිසා ලෙස හඳුන්වන බවය. එසේ නොමැතිව උසස් වූ මනසක් තිබෙන නිසා නොවේ. දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක වසන, මනස එක් විටෙක උසස් ලෙස ක්‍රියා කරයි. තවත් විටෙක ඉන් මිදී පහත් ලෙස ක්‍රියා කරයි. මනස පාලනය කර ගැනීමේ හැඬලය අප අතට ගත යුත්තේ එහෙයිනි. වළක් කපන මිනිසා අඩියෙන් අඩිය පහළට යයි. බිත්තියක් බිඳින මිනිසා අඩියෙන් අඩිය ඉහළට යයි.
 
මිනිසා හා තිරිසන් සතා අතර සමානකම් හතරකි. එනම් ආහාර ගැනීම, නිදාගැනීම, භයවීම හා ලිංගික උවමනාවන්ය. මිනිසා හා තිරිසනා වෙනස් වන්නේ එක් සාධකයකිනි. ඒ සිතීමේ හැකියාවෙනි.
සිතීමේ හැකියාව දියුණුවෙන එක් මාදිළියක් වන්නේ අධ්‍යාපනය වේ. අධ්‍යාපනය යනු එක් අතකින් දන්නා තැනක සිට නොදන්නා තැනකට යාමය. ඒ නොදන්නා දෙය ඉගෙන ගැනීමය. එසේ ලබන අධ්‍යාපනයෙන් මිනිසාට අත්වන ප්‍රයෝජනය කුමක්ද?
 
‘‘විද්‍යා දදාති විනයං’’ යැයි ඉගැන්වීමකි. එයින් කියැවෙන්නේ විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් විනය නිර්මාණය වන බවය.
 
මෙහිදී විනය අතිශයින්ම වැදගත්ය. බුදු දහම කෙතෙක් කල් පවතීද? යනුවෙන් බුදුරදුන්ගෙන් විමසූවිට උන්වහන්සේ එකපැහැර දුන් පිළිතුර වූයේ ‘විනයෝ නාම ශාසනස්ස ආයු’’ යනුවෙනි. එනම් සම්බුද්ධ ශාසනයේ ආයුෂ වන්නේ විනය බවය. එයින් කියැවෙන්නේ සසුන පවතින්නේ විනය පවතින තුරු බවය.
‘‘විනය පිරිහීම’’ යනු කොඩිවිනයකි. අද සමාජයේ එක් පිරිසක් තැවුල් සංකාවෙන් කල් ගෙවන්නෙත් සාමුහිකව හා තනි තනිව තලු‍ මරන්නේත් විනය පිරිහීම නිසා ඇතිවූ ඉහත සිදුවීම පිළිබඳවය.
 
සමාජ සත්වයකු වන මිනිසාට පොදු සමාජ වගකීමෙන් මිදුණු - බැහැර වුණු ගමනක් නැත. පොදු සමාජ සම්මුතීන්, පිළිගැනීම් හා සාර ධර්ම සමග අනුල්ලංඝනීය බැඳීමක් සමාජයේ සෑම සාමාජිකයකුටම තිබේ. සාමුහික විචාර බුද්ධිය අවශ්‍ය වන්නේ එයටය.
 
සමාජය පවතින්නේ සම්මුතීන් මතය. හොරකම සාරධර්මයක් ලෙස කිසිවෙක් නොසිතති. ප්‍රාණඝාතය ද එසේය. ලිංගික උවමනාවන් සපුරා ගැනීම ආගම දහමෙන් හෝ නීතියෙන් තහනම් කර නැත. එහෙත් එයට සීමාවන් පනවා තිබේ. ඒ සම්බන්ධයෙන් සම්මුතීන් තිබේ. ඒවා ඉක්මවා යාම සමාජයට ප්‍රශ්න කිරීමට හේතුවකි. වළක්වාගත හැකි වළක්වා ගත යුතු එහෙත් ඒවා වළක්වා නොගැනීම නිසා සමාජය ඉදිරියේම වින්දිතයන් වන්නේ දුරදිග නොසිතා පළගැටියන් මෙන් ක්‍රියා කරන හෙයිනි.
 
‘‘වෙච්ච දේට වඩා ලොකුයි කරගත්ත දේ’’ යනුවෙන් ද කියමනකි. අවශ්‍ය වන්නේ එබඳු කියමන් වෙනස් කළ හැකි ක්‍රියාකාරකම්ය.ිසිදුවීම් වන්නේ සිනාසීමට හෝ හඬා වැළපීමට නොව ඉගෙන ගැනීමටය’. ඉතිරිව ඇත්තේ ඉගෙන ගැනීමය.
 
මේ සිදුවීමෙන් කී දෙනකු පාඩම් කීයක් ඉගෙන ගනීද යන්න අප තවමත් දන්නේ නැත. එහෙත් අපට සිතෙන පාඩම් කිහිපයක් තිබේ. පළමු වැන්න නම් පෙර කී විනය රැකීමයි. මෙය ප්‍රධාන කාර්යයි. දෙවැන්න විශ්වාසයයි. ඔබ හමුවේ හෝ ඔබේ ජංගම දුරකථනයෙන් ගන්නා වීඩියෝ ඇමතුමක් හමුවේ කෙනකු නිරුවත් වෙන්නේ (එය නොකළ යුත්තක් වුවද)  ඔබ සම්බන්ධයෙන් ඇති පූර්ණ විශ්වාසයෙනි. ඒ විශ්වාසය ඔබ බිඳ දමන්නේ නම් ඔබ කරන්නේ දැවැන්ත වරදකි. අනෙකා නොදැන වීඩියෝ පටිගත කිරීමේ පාපය කුමක්දැයි ධර්මයේ උගන්වා නැතිවා වන්නට ඇත. එහෙත් එම පාපයේ ප්‍රතිඵලය කුමක්දැයි දැන් සියලු දෙනා දන්නවා ඇත.
 
තෙවැනි කරුණ වන්නේ ද විශ්වාසයයි. මේ වනවිට කියැවෙන්නේ සිසුවාගේ මිත්‍රයකු මේ වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කළ බවයි. මිතුරා යනු මිතුරාම විය යුතුය. “උඹට තියේ නම් මට නැතිවෙන්නේ කොහොමද?” යන ශ්‍රී ලංකාවේ බහුතරයකගේ ඇති නූගත් මානසිකත්වය නැති මිතුරකු සිටීම සම්පතකි.  උඹට සල්ලි තිබේ නම් මට නැතිවෙන්නේ කොහොමද? උඹට ලස්සන තරුණියක් ආදරෙයි නම් මට නැති වෙන්නේ කොහොමද? උඹට හොඳ කාර් එකක් තිබේ නම් මට නැති වෙන්නේ කොහොමද? උඹට ගුරුවරියක් කැමති නම් මට නැති වෙන්නේ කොහොමද ? යැයි සිතන ලෝකයක ජංගම දුරකථනයෙන් හෝ වැරදි කිරීම භයානකය. මෙයින් පසු මිතුරන් කවුදැයි සොයා ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇත.
 
මේ සිදුවීම සමාජ මාධ්‍ය වෙත නිරාවරණය වීමෙන් පසුව අපට දක්නට ලැබුණේ සමාජයේ තවත් පැත්තකි. පළමුව සමස්ත ගුරු පරපුරටම නින්දා සහගත ලෙස ප්‍රතිචාර ලැබුණි. දෙවනුව අදාල පාසල සම්බන්ධයෙන් ඇතැමකුගේ ඇති ‘ඇරියස්’ පියවා ගන්නා ආකාරය දැක ගත හැකි විය. තෙවනුව අපට දැක ගත හැකි වූයේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තමන්ගේ සමාජ මාධ්‍යවල රීච් වැඩි කරගෙන මුදල් සොයන පිරිසයි. මෙම සිදුවීමට සම්බන්ධ ඇතැමකුගේ නමින් අලුතින් සමාජ මාධ්‍ය ගිණුම් බිහිවීමට වැඩි වේලාවක් ගියේ නැත. ඒවා හරහා විවිධ අදහස් ද ඉදිරිපත් කරමින් සමාජය නොමග යවනු දැක ගත හැකි විය. එය මෙම සිදුවීමේ වින්දිතයන් වූවන්ට තවත් ප්‍රබල හානියක් විය. ඒ අතරේ වඩාත් මධ්‍යස්ථව මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නන්ද නොසිටියා නොවේ.
 
සමාජ මාධ්‍ය යනු ඔබේ නිදහස උපරිමයෙන් පරිහරණය කළ හැකි අනෙකාගේ ජීවිතය විනාශ කළ හැකි මෙවලමක් නොවේ. එය මේ සමාජයේම කොටසකි. වාසනාවට මේ සිදුවීමට සම්බන්ධ කිසිවකුට මේ පීඩනය දරා ගත නොහැකි වී අවාසනාවන්ත අවසානයක් ලැබුණේ නැත. එහෙත් එය එසේ නොවේ යැයි අපට කිව නොහැකිය. අද හෙට නොවුණත් ජීවිත කාලය පුරාම මේ සිදුවීම මේ පිරිස පසුපස එනු ඇත. එදිනට සිදුවන්නේ කුමක්ද?
 
අතීතයේ දී පාසල්වල මෙවැනි සිදුවීම් සිදුවූයේ නැද්ද? දැන් වයස පනහ හැට ඉක්මවූවන්ගෙන් මේ ගැන ඇසුවහොත් මෙවැනි කතා බොහොමයක් අසා දැනගත හැකිය. එදා සමාජය හැදුණා නම් ගුරුවරුන් හැදුණා නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැදුණා නම් මෙදා මෙහෙම දේවල් වෙන්නේ නැත. එහෙත් සත්‍යය නම් සමාජය එහෙම හැදෙන්නේ නැත. එදා තාක්ෂණයෙන් තොරව සිදුවූ දෙය අද තාක්ෂණය සමග ඇති වෙයි. එදා තාක්ෂණයෙන් තොරව පැතිර ගිය තලු මැරූ සිදුවීම අද තාක්ෂණයේ පිහිටෙන් වේගයෙන් පියඹා යයි.
 
ඔබට යමක් යෝජනා කරමු. යමක් සිදු නොවීමට වග බලා ගැනීම පළමු වැන්නයි. විනය ගැන අප මතක් කළේ එහෙයිනි. නූතන තාක්ෂණික ලෝකයේ ජංගම දුරකථනය බොහෝ දෙයට පහසුවක් වී තිබේ. ලිංගික හැඟීම් සන්තර්පනයටද එය උදව්කාරයකු වී තිබේ. මේ උදව්කාරයා ඔබේ ජීවිතය විනාශ කරන අලුගෝසුවාද විය හැකි බව මතක තබා ගන්න.
 
ජංගම දුරකථනයක පටිගත විය යුතු දේ නොවිය යුතු දේ කුමක්දැයි තේරුම් ගැනීමට ඔබ මුහුකුරා නැතන්ම් මේ භාණ්ඩය සමග සෙල්ලම භයානකය. ජංගම දුරකථනයේ යමක් පටිගත වූ පසුව එය අනිවාර්යයෙන්ම තමන් අත ඇති ගිනි කන්දක් බඳුය. පෙර කී සිදුවීමේ යාළුවා, දුරකථන අලුත්වැඩියා කරන අයියා, දුරකථන හැක් කරන විශේෂඥයා වැනි ස්වරූපවලින් මේ ගිනිකන්ද පුපුරා යා හැකිය. එවිට ලාවා ගලන්නේ සමාජයම යට කරගෙනය. එය සිතේ දරාගෙන ඔබේ ජංගම දුරකථනයේ ඕඩියෝ හෝ වීඩියෝ කරන්න. මට, මගේ බිරිඳට, මගේ සැමියාට, මගේ පුතාට-දුවට, මගේ සහෝදරියට-සහෝදරයාට මෙවැනි දෙයක් සිදුවුවහොත් මට සිතෙන්නේ කුමක්දැයි සිතා ලවා ගලා යන සමාජ මාධ්‍යයේ තමන්ගේ අදහස් දක්වන්න. ඔබේ කමෙන්ටුවකින් තවත් අයෙකුගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. අතීතයේ අපි කීවේ බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමක් ගැනය. දැන් පේජ් හදාගෙන මඩ ගසා, කුණු රස තලුමරා සල්ලි හෙවීම සහ බල්ලෝ මරා හෝ සල්ලි හෙවීම අතර වෙනසක් නැත.
 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්