මහ පොළොව දෙදරවා හඬ තළමින් කඩා හැළුණු පස් කඳු, මිනිස් ජීවිත සේම ඔවුන් වසර ගණනාවක් තිස්සේ ගොඩනැඟූ සිහින ද යටකර දමා දෙමසක් ගත වී අවසන්ය.

මේ පරිසරයේ සේයාව තවමත් බියකරුය, ගුප්තය කුරිරුවූ සොබාදහම මහජලකඳ සේ පැමිණි සියල්ල රැගෙනගිය පසුත් ඉඳහිට ඇදහැළෙන මහ වැස්සට පස්කඳු යළි නොවැටේයැයි සහතිකයක් නැත. දිට්ටා සුළි කුණාටුවෙන් දෙමසකට පසු මධ්‍යම කඳුකරයේ මිනිසුන්ගේ කඳුලින් තෙත්වූ බිමක කටුක යතාර්ථය සොයා ඉරිදා ලංකාදීප අප කොත්මලේ රම්බොඩ ගමට ගියෙමි.
කොත්මලේ නැගෙනහිර සහ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පිහිටි ගම්මාන රැසක් දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑම්වලට ලක් වූ අතර ගම්මාන රැසක් ඉරි තැළීම්වලට ලක්වී ඇත.
එමෙන්ම රම්බොඩ හා ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් එම මාර්ගය දැඩි ලෙස නායයෑමට ලක් විය. මේ වන විට එම මාර්ග පිරිසකර වෙමින් පවතින අතර අවදානමක් නැතැයි කිසි විටෙකත් සිතිය නොහැකිය. එමෙන්ම කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගම්පොළ නුවරඑළිය මාර්ගයට අයත් පුස්සැල්ලාව සිට නුවරඑළිය දක්වා ඇතැම් ස්ථාන දරුණු නාය යෑමකට ලක් විය. මේ වන විට ගමනාගමනය සඳහා මාර්ග නිදහස් කරමින් පවතී. එමෙන්ම දැඩිම හානිය සිදුව ඇත්තේ තවලන්තැන්න සිට නුවරඑළිය දක්වා දිවෙන මාර්ගයේ තවලන්තැන්න ,රම්බඩ, පලාගොල්ල, ලබුකැලේ අතර ප්‍රදේශ වන අතර එම ස්ථානවල මාර්ගද මේ වනවිට ගමනාගමනයට සුදුසු පරිදි සකස් කරමින් තිබේ. කෙසේ නමුත් ගැරඬි ඇල්ල ප්‍රදේශයෙන් ආරම්භ වූ රම්බොඩ විශාලතම නායයෑම අවසන්ව ඇත්තේ කොත්මලේ සුන්දරතම ගම්මානයක් ලෙස ප්‍රකටව පැවැති රම්බොඩගම මෙරට සිතියමින් මකා දමමිනි.
රම්බොඩගම ගම්මානයේ නිවාස හතළිස් එකක පදිංචිකරුවන් සදහටම ඉවත්කරන්න සිදුවෙලා
අතීතයේ පාරාදීසයක් වූ රම්බොඩ ගම අද සොහොන් බිමක්
රම්බොඩගම යනු කොත්මලේ නිම්නයේ රන්දෝලියක් බඳු වූ සුන්දර ගම්මානයකි. නිරන්තරයෙන් මීදුමෙන් වැසී යන, පරිසරයම තේ සුවඳින් පිනවන එපමණක් නොව දැවැන්ත ගස් වැල්වලින් වටවුණ මේ පරිසරය ගමට ගෙන ආවේ දිව්‍යමය සිරියාවකි. එහෙත් මීට මාස දෙකකට ඉහතදී දිට්වා ඒ සතුට සදහටම අහිමි කළේය.
අද පරම්පරා ගනනාවක් ජීවත්වූ බොහෝ නිවාස පාලුවට හැරදමා ගොසිණි. ඇතැම් නිවෙස් බාගෙට නායගොස් අතහැරදමා තිබුනේ මරණයේ සෙවණැලි මෙනි.
ගැමියන්ගේ අවිහිංසක සිනහව සහ කුඩා දරුවන්ගේ කෙළිලොල් හඬින් පිරී තිබූ මේ ගම්මාන අද මරණීය නිහඬතාවකින් වෙළී පවතී.

මිනී වළවල් නොකැපී මිහිදන් වුණ මිනිස්සු
රම්බොඩගම නාය යෑමෙන් සිය දරුවන් අහිමි වූ පියකු වන ඒ.ජී. වීරසේන මෙසේ කීය.
“ගම්මානයේ නිවාස 28ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. 46කට දිවි අහිමි වුණා. මළසිරුරු 18 ක් පමණ සමූහ වශයෙන් ගලපා මිහිදන් කළා. ඒ නාය යාමෙන් නිවසේ එක කාමරයක කොටසක් පමණක් ඉතිරි වෙන්න සම්පූර්ණ ගෙදරම නාය ගියා. ඒ වෙලාවේ මමයි, බිරිඳයි, මගේ ලොකු දුවයි, ලොකු දුවගේ බබයි, දෙවෙනි දුවයි, පොඩි දුවයි හිටියෙ. එක තප්පරයෙන්ම සියල්ලම විනාශ වෙලා ගියා. ඇත්තම කිව්වොත් හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම බිරිඳයි, ලොකු දුවවයි බේරා ගත්තා. මගේ ලොකු දුවගේ බබයි, දෙවෙනි දුවයි, තුන්වෙනි දුවයි නැති වුණා. මාවත් පැයක් විතර පස්යට යටවෙලා ඉඳලයි බේරගත්තේ. කොහොම හරි එළියට ඇවිත් මම ළමයි බේරගන්න දැඟලුවා. නමුත් ඒ දේ මට කරගන්න බැරිවුණා. මට බේරගන්න පුළුවන් වුණේ මගේ බිරිඳයි, ලොකු දුවයි විතරයි.
‘‘මහ පොළව මගේ හුස්මටික උදුර ගත්තා. දැන් මමයි නෝනයි ඉන්නේ පණතියන මළකඳන් වගේ.’’
![]() |
| හීන් මැණිකා |
දැන් අපි කුලී ගෙදරක ඉන්නේ. කෝටි ගණනක් වටිනා බඩු මුට්ටු තිබුණා. දැන් ගමෙන් ඉවත් වෙලා වෙන තැනක පදිංචියට යන්න ලක්ෂ 50 ක් දෙනවා කියනවා. ඒත් ලක්ෂ 50 කින් කොහොමද අපි හිටපු තත්වයට එන්නේ. දරුවෝ තුන්දෙනාව මිනී පෙට්ටියක තියලවත් අවසන් ගෞරවයක් දෙන්න අපට හැකිවුණේ නෑ අද රම්බොඩ ගමට එනව කියන්නේ සොහොනකට එනවා හා සමානයි. ඉදිරියට රම්බොඩ කියන ගමක් තියේද කියල විස්වාස නෑ.
රම්බොඩගම ගමෙහි ජීවත් වන හීන් මැණිකා මහත්මිය පවුලේ සියලු දෙනාගෙන් දිවි ආරක්ෂා වී ඇත්තේ හාස්කමකින් බව පැවසූවේ නිවසට යාබදින් මහා කන්ද නායගොස් ඇති අයුරු පෙන්වමිණි.
‘‘රෑ දහයයි හතළිස් දෙකට විතර අහස ගොරවන ලොකු සද්දයක් ඇහුණා. අපි එළියට ආවා. ඒ වෙද්දි උඩහ ගෙදර තිබුණේ අපේ මිදුලේ. පුතාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අපි එයාල කුස්සිය පැත්තේ තියෙන මඩුවට අරගෙන ගියා. මඩුවට ගිහින් බිම වාඩිවෙලා දරුවෝ බදාගෙන පිරිත් කිව්වා. එළිය වැටුණාම තමයි නාය ගිහින් කියලා දැනගත්තේ. ගෙදරට උඩින් එක ගෙයක් හැර සම්පූර්ණම ගෙවල් ටිකම නැහැ.
නාය යෑමත් එක්ක අපි අඹතලාව පන්සලේ කඳවුරේ දවස් විසි ගාණක් හිටියා. මේ ගෙවල් ටික දැන් නාය යෑමේ මායිම කියලයි නම් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකෙන් ඉවත් වෙන්න කියලා තියෙනවා. එහෙම යන්න කිව්වට අපිට ලක්ෂ පනහයි දෙන්නේ. ලක්ෂ පනහ දෙන්නේ මේ ගෙදරටයි. අපිට ගෙවල් හදාගන්න ඉඩමක් නැහැ.
රම්බොඩගමට අවශ්‍ය අනුකම්පාව නොව, ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන කඩිනම් විසඳුම්ය
ආණ්ඩුවෙන් කියනවා අපේ ආදායම් බුක්ති විඳින්න පුළුවන් වෙන්නෙ මහත්තය ඉන්නකම් විතරලු එතකොට අපේ දරුවන්ට යන කළ කුමක්ද? අපි ගියෙ නැත්තම් මේ ගෙවල් ඩොසර් කරනවලු මේවා සින්නකර පරම්පරා ඉඩම්. මේ ඉඩම් ගොඩක් වටිනවා.’’
රන්බොඩගම ග්‍රාම නිලධාරිනී පී.කේ.ආර්. හර්ෂිකා මෙසේ අදහස් දැක්වූවාය.
රම්බොඩගම වසමෙහි පවුල් දෙසිය විසි එකක් ජීවත් වුණා. මේ අතර අවදානම් සහිත නිවාස හතළිස් එකක පදිංචිකරුවන් දැනට ඉවත් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ වෙද්දී එයින් සමහරු කුලී නිවෙස්වල ජීවත් වෙනවා. නිවාස තුනක ජීවත් වූ සියලු දෙනාම මේ ව්‍යසනයෙන් මිය ගියා. අවදානම් මත නිවාසවල ඇතැමුන් කුලී නිවාස වලට ගියත් සමහරු තවමත් ඒ අවදානම් නිවාසවලම ජීවත් වෙනවා. ඒ අයගේ නිවෙස්වලට කිසිම හානියක් නැති වුණත් ඒවා අවදානම් නිවාස බව කරන ලද පරීක්ෂණවලින් තීරණය කරලා තියෙනවා.

රම්බොඩගම නිවාසවල නටබුන්
නිලධාරිවාදයේ මඩගොහොරුවේ එරුණු මිනිස් ජීවිත
තම ජීවත් වූ නිවස මහා පස් කන්ද යටකරගෙන ගොස් තිබෙන භූමියට හැමදාම එන පුංචි පුතකු වන එස්. බබිෂාන් මෙසේ කීය.
“එදා ගෙදර මමයි මගේ මල්ලිල දෙන්නයි අම්මයි හිටියා. හවස් වෙද්දි කරන්ට් එක නැති වුණා. අපි හැමෝම එක ඉටි පන්දමක් පත්තු කරගෙන එකම කාමරේ හිටියේ. එකපාරටම “ඩෝං” ගාලා සද්දයක් ඇහුණා. අපි ඉක්මනටම කාමරයෙන් එළියට දිව්වා. ඒ වෙද්දී මුළු ගෙදරම කඩාවැටිලා. ලොකු වතුර පාරකුයි ගලුයි අපේ ගේ වටේම ගලාගෙන ගියා . අම්මා අපි තුන්දෙනාව උස්සලා එළියෙන් තියලා අම්මත් අමාරුවෙන් ගෙදරින් එළියට ආවා. ක්ෂණයකින්ම මුළු ගෙදරම සමතලා වුණා. අපි උදව් ඉල්ලගෙන කෑ ගැහුවා. ඒ වෙලාවේ වැස්සයි, කළුවරයි නිසා කවුරුත් ආවේ නැහැ. ගමේ පන්සලේ කස්සප හාමුදුරුවෝ තමයි ගමේ කට්ටියත් එක්ක ඇවිත් අපිව බේරගත්තේ. අපේ පොත්පත් ඇඳුම් කිසිම දෙයක් අපිට බේරගන්න බැරි වුණා. ඉස්කෝලේ යන්නවත් අපිට පොත්පත් නැහැ. යුනිෆෝම් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිට ඉස්කෝලේ යන්න යුනිෆෝම් එක ගානේ ගෙනැල්ලා දුන්නේ.
තවත් පසෙක, තම ජීවිත කාලයම කැප කර තැනූ නිවසේ නටබුන් දෙස බලා සිටින පියෙකුගේ දෑසින් පෙනුණේ ඔහු බලා සිටින්නේ ගරා වැටුණු බිත්ති දෙස නොව, ඒ බිත්ති ඇතුළත වැළලී ගිය සුන්දර මතක දෙස බවය.
කස්සප හාමුදුරුවෝ නැත්නම් අපි පවුල් ගාණක් මැරිලා. මේ ආනන්ද රාජ්ය,
![]() |
| ආන්ද රාජ් |
“අපි බොහෝම සතුටින් හිටිය පවුලක්. සොබාදහම සියල්ල අපට නැති කළා. මේ නාය යාමෙන් මගේ පොඩිදුව මට නැතිවුණා. ඒ වගේම මගේ නංගිගේ දුවත් හිටියේ අපේ ගෙදර. එක පාරට ආපු වතුර පාරත් එක්ක මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා. ලොකු දුව පස් ගොඩට යටවෙලා හිටියේ. එයා බේර ගත්තා. පොඩි දුවයි නංගිගේ දුවයි කාමරේ හිර වෙලා ඉන්නවා කියලා මගේ ලොකු දූ කිව්වා. මහ රෑ මම ජනේලේ කඩලා ඇතුළට ගිහින් බැලුවා. ඒත් දුවලා දෙන්නා බේරගන්න බැරි වුණා. පහුවදා උදේ බිත්තිය කඩලා බලද්දි බිත්තිය ළඟම පොඩි දුවයි නංගිගේ දුවයි හිටියා . අනතුරින් ලොකු දුවගේ කකුල් දෙකම තුවාල වුණා. මාස හයකට කලින් මගේ බිරිඳ පිළිකාවකින් මිය ගියා. පොඩි දුව ලොකු දුවගේ ඇස් ඉස්සරහම නැති වුණ එක එයාට දරාගන්න බැහැ. ලොකු දුව තාම ඉන්නේ කම්පනයකින්. පැය ගාණක් මම දරුවෝ දෙන්නා බේරගන්න දැඟලුවා. ඒත් බැරි වුණා. ලොකු දුව තවම ඉන්නේ බයෙන්. එයා ගෙදර තනියම දාලා මට රස්සාවකට යන්න බැහැ. මේ දුක කවදා කොහොම නැති වෙයිද කියලා මම දන්නේ නැහැ. අපි දැන් මැරී මැරී ජීවත් වෙනවා. මනස ව්‍යාකූලයි. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. වගකිවයුතු නිලධාරීන්ගේ ක්‍රියා පටිපාටියත් මන්දගාමීයි. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ”
මහා පස්කඳු අතරින් මරණයේ සෙවණැලි කොත්මලේට එබිකම් කරද්දී විපතට පත් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට එකම සෙවණ වූයේ කටුකිතුල කරගස්තලාව ශ්‍රී සුගතාරාමයයි. ගම්වාසීන් පවසන්නේ විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය කළුගල කස්සප හිමියන් විපතට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටියේ වගකිවයුතු නිලධාරීන්ගේ කෙනෙහිලිකම් මැද්දේ බවය.
![]() |
| දයාලනී |
“මගේ නම දයාලනී. අපි දමිළ. එදා ගෙදර හිටියේ මමයි මගේ දුවයි නැන්දම්මයි. එක පාරටම අපේ ගෙදර වතුරෙන් පිරුණා. ඒ වෙලාවේ දුව මගේ අයියලාගෙ ගෙදරින් ගිහින් තිබ්බා. එයා හිටියේ ඒ ළඟමයි. වෙනදාට හයියෙන් වැස්සත් ගෙදරට ඒ තරම් වතුර ආවේ නැහැ. ටිකෙන් ටික අපේ ගෙදර වතුර වැඩි වුණා. ඒ නිසා ස්ලැබ් එක උඩට නැග්ගා. එතනිනුත් අපි අල්ලපු ගෙදර ස්ලැබ් එකට ගියා. ටික වෙලාවකින් එක පාරටම ලොකු සද්දයක් ආවා. ස්ලැබ් එක කඩා වැටුණා. ඒ එක්කම අයියලාගේ ගෙදරත් කඩාගෙන ගිහින් තිබුණා. අනේ මම ඒක දැනන් හිටියේ නැහැ. අපි හිටපු ස්ලැබ් එක කඩාගෙන වැටෙද්දී “හොඳ වෙලාවට බබා අයියගේ ගෙදරට යැව්වේ “කියලා මට හිතුණා. මම හිතුවේම මගේ දුව හොඳින් කියලයි. අයියගේ ලොකු දුව ගමේ අය ජනේලෙන් අමාරුවෙන් එළියට ගනිද්දී “බබයි නංගියි යටවුණා” කියලා කෑගහලා ඇඬුවා. පහුවදා උදේ ගමේ මිනිස්සු ඇවිත් බිත්තිය කඩලා තමයි දුව එළියට ගත්තේ . අනේ මම දුවව පරිස්සම් කරන්න තමයි අයියලාගේ ගෙදරට යැව්වේ. අන්තිමට මගේ දරුවා අපට නැති වුණා.
එදා රෑ මහ ජල කඳ එක්ක පොර බදමින් ඉන්නකොට තමයි දෙවියෝ එව්වා වගේ හාමුදුරුවන් ආවේ. අපේ ගෙවල් පිටිපස්සේ පාරෙන් හාමුදුරුවොයි ගමේ කට්ටිය ඇවිත් අපිව එළියට අරගෙන පන්සලට එක්කගෙන ගියා. හාමුදුරුවෝ නැත්නම් අපි පවුල් ගාණක් මැරිලා. එදා ඉඳන් මාස දෙකකට කිට්ටු වෙන්න අපේ බඩ පිරෙව්වේ හාමුදුරුවෝ.”
උඩින් ගල් එනවා දකිමින් තමයි තරුණයන් සමග ගොස් මිනිස්සු බේරාගත්තේ - පූජ්‍ය කළුගල කස්සප ස්වාමීන්වහන්සේ
![]() |
| කළුගල කස්සප හිමි |
“කරගස්තලාව වසමේ කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේ නාය යෑමෙන් එක දරුවෙක් මිය ගියා. දෙන්නෙක් යට වෙලා ගොඩ ගත්තා. ඔපරේෂන් කිහිපයක් කළත් තාමත් ඒ දෙන්නා ඉන්නේ අසාධ්‍ය තත්වයේ. දැන් ඒ අය නිවෙස්වලට ඇවිත් ඉන්නේ. පස් කඳුවලට යටවුණ සමහර අයගේ අත පය කුණු වෙලා.
තුවාල පෑරිලා. ගොඩාක් අමාරුවෙන් හිටියේ. හෙලිකොප්ටර් කීපයක් ආවා. ඒ හැම එකකම අරන් ගියේ සංචාරකයෝ. අමාරු ලෙඩ්ඩු ගෙනිච්චේ නැහැ. අවසානයේ අපට මේ ලෙඩ්ඩු ගෙනියන්න කියලා බලධාරීන් එක්ක රණ්ඩු කරන්න වුණා.
දෙමළ ප්‍රජාව ජීවත් වුණ තවලන්තැන්න ප්‍රදේශයේ නිවාස 9 ක් සම්පූර්ණයෙන් යට වුණා. තුන් දෙනෙකුට ජීවිත අහිමි වුණා. 4ක් තාම අසාධ්‍ය තත්වයේ ඉන්නේ. නාය යෑමත් එක්ක 364 ක් විතර ජනවාරි 20 වෙනිදා වෙනකම් අපේ විහාරස්ථානයේ හිටියා.
ඒ අය දමිළ කියලා මට අහක බලා ඉන්න බෑ. අපි කවුරුත් මිනිස්සු
පස්සේ කුලී ගෙවල්වලට ගියා. ඒත් එක පවුලකට එක ගෙයක් ගානේ ගන්න වත්කම් මේ අයට නැහැ. එක ගෙදරක පවුල් තුනක් වෙන්න වගේ ජීවත් වෙනවා.
මේ සිද්ධිය වෙද්දිම අපි අදාළ අය දැනුවත් කළා. ඒත් ග්‍රාම නිලධාරීන් හරහා විය යුතු දේවල් හරිහැටි වුණේ නැහැ. එකපාරටම මිනිස්සු පන්සලට දුවනකොට පන්සලේ උයලා දෙන්න බඩු භාණ්ඩ නොතිබුණ නිසා තරුණ පිරිසත් එක්ක ගමේ ගිහින් කොස් ගස්වල නැගලා කොස් කඩලා ගෙනැල්ල තමයි කට්ටියට තම්බලා දුන්නේ. ඊට පස්සේ ළඟ කඩෙන් ණයට බඩු අරන් කෑම හදලා දුන්නා.
බැරිම තැන මම ප්‍රාදේශීය ලේකම් තුමා මුණගැහෙන්න ගියා. මේ අයගෙ ආහාර හා සනීපාරක්ෂක ගැටලු ටික කියන්න. නමුත් මාව රස්තියාදු කළා මිසක් එතුමා මුණගැහුණේ නැහැ. ඊට පස්සේ කොත්මලේ පොලිස් ස්ථානාධිපතිතුමාට මම තත්වය කිව්වාම එතුමාගේ අත්සනින් ලියමනක් දුන්නා, තවලම්තැන්නේ කඩේකින් බඩු ගන්න කියලා ණයට.

විපතට පත් වැවන්ඩන් වතුයායේ ජනතාව
මේ මුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවනවා කියලා. හැටපන්දාහක බඩු අරන් ආවා. ඊට පහුවෙනිදාම ග්‍රාම සේවක ඇවිත් බඩු තෝරලා ගොඩාක් ඒවා අයින් කළා. මේවා මේ තැනට වැඩක් නැහැ කියලා. ග්‍රාම නිලධාරිවරයාගේ හැසිරීම ගැන මම ඒ වෙලාවේ ගොඩාක් කලකිරුණා. ඇඳිවත විතරක් ඉතුරු වුණ මිනිස්සුන්ට කන්න හදලා දෙන්න ගෙනාපු බඩු ටිකට ඒ විදිහට කළාම.
මම වගකීමෙන් කියනවා මේ සිද්ධිය වෙලා සති තුනක් යනකන් තවලම්තැන්නෙන් මෙහාට වගකිවයුතු කිසිම පුද්ගලයෙක් ආවේ නැහැ.
27හවස හයේ ඉඳලා තිහක් විතර ගෙවල්වල හිරවෙලා හිටියා. අපි අපිට පුළුවන් විදිහට ඒ අයව බේරගත්තා.
සමහර මිනිස්සු උදව් කරන්න අවස්ථාව තිබුණත් හිතාමතාම මගඇරියා. උඩින් ගල් එනවා දැක දැක තමයි මම තරුණයන් සමග ගොස් මිනිස්සු බේරාගත්තේ. පන්සලට ගෙනාපු මිනිස්සුන්ගේ කුස පිරවීම තමයි ඊළඟට තිබුණ ගැටලුව. මම බුද්ධ පුත්‍රයෙක් කියන එක අමතක කරලා තමයි වෙලාවේ මිනිස්සු වෙනුවෙන් වැඩ කළේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිසා මේ අයට ගොඩාක් උදව් ලැබුණා.
මාසයක් යනකනුත් තමන්ගේ වසමට ගිහින් ඒ මිනිස්සුන්ට මොකද වුණේ කියලා බලපු නැති ග්‍රාම සේවකලා ඉන්නවා.
වෙවන්ඩන් වත්තේ මිනිස්සුන්ට මොකද වුණේ කියලා බලන්න නොවැම්බර් 27සිට දෙසැම්බර් 20 වෙනකනුත් කිසිදු වගකිවයුත්තෙක් ආවේ නැහැ. පවුල් තිස් දෙකක් චූටි කාමර කෑල්ලක තමයි හිටියේ. ඒ අයට අදටත් ඉන්න තැනක් නැහැ. රම්බොඩ ගමේ මේ ව්‍යසනයෙන් පූර්ණ නිවාස හානි විස්සක්ද අර්ධ නිවාස හානි දහඅටක්ද සිදුවුණා. ඔවුන්ගෙන් කොටසක් කඳවුරකත් තවත් පවුල් විසි එකක් කූඩාරම් විසි එකකත් තාම ජීවත් වෙනවා. මාසයක් යනකනුත් තමන්ගේ වසමට ගිහින් ඒ මිනිස්සුන්ට මොකද වුණේ කියලා බලපු නැති ග්‍රාම සේවකලා ඉන්නවා.”
මරණයේ සෙවණැලි මැද දිවි ගෙවන වැවන්ඩන් වතු යායේ මිනිස්සු
වැවන්ඩන් වතුයායේ එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ කතාවද අතිශය දුෂ්කර සහ වේදනාකාරී එකකි. ඔවුන්ගේ ගැටලු හුදෙක් ආර්ථික ප්‍රශ්න පමණක් නොවේ. මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු අරගලයක් එහි ගැබ්ව ඇත. කඩා වැටෙන වහලක් යට ලැයිම් කාමරයක වැස්සට තෙමෙන, සුළඟට සෙලවෙන මේ කුඩා ඉඩකඩ තුළ ජීවත් වීම ඔවුන්ට දිනපතා කරන අරගලයක් වුවත් දැන් පණකෙන්ද රැක ගැනීමටද ඔවුන්ට අරගල කරන්නට සිදුව ඇත.
නායයෑමේ දැඩි අවදානම හේතුවෙන් මෙම වතුයායේ පවුල් ගණනාවක් නිවාස අත්හැර මේ වන විට රම්බොඩ හනුමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජීවත් වෙති. නමුත් බලධාරීහු නැවත එම ලැයින් කාමරවල පදිංචි වෙන්නැයි ඔවුන්ට කියති.
“අපට මේ දරු පැටව් අරන් යන්න තැනක් කොහේද තියෙන්නෙ” ඔවුහු අසති. සමහර ලැයිම් කාමරවල බිත්ති පුපුරා, පොළොව ගිලා බසිද්දී, තමන් උපන් දා සිට ජීවත් වූ නිවස තමන්ගේම සොහොන් ගැබ වේ යැයි බියෙන් ඔවුහු පසුවෙති.
අවදානම තියෙද්දිත් අපට යන්න කියනවා
![]() |
| පුවනේෂ්වර |
“මගේ නම පුවනේෂ්වර, අපි හිටියේ වැවන්ඩන් වතුයායේ ලැයිම් කාමරවල. ලැයින් කාමර පහළ කොටසින් තමයි රම්බොඩගම නාය යෑම ආරම්භ වුණේ. 27 රෑ එකොළහමාරට පිටිපස්සේ කන්ද කඩාගෙන එද්දී අපි හැමෝම දුවගෙන පහළට ඇවිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට මුලින්ම ආවා. එතනින් ගාමිණී දිසානායක විදුහලට ගියා. අපිට උදව් කරන්න කවුරුත් ආවේ නැහැ.
වත්තේ පවුල් පහක් අවදානම් කියලා ඒ පවුල් පහට විතරක් එතනින් ඉවත් වෙන්න කියලා අපිට නැවත ගෙවල්වලට යන්න කියනවා. ඒ වුණාට අපිට එතනට යන්න බැහැ. ඒක අවදානම් කියලා දැන දැනත් අපි එතනට යන්නේ කොහොමද.? අපි හනුමන් සංස්කෘතියේ ඉන්නේ බලෙන් නෙවෙයි. අපිට යන්න තැනක් නැති නිසා. රජය ලබා දුන්න කිසිම මුදලක් අපිට ලැබුණේ නැහැ. අපි ෆෝම් පවා පුරවල දුන්නා. ඒත් ඒ ෆෝම් අපට අදාළ නැහැ කියලයි ඒ අය කියන්නේ. අපිට පොඩි දරුවෝ ඉන්නවා. ඒ අයට කන්න දෙන්නේ කොහොමද. අපි රස්සාවලට නොගිහින් දැන් මාස දෙකක් වෙනවා. අපි කාටවත් දොස් කියන්නේ නැහැ. අපිට ඉන්න තැනක් දෙන්න. දැන දැන එතනට ගිහින් මැරෙන්න අපට බැහැ.
ග්‍රාමසේවක මහත්තයා කියනවා වැස්ස මිලිමීටර් 75 වැඩි නම් අයින් වෙන්නලු. අපි කොහොමද වැස්ස මනින්නේ. මහ රෑ නිදාගෙන ඉද්දී ලොකු වැස්සක් ඇවිත් එදා වගේ නාය ගියොත් මේ දරු පැටව් එක්ක අපි කාට කියන්නද? අපි ලොකු අවදානමක ඉන්නේ.
අපි කූඩාරම්වල දුක් විඳිනවා
“මගේ නම ෂම්මුගම් කමල තිසන්, මෙතන පවුල් විසි එකක් තාවකාලික කූඩාරම් විසි එකක් ගහගෙන ජීවත් වෙනවා. මෙතන කිසිම පහසුකමක් නැහැ. අඩුම ගානේ වතුර ටිකක් නැහැ. කරන්ට් නැහැ. වැසිකිළි පහසුකමක් නැහැ. මේ කූඩාරම්වල ඉන්න සමහරු ඒ අවශ්‍යතා වෙනුවෙන් පහළ දන්න කියන ගේකට යනවා. ඒකත් කරදරයක්. සමහරුන්ට ඒ අවශ්‍යතාවට යන්නේ ගඟටයි. සවස පහෙන් පසුව හැමෝම ගෙවල්වල. කළුවරට මේ කූඩාරම්වලින් එළියට බහින්න බයයි. මහ ගණ අන්ධකාරයට, මේ හුළඟට මිනිස්සු දැන් බයවෙලා ඉන්නේ. කූඩාරම්වල රෑට ලාම්පු පත්තු කරනවා. හැබැයි ලාම්පු පත්තු කරන්නවත් සමහරුන්ට භූමිතෙල් කාලක් නැහැ. මේ හුළඟට අහම්බෙන් හෝ ලාම්පු පෙරළුණොත් මුළු කූඩාරම එක මොහොතකින් ගිනි ගන්නවා. මේ කූඩාරම්වල ඉන්න දරුවන් තිස් තුනක් පාසල් යනවා. නමුත් ඒ දරුවන්ට පොත්පත්, ඇඳුම් නැහැ. මේ කූඩාරම්වල ජීවත් වෙන්නේ කම්කරුවන්. මේ ප්‍රශ්නය නිසා ඒ අයට රැකියාවලට යන්න විදියක් නැහැ. මේ මිනිස්සු ඉල්ලන්නේ ඉන්න තැනක්.
මේ කිසිම කෙනෙකුට කිසිම වන්දියක් මේ වනතුරු ලැබිලා නැහැ. සහන බඩු බෙදලා දෙන්නෙත් ඒ අදාළ නිලධාරීන්ට කැමති මිනිස්සුන්ට විතරයි. මෙතන වයසක අය ඉන්නවා. ඒ අයට අසනීපයක් හැදුණත් ගන්න බෙහෙත් පෙත්තක් නැහැ. මේ දවස්වල ගෙයක් ඇතුළෙ වත් ඉන්න බැරි තරමට සීතලයි. එහෙම කාලෙක කූඩාරමක දරුවන්, මේ වයසක මිනිස්සු ඉන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. වගකිවයුතු නිලධාරීන් මේ මිනිස්සු ගැන හොයන්නේ නැති එක හරි අසාධාරණයක්.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd