
මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවට හේතු වී ඇත්තේ ඉංග්‍රීසි විෂයයි. සුද්දාගෙන් අපේ රටට උරුමවූ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට, ලියන්නට හැකිනම් අනෙක් විෂයන්ට මොනවා වුණත් ප්‍රශ්නයක් නැතැයි තරම් සිතීමට අද වනවිට බොහෝ දෙනකු පෙලඹී ඇතිතේ අපේ සමාජ සංස්ථාවම ඉංග්‍රීසියට නතු වී ඇති බැවිනි.
අපේ රටේ පැවති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට වඩා වෙනස් නවීන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම සිදුවුණේ ඒ වනවිට අපේ රටේ විවිධ ප්‍රදේශ කාලයෙන් කාලයට පාලනය කළ යුරෝපීය ජාතිකයන් විසිනි. 16 වැනි ශත වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ගණනාවක් පෘතුගීසි පාලනයට නතුවීමත් සමඟ පෘතුගීසි මිෂනාරී කණ්ඩායම් මෙරට රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීමට කටයුතු කළහ. ඒ අනුව විහාරස්ථාන කේන්ද්‍රකොට ගනිමින් පැවතුණු බෞද්ධ පාසල් අබිබවා යමින් මිෂනාරි පාසල් ගණනාවක් බිහිවිය.
ඊට ශතවර්ෂයකට පමණ පසුව ලන්දේසි ජාතිකයන් මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලා ගැනීමත් සමඟද මෙරට තුළ ක්‍රිස්තියානි ප්‍රාථමික පාසල් පද්ධතිය ආරම්භ වූ අතර අවුරුදු 100කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය ඉංග්‍රීසි බවට පත්කෙරුණේ 18 වැනි ශත වර්ෂයේදී මෙරට පාලනය අල්ලා ගත් ඉංග්‍රීසීන් විසිනි.
අපේ රටේ පාසල් අධ්‍යාපනය තුළට ඉංග්‍රීසි අධ්‍යාපනය මුල් බැසගන්නට ඉහත කාරණාද හේතු වූ අතර පසුකාලීනව නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස පාසල් විෂය ධාරාව අතරට ඉංග්‍රීසි විෂය මූලික විය.
පාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි විෂය මූලික වුවද මේ වන විටත් අපේ රටේ ඇතැම් ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි ගුරුවරයකු බෙහෙතකටවත් සොයාගැනීමට නොහැකි වූ කාරණාවක් වන්නේ ඒ සියල්ලටම පහසුකම් හදන නාගරික පාසල්වලට මූලිකත්වය දෙන බැවිනි. ඒ හේතුවෙන් හෙට දවසේදී බස් රථයක බෝඩ් ලෑල්ලක් කියවීමටත් ඉංග්‍රීසිය අවශ්‍ය වන බැවින් බොහෝ මවුපියවරු තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට වඩාත් උනන්දුවකින් කටයුතු කරති. රජයේ පාසල් අබිබවා ජාත්‍යන්තර පාසල්වල පෝලිම දිගුවන්නේ සෙසු විෂයන් කුමක් වුවත් ඉංග්‍රීසි දැනගැනීමම දරුවකුට ජීවිතය ජය ගැනීමට අලුත් මඟක් වන බැවිනි.
අපේ රටේ සෑම දරුවකුටම මැනවින් ඉංග්‍රීසි විෂයක් ලෙස හැදෑරීමට ජාත්‍යන්තර පාසලකට යාමට නොහැකි බව තේරුම්ගෙන තම පාසලේ දරුවන්ට නිදහසේ ඉංග්‍රීසි භාෂාව හදාරමින් එහි සැරසරමින් කටයුතු කිරීමට අපූරු තෝතැන්නක් සදාදීමට ගුරු පියකු කටයුතු කළේ නම් එය ප්‍රශංසාවට කාරණාවකි. ඒ පාසල අපේ රටේ නම ගිය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයයි. ගුරුවරයා වූයේ චේතිය ජයතිලකය.

චේතිය ජයතිලක උපත ලබන්නේ පින්නවල නම් සුන්දර ග්‍රාමයේය. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම රාජකාරි කරන්නේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ වන අතර ඔහුට සිටින්නේ එක නැඟණියක පමණි. ජීවිතයේ සුන්දරම ළමාවිය පින්නවල ග්‍රාමයේ ගෙවෙන අතර චේතිය මූලික අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල ශාන්ත මේරි විදුහලෙනි.
‘“මම පසුව පින්නවල මධ්‍ය මහා විදුහලට ඇතුළත් වෙනවා අධ්‍යාපනය ලබාගන්න. උසස්පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ ඒ පාසලෙන්. ඒ ගණිත අංශයෙන්. පාසලේදී අධ්‍යාපන කටයුතු වගේම බාහිර වැඩත් ඕනෑතරම් කළා. ශිෂ්‍ය නායකයකු ලෙස වගේම ක්‍රීඩා නායකයතු ලෙසත් කටයුතු කළා. පාපන්දු, ක්‍රිකට් ගැහුවා. ඉතා සුන්දර පාසල් ජීවිතයක් තමයි අපට තිබුණේ. මේ කාලෙ මම ඉංග්‍රීසි විෂයට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒකට මූලික අඩිතාලම වැටුණේ මගේ පියා නිසා. මගේ පියාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඔහු තමයි මගේ මුල්ම ගුරුවරයා වෙන්නේ. ඉංග්‍රීසි ලියන්න, කතා කරන්න, වැල් අකුරු ලියන්න මට පුරුදු කළේ මගේ තාත්තා’
උසස් පෙළින් පසුව චේතිය ඇතුළුවූයේ පේරාදෙණිය ගුරු පුහුණු විද්‍යාලයටය. ඒ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පුහුණුවන්නටය. වසර දෙකහමාරක පමණ කාලයක් පරිපූර්ණ ගුරුවරයකුගේ කාර්යභාරය මැනවින් හදාරන ඔහුට එම ගුරු විදුහලේ කාලය ජීවිතයේ අලුත්ම අත්දැකීමක් ගෙන දෙන්නට විය.
‘“පුහුණුවෙන් පස්සෙ මට පළමු පත්වීම ලැබෙන්නෙ හඟුරන්කෙත දිස්ත්‍රික්කයේ රහතුන්ගොඩ විදුහලට. ඒක අතිදුෂ්කර ග්‍රාමීය පාසලක්. පාසලටම හිටියෙ මමයි තව ගාල්ලෙන් ආ ගුරුවරයකුත් පමණයි. ඒ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය අලුත් දෙයක් ඒ කාලෙ. අපෙත් තරුණවිය. ඒ නිසා ඒ දරුවො අපි උගන්වනවට කැමැති වුණා. හවස පන්ති දාගෙනත් මම දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වුවා. ඉංග්‍රීසි ගැන දැනුමක් නොතිබුණු ළමයි පස්සෙ ආසාවෙන් ඉගෙනගත්තා. ඒ දරුවො අදටත් මට කතා කරනවා.’
ඉන්පසුව පොරමඩුල්ල කනිටු විදුහල, පොරමඩුල්ල මධ්‍ය විදුහල, වත්තේගම මධ්‍ය විද්‍යාලය, දොරගමුව මහා විදුහල, ආදී පාසල් රැසකට ගුරු මාරු ලැබූ චේතිය ඒ සෑම පාසලකම ඉංග්‍රීසි අධ්‍යාපනය දරුවන් අතර ප්‍රචලිත විෂයක් කිරීමට පෙරමුණ ගත්තේය. ඔහුට අවශ්‍ය වන්නේ නගරයේ මෙන්ම ගමේ දරුවන්ටද ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී ඒ දරුවන්ගේ හෙට දවසද ගොඩනගන්නටය.
‘මට වලල ඒ. රත්නායක මහා විද්‍යාලයට මාරුවක් ලැබෙන්නේ 2021 වසරේ. අනෙක් පාසල් වගේම ඒ පාසලත් මට විශේෂ පාසලක් වුණා. දක්ෂ දරුවො රාශියක් ඉන්න පාසලක්. ඒ නිසා තමයි මට ඕන වුණේ මේ දරුවන් අතරේත් ඉංග්‍රීසි භාෂාව වැඩි වැඩියෙන් ව්‍යාප්ක කරන්න. ඒ සඳහා පාසලේ අමතර පන්ති කාමරයක් තෝරාගෙන ඒ පන්ති කාමරය පෞද්ගලික බැංකුවක මූල්‍යාධාර යටතේ අලුත්වැඩියා කරගත්තා. මේ පන්ති කාමරය ඇතුළේ ළමයින්ට නිදහසේ ඉංග්‍රීසියෙන් වැඩකළ හැකියි. ළමයි උදේ 6.45ට මේ කාමරයට එනවා. ඇවිත් 7.45 වෙනකම් ඉංග්‍රීසියෙන් කතා කරනවා. වැඩ කරනවා. ඒකට උපරිමයෙන් නිදහස දීලා තියෙන්නෙ. ආරම්භ කළ මුල් දවස්වල ළමයි බයට ආවෙ නැහැ. නමුත් මේ වෙද්දි ළමයි තමන්ගේම කැමැත්තෙන් එනවා. මේ කාමරය ඇතුළේ ළමයි 40යි ඉන්න පුළුවන්. ඒත් මේ වෙද්දි ඊටත් වඩා දරුවො එකතු වෙනවා. මම වගේම පාසලේ අනෙක් ඉංග්‍රීසි ගුරුවරුන් උපරිම දායකත්වය දෙනවා මේ වැඩේට. ඒ වගේම අනෙක් විෂයන් උගන්වන ගුරුවරු පවා උදේට එනවා මේ ළමයි එක්ක ඉංග්‍රීසියෙන් වැඩ කරන්න. මෙහි විශේෂත්වය තමයි ඉංග්‍රීසියෙන් ලියන්නෙ නැති එක. ඔක්කොම කතාව විතරයි.’

පාසල් අධ්‍යාපනය තුළ වසර 13ක් තිස්සේ ඉංග්‍රීසි විෂය අධ්‍යාපනය ලැබුවද උසස් සාමාර්ථ ලැබුවද තවමත් අපේ දරුවන් ඉංග්‍රීසි කතා කිරීමට දක්වන්නේ මැලිකමකි. විභාගවලදී ඉහළම සාමාර්ථ ලැබූ දරුවන් පවා ඉංග්‍රීසි කතා කිරීමට දක්ෂ නොවන්නේ අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ යම් යම් ක්‍රමවේදයන්ය.
‘“ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ දරුවන් පුදුම විදියට අසරණ කරලා තියෙන්නෙ. ඒකයි බොහෝ දරුවන් තාමත් ඉංග්‍රීසි ඉගෙනගන්න බය. අපි සිංහල භාෂාව කතා කරලා තමයි සිංහල ලියන්නෙ. නමුත් ඉංග්‍රීසි ඉගෙනගන්නකොට මේකෙ අනිත් පැත්ත. ඉංග්‍රීසි ලියලා තමයි කතාකරන්න පටන් ගන්නෙ. ඒ වැරැද්ද තමයි දිගින් දිගට යන්නේ. ඒ ක්‍රමය වැරැදියි. අපි ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි කතා කරන්නයි පුරුදු වෙන්න ඕන. අද අපේ රටේ රජයේ පාසල්වලට වඩා ජාත්‍යන්තර පාසල්වලට ළමයින් දාන්න මවුපියවරු පෙලඹෙන්නේ ඒ හේතුව නිසා. ඒ පාසල්වල දරුවන් කතාවට ප්‍රමුඛත්වය දෙනවා. ඒක තමයි ඉංග්‍රීසි ඉගෙනගන්න මූලිකවම තරන්න ඕන. මේ සංකල්පය අනෙක් පාසල්වලටත් හඳුන්වාදෙන්න ඕන. ඒක අරමුණු කරගෙන තමයි මම මේ වගේ ඉංග්‍රීසි කතාකිරීමේ සංගමයක් ඇරඹුවේ. ඒ ක්‍රමය මොනතරම් සාර්ථකද කියා දැන් වැටෙහෙනවා.’
අපේ රටේ බොහෝ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව තව දුරටත් හැදෑරීමට බාධාවක් වී ඇත්තේ බොහෝ ගුරුවරුන් එම භාෂාව උගන්වන්නේ සිංහලෙන් බැවිනි. එය ඉතා වැරදි ක්‍රමයක් බව චේතියගේ අදහසයි.
‘“අමාරුවෙන් හරි වැරදි වැරදි හරි දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ඕනෑ ඉංග්‍රීසියෙන්මයි. එහෙම නැතිව කොහොම ඉගැන්වුවත් ප්‍රතිඵල ගන්න අමාරුයි. එහෙම උගන්වනකොට ළමයින් ඒ දෙයත් හරියට තේරුම් ගන්නවා. නැතිව සිංහලෙන් ඉංග්‍රීසි උගන්වලා වැඩක් නෑ. ඒ වගෙම තමයි අපේ භාෂා ගුරුවරුන්ට නිසි පුහුණුවීම් ලැබෙන්නෙම නැහැ. වෙනස්වන ඉගැන්වීම් ක්‍රමවේද ඒ ගුරුවරුන්ට ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඉඳලා හිටලා සැසියක් තියනවා. එච්චරයි. මම හිතනනේ අපේ මේ ගුරුවරුන්ට මේ අලුත් ක්‍රමවේද කියාදුන්නොත් පමණයි ඒවා දරුවන් අතරට යන්නේ’
දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියකුවන චේතියගේ පුතා මොරටු සරසවියේ ඉංජිනේරු සිසුවකු වන අතර දියණිය සාමාන්‍ය පෙළ සිසුවියකි. පියාගේ අඩිපාරේ යමින්ම ඔවුන් දෙදෙනාද සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහුගේ ආදරණීය බිරිය ගෘහනියකි.
‘“මම හරි කැමතියි නගරයේ වගේම ගමේ පාසල්වල දරුවනුත් ඉංග්‍රීසි භාෂාව හදාරනවා නම්. නමුත් ඔවුන් වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළවල් තව තවත් ක්‍රියාත්මක විය යුතුයි. මේ යන රටාව එක්ක ඉදිරියේදී ඉංග්‍රීසි දන්නේ නැතිව මොනවත් කරන්න බැරි කාලයක් තමයි උදාවන්නේ. එතැනට නගරයේ දරුවන් වගේම ගමේ දරුවනුත් පුරුදු පුහුණු කරන්න ඕන. මගේ එකම බලාපොරොත්තුවත් ගමේ දරුවන් අතරට ඉංග්‍රීසි විෂය වැඩි වැඩියෙන් අරගෙන යන්නයි’
අද වනවිට අපේ සමස්ත සමාජයම ඉංග්‍රීසියට මුල්තැන දී අවසන්ය. වැඩි දවසක් යන්නට මත්තෙන් සුද්දාටත් ඉංග්‍රීසි උගන්වන අපේ දරුවන් බිහිවනු නොඅනුමානය. ඒ සඳහා වැඩි වැඩියෙන් පෙරමුණ ගතයුත්තේ චේතියලා වැනි ගුරු මවුපියවරුය.
සුජිත් ප්‍රසංග




COMMENTS