නකල්ස් කඳු පන්තියේ මීදුම් සළුවෙන් වැසුණු, දිය දහරා නිරන්තරයෙන් ගලා බසින මීමුරේ ගම්මානය යනු ස්වාභාවික සෞන්දර්යයේ පාරාදීසයකි.  මීමුරේ  කියූ සැණින් මතකයට නැගෙන්නේ සංචාරක පාරාදීසයකි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මේ සුන්දර බිම්කඩ අද වන විට විවර වෙන්නේ අතිශය පූජනීය කටයුත්තක් අරබයාය.         

එම සුන්දරත්වයට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික සුවය සොයා යන ගමනකට මීමුරේ ආරණ්‍ය සේනාසනය දැන් මග විවර කර දී ඇත. නූතන මිනිසා ජීවත් වෙන්නේ තාක්ෂණයේ සහ වේගයේ සිරකරුවන් ලෙසය. උදෑසන පිබිදුණු මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක්ම ලෙඩක් නැතිව දුවන “මිනිස් යන්ත්‍ර” බවට අප පත්ව ඇත. මේ වෙහෙසකර දිවීමේ අවසානය කොතැන ද? සැබෑ සැනසීම ඇත්තේ කොහේ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට, වසර දහස් ගණනක බෞද්ධ ශික්ෂණය සහ මීමුරේ මීදුම් කඳුයායේ සිසිලස එක්තැන් වූ අපූර්ව පින්කමක් පිළිබඳව අපට අසන්නට ලැබුණි. ඒ මීමුරේ ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන “තාවකාලික පැවිදි” වැඩසටහනයි.

තාවකාලිකව පැවිදි වී සිල් රැකීමේ සම්ප්‍රදාය අද ඊයේ ආරම්භ වූවක් නොවේ. බුදුන් වහන්සේගේ කාලයේ පවා “උපෝසථ ශීලය” රැකීම හරහා ගිහියෝ කෙටි කලකට ශ්‍රමණයන් වහන්සේලා මෙන් දිවි ගෙවීමට හුරු වූහ. පසුව මෙම සම්ප්‍රදාය ථෙරවාදී බෞද්ධ රටවල් වන බුරුමය (මියන්මාරය) සහ තායිලන්තය වැනි රටවල සංස්කෘතික අංගයක් බවට පත් විය. විශේෂයෙන්ම තායිලන්තයේ සෑම තරුණයෙකුම විවාහ වීමට පෙර හෝ රැකියාවකට යාමට පෙර අවම වශයෙන් සති කිහිපයක් හෝ මාස කිහිපයක් මහණ වී ශික්ෂණය ලැබීම අනිවාර්ය වේ. එය ඔවුන් සලකා ඇත්තේ රැකියාවකට ඇතුළත් වීමට හෝ විවාහ වීමට ලබනා පූර්ව සුදුසුකමක් ලෙසය.

ඉන්පසු ක්‍රමිකව ලංකාවේ ඇතැම් පෙදෙස්වල ආරම්භ වූ මෙකී ක්‍රියාවලිය අද වන විට ලංකාවේ වඩාත් ප්‍රචලිත වූයේ කාර්යබහුල වෘත්තිකයන් සහ තරුණ පරපුර ඉලක්ක කරගනිමිනි. එහි එක් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මීට වසර දෙකකට පෙර මීමුරේ ආරණ්‍ය සේනාසනය මෙම උදාර පින්කම ආරම්භ කළේය. ඒ මීමුරේ   ආරණ්‍යයේ ආරණ්‍යවාසී විහාරාධිපති හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.

“මෙම වැඩසටහන වසරකට තෙවරක් හෝ සිව් වරක් (මාස හතරෙන් හතරට) පැවැත්වෙනවා .  2026 වර්ෂයේ මැයි මාසයේදී ක්‍රියාත්මක වන්නේ එහි 12 වන අදියරයි. වරකට ගිහියන් 15 දෙනකුට පමණක් සීමා වන මෙම වැඩසටහනේ කාලසීමාව දින 21 ක්. වසරකට තුන් හතර වතාවක් මාස හතරෙන් හතරට පැවැත්වෙන මෙම පින්කම හරහා මේ වන විටත් පුද්ගලයන් 170 කට ආසන්න පිරිසක් ශාසනික ශික්ෂණය ලබා තිබෙනවා. එය මෙරට බොහොමයක් තරුණයන්ට විවර වූ මහඟු දොරටුවක්. පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ පවසා සිටියේ ය. 

මෙහිදී තෝරාගැනීමේ ප්‍රධාන නිර්ණායකය වන්නේ පුද්ගලයාගේ සමාජ තරාතිරම නොව, ඔහුගේ අභ්‍යන්තර ශක්තිය සහ ඉවසීමයි. මීමුරේ යනු අතිශය සීතල දේශගුණයක් සහිත ගම්මානයකි. ඇතැමෙකුට එම සීතල දරා ගැනීමට පවා අපහසු විය හැකිය. එමෙන්ම සේනාසනයට පිවිසීමට මීටර් 400ක් පමණ විහිදෙන දුෂ්කර පඩිපෙළක් නැගීමට සිදුවේ. මෙවැනි භෞතික අභියෝග හමුවේ වුවද, තමා දිනපතා ගත කරන සැපවත් ජීවිතයෙන් ඈත්ව මහණදම් පිරීමට ඇති උනන්දුව සහ “මධ්‍යම සිතින්” සියල්ල විඳ දරාගැනීමේ හැකියාව මෙහිදී ප්‍රධාන කොට සලකයි.

ඉන්පසු  තෝරාගත් පිරිස ආරණ්‍යයට පැමිණි පසු ඔවුන්ට වහාම සිවුරු පලඳවන්නේ නැත. පළමු දින කිහිපය වෙන් වන්නේ පැවිදි ජීවිතයට හුරු වීමටය. එහි ඇති සුවිශේෂ ක්‍රියාවලිය මීමුරේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ මෙසේ විස්තර කරති:
“එක වරම  මෙම තාවකාලික පැවිදි දිවියට පිවිසිය නොහැකියි. මෙම පැවිදි දිවියට ඇතුළු වීමට ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු විය යුතුයි. මොකද ගිහි ජීවිතයේ රසමසවුළුවලට හුරු වූ අයෙකුට එකවරම වත්පිළිවෙත්වලට හුරු වීම අපහසුයි. ඒ නිසා අපි ඔවුන් ක්‍රමයෙන්  

එකී වැඩපිළිවෙළට හුරුවීමට නැඹුරු කරනවා. ඒ සඳහා ක්‍රමානුකූල තේරීමේ පටිපාටියක් පවතිනවා. පළමුව Google Form එකක් හරහා අයැදුම්පත් කැඳවීම් සිදු කර යමකුට අවශ්‍ය  නම් දුරකතන ඇමතුමක් ලබාදිය හැකියි. ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් තමයි සුදුස්සන් 15 දෙනෙකු තෝරා ගනු ලබන්නේ.

එහිදී පළමු දිනයේ රාත්‍රී ආහාරයට තේ සමඟ බිස්කට් ලබා දෙනවා. දෙවන දිනයේ කිරි පමණයි. තෙවන දිනයේ ප්ලේන්ටි පමණක් ලබා දෙන අතර සිව්වන දිනයේ සිට රාත්‍රි ආහාරය සම්පූර්ණයෙන්ම නතර කර අෂ්ටපානවලට හෝ පලතුරු යුෂවලට පමණක් සීමා කරනවා. එම මුල් දින හතර පුරා අලුයම 4ට අවදි වෙන්න ඕන. ඉන් පසු බුදුන් වැඳ පිණ්ඩපාතය සඳහා ගමන් කරනවා. මෙලෙස දින හතරක් පුරා සාමණේර භික්ෂුවකගේ චර්යා පුහුණු කිරීමෙන් පසුවයි ඔවුන් සැබෑ ලෙසම සසුනට ඇතුළත් කරගන්නේ’’

නගරයේ ඝෝෂාවත්, ජංගම දුරකතනයේ නාදයත් රහිතව ගෙවෙන මේ දින 21 තුළ මිනිසාට ඇසෙන්නේ තම හෘද සාක්ෂියේ හඬයි. සිවුරු පලඳා පිරිත් සජ්ජායනා කරන විටත්, පිණ්ඩපාතයේ වැඩම කරන විටත් සිත තුළ ඇතිවන නිහතමානීකම මිල කළ නොහැකිය. මෙතෙක් කල් දිනා ගැනීමට වෙහෙසුණු ලෝකය නොව, තමා දිනා ගත යුතු තම සිත පිළිබඳ අවබෝධය ලැබෙන්නේ නකල්ස් වන අරණේ සීතල මැද පිහිටි මේ පින්බිමෙහිදීය.

මෙම පින්කමේ ඇති අතිශය වැදගත් ලක්ෂණය වන්නේ මෙයට එක්වන පිරිසෙහි ඇති විවිධත්වයයි. ලංකාවේ සතර දිග්භාගයෙන්ම පැමිණෙන තරුණයන් මෙන්ම, ජාති හෝ ආගම් භේදයකින් තොරව බොහෝ පිරිස් මේ සඳහා උනන්දුවක් දක්වති. ඇතුළත් වියහැකි වයස් සීමාව වයස අවුරුදු 60 ලෙස දන්වා තිබුණද වයස් භේදයකින් තොරව ඕනෑම නිරෝගී අයකුට මෙයට එක්වීමේ හැකියාව ලබා දී ඇත.

“පසුගිය කාලය පුරාවට තාවකාලික පැවිද්ද සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ශිෂ්‍යයන්ද දින 21ක කාලය සාර්ථකව නිම කළා. මෙම දින 21ක අත්දැකීමෙන් පසු ඉතාමත් අතළොස්සක් පමණයි නැවත තම ගම්බිම් බලා ගියේ ඉන් දස දෙනෙකු පමණ ස්ථිර වශයෙන්ම පැවිදි බිමට ඇතුළත් වී ශාසනය බැබළවීමට තීරණය කළා.” යැයි ස්වාමින් වහන්සේ පැවසූහ,

බාල, තරුණ, වැඩිහිටි ලෙස ලංකාවේ සිවු දෙසින්ම මෙම අතිඋතුම් ක්‍රියාවලිය සඳහා එක් වූවත් ඉන් ඉවත්ව යන්නේ ඉමහත් වූ දහම් කරුණු මෙන්ම පුරුදු පුහුණුද තමන් සතු කරගනිමිනි. මෙම වැඩසටහනේ ආධ්‍යාත්මික අරමුණ පිළිබඳව විමසූ අවස්ථාවේදී ආරණ්‍යවාසී විහාරාධිපති  පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඉතා වටිනා අදහසකි:

‘’අපේ ජීවිතය හරිම තාවකාලිකයි. කාර්යබහුලත්වයෙන් මිදී දින 21ක් වත්පිළිවෙත් පුරන පුද්ගලයා මෙතැනින් පිටව යන්නේ නව මිනිසකු ලෙසයි. ලෝක ප්‍රකට මාක් සකර්බර්ග් වැනි අය පවා මෙවැනි නිහඬ කාලයන් ගත කර තමන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගෙන තිබෙනවා. ව්‍යාපාරිකයකුට හෝ රැකියාවක නිරත වන්නෙකුට මේ ලබන ඉවසීම සහ ශික්ෂණය තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන ලොකුම පිටුවහලක්.’’

අතිශය කාර්යබහුල ජීවන රටාවක් ගත කරන්නා වූ මිනිසුන්ට දින 21ක් තරම් කුඩා කාලයකට වුවද ලබන ශාරීරික මෙන්ම මානසික සුවය ඔවුනොවුන්ගේ ජීවිතයේ  සැබෑ අරුත් වටහා ගැනීමට මහඟු පිටිවහලක් වනු නොඅනුමානය. එපමණක් නොව මීමුරේ වන අරණේ ගලා යන දිය දහරක හඬත්, මීදුම් සළුවත් මැද ගත කරන මේ දින 21, ඔබේ ජීවිතයේ ඔබ මෙතෙක් නොලැබූ විශාලතම ආධ්‍යාත්මික රක්ෂණයක් වනු නිසැකය. නගරයේ ඝෝෂාවෙන් බැහැරව, පඬු සිවුරේ සෙවණේ හිඳ තමා කවුදැයි හඳුනා ගන්නට මීමුරේ සේනාසනය ඔබට දොරගුළු විවර කර දී ඇත.

මදූශා දිල්ශානි