
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ප්‍රජාව සැමවිටම නවීන තාක්ෂණය වැලඳගැනීමේ පුරෝගාමීන් වීම ගැන ආඩම්බර වෙති. අප ජංගම දුරකථන සේවා හෝ වෙනත් යමක් මුලින්ම හඳුන්වා දුන් ආකාරය ගැන බොහෝ දේශන මට ඇසී ඇත. එබැවින් ශ්‍රී ලංකාව දත්ත මධ්‍යස්ථාන කේන්ද්‍රස්ථානයක් (Data Center Hub) බවට පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව තාක්ෂණික ප්‍රජාව අතර දැඩි කතාබහට ලක්වීම තේරුම් ගත හැකිය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී බදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් මිලියන 500ක් (ඩොලර් මිලියන 1.6ක්) වැය වනු ඇත. ඉදිරි වසරවලදී එය තවත් වැඩි වනු ඇත. මෙම යෝජනාව මැනවින් සිතා බලා ඉදිරිපත් කළ එකක් ද? එය ප්‍රායෝගිකද? රුපියල් මිලියන 500කට අධික මෙම ආයෝජනයෙන් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
දිල්ලියේ පැවැත්වුණු 'AI Impact Summit' හි දැවැන්ත ප්‍රචාරණයෙන් පසුව, මෙම ප්‍රශ්නය ඇසීම විවිධ දෝෂාරෝපණයන්ට ලක්වීමේ අවදානමක් සහිත කරුණකි. එහෙත් දුර්වල මූල්‍ය ශේෂපත්‍රයක් සහිත කුඩා රටක් වන ශ්‍රී ලංකාව ගැන අප ප්‍රශ්න කළ යුතුය.
තාක්ෂණික අසාර්ථකත්වයන් පිළිබඳ උදාහරණ
මීට පෙර රජයන් විසින් ඉදිරිපත් කරන ලද දිදුලන තාක්ෂණික පිම්මවල් පිළිබඳ යෝජනාවලදී ද මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත. ශ්‍රී ලංකා චන්ද්‍රිකාව (ChiChiSat) සම්බන්ධයෙන් ගල්කිස්සේ පැවති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උත්සවයකදී, එහි හවුල්කරු ලෙස පෙනී සිටි 'Surrey Satellite Technology Limited' (SSTL) නියෝජිතයකුගෙන් මම ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි. එම පිළිතුරු පිළිබඳ සෑහීමකට පත් නොවූ මම මගේ විවේචන ප්‍රසිද්ධ කළෙමි. අවසානයේදී SSTL වෙනුවට චීන සමාගමක් ආදේශ විය. එහි තිබූ එකම හොඳ දෙය නම් රජයේ මුදල් ඒ සඳහා වැය වී ඇති බවක් නොපෙනීමයි.
මහින්ද රාජපක්ෂ සිය සංචාරයකදී දුටු දෙයක් නිසා ඉදිවූ විකාශන කුලුනේ (නෙළුම් කුලුනේ) ක්‍රියාවලිය මීට වඩා අපැහැදිලි විය. අවසානයේදී නෙළුම් කුලුන තුළ විකාශන කටයුතු සඳහා ඉඩක් ඉතිරි නොවූ අතර, එය 2026 ජූලි වන විට පියවිය යුතු චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 88.6 ක රජය ඇප වූ ණය මුදල ඇතුළු මහජන මුදල් විශාල ප්‍රමාණයක් කා දමා ඇත. වත්මන් මෙහෙයුම් ආදායම එම ණය ගෙවීමට ප්‍රමාණවත් නොවේ.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් ඉහත කී ආකාරයේ සිහිබුද්ධියෙන් තොර වියදම් වැළැක්වීමට උත්සාහ කරයි. දත්ත මධ්‍යස්ථාන වැනි රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති සඳහා දැන් අනිවාර්ය කර ඇති සමාලෝචන ක්‍රියාවලියට වර්තමානයේ ඒ සම්බන්ධව ඇතිව ඇති සාකච්ඡාව මගින් ආලෝකයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දත්ත මධ්‍යස්ථාන සඳහා පදනම
ශ්‍රී ලංකාව සතුව දැනට විවිධ ස්ථානවල 'Tier III' මට්ටමේ දත්ත මධ්‍යස්ථාන හයක් ඇත. ඒවා සාපේක්ෂව කුඩා වන අතර දේශීය වෙෙළඳපොළට සේවා සපයයි. 'Tier III' මධ්‍යස්ථාන අඛණ්ඩ බල සැපයුමක් සහතික කළ යුතුය. ඒ අනුව වසරකට අක්‍රිය විය හැක්කේ පැය 1.6ක් පමණි.
වසර දෙකකින් විදුලිබල ප්‍රතිසංස්කරණ අවසන් වන තෙක් ශ්‍රී ලංකාවට ලබාගත නොහැකි 'Tier IV' දත්ත මධ්‍යස්ථානවල බලශක්ති සහ සිසිලන පද්ධති එකිනෙකෙන් වෙන් කර ඇත. මෙම මධ්‍යස්ථානවල සියලුම උපාංගවල අතිරේක පිටපත් (duplicates) පවතී. ඒවා සම්පූර්ණයෙන්ම දෝෂවලට ඔරොත්තු දෙන (fault-tolerant) ලෙස සකසා ඇති අතර සියයට 99.995 ක සක්‍රීය කාලයක් (වසරකට උපරිම අක්‍රිය කාලය විනාඩි 26.3 කි) අපේක්ෂා කෙරේ.
අඩු විදුලි ගාස්තු සහ ඉහළ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක් සහිත වියට්නාමය, දත්ත මධ්‍යස්ථාන කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමට විශාල උත්සාහයක් ගනිමින් සිටී. (දේශීය ඉල්ලුමට පමණක් නොව විදේශීය ආයතනවලට දත්ත සේවා සැපයීමෙන් අපනයන ආදායම් ඉපයීමට). එහි තත්ත්වය අප ශ්‍රී ලංකාවේ කළ යුතු දේ පිළිබඳව අවබෝධයක් ලබා දෙයි.
වියට්නාමය සතුව සක්‍රීය දත්ත මධ්‍යස්ථාන 34ක් ඇති අතර ඔවුන් දත්ත කේන්ද්‍රස්ථානයක් වීමට සැරසෙයි. ඔවුන් සියයට 100 ක විදේශීය හිමිකාරිත්වයට ඉඩ ලබා දෙයි. දත්ත මධ්‍යස්ථානවලට පුනර්ජනනීය බලශක්ති උත්පාදකයන්ගෙන් ඍජුවම විදුලිය මිලදී ගත හැකිය. වියට්නාමයේ සාමාන්‍ය ඉදිකිරීම් පිරිවැය මෙගාවොට් එකකට ඩොලර් මිලියන 6.9 කි. (2026 ශ්‍රී ලංකා අයවැය ප්‍රතිපාදනවල පවතින අඩුව මෙහිදී සලකන්න). මෙය තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි කලාපයේ අනෙකුත් රටවලට වඩා ලාභදායී වේ.
ගූගල් (Google) සමාගම 2027 වන විට වියට්නාමයේ ක්‍රියාත්මක වීමට නියමිත දත්ත මධ්‍යස්ථානයක ඩොලර් මිලියන 300-650ත් අතර මුදලක් ආයෝජනය කරයි. ඇමසන් (Amazon), අලිබබා (Alibaba) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) වැනි සමාගම් ද ඒ සඳහා උනන්දුවක් දක්වා ඇත. දැනට වියට්නාමය සතුව මුහුදු යටින් වැටුණු කේබල් (undersea cables) පහක් ඇති අතර 2030 වන විට තවත් දහයක් නිම කිරීමට සැලසුම් කර ඇත.
සම්පූර්ණයෙන්ම රජයේ අරමුදලින් සැලසුම් කර ඇති 'Tier IV' දත්ත මධ්‍යස්ථානය ගිනිකොනදිග ආසියාවේ විශාලතම මධ්‍යස්ථානය වනු ඇත. එය හෙක්ටයාර 20 කට වඩා වැඩි ප්‍රමාණයක විහිදෙන අතර සේවාදායක රාක්ක (server racks) 1,300 ක ධාරිතාවකින් යුක්ත වනු ඇත. එහි සම්පූර්ණ පිරිවැය තවමත් නොදනී.
2025 දී වියට්නාමය ජාතික දත්ත සංවර්ධන අරමුදල පිහිටුවන ලදී. මෙය ඩොලර් බිලියන 38.4 ක මූලික ආයෝජනයක් සහිත අයවැයෙන් බැහැර රාජ්‍ය මූල්‍ය අරමුදලක් ලෙස ක්‍රියාත්මක වේ. රජය ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් යටිතල පහසුකම්, ජාතික දත්ත පද්ධති සහ අනාගත දත්ත මධ්‍යස්ථාන සඳහා මෙයින් මුදල් සැපයීමට අපේක්ෂා කෙරේ.
වියට්නාමය මගින් පෙන්නුම් කරන්නේ ආකර්ෂණය කර ගත යුතු ආයෝජනවල පරිමාණයයි (ණය ලබා ගැනීමේ සීමිත හැකියාවක් ඇති රජයකට වියට්නාමය මෙන් දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට නොහැකි බව පැහැදිලිය). නමුත් එය එකම සාධකය නොවේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ආයෝජනයක් අනෙකුත් දකුණු ආසියාතික රටවලින් එල්ල වන තරගකාරිත්වය සැලකිල්ලට ගත යුතුය. එමෙන්ම අදාළ ස්ථානවල පවතින යෙදවුම් පිරිවැය සහ යෙදවුම්වල පවතින බව සංසන්දනය කර බැලිය යුතුය. වගුව මගින් ඒ පිළිබඳ ඇඟවීමක් ලබා දෙයි.
රජයක් තම භූමිය තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම ප්‍රවර්ධනය කරන්නේ ද යන්න තීරණය කිරීමේදී ඉඩම්, විදුලිය සහ ජලය වැනි ප්‍රධාන යෙදවුම්වල පවතින බව සහ අවස්ථා පිරිවැය (opportunity costs) සලකා බැලිය යුතුය. දත්ත මධ්‍යස්ථානයක් සඳහා ජලය ලීටර් මිලියන දෙකක් වැය කිරීම යනු වෙනත් කාර්යයක් සඳහා ජලය ලීටර් මිලියන දෙකක් අහිමි වීමයි.
දත්ත මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද? ඒවා විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය නොකරයි. බංග්ලාදේශයේ 'Tier IV' දත්ත මධ්‍යස්ථානය මගින් නිර්මාණය වූයේ රැකියා 69ක් පමණි. බදු ආදායමක් ලැබේ ද? මෙම ආර්ථික සාධකවලින් ඔබ්බට, සමහර රජයන් ආර්ථික නොවන සාධක මත පදනම්ව ක්‍රියා කරයි. 2026 රාජ්‍ය අයවැයෙන් මැලේසියානු අගමැතිවරයා ප්‍රකාශ කළේ ස්වෛරී AI වලාකුළක් (Sovereign AI cloud) ගොඩනැගීම සඳහා රජය රින්ගිට් බිලියන 2 ක් වෙන් කරන බවයි. සියලුම රාජ්‍යයන් ස්වෛරී වලාකුළු පහසුකම්වලට ප්‍රමුඛතාව දෙන්නේ නම්, වියට්නාමය වැනි බාහිරව අවධානය යොමු කරන මධ්‍යස්ථාන සඳහා ව්‍යාපාරික අවස්ථා පවතී ද?
ඇත්ත වශයෙන්ම, එක් එක් රජය තමන්ට දත්ත මධ්‍යස්ථානවලින් අවශ්‍ය කුමක්දැයි තීරණය කළ යුතු අතර, පිරිවැය සහ ප්‍රතිලාභ තක්සේරු කර නිසි නිගමනවලට එළඹිය යුතුය. ඉන්දියාව වැනි විශාල ආර්ථිකයකට ලැබෙන පිළිතුර ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට සමාන නොවේ.
අද දින පවතින 'Large Language Models' සඳහා
අවශ්‍ය සිලිකන් ලෝකයට සහාය දැක්වීම සඳහා දත්ත මධ්‍යස්ථාන පිළිබඳ පවතින

උද් යෝගය තුළ, අනාගතයේදී ඒවා යල් පැන යාමේ හැකියාව ද සැලකිල්ලට ගත යුතුය. සමහර විට ක්වොන්ටම් (quantum) හෝ ජෛව විද්‍යාත්මක පරිගණක (biological computing) AI සංවර්ධනයේ මීළඟ අදියරට නායකත්වය දෙනු ඇති අතර, අද ගොඩනගන විශාල දත්ත මධ්‍යස්ථාන ප්‍රයෝජනයක් නොමැති වස්තූන් බවට පත් විය හැකිය.
(ඩේලි එෆ්ටී පුවත්පතේ පළ වූ ලිපියක පරිවර්තනයකි.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd