අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ගත වූ 78 වසරක කාලයෙහි අප රටේ කිසිදු පාලකයකු හෝ ආණ්ඩුවක් සිදු නොකළ, වචනයේ වර්තමාන ආණ්ඩුව යටතේ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇත. ඒ අනුව 2026 ජනවාරි 5 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් පැවති නිදහස් සෞඛ්‍ය සේවය අවසන් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් තීන්දු දෙකක් ප්‍රකාශයට පත් කර ඇත. එහි අංක 4 තීන්දුවට අනුව රෝග විනිශ්චය සඳහා අවශ්‍ය වන ස්කෑන් පරීක්ෂණ  ආදී වශයෙන් සහ හෘද කැතීටකරණ පරීක්ෂණ මෙන්ම රක්තවේද සහ ජෛව රසයන විද්‍යා විශ්ලේෂණ පරීක්ෂණ ආදී වශයෙන් වන ඉහළ පිරිවැය සහිත පරීක්ෂණ වාර්තා සියල්ල රාජ්‍ය සෞඛ්‍ය සේවයේ රෝගීන්ට ලබාදීම සඳහා පෞද්ගලික රෝහල්වලට කොන්ත්‍රාත් ලබා දෙනු ඇත. එනම් එම සේවා රජය විසින් මුදල් ගෙවා  රෝගීන් වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් ලබාගනු ඇත.

ඒ අනුව ක්‍රමානුකූලව එම පරීක්ෂණ සඳහා අවශ්‍ය වන තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා රජය විසින් ආයෝජන සිදුකිරීමේ ක්‍රියාවලිය අවසන් කෙරෙනු ඇත. ඒ සඳහා මේ වන විට බඳවාගෙන සිටින විශේෂඥ තාක්ෂණික ශිල්පීන් විශ්‍රාම යන තෙක් ඔවුන්ගේ වැටුප් සහ දීමනා රජය විසින් ගෙවනු ඇත. එවැනි තත්ත්වයක් තුළ අඩු පිරිවැයක් සහිතව එම ශිල්පීන්ම කාල සටහනක් අනුව යොදාගනිමින් වැඩි ලාභයක් ඉපැයීමට පෞද්ගලික රෝහල්වලට අවස්ථාව ලැබේ. එසේ ආරම්භ කරන එම ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය වර්ධනය කරමින් සහ දිරිගන්වමින් රාජ්‍ය පිරිවැය හෙවත් අරමුදල් කප්පාදු කරමින් මෙතෙක් පැමිණි ගමනේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරන සන්ධිස්ථානයකි. ඊට අමතරව ඒ මගින් අධික මිල සහිත සෞඛ්‍ය සේවා වෙළෙඳපොළ විදේශීය සමාගම් විසින් අත්පත් කර ගැනීමේ ප්‍රබල අවකාශයක් ද නිර්මාණය වේ. ඉන්දු ශ්‍රී ලංකා එට්කා ගිවිසුම යටතේ එම වෙළෙඳ පොළ සම්පූර්ණයෙන්ම ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. 

මාලිමා ආණ්ඩුවේ මෙම නව ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය අරමුදල් පෞද්ගලික අංශයට පොම්ප කිරීම සිදුවන අතර එම අරමුදල් පෞද්ගලික අංශයේ අධික ලාභයේ කොටසක් බවට පත්වනු ඇත. එම පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශය විශාල ගාස්තු අය කරන බව සහ ඒ මගින් අධික ලාභයක් උපයන බව රහසක් නොවේ. ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළ ද එවැනි පරීක්ෂණ සඳහා ආයෝජනය කරනු ලබන්නේ සීමිත පෞද්ගලික රෝහල් ප්‍රමාණයක් බැවින් ඔවුන්ගේ එකඟතාව මත  ආණ්ඩුවට ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මීට පෙර ඉතා සූක්ෂමව සිදුකළ පෞද්ගලික අංශයේ කොටස් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුළ අදාළ පිරිවැය දරනු ලැබුවේ රෝගියා විසිනි. එහිදී ආර්ථික විභවය සහිත රෝගීන් එසේ එම සේවා පෞද්ගලික රෝහල්වලින් ලබා ගැනීමෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ අරමුදල් පෞද්ගලික අංශයට පොම්ප කිරීමක් සිදුවූයේ නැත. නමුත් ඒ මගින් සෞඛ්‍ය සඳහා රජය විසින් දරනු ලබන පිරිවැය කප්පාදු කිරීමට අවස්ථාව ලැබුණි. 

එම සමස්ත ක්‍රියාවලියෙහිදී සෞඛ්‍ය සේවා සඳහා රටක් ලෙස පොදු ජනතාව විසින් දරනු ලබන පිරිවැය ඉහළ ගිය අතර රාජ්‍ය සේවය විසින් පෞද්ගලික අංශයේ පිරිවැය කොටසක් දැරීම සහ පෞද්ගලික අංශයට නොමිලේ ද්විතීක රක්ෂණයක් ලබාදීම ද සිදුවිය. ඒ අනුව රජය විසින් පුහුණු කළ සහ වැටුප් ගෙවන සෞඛ්‍ය සේවාවට අදාළ විශේෂඥ පිරිස් බලය පෞද්ගලික අංශයට ඉතා අඩු මුදලට ලබාගත හැකි විය. එසේම පෞද්ගලික අංශය විසින් අධික මුදල් අය කරමින් ප්‍රතිකාර කළ රෝගයකු අසාධ්‍ය වූ විට රජයේ රෝහලකට මාරු කර යැවීම මගින් නොමිලේ ද්විතීක රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට ද පෞද්ගලික අංශයට හැකි වී ඇත. එම ක්‍රියාවලිය තුළ දළ ජාතික නිෂ්පාදිතයේ සෞඛ්‍ය සේවයට අදාළ සීයට2 බැගින්වූ රාජ්‍යයේ කොටස සහ පෞද්ගලික අංශයේ කොටස සමාන වුවද බර දැරීම හෙවත් සේවා සැපයීමේදී බරපතළ විෂමතාවක් දක්නට තබේ. උදාහරණයක් ලෙස රාජ්‍ය සේවය සමස්ත අභ්‍යන්තර රෝගී ප්‍රතිකාර සේවාවලින් සීයට90ක් බර දරන විට පෞද්ගලික අංශය දරන්නේ සීයට10 ක් පමණි. චැනල් සේවා සැපයීම  අනුව බාහිර රෝගී සේවා සැපයීම පමණක් සීයට50 දක්වා වැඩි වී ඇත. 

ඒ සියල්ලට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට රාජ්‍ය සෞඛ්‍ය සේවයට අවශ්‍ය පරීක්ෂණ වාර්තා පෞද්ගලික රෝහල් මගින් බාහිරින් ලබාගැනීමට අමතරව යම් විශේෂ ප්‍රතිකාර සේවා ද පෞද්ගලික අංශයෙන් හෙවත් බාහිර ආයතනවලින් ලබා ගැනීමටද 2026 ජනවාරි 5 අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව තීන්දු අංක 5 මගින් වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ද පෞද්ගලික අංශයට පැවරීමට හෙවත් බාහිරින් ලබා ගැනීමට තීරණය කර ඇත. එහි විශේෂත්වය වන්නේ එමඟින් පෞද්ගලික රෝහල්වලට රජයේ රෝහල්වල පහසුකම් භාවිත කරමින් එම සේවා සැපයීමට සහ ඒ මගින් වැඩිලාභයක් ඉපැයීමට අවස්ථාව ලැබීමය. වකුගඩු රෝගීන් සඳහා වන රුධිර කාන්දුකරණය පමණක් නොව හෘද කැතීටකරණය සමග ඒකාබද්ධව හෘද රෝගීන්ට සිදු කෙරෙන ප්‍රතිකාර සඳහා ද මෙම ක්‍රමය භාවිත වීමට නියමිත බව ඉතා පැහැදිලිය.

මෙය හුදු පුද්ගලීකරණයක් හෝ ජනප්‍රිය ආකාරයෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස සැලකිය නොහැක. ඊට හේතුව ඉහත සඳහන් කළ ආකාරයට මෙම ක්‍රියාවලිය තුළ රාජ්‍ය අරමුදල් පෞද්ගලික අංශයේ ලාභයෙහි නියෝජනය වන ආකාරයට පෞද්ගලික අංශයට බදු ගෙවන ජනතාවගේ අරමුදල් පොම්ප කිරීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක වීමය.  ශ්‍රී ලංකාවේ රජයක් විසින් සායනික සේවා හෙවත් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මෙම ක්‍රමය භාවිත කිරීමට උත්සාහ කරන්නේ පළමු වතාවට වුවත් ඊට පෙර වෙනත් සහායක සේවා බාහිරින් ලබා ගැනීම මගින් මෙම අවසාන අරමුණ වෙත පාර කපා ගැනීම සඳහා ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියක් දියත් විය. පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සහ ආහාර සැපයීමේ සේවා බාහිරින් ලබා ගැනීම ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. 

මාලිමා ආණ්ඩුවේ මෙම නව ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය අරමුදල් ෙපෟද්ගලික අංශයට පොම්ප කිරීම සිදුවන අතර එම අරමුදල් ෙපෟද්ගලික අංශයේ අධික ලාභයේ කොටසක් බවට පත්වනු ඇත. එම පරීක්ෂණ සඳහා ෙපෟද්ගලික අංශය විශාල ගාස්තු අය කරන බව සහ ඒ මගින් අධික ලාභයක් උපයන බව රහසක් නොවේ. 

ෙපෟද්ගලික රක්ෂණය සඳහා රජය මගින් පිරිවැය දැරීම මගින් රාජ්‍යය අරමුදල් ෙපෟද්ගලික අංශයට පොම්ප කිරීමේ ක්‍රියාවලියක්ද දියත් විය. පාසල් සිසුන්ට ලබාදුන් වෛද්‍ය රක්ෂණය සහ රාජ්‍ය සේවකයන්ට ලබාදුන් අග්‍රහාර රක්ෂණය ඒ සඳහා උදාහරණ වේ. එහිදී රාජ්‍ය සේවක රක්ෂණය සඳහා සේවකයා යම් පිරිවැයක් දැරුවද පාසල් සිසුන්ට ලබාදුන් පාසල් රක්ෂාවරණයේ පිරිවැය සම්පූර්ණයෙන්ම රජය විසින් දරනු ලැබීය. ලෝකයේ සෞඛ්‍ය සේවා වෙළෙඳ​ෙපාළක්නි ර්මාණය    කිරීම සඳහා බදු ගෙවන ජනතාවගේ අරමුදල් හෙවත් රාජ්‍ය අරමුදල් ෙපෟද්ගලික අංශයේ ලාභය තුළ නියෝජනය වන ආකාරයට යෙදවීම සඳහා යොදාගන්නා ප්‍රධාන උපාය මාර්ගික ප්‍රවේශයක් වන්නේ ෙපෟද්ගලික රක්ෂණය සඳහා රාජ්‍ය අරමුදල් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් යෙදවීමය. එහෙත් එය ශ්‍රී ලංකාවේ අභිනවයෙන් ආරම්භ කිරීමට උත්සාහ කරන ඍජු ගෙවීම් සිදුකිරීමට වඩා මූල්‍යමය වශයෙන් අකාර්යක්ෂම බව ඉතා පැහැදිලිය. ඊට හේතුව රක්ෂණ සමාගම්වල පිරිවැය සහ ලාභය ලෙස එම අරමුදල්වලින් සීයට30කට වැඩි ප්‍රමාණයක් වැය වීමය. ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවා වෙළෙඳපොළ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට13.5 ක් වුවද සේවාවල මූලික ගුණාත්මක තත්ත්වය ශ්‍රී ලංකාවටත් වඩා පහත මට්ටමක පැවතීමට ප්‍රබල හේතුවක් වන්නේ එම මූල්‍ය අකාර්යක්ෂමතාව බව ඉතා පැහැදිලිය.

කුමන පරිපාලන දුර්වලතා තිබුණ ද, ව්‍යුහාත්මකව නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව සමස්ත ලෝකයටම සුවිශේෂ ආදර්ශයක් සපයන ශ්‍රී ලංකාවේ පළමු වතාවට නිදහස් සෞඛ්‍ය සේවයක මූලික මූලධර්ම පවා උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන්නේ ඉතා මුග්ධ හේතු දැක්වීමකි. එනම් සෞඛ්‍ය පිරිවැය වැඩිවීම සහ රජයට එය දරා ගැනීමේ ගැටලු පවතින බැවින් රෝගීන්ට සේවා  අහිමි වන බව හෝ පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන නිසා එසේ කළයුතු බවය. නමුත් එය පට්ටපල් බොරුවකි. නව ක්‍රමය අනුව සේවාවේ පිරිවැයට අමතරව සියයට30- 50 අතර වන සමාගමේ ලාභය ද රජය විසින් දැරිය යුතු බැවින් රජයට දැරීමට සිදුවන පිරිවැය වැඩිවන බව ඉතා පැහැදිලිය. එසේම එම ක්‍රියාවලිය තුළ විවිධ පාර්ශ්වවල වුවමනාවන්ට අනුව මූල්‍ය ප්‍රතිලාභ සඳහා අනවශ්‍ය ලෙස පරීක්ෂණ ඇණවුම් කිරීම සහ වංචා දූෂණ ආදිය මගින් රජයේ පිරිවැය තවදුරටත් වැඩිවනු ඇත. ඊට අමතරව දැනටමත් අදාළ තාක්ෂණය යොදා ගැනීම සඳහා පිරිස් බලය සහ යටිතල පහසුකම් රජය සතුව පවතින බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ වංචා දූෂණ මැඩලීම සහ යන්ත්‍ර සූත්‍ර විකිණීමෙන් පසු සේවාවට අදාළව ප්‍රතිඵලදායක ලෙස ගිවිසුම්ගත වීම මගින් ෙපෟද්ගලික අංශයට වඩා අඩු පිරිවැයකට එම පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ඇත. 

ලෝක පරිමාවෙන් ගත් විට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවය, ඒක පුද්ගල පිරිවැය, සමාජ සාධාරණත්වය භූගෝලීය ප්‍රවේශය, ද්විතීක සහ තෘතීක සේවා සඳහා යොමු කිරීමේ කාර්යක්ෂමතාව ආදී වශයෙන් වන සේවයේ ගුණාත්මකභාවයට අදාළ මූලධාර්මික නිර්ණායකවලට අනුව ලෝකයේ ඉහළම ගෞරවයට ලක් වී ඇත. එවැනි සෞඛ්‍ය පද්ධතියක් බිඳ වට්ටවා සෞඛ්‍ය වෙළෙඳපළ පුළුල් කිරීම හෙවත් ෙපෟද්ගලික ලාභය වර්ධනය කිරීම සඳහා ලෝකයේ පිවිධ ණය දෙන ආයතන විසින් නිර්දේශ කරන ප්‍රධානතම හෙවත් මහා උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ අරමුදල් යෙදවීම් සහ සේවා සැපයීම බෙදා වෙන් කිරීමය.  ශ්‍රී ලංකාවේ රජය හෙවත්  මහා භාණ්ඩාගාරය අරමුදල් සපයන්නා වන අතර සේවා සපයන්නා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. නමුත් ඉහත බෙදීම යටතේ රජය අරමුදල් සපයන්නා ලෙස සිටිය දී සේවා සපයන්නන් කිහිප ආකාරයකට  පෙළගැස්විය හැක. ඒ අනුව රාජ්‍යයට අයත් සේවා සපයන්නාට අමතරව ෙපෟද්ගලික සේවා සපයන්නන්ට සහ ලාභ නොලබන ආයතන මගින් සේවා සපයන්නන්ට රාජ්‍ය අරමුදල් පොම්ප කිරීමේ පැහැදිලි නීතිමය හැකියාවක් ලැබේ. 

බ්‍රිතාන්‍ය අගමැති මාර්ගට් තැචර්ගේ කාලයෙදී ඒ වන විට බ්‍රිතාන්‍යයේ පැවති නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවට්ටුවා සෞඛ්‍ය වෙළෙඳපොළ පුළුල් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබුව ද සෞඛ්‍ය සේවයේ ප්‍රතිකාර සේවාවල මෙන්ම පද්ධතියේ ගුණාත්මක තත්ත්වය පාලනය කිරීම සඳහා ඉතා දියුණු පියවර රැසක් ගනු ලැබීය. උදාහරණයක් ලෙස රෝගීන් සාමාන්‍ය බාහිර රෝගී ප්‍රතිකාර මට්ටමින් විශේෂඥ සේවා සඳහා යොමු කිරීම මුල් කරගෙන විධිමත් යොමු කිරීමේ ක්‍රමවේදයක් සහ ප්‍රතිපෝෂණ ක්‍රමවේදයක් මෙන්ම ප්‍රතිකාරවල අඛණ්ඩ බවට අදාළව වාර්තා තබාගැනීමේ ක්‍රමවේද ආදිය ඉතා විධිමත්ව හඳුන්වා දෙනු ලැබීය. ඊට අමතරව වෛද්‍යවරුන් විසින් විශේෂ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටීම සහ ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඊට අදාළව නිසි මඟපෙන්වීම ලබාදීම සඳහා මාර්ගෝපදේශ ලේඛන හඳුන්වාදීම මගින් සේඛ්‍ය සේවා පිරිවැය පාලනය කරන අතර ප්‍රතිකාරවල ගුණාත්මක තත්ත්වය සහතික කරනු ලැබීය. එසේම ඒ මගින් රෝගියාට දැරීමට සිදුවන පිරිවැය ද පාලනය විය. ඒ සියල්ලටම වඩා එම ක්‍රියාවලිය තුළ ප්‍රශ්නසහගත හෙවත් ප්‍රතිඵලය පිළිබඳ පැහැදිලි සාක්ෂි දැක්විය නොහැකි සහ පිරිවැය අධික ප්‍රතිකාර විශේෂයෙන්ම බරපතළ රෝගී තත්ත්වයක දී වෛද්‍ය මැදිහත්වීම්වල මූල්‍ය පිරිවැය මෙන්ම රෝගියාට කායිකව සහ මානසිකව දැරීමට සිදුවන දුෂ්කරතා ආදී සියල්ල පැහැදිලි කර රෝගයේ ස්වාභාවික ගමන් මගට ඉඩදීම හෝ වෛද්‍ය මැදිහත්වීම යන තේරීම් දෙකෙන් එකක් දැනුම්වත්ව තෝරා ගැනීමට රෝගියාට අවස්ථාව ලැබේ.

අප රටේ මේ ආකාරයට ෙපෟද්ගලික අංශයට රාජ්‍ය අරමුදල් යොමු කිරීමේ දොරවල් විවෘත කරන්නේ ෙපෟද්ගලික ආයතන නියාමනය සඳහා පනවා ඇති නීතිය අනුව අඩු තරමින් මිල මට්ටම පාලනය කිරීම සඳහා රජය විසින් මැදිහත් නොවන තත්ත්වයක් යටතේය. එම පනතේ පාලක මණ්ඩලය තුළ ෙපෟද්ගලික රෝහල්වල ප්‍රාග්ධන හිමියන්ට විශාල බලයක් ලබාදීම තුළ පනතේ මූලික අරමුණු දුර්වල කර ඇතත් දැනට තිබෙන ප්‍රතිපාදන යටතේ පවා පිරිවැය, මිල මට්ටම් සහ ගුණාත්මක තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ඇත. එහෙත් දූෂණයට විරුද්ධව ප්‍රබල ජනවරමක් ලබාගත් වර්තමාන රජය එම අවම යුතුකම ඉටුකිරීම සඳහා කිසිදු උනන්දුවක් නොදක්වා නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවට්ටමින් දූෂණයට අත වැනීම ඉතා කනගාටුදායකය. අක්ෂි කාච බද්ධය සහ හෘද ස්ටෙන්ට් ප්‍රතිකාර සේවා සැපයීමේදී අදාළ කාච සහ ස්ටෙන්ට් උපාංග ෙපෟද්ගලික අංශය විසින් රෝහල් තුළ සැපයීමේ ක්‍රියාවලියක් තිබුණි. අදාළ සමාගම් රෝහල්වලට යම් ප්‍රදානයන් කිරීම ආදිය සහ වෛද්‍යවරුන්ට උපාංග භාවිත කරන ප්‍රමාණයට අනුව කොමිස් ලබාදීම ආදිය මගින් එම ක්‍රමය දීර්ඝකාලීනව පවත්වාගැනීමට උත්සාහ කරනු ලැබීය. නමුත් රාජ්‍ය මැදිහත්වීම මගින් සහ ෙපෟද්ගලික පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් ආදිය යොදාගැනීම මගින් අඩු පිරිවැය සහිතව ගුණාත්මකව එම සේවා ෙපෟද්ගලික අංශයට තරගකාරීව රජය මගින් සැපයීමේ දියුණු ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබීය. එම සේවා මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතී. ඒ අනුව ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම විශේෂයෙන්ම සමාජ ආර්ථික පිරි පිරිවැය ද ඇතුළත් වන ලෙස පිරිවැය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කිරීම මගින් පවතින තත්ත්වය දියුණු කිරීමේ පැහැදිලි විභවයක් පවතී.

වකුගඩු රෝගීන් සඳහා වන රුධිරකාන්දුකරණ පිරිවැය පියවීම සඳහා විශේෂිත අරමුදලක් පිහිටුවීමේ හැකියාව ඇත. එම අරමුදලට ෙපෟද්ගලික ධානපතියන්ගේ අරමුදලට අමතරව ජනාධිපති අරමුදලින් නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කිරීමේ බාධාවක් නැත. ඒ සියල්ලටම වඩා විශේෂයෙන්ම, විශේෂඥ සේවා සඳහා විධිමත් යොමු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම, මාර්ගෝපදේශ ලේඛන හඳුන්වා දීම මගින් පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සහ ඖෂධ නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය සබුද්ධික කිරීම, විශේෂිත සහ බහුලව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා පිරිවැය සහ මිල ප්‍රකාශයට පත් කිරීම සහ ඊට අනුව ෙපෟද්ගලික අංශයේ මිල පාලනය සඳහා රෙගුලාසි පැනවීම, ප්‍රතිකාරවල අඛණ්ඩතාවය රැකගැනීම සඳහා විධිමත් වූ වාර්තා තබා ගැනීම පිළිබඳව උපදෙස් නිකුත් කිරීම, රෝගීන් යොමු කිරීමේ සහ නැවත යොමු කිරීමේ ක්‍රියාවලිය මෙන්ම අභ්‍යන්තර ප්‍රතිකාර වලින් පසුව රෝගියා නිදහස් කිරීමේදී ඖෂධ සංහිඳියාවට අදාළව නිසි  උපදෙස් ලබා දීම ආදී ක්‍රියාමාර්ග හඳුන්වාදීම මෙන්ම යම් ක්‍රියාමාර්ග ආවේක්ෂණය කිරීම, පසු විපරම සහ ප්‍රතිපෝෂණය ආදී දියුණු කළමනාකරණ ක්‍රමවේද මඟින් මහජන සෞඛ්‍ය පිරිවැය පාලනය කිරීමේ පැහැදිලි හැකියාවක් පවතී. ඒ පිළිබඳව ලෝකයේ බොහෝ රටවලින් සාක්ෂි සහ ආදර්ශය ලබාගත හැක. 

මේ අනුව ඖෂධ නියාමන පනත සංශෝධනය කිරීම මගින් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත සැපයුම් කරුවන්ගෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව ආනයන කිරීම සහ බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන සැලසිය හැක. ඒ සඳහා අදාළ පනත මගින් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව නීතිගත කළ යුතුය. එසේම රෝගියාට කියවා ගත හැකි ආකාරයට ඖෂධ වට්ටෝරු නිකුත් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීම මගින් රෝගීන් අතර පමණක් නොව වෛද්‍යවරුන් අතර ද සබුද්ධික ඖෂධ භාවිතය දිරිමත් කිරීම මගින් සෞඛ්‍ය පිරිවැය විශාල වශයෙන් අඩු කර ගැනීමේ හැකියාව ඇත.

ඊනියා රාජ්‍ය ෙපෟද්ගලික ඒකාබද්ධ සේවාව හෙවත් රාජ්‍ය අරමුදල් යොදවා ෙපෟද්ගලික අංශයෙන් සේවා ලබාගැනීම සාධාරණීකරණය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන තවත් නිදහසට කරුණක් වන්නේ බෝ නොවන රෝග වර්ධනය වීමෙන් සිදුවන රාජ්‍ය පිරිවැය වැඩිවීමේ ප්‍රවණතාව රජයට දරා ගැනීමට නොහැකි බවය. නමුත් බෝ නොවන රෝග දීර්ඝකාලීනව පාලනය කිරීම සඳහා යොදාගත යුතු මූලික රෝග නිවාරණ උපාය මාර්ගය වන පාසල් දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියක් වර්ධනය කිරීම පිළිබඳව වර්තමාන රජය විසින් කිසිදු අවධානයක් දක්වා නොමැත. අද වන විට ඇමෙරිකාව පවා පාසල් දරුවන් අතර සෞඛ්‍යයට අහිතකර ආහාර විශේෂයෙන්ම ක්ෂණික ආහාර ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් ඇත. එසේ වුවත් අප රටේ පාසල්වල තිරිඟු පිටි ආහාර සහ පැණි බීම තහනම් කරමින් 2011 දී නිකුත් කළ අධ්‍යාපන චක්‍රලේඛය අවලංගු කරමින් 2015 දී නිකුත් කළ ලිහිල් චක්‍රලේඛය මගින් පාසලෙහි ඕනෑම ජරාවක් දරුවන්ට කැවීමට අපනශාලා හිමියන්ට ඉඩ ලබාදී ඇත. එම ක්‍රියාවලිය අනුව ප්‍රසිද්ධ පාසල්වල අපනශාලා මගින් දරුවන්ගේ සෞඛ්‍යය බිල්ලට දෙමින් එක් දිනකට රුපියල් 8000 සිට 10000 දක්වා ආදායම් ඉපැයීමට විදුහල්පතිවරුන් විසින් අවස්ථාව නිර්මාණය කරගෙන තිබේ. 

එසේම ආණ්ඩුව විසින්ම පිළිගන්නා ආකාරයට බෝ නොවන රෝග වර්ධනයවීමේ ප්‍රවණතාව පාලනය කිරීම සඳහා ඉටු කළ යුතු පළමු කොන්දේසිය වන්නේ පළිබෝධනාශක පනත සංශෝධනය කිරීම මගින් අවම පළිබෝධනාශක ලැයිස්තුව නීතිගත කිරීමය. ඒ මගින් දැනට භාවිත වන 200කට අධික රසායනික වර්ග 20ක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව ඇත. ඊට අදාළ දෙවන කොන්දේසිය එම නීතිය මගින් ම පළිබෝධනාශක විකිණීම සහ මිලදී ගැනීම සඳහා ඖෂධවලට මෙන් නිර්දේශ කිරීම අනිවාර්ය කිරීම මගින් භාවිතය සබුද්ධික කිරීමය. 

ඒ කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකර ව්‍යාජ හේතු දක්වමින් රාජ්‍ය අරමුදල් ​ෙපෟද්ගලික අංශයට පොම්ප කිරීමේ උත්සාහය සාධාරණීකරණය කිරීමේ කිසිදු සදාචාර බලයක් වර්තමාන ආණ්ඩුවට නැත. එය ඉතා පැහැදිලිව ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට කෙළ ගැසීමක්  පමණක් නොව එම දේශපාලන බලවේගය පිළිබඳව විශ්වාසය තැබූ ජනවරමට පිටුපෑමකි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.