
වර්තමාන සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ දරුවෙකු යනු හුදෙක් විෂය කරුණු පමණක් මතක තබා ගන්නා යන්ත්‍රයක් නොවිය යුතුය. ලෝකය ජය ගැනීම සඳහා පොතපතේ දැනුම මෙන්ම, නොසැලෙන පෞරුෂයක්, යකඩ විනයක් සහ නායකත්ව ගුණාංගවලින් සපිරි මානව සම්පතක අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා තදින් දැනෙමින් පවතී. මෙම හිඩැස පිරවීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිෂ්‍යභට බළකාය (National Cadet Corps) ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව, "සූදානම් නොවී නොසිටිනු" (NONQUAM NON PARATUS) යන ආදර්ශ පාඨය පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම අභිමානවත් බළකාය, මෙරට යොවුන් පරපුරේ පෞරුෂය සහ විනය හැඩගැස්වීමේ ප්‍රමුඛතම තෝතැන්නයි. ඒ පාසල් පද්ධතියෙන් ඇරඹෙන ශිෂ්‍ය භට කණ්‍ඩායමයි.
පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම් (Cadetting) කෙරෙහි වර්තමාන සිසුන් දක්වන උනන්දුව සහ දායකත්වය පිළිබඳව විමසා බැලීමේදී, එය හුදෙක් බාහිර ක්‍රියාකාරකමක් පමණක් නොව, පෞරුෂ වර්ධනය සඳහා වන ප්‍රධාන මාවතක් ලෙස වර්තමානයේදී පිළිගැනීමට ලක්ව තිබේ. පාසල් ශිෂ්‍යභට කණ්ඩායමට පෙරට වඩා සිසුන්ගේ ඇති ඉල්ලුම, දායකත්වය කෙබඳු ද ? අපි විමසමු.
ශිෂ්‍යභට කියන්නේ මානසික ශක්තිය සහ දරාගැනීමේ හැකියාව උපරිමයෙන් ප්‍රගුණ කරන තැනක්. මෙසේ පැවසුවේ -ශිෂ්‍ය භට පුහුණු බළකායේ වත්මන් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක
"වර්තමාන තරගකාරී අධ්‍යාපන රටාව තුළ වුවද, ශිෂ්‍යභට කණ්ඩායම්වලට එක්වීමට සිසුන් දක්වන උනන්දුව අඩු වැඩි වශයෙන් තියෙනවා. සිසුන් ශිෂ්‍ය භටවලට යොමු වීම නගර මට්ටමේ පාසල්වල ඉහළ වුණත් ග්‍රාමීය මට්ටමෙන් ඉතා අඩු ප්‍රවණතාවක් තිබුණත් මේ වෙනකොට ග්‍රාමිය මට්ටමේ පාසල් තුළත් සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. මේ සඳහා පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැනු දරුවන්ගේ යොමු වීම අද ඉතා ඉහළ මට්ටමක පවතිනවා. 2009 වසරට කලින් උතුරු නැගෙනහිර පළාත්වල දරුවන් ද ශිෂ්‍යභට නායකත්ව පුහුණුවට එකතු වුණේ නැහැ. නමුත් 2009 යුද වාතාවරණය අවසන් වීමෙන් පසු දහස් ගණනින් දරුවන් මෙම ජාතික ප්‍රවාහයට එක්වීම සිදුවුණා. ජාතික ශිෂ්‍යභට බළකායේ නායකත්ව පුහුණුවේ සාර්ථකත්වය නිසාම, එය අද වන විට රාජ්‍ය අංශයේ විවිධ මට්ටම් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙන්ම විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා ද නේවාසික නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
මීට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා, එකක් තමයි තීරණ ගැනීමේ හැකියාව සහ නායකත්ව ගුණාංග ප්‍රායෝගිකව පුහුණු වීමට ඇති හොඳම තෝතැන්නක් ලෙස ගොඩක් දෙනා මේ ස්ථානය සලකනවා.
අනික් කාරණය තමයි විශ්වවිද්‍යාල සහ රුකියා අවස්ථාවලදී තමන්ගේ පෞරුෂ වර්ධනය ඉතාම වැදගත්. බොහෝ උසස් අධ්‍යාපන ආයතන සහ ආරක්ෂක අංශවල රැකියා සඳහා අයදුම් කිරීමේදී ශිෂ්‍ය භටයෙකු ලෙස ලැබූ අත්දැකීම් අතිරේක සුදුසුකමක් ලෙස සලකනවා.
ඒ වගේම අද බොහෝ තරුණ පිරිස ස්මාර්ට් දුරකථන සහ පරිගණක ක්‍රීඩාවලට සීමා වූ ජීවිතයෙන් මිදීලා , එළිමහන් ක්‍රියාකාරකම් සහ කඳවුරු අත්දැකීම් ලැබීමට කැමැත්තක් දක්වන නිසා එවැනි අයත් ශිෂ්‍යභට කණ්ඩායම යොමුවීම සිදුවෙනවා.
අද දරුවන්ට නැතිම දේ තමයි කණ්ඩායම් හැඟීම.තනි තනිව වැඩ කරනවා වෙනුවට, පොදු අරමුණක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අවශ්‍ය මානසිකත්වය මේ ක්‍රියාකාරකම්වලින් සෑදීමත් අපේ ප්‍රධාන කාර්යයක් වෙනවා.
ඒ වගේම තමයි ශිෂ්‍ය භටයකු ලෙස පුහුණුව ලබන සිසුවෙකු තුළ සාමාන්‍ය සිසුවෙකුට වඩා වැඩි ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා.
පාසල් ශිෂ්‍ය භට පුහුණු වීම් වලට පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැනු දරුවන්ගේ යොමු වීම ඉහළයි
එමෙන්ම ඕනෑම දුෂ්කර ප්‍රශ්නයකදී වුවත් නොසැළී සිටීමේ ශක්තිය ලැබෙනවා.ප්‍රසිද්ධියේ කථා කිරීම සහ විධානයන් දීමට ඇති බිය දුරු වෙනවා. ඊට අමතරව කාල කළමනාකරණය සහ විනය (Time Management & Discipline) වර්තමාන තාරුණ්‍යයට අත්‍යවශ්‍යම ගුණාංගය කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ සහෝදරත්වය (Teamwork & Esprit de Corps)"මම" යන සංකල්පයෙන් බැහැර වී "අපි" යන හැඟීම මෙහිදී ප්‍රගුණ ප්‍රගුණ කිරිමට මෙය හොඳම තේතැන්නක් වෙනවා.
ශිෂ්‍ය භට කණ්ඩායම යනු හුදෙක් නිල ඇඳුමක් ඇඳ සරඹ කිරීමක් පමණක් නොව, එය අභියෝග ජයගන්නා දිරිය පරපුරක් බිහි කරන තක්සලාවක් කිවහොත් නිවැරදියි. “
ලාංකීයය ශිෂ්‍යභට ව්‍යාපාරයේ සමාරම්භය
ලාංකීයය ශිෂ්‍යභට ව්‍යාපාරයේ සමාරම්භය සනිටුහන් වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ එනම් 1881 වර්ෂයේදීය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජෝන් බී. කල් (John B. Cull) මහතාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපාරයේ මූලිකම අරමුණ වූයේ 'සරඹ' (Drill) පුහුණුව මගින් සිසුන් තුළ විනය වර්ධනය කිරීමයි. පසුව 1902 වසරේදී මෙය ලංකා පාබල හමුදාවට අනුයුක්තව ස්වේච්ඡා බළඇණියක් ලෙස වර්ධනය වී ඇත. වර්ෂ 1985 දී අංක 40 දරන ආඥා පනත යටතේ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ පොලිස් ශිෂ්‍යභට බලකාය ඒකාබද්ධ කරමින් 1988 දී වත්මන් "ජාතික ශිෂ්‍යභට බළකාය" නිල වශයෙන් ස්ථාපිත විය. අද වන විට පළාත් මූලස්ථාන 09ක් සහ බලඇණි 30කින් සමන්විත මෙම බලකාය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ ක්‍රියාශීලී තරුණ සංවිධානය බවට පත්ව තිබේ.
පාසල් පද්ධතිය තුළ ශිෂ්‍යභට නායකත්ව පුහුණුව සඳහා දායකත්වය
අද වන විට දිවයින පුරා පාසල් 1,300කට අධික සංඛ්‍යාවක ශිෂ්‍යභට කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර ඛණ්ඩ 4,599කින් සහ සිසුන් 160,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම බලකාය මෙහෙයවීම සඳහා අධිකාරියට පත් නිලධාරීන් 3,092 දෙනෙක් කැපවී සිටිති.
"ශිෂ්‍යභටයෙකු වීම යනු හුදෙක් නිල ඇඳුමක් හැඳීම පමණක් නොවෙයි . එය දරුවෙකුගේ අභ්‍යන්තර පෞරුෂය මුළුමනින්ම වෙනස් කරන විද්‍යාත්මක ක්‍රියාවලියක්. සරඹ පුහුණුව හරහා ශරීරයේ ඉරියව් නිවැරදි කිරීමේ සිට, මානසික ඒකාග්‍රතාව වර්ධනය කිරීම දක්වා පුළුල් පරාසයක පුහුණුවක් මෙහිදී ලැබෙනවා.
විශේෂයෙන්ම රන්ටැඹේ සහ මුලතිව් වැනි පුහුණු මධ්‍යස්ථානවල ලබන නේවාසික පුහුණුව මගින් දරුවා තුළ "අසීමිත ආත්ම විශ්වාසයක්" (High Self-Confidence) ගොඩනැගෙනවා. තමන්ට තනිවම ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව දරුවා ප්‍රායෝගිකව වටහා ගන්නේ මෙහිදීයි.
විනය කියන්නේ හුදු නීති මාලාවක් නොවෙයි, එය ජීවන රටාවක් බවට පත් කිරීම තමයි මෙහි අරමුණ. නායකත්ව පුහුණුව හරහා දරුවෙකුට කණ්ඩායමක් මෙහෙයවීම, ක්ෂණික සහ නිවැරදි තීරණ ගැනීම මෙන්ම අන්‍යයන්ට ගරු කිරීම වැනි උදාර ගුණාංග මෙම පුහුණුවෙන් ප්‍රගුණ කළ හැකියි. අද සමාජයේ බොහෝ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වැනි අයහපත් දේට යොමු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නිසි මාර්ගෝපදේශනයක් සහ පෞරුෂයක් නොමැතිකම. ශිෂ්‍යභට පුහුණුව ලබන දරුවා තුළ ගොඩනැගෙන මානසික ශක්තිය නිසා ඔහු කිසිවිටකත් එවැනි දුර්වලතාවලට ගොදුරු වන්නේ නැහැ.”
වාර්ෂිකව දක්ෂතම ශිෂ්‍යභටයන් 100 දෙනෙකුට පමණ ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි විදේශ රටවල සංචාරය කිරීමට අවස්ථාවද මෙමගින් උදා වන අතර මෙය තරුණයෙකුට ලෝකය දැකීමට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී අ.පො.ස (උසස් පෙළ) ලකුණු වලට අමතරව ශිෂ්‍යභට සහතිකය වෙනුවෙන් විශේෂ ලකුණු ප්‍රමාණයක් හිමි වේ. ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රුකියා සම්මුඛ පරීක්ෂණයකදී ශිෂ්‍යභට සහතිකය හිමි අයෙකුට ලැබෙන්නේ ඉහළම පිළිගැනීමකි. ඊට හේතුව එම දරුවා තුළ ඇති විනය සහ වගකීම් දැරීමේ හැකියාව ආයතන ප්‍රධානීන් හොඳින් දන්නා බැවිනි.
"නව අධ්‍යාපන ප්‍රතිසංකරණය යටතේ ශිෂ්‍යභට නායකත්ව පුහුණුව සඳහා පාසල් පද්ධතියෙහි වැඩි ඉඩකඩක් ලබාගැනීම තමයි අපේ අපේක්ෂා ව. ජාතික ශිෂ්‍යභට බළකාය බාහිර ක්‍රියාකාරකමක් පමණක් නොවෙයි, එය මව්බිමට ආදරය කරන, විනයගරුක, අභියෝග හමුවේ නොසැළෙන, "සූදානම් නොවී නොසිටින" මිනිසුන් තනන ජාතික මෙහෙවරයි. ශිෂ්‍යභට බළකාය යනු හුදෙක් සරඹ පුහුණු කරන තැනක් නොවෙයි. එය රටේ අනාගතය භාර ගැනීමට සුදුසු, සෘජු කොන්දක් සහ අවංක හදවතක් ඇති, පෞරුෂයෙන් පිරිපුන් පුරවැසියන් තනන ජාතික තක්සලාවයි.
මදූශා දිල්ශානි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd