AI මගින් නිර්මිත ඡායාරූපකි
 
“නිළියක්” කියූ සැණින් කෙනකුගේ සිතට නැංවෙන්නේ රුවැති ළඳකගේ චිත්ත රූපයකි. වංචාවකට හෝ වෙනත් එවැනි කරුණකට නිළියක් සැකපිට පොලිස් අත්අඩංගුවට, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමකට නැත්නම් සිරගතවීමකට පත් වුවහොත්, ඒත් නැත්නම් හදිසි අනතුරකට ලක්වීමක් හෝ පොදු සමාජය අනුමත නොකරන හැසිරීමක්, චර්යාවක් වැන්නක දී ජනමාධ්‍යවලට එය රසමසවුළුක් වෙන ප්‍රවෘත්තියක් වෙන්නේ  ඒ චෛතසිකත්වය නිසා දැයි කියන්න දන්නේ නැත.
 
රූ රැජිනක් ලෙස කිරුළු පලන් නිළියකගේ නමක් හිරගෙදර සමග ඈඳුණු පුවතක් පසුගියදා අප කන වැකුණ මුත්, එය බොහෝ දෙනාට රසමසවුලක් වෙන තරම් විශේෂිත ප්‍රවෘත්තියක් වූයේ නැත.  
රැඳවියන් ගැන නිළියන් ගැන මෙසේ අප මතකය අලුත් වූයේ රූප සුන්දරියක් බන්ධනාගාර නිරීක්‍ෂණ කමිටුවට පත්වීමත් සමගය.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධාන නිරීක්ෂණ කමිටුව සඳහා ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන ස්ටෙෆ්නි සිරිවර්ධන ඇතුළු හයදෙනකු ගෙන් යුත් කණ්ඩායමක් රජය විසින් පත්කර තිබේ. ඒ රැඳවියන්ගේ සුබසාධනය හා ආශ්‍රිත වෙනත් ගැටලු පිළිබඳව සොයා බලා අදාළ බලධාරීන් දැනුම්වත් කිරීම - ඔවුන්ගේ රාජකාරිය ලෙස පවරමිනි.  
 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක ප්‍රකාශ කොට ඇත්තේ, මින් පෙරද මෙවැනි කමිටු පත්කිරීම් සිදුකර ඇති අතර, ඒ අනුව මෙම පත්කිරීම් ද සිදුකෙරී ඇති බවකි. දෙපාර්තමේන්තුව තුළ ප්‍රධාන නිරීක්ෂණ කමිටුවක් හා උප නිරීක්‍ෂණ කමිටුවක් වශයෙන් කමිටු දෙකකට සාමාජිකයන් පත්කරන බවත්, හය දෙනෙකු ගෙන් යුත් මෙම කමිටුව ප්‍රධාන නිරීක්ෂණ කමිටුව ලෙස පත්කෙරී ඇති බව ද හෙතෙම තවදුරටත් පවසයි.
 
කවුද මේ, ස්ටෙෆ්නි සිරිවර්ධන?
 
ස්ටෙෆ්නි නීතිඥවරියක වීමේ සිහිනයක ගැලී සිටිය ද, පියාගේ නොකැමැත්ත මත ඒ අදහස අතහැර දැමීමට ඇයට සිදුව ඇත. ඉන්පසු ඇය ජනසන්නිවේදනය, දේශපාලන විද්‍යාව හා ව්‍යාපාර මනෝ විද්‍යාව  යන විෂයයන් හැදෑරීමට පටන් ගන්නීය. 
 
ඈ උපත ලබන්නේ කුවේට් රටේ ය. ඇගේ මව ලෙබනන් ජාතික කාන්තාවක් වන අතර, පියා ශ්‍රීලාංකිකයෙකි. ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ඇයට ඉංග්‍රීසි, ප්‍රංශ, අරාබි, ඉතාලි මෙන්ම අපේ සිංහල බස ද කතා කිරීමේ හැකියාවක් තිබේ. 
 
ස්ටෙෆ්නි සිරිවර්ධන ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ 2011 වසරේ රූ රැජින කිරුළත්, 2013 වසරේ  මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළත්, තමා සන්තක කරගැනීමේ හේතුවෙනි. පසුව ඇය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූවාය. 
 
ස්ටෙෆ්නි සිරිවර්ධන පදනම හරහා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙත ගොස් ඈ ලබාදුන් මානුෂික ආධාර හා උපකාර කාගේත් පැසසුමට ලක් වූ අවස්ථාවක -  බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සුභසාධන කටයුතු ප්‍රවර්ධනයෙහි ලා ක්‍රියාකිරීම වෙනුවෙන් කෙරුණු පත්කිරීම කාගෙත් කතාබහට ලක්වීමේ අරුමයක් නැත. 
 
මෙරට බන්ධනාගාර පද්ධතියට ස්ටෙෆ්නි ආධුනික චරිතයක් නොවේ. ඊට ඇති ඇගේ සබඳතාවට12වසරකට වැඩි ඉතිහාසයක් පවතී. ඒ කතාව බොහෝ දෙනකුට අමතකය. ඇය බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සුබසාධන කටයුතුවල නියුතු වී තිබේ. මානසික සුවතා, වෘත්තීය පුහුණු වැඩසටහන්වලට මෙන්ම සනීපාරක්ෂාව වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය ලබා දීම ද ඇය කාලයක සිට කර තිබේ.
 
ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ “සිරකාරිය” අතිමහත් අසාධාරණයට ලක්වන චරිතයකි. 2013දී ඇමෙරිකානු රජය ප්‍රකාශයට පත්කළ වාර්තාවක සඳහන් වූයේ සිරකරුවන් එකොළොස් දහසක් රැඳවිය යුතු ලංකාවේ සිරගෙවල්වල තිස්දෙදහසක් සිටින බවත්, සිරකරුවන් දහතුන් දහසකට තවමත් නඩු පවරා නැති බවත් ය. වැලිකඩ සිරගෙදර සිරකාරියන් 150 දෙනෙකු සඳහා පමණක් පහසුකම් පැවතිය ද, එහි 650 ක් දෙනා සිටින බවත් - බන්ධනාගාරවල තත්ත්වය බෙහෙවින් අසතුටුදායක බවත්, එකී වාර්තාවෙන් අනාවරණය කෙරුණි.
 
 
2013 දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වූයේ පී.ඩබ්ලිව්.කොඩිප්පිලි ය. ඒ මහතා එම වසරේම ප්‍රකාශ කොට තිබුණේ බන්ධනාගාර සේවයට කතුන්ගේ වැඩි ඇල්මක් නැති බවය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමන පුරප්පාඩු සඳහා කාන්තාවන් ගෙන් ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව ඉතා සීමිත බැව් ද කීවේය. ඒ හේතුවෙන් කාන්තා රැඳවියන් සහිත බන්ධනාගාරවල රාජකාරි කටයුතු කරන නියාමකවරියන්ගේ දැඩි හිඟයක් පවතින බව ද ඔහු කීය.
 
දැනට මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම රාජකාරි කරනුයේ 300 කට ආසන්න කාන්තා නිලධාරිනියන් පිරිසක් බව වාර්තා වෙයි. බන්ධනාගාර නිරීක්‍ෂණ කමිටුවේ ස්ටෙෆ්නි සිරිවර්ධන වැනි සාමාජිකාවක් සිටීම බන්ධනාගාර සේවයට කාන්තාවන් යොමු වීමෙහි ලා උපස්ථම්භක වේ යැයි සිතිය හැකිය.
 
මීට වසර 14 කට පෙර කළ පහරදීමකින් මියගිය රැඳවියන් සංඛ්‍යාව 27කි. මේ සිදුවීම වූ 2012දෙසැම්බර් මාසයේ දී ඊට එරෙහිව ජනඅරගල ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබුණි. 2012 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයට සිදුකළ පහරදීමෙන් රැඳවියන් 27 දෙනෙක් මියගිය බවත්, විශාල පිරිසක් තුවාල ලැබූ බවත්, සිහිපත් කරන ඔවුන් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බවට ආණ්ඩුවේ බලධාරීන් පොරොන්දු වූව ද - මේ වනතුරුත් සත්‍ය හෙළිදරව් කරගත හැකි අන්දමේ පරීක්‍ෂණයක් පවත්වා නැති බවත්, එම ම්ලේච්ඡ ප්‍රහාරය ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරියේ ඍජු අනුදැනුම සහිතව සිදුව ඇති බවත්, පෙන්වා දෙයි. වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ මහා සංහාරය වසන් කිරීමේ උපක්‍රමයක් ලෙස බන්ධනාගාර රැඳවියන්ගේ හිස් කඩදාසිවලට අත්සන් ලබාගෙන ඇතැයි පවසන ජනඅරගල ව්‍යාපාරය - බන්ධනාගාර තුළ සිදුවූ ම්ලේච්ඡ සංහාරයන් වසංකිරීමට ඉඩ නොතබා ඒවාට වගකිවයුතු අයට එරෙහිව යුක්තිය පසිඳලීම සඳහා පෙරට එන්නැයි සමස්ත ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
කාන්තා රැඳවියන්ට තම දුක් ගැනවිල්ල කීමට කෙනෙක් නැත. රූප සුන්දරියක් මේ රැඳවියන් අසලට ගියොත් ඔවුන් තම දුක් ගැනවිල්ල නොවලහා කියනු නියතය. බන්ධනාගාර කාන්තා වාට්ටුවල රැඳවියන් වද බන්ධනයකට ලක් වූවොත් ඔවුන් කොතරම් අසරණ තත්ත්වයට පත්වනවාදැයි අමුතුවෙන් පැවසිය යුතු නැත.
 
එක්තරා අවස්ථාවක බුද්ධි ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 120 දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවට රාත්‍රියේ ඇතුළු වී ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. තත්ත්වය මැඬීම සඳහා දෙවරක් ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. 
 
නිලධාරීන් පමණක් කාන්තා වාට්ටුවට ඇතුළුවීම හේතුවෙන් කාන්තා රැඳවියන් දැඩි විරෝධය පළ කර තිබූ අතර, එහිදී මෙම කඳුළු ගෑස් ප්‍රහාරයට එල්ල කර තිබුණි. ඉන් පසුව අදාළ නිලධාරීන්ගේම දැනුම් දීමෙන් බන්ධනාගාරයේ නිලධාරිනියන් 18 ක් එම ස්ථානයට පැමිණි බවත්, කාන්තා රැඳවියන් 600 ක් පමණ රඳවා ඇති මෙම වාට්ටුවට මෙසේ නීති විරෝධී ලෙස පිරිමි නිලධාරීන් පමණක් යොදවා පරීක්‍ෂා කිරීම ගැටලු සහගත බවත් බන්ධනාගාර නීති විශාරද මතය විය.  
 
බෝවන රෝගයක් පැතුරුණු විට බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවියන් පත්වන්නේ දැඩි අපහසුතාවයකි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ දරුණු උණ රෝගයක් පැතිර ගියේ පසුගිය වසරකය. එම උණ රෝගයට ගොදුරුවූ කාන්තා රැඳවියන් පස් දෙනකු හා කුඩා දරුවකු බන්ධනාගාර රෝහලට ඒ අවස්ථාවේ ඇතුළත් කිරීමට සිදුවිය.
 
කාන්තා අංශයේ මව්වරුන් සමග රඳවා සිටි කුඩා දරුවන් පහළොස් දෙනකුටද මෙම උණ රෝගය වැලඳී ඇතැයි එදා හෙලිදරව් විය. මෙසේ රෝහල්ගත කර සිටි කාන්තා රැඳවියන්ට හා කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැලඳී ඇතිද යන්න පිළිබඳව කරන ලද විමසීමකදී එහි වෛද්‍යවරියක පවසා තිබුණි.
 
කාන්තා අංශයේ පවතින අපිරිසිදුකම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවීම ඊට හේතු විය. සති කිහිපයක සිට කාන්තා අංශයේ වැසිකිළි වළවල් උතුරා යෑම හේතුවෙන් එහි දැඩි පරිසර දූෂණයක් සිදුවන බවත්, නේවාසික රැඳවියන් හා ළමයින් මේ හේතුවෙන්  දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, බන්ධනාගාර නිලධාරිනියක් ඒ අවස්ථාවේ පැවසුවාය.
 
මෙම අංශයේ කාන්තා රැඳවියෝ 650ක් හා වයස අවුරුදු 5ට අඩු දරුවෝ 15 දෙනෙක් රඳවා සිටිති. එතැන සිදුවී තිබුණේ එම රැඳවියන්ට සහ දරුවන්ට හඬක් නොමැති වීමය. බන්ධනාගාර නිරීක්‍ෂණ කමිටුවට පත්වූ ස්ටෙෆ්නි සිරිවර්ධන වැනි ආකර්ශනීය තරුණියකට මෙම වාට්ටු තුළට නිතර ගොස් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බැලිය හැක.  බන්ධනාගාර පාලනාධිකාරියට සැබෑ තත්ත්වය වාර්තා කළ හැක.
 
මේ රැඳවියන් වඩාත් අසරණ වන්නේ වැසි කාලයටය. කාන්තා අංශවල විදුලි කාන්දුව මීට හේතුවයි. වර්ෂාපතනයත් සමග බන්ධනාගාරවල විදුලි කාන්දුවීම හා ගිනි ඇවිළීම් දෛනිකව සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විදුලි කම්බි පද්ධතිය වසර ගණනාවකින් අලුත් වැඩියා කර නොමැති අතර, සෙලෝටේප් හා පොලිතින් බෑග් වලින් ඔතා ඇති විදුලි කම්බි කැඩී ගිය තැන්වලින් විදුලි කාන්දුවීම් සිදුවී ගිනිගැනීම් සිදුවෙන අතර, එහිදී රැඳවියන් මර බියෙන් කෑ ගසා මොර දෙතැයි කියැවේ. 
 
බන්ධනාගාර රෝහලේ ද එවැනිම අවදානම් පවතින අතර, එවැනි රැඳවියන්ට දැන් තම අභියසට පැමිණෙන ස්ටෙෆ්නි රූපසුන්දරිය ගෙන් සරණක් වෙන ලෙස අයැදිය හැකිය.
 
නිදහස් දින වැනි දිනයන්හි රැඳවියන් නිදහස් කිරීම් පිළිබඳ යෝජනා හා නිර්දේශයන් බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ද ස්ටෙෆ්නි ඇතුළු  නිලධාරීන්ට අවකාශය නැතැයි සිතිය නොහැක. 
 
ස්ටෙෆ්නි රූ රැජන වූයේ ඇගේ රූපය නිසාය. එහෙත් “රූපය දිරයි, නාමය නොදිරයි” යනුවෙන්ප්‍ රකාශ වේ. දැන් ස්ටෙෆ්නිට ඇති අභියෝගය බන්ධනාගාර රැඳවියන්ට දැනෙන සේවයක් කොට තම නාමය නොදිරන තත්ත්වයකට පත්කර ගැනීමය. 
 
සුරංගා එස්. ලියනගේ