- 2023 දී සමාගම් 21ක් තුළ පැවැති ආයෝජනය 2025 දී සමාගම් 11 ක් වෙයි
- ආයෝජනවල වටිනාකමත් ඩොලර් මිලියන 29.1 කින් අඩුවෙලා
- විශාලතම තනි ආයෝජනය වන ඩො.මි. 15.5 කොමර්ෂල් බැංකුව තුළ
- ජෝන් කීල්ස් සමූහය තුළ සිදු කර තිබූ ඩො.මි. 31 ක ආයෝජනය ඩො.මි. 15.5ක් දක්වා පහළට
- මෙරට නිෂ්චල දේපළ, සෞඛ්‍ය, බලශක්ති හෝ උපයෝගිතා අංශ තුළ ආයෝජන වෙත අරමුදල
- මෙතෙක් උනන්දුවක් දක්වා නැහැ
- එම අරමුදල 2025 වනවිට ලොව රටවල් 60ක සිදු කර ඇති ආයෝජනය ඩොලර් ට්‍රිලියන 1.50ක්
භානුක අමරසිංහ
නෝර්වේහි පිහිටි ලොව විශාලතම ආයෝජන අරමුදලක් වන Norges Bank Investment Managment (NBIM) විසින් 2025 වසර අවසන් වනවිට මෙරට තුළ මුදල් ආයෝජනය කර තිබූ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 11ක් බව එම අරමුදල නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් 2024 වසරේදී එම ආයෝජන අරමුදල මගින් මෙරට තුළ ආයෝජනය කර තිබූ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 17 ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව පසුගිය වසර තුළදී එය සමාගම් 6 කින් අඩු වී තිබේ. 2023 දී එම සමාගම් සංඛ්‍යාව 21 ක් ලෙස සටහන් විය.
මෙහිදී Norges අරමුදල 2025 දී සමාගම් අටකින් මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ. ඒ වෙනුවට සමාගම් දෙකක් තුළ ආයෝජනය කිරීමටද එම අරමුදල පියවර ගෙන ඇත.
ඒ අනුව 2024 දී එම අරමුදල මුදල් ආයෝජනය කර තිබූ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සම්පත් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා (පික්මී), හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පීඑල්සී යන සමාගම්වලින් මෙලෙස 2025 දී සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ.
ඒ වෙනුවට හේලීස් පීඑල්සී සහ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී යන සමාගම් තුළ ආයෝජනය කිරීමට Norges අරමුදල 2025 වසරේදී පියවර ගෙන තිබේ.
මේ අතර එම අරමුදල සමාගම් කිහිපයකින් සිය ආයෝජන ඉවත් කර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් 2024 වසරට සාපේක්ෂව 2025 දී මෙරට තුළ එම අරමුදල සිදුකළ ආයෝජනවල වටිනාකම පහත වැටී තිබේ. ඒ අනුව 2024 වසරේදී සමාගම් 17ක ආයෝජනය කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 91.5ක් (91,575,887ක්) වූ එම වටිනාකම, 2025 දී සමාගම් 11ක් තුළ ඩොලර් මිලියන 62.4ක් (62,440,708ක්) දක්වා ඩොලර් මිලියන 29.1කින් (29,135,179) පහළ බැස තිබේ.
මෙම වාර්තාවට අනුව 2024 වසරේදී Norges අරමුදල ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් තුළ සිදු කර තිබූ ඩොලර් මිලියන 31.4 ක ආයෝජනය 2025 දී ඩොලර් මිලියන 15.5 ක් දක්වා අඩුවී තිබේ. එසේම හැටන් නැෂනල් බැංකුව තුළ කර තිබූ ඩොලර් මිලියන 18.3 ක ආයෝජනය ඩොලර් මිලියන 5.7ක් දක්වා අඩු වී ඇත.
කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව තුළ සිදු කළ ආයෝජනය ඩොලර් මිලියන 10.4 ක සිට ඩොලර් මිලියන 15.5ක් දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව 2025 අවසන් වනවිට එම අරමුදල මෙරට තුළ වැඩිම ආයෝජනයක් සිදු කර ඇත්තේද එම බැංකුව තුළයි. 2024 දී එය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත හිමිව තිබුණි.
මෙම Norges Bank Investment Managment (NBIM) අරමුදල මෙරට තුළ ආයෝජනය ඇරඹූ 2015 වසරේ සිට සැලකීමේදී 2019 දක්වා ශ්‍රී ලංකව තුළ සිදුකළ ආයෝජනයේ වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
එහිදී 2019 වසර සදහා එම අරමුදල සමාගම් 20ක් තුළ සිදු කළ ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 114ක් (114,358,175ක්) විය. එය එතෙක් මෙතෙක් පැවැති ඉහළම වටිනාකමද වෙයි.
එහෙත් ඉන් අතුරුව එම අරමුදල මෙරට සමාගම් තුළ සිදුකළ ආයෝජන ක්‍රමයෙන් පහත වැටුණු අතර, 2022 වසරේදී එය සමාගම් 22ක් තුළ සිදු කළ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 35ක (35,486,664ක) අගයක් දක්වා පහත වැටුණි.
කෙසේ වෙතත් 2023 දී යළිත් ආයෝජන විශ්වාසය වැඩි වෙමින් එය ඩොලර් මිලියන 56.2ක් දක්වා ඉහළ යාම සිදු විය. අනතුරුව 2024 දී එය ඩොලර් මිලියන 91ක් දක්වා වර්ධනය විය.
මෙම Norges Bank Investment Managment (NBIM) අරමුදල නෝර්වේ රජයේ විශ්‍රාම අරමුදල ලෙසින්ද සැලකෙයි. නෝර්වේ රාජ්‍යය උතුරු සාගර කලාපයේ අතිවිශාල තෙල් සම්පතක් සොයා ගැනීමෙන් අනතුරුව ඇති වූ ආර්ථික වර්ධනයත් සමගින්ම අනාගත පරම්පරාව වෙත එහි ප්‍රතිලාභ අත් කරදීමේ අරමුණින් මෙම ආයෝජන අරමුදල පිහිටුවා තිබේ.
2025 අවසන් වන විට එම අරමුදල ලොව කලාප 7ක රටවල් 60ක් තුළ සිදු කර ඇති ආයෝජන 7,201ක වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.50 ක් (1,505,229,040,757ක්) ලෙස සටහන්ව තිබේ.
එම අරමුදල මූල්‍ය, කර්මාන්ත, සෞඛ්‍ය සේවා, පාරිභෝගික භාණ්ඩ, නිශ්චල දේපළ, දුරකතන සන්නිවේදන, මූලික අමුද්‍රව්‍ය, පාරිභෝගික මූලික අවශ්‍යතා, තාක්ෂණය, බලශක්තිය සහ උපයෝගිතා ලෙස අංශ 11ක් යටතේ මෙම ආයෝජන සිදු කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසර වන විටත් මෙම අරමුදල ශ්‍රී ලංකාව තුළ නිෂ්චල දේපළ, සෞඛ්‍ය, බලශක්ති තුළ හෝ උපයෝගිතා යන අංශ යටතේ මුදල් ආයෝජනය කර නොතිබීත් විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd