2026 වසර තුළ සක්‍රිය ගිණුම් 80,000ක් දක්වා ඉහළ නැංවීමේ අපේක්ෂාවක්
ගාල්ල, කෑගල්ල සහ ගම්පහ අලුතින් ශාඛා විවෘත කිරීමට යයි, කොළඹට තවත් ශාඛාවක්
2025 දී අලුතින් සමාගම් 24ක් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙලා
කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් ලාබදායී ආයෝජන අවස්ථාවක් - Softlogic Stockbrokers පවසයි
2025 දී ASPI සියයට 41.9කින්ද S&PSL20 සියයට 26.6 කින්ද වර්ධනය වෙලා
ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,000 පසුකරයි
භානුක අමරසිංහ
වර්තමානයේදී ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළක් බවට පත්ව තිබෙන කොළඹ කොටස් හුවමාරුවේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව එහි බලධාරීන් සඳහන් කර සිටියි. ඒ අනුව කොටස් හුවමාරුව වෙත තවත් දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ෂණයට මෙන්ම සමාගම් ලැයිස්තුගත කිරීම කෙරෙහිද මෙම වසරේදී තවදුරටත් අවධාණය යොමු කරන බවත් ඔවුන් පවසා සිටියි.
එහිදී විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුව කොළඹින් පිටතට රැගෙන යමින්, එහි මෙහෙයුම් තවදුරටත් රට පුරා ව්‍යාප්ත කිරීමට මේ වසරේදී සැලසුම් සකස් කර තිබෙන බව බව එහි සභාපති දිමුතු අබේසේකර මහතා ලංකාදීප FT වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
ඒ අනුව මෙම වසර තුළදී ගාල්ල, කෑගල්ල සහ ගම්පහ යන නගර තුළ කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා පිහිටුවීමට අදහස් කරගෙන තිබෙන බවත්, කොළඹ නගරය තුළ තවත් ශාඛාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
“කොළඹ කොටස් හුවමාරුව තවමත් සීමා වෙලා තියෙන්නේ කොළඹට පමණයි. එහෙත් එය ඉතාමත් හොඳ ආයෝජන අවස්ථාවක් බව රටේම ජනතාව දැන ගන්න ඕනේ. අද වුණත් සක්‍රිය ගිණුම් හිමියන්ගෙන් සියයට 60කට වඩා වැඩියෙන් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ නිසා මේ පිළිබඳව දැනුවත් කිරීම් කොළඹින් ගමට යන වැඩපිළිවෙළ අපි තවදුරටත් දියුණු කරනවා.”
ඒ අනුව අද වනවිට 53,000 ක් පමණ වන සක්‍රිය ගිණුම් හිමියන් සංඛ්‍යාව මෙම වසර අවසන් වනවිට 75,000ත් 80,000ත් අතර සංඛ්‍යාවක් දක්වා වර්ධනය සිය අපේක්ෂාව බවද සභාපතිවරයා සඳහන් කළේය.
“අපි ශ්‍රි ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත් සමගින් එකතු වෙලා මේ දැනුවත් කිරිම සිදු කරනවා. එම කොමිෂන් සභාවේ ‘සැමට කොටසක්‘ කියන වැඩසටහනටත් අපි සක්‍රියව දායක වෙනවා.”
මේ අතරතුරදීම විදෙස් ආයෝජකයන් ආකර්ෂණයටද වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත්, ඒ යටතේ ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී සහ සෞදි අරාබියේදීද ආයෝජක සැසි පවත්වන බවත් ඔහු පැවසුවේය. එසේම ඉදිරියේදී යුරෝපයේද ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ද සැලසුම් කර ඇතැයිද අබේසේකර මහතා සඳහන් කළේය.
“පසුගිය වසර වගේම මේ වසර ආරම්භය වුණත් කොටස් හුවමාරුව ඉතාමත් හොඳ මට්ටමකින් සාර්ථක වෙලා තිබෙනවා. දින කිහිපයක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවූවා. ඒ වගේම තමයි ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාවත් ඉහළ නංවා ගන්න අපි සැලසුම් කරනවා. දැනටමත් කිහිපයක් මූලික අදියරේ තියෙන්නේ.”
කොළඹ කොටස් හුවමාරුවට අනුව 2025 වසර තුළදී මූලික මහජන කොටස් නිකුතු සහ ණයකර නිකුතු හරහා සමාගම් 24ක් අලුතින් ලැයිස්තුගතවීම සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “2026 වසරේදී මීට වඩා වැඩි සමාගම් රැසක් ලැයිස්තුගත කිරීම අපේක්ෂාවයි. ඒ සඳහා සුදුසුකම් සහිත සමාගම් හඳුනාගනිමින් අපි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ආයෝජන බැංකු සමගින් එක්ව කටයුතු කරගෙන යනවා.”
එහෙත් දැනට තමන් සතුව මූලික මහජන කොටස් නිකුතු (IPO) සඳහා වන ඉල්ලුම්පත්‍ර නොමැති බවත්, ආයෝජන බැංකු සතුව එවැනි ඉල්ලුම්පත්‍ර 20ක් පමණ විවිධ අදියරවල පවතින බවත් බණ්ඩාරනායක මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ණයකර සම්බන්ධ ඉල්ලුම්පත්‍ර රැසක් තමන් වෙත ඉදිරිපත්ව තිබෙන බව ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් අදහස් දැක් වූ දිමුතු අබේසේකර මහතා, “කොළඹ කොටස් හුවමාරුව මගින් පහසුකම් සලසන සමාජයීය, තිරසර බැඳුම්කර මාදිලි රැසක්ම පසුගිය වසරේදී නිකුත් කෙරුණා. මේ වසරේදීත් සමාගම් රැසකින්ම එවැනි බැඳුම්කර රැසක් නිකුත්වීමට නියමිතයි.” යනුවෙන් පවසා සිටියේය.
මේ අතර, කොළඹ කොටස් හුවමාරුව තුළ ආයෝජනය තවදුරටත් ලාභදායී ආයෝජන අවස්ථාවක් බව තැරැව්කාර සමාගමක් වන Softlogic Stockbrokers සමාගම පවසයි. විශේෂයෙන්ම රට තුළ පවතින අඩු පොළී අනුපාත, සමාගම්හි ආදායම් ඉපැයීම්හි වර්ධනය මෙන්ම බලාපොරොත්තු සහගත විදේශ මුදල් ආයෝජන ගලාඒම් මේ සඳහා හේතුවනු ඇතැයි අදහස වී තිබේ.
දත්ත වාර්තා අනුව 2025 වසර අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර වසරට සාපේක්ෂව සියයට 41.9ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 22,624,31 ක් දක්වා ඉහළ යාම සිදු විය. එය 2024 වසරේදී වාර්තා කළ සියයට 49.7ක වර්ධනය හා සැසඳීමේදී කැපී පෙනෙන අවස්ථාවකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකයත් පෙර වසරට සාපේක්ෂව සියයට 26.6 ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 6,157.38ක් දක්වා ඉහළ නැග්ගේය. 2024 වසරේදී එය සියයට 58.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මීට අමතරව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 8.07ක් මට්ටමට ළගා වෙමින් පෙර වසරට සාපේක්ෂව සියයට 41.67ක් වර්ධනයක් සටහන් කර තිබේ.
“2025 වසර අවසන් වනවිට වෙළෙඳ පොළ වටිනාකම අනුව මිල ඉපැයුම් අනුපාතය 10.73 ගුණයක් බවට පත්ව තිබෙනවා. එසේම මිල පොත් අගයෙහි අනුපාතය 1.45 ක ගුණයකි. මීට අමතරව ලාභාංශ ඵලදාව සියයට 2.62ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව තෝරාගත් කලාපීය කොටස් වෙළෙඳපොළ අතරින් කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් වඩාත් ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් ලෙස පවතිනවා.“Softlogic Stockbrokers පවසයි.
කෙසේ වෙතත් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේද සමගින් ඇතිවන භූ දේශපාලනික ගැටලු මෙරට කොටස් වෙළෙඳ ෙපාළ අැතුළු ලොව කොටස් වෙළෙඳ පොළ වෙතද බලපානු ඇතැයි සභාපති දිමුතු අබේසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd