
මධ්‍යම කඳුකරයේ පිහිටි කොත්මලේ දුරාතීතයේ පටන් ප්‍රසිද්ධියටත්, ගරුසර බුහුමණටත් පාත්‍ර වූයේ - දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍ර ධාතුව කීපවරක් සඟවා තබා පරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනුණේ මෙහි නිසාත්, පසුකලෙක සිහසුනට පත්ව රට එක්සේසත් කළ දුටුගැමුණු රජු තරුණ සමයේ පියරජු සමග අමනාපවී අවුත් දිවි ගෙවූයේ ද මලය රටේ මෙහි නිසාත් යැයි සිතිය හැකිය.
ආරක්ෂිතව සඟවා තැබීමට හා සැඟව සිටීමට අතිශය යෝග්‍ය අයුරින් - කඳු වළල්ලකින් වටවී කොත්මලේ පිහිටා තිබීම එහිලා හේතු වෙන්නට ඇතැයි සිතිය හැකිය.
එම ඓතිහාසික කරුණු කෙසේ වෙතත් මේ දිනවල කොත්මලේ ගැන බහුතරයක් දෙනා කතා කරන්නේ - දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මෙම ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්ත්වය හා මෙරට වැඩිම උසක සාදා ඇති කොත්මලේ ජලාශය අතර සබැඳියාවක් පෙනුණු නිසාය.
කොත්මලේ උපන්, කොත්මලේ ජීවත් වූ අයෙකු ලෙස - කොත්මලේ ඇතුළු සමස්ත කන්ද උඩරට ජනතාව වෙනුවෙන් වගකිවයුත්තන් ගේ අවධානය පිණිස මෙම ලිපිය ලියන්නේ, කොත්මලේ හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමකින් නැවත පූර්ණ පරීක්ෂණයකට ලක්කිරීම අතිශය වැදගත් බැව් දැඩිව විශ්වාස කරන හෙයිනි.
කොත්මලේ අතීතය හා පුරාවෘත්ත විමර්ශනය කිරීමේ දී ඈත අතීතයේ මෙම ප්‍රදේශයේ ගිනිකඳු පැවතී ඇතැයි කියන මතයක් පැවති බැව් පෙනේ. මෙම ගිනිකඳු විදාරණය වූ ප්‍රදේශය කොත්මලේ ජලාශයට ඉහළින් පිහිටා ඇති අතර, එම ප්‍රදේශය කොත්තුණුගොඩ ලෙස හැඳින් වේ. එකල ඉතා සීමිත පවුල් සංඛ්‍යාවක් ලෙස විසූ කොත්මලේ ගැමියෝ ගිනිකඳු විදාරණය වරනගා ඇත්තේ - බොදු ශ්‍රද්ධාවේ බලමහිමයෙන් කොත් තුනක් මතුවීමක් වශයෙනි. ඒ නිසා කොත් තුනක් පහල වූ ප්‍රදේශය කොත්තුණුගොඩ ලෙස නම් කර ඇත. කෙසේ වෙතත් විදාරණය වී පසුව විසරණය වූ ද්‍රව යවබොර පහළ ප්‍රදේශවල එක්රැස්ව ඝන බවට පත්ව වී ඇති අතර, මෙම ප්‍රදේශයේ පැවති යකඩ කර්මාන්තය සඳහා යොදාගෙන ඇත්තේ ඒවා වේ.
ගිනිකඳු ප්‍රධාන වශයෙන් සක්‍රිය, අක්‍රිය සහ මළ වශයෙන් තෙආකාරයකින් පැවතිය හැකි අතර - එහි විද්‍යාත්මක තත්ත්වය කවුරුන් හෝ ගවේෂණය කර හෝ අධ්‍යයනය කර නොමැත. මේවා සත්‍ය වශයෙන්ම විදාරණය වූ ඒවා ද? නැත්නම් අක්‍රියව හෝ මළ තත්ත්වයේ පවතිනවා ද? යන්න සොයාබැලිය යුතුය.
මහවැලි ගංගාවේ ප්‍රධාන පෝෂක අතුගංගාව වන්නේ කොත්මලා ඔයයි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොත්මලේ වේල්ල සකසා ජලය රැස්කොට විදුලිය නිපදවාගැනීමට යොදාගත්ත ද , තවත් ප්‍රධාන අරමුණක් වූයේ - පහළ ප්‍රදේශ වූ උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදණිය, මහනුවර වැනි ප්‍රදේශ ගංවතුර අවස්ථාවක දී ආරක්ෂා කරගැනීමයි. එසේම රජරටට අවශ්‍ය ජලය පොල්ගොල්ල හැරවුමෙන් අඛණ්ඩව ලබාදීමත් තවත් අරමුණකි. කොත්මලේ ඔය ගලාවිත් මහවැලි ගඟට එක් වන්නේ - උලපනේ ප්‍රදේශයේ දීය. උලපනේ සිට කිලෝමීටර දහයක දුරකින් ජලාශය නිම කර ඇත. 1979.02.04 නිදහස් දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය මොරාජි දේශායි විසින් මුල්ගල තබන ලදුව - සියයට40ක් ස්වීඩන් ආධාර මත හා ඉතිරි සියයට60 ලක් රජයෙන් යොදා ස්වීඩන් ඉංජිනේරු සහ තාක්ෂණික නිලධාරි සමූහයක ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකෙරුණි.
එදා මෙම ජලාශය ඉදිකිරීම නිසා ග්‍රාමසේවා වසම් 16ක්, ගම් 54ක්, විහාර-දේවාල-කෝවිල් 54ක්, තේ වතුයායන් 4ක් ප්‍රධාන වශයෙන් යටවිය. මෙහි සිටි මිනිසුන් තලාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල ඉඩම් ලබා දී පදිංචි කළ අතර, ඒ ප්‍රදේශවලට නොගිය පවුල් ජලාශ අවට තේවතුවල ඉඩම් ලබාදී පදිංචි කරවන ලදී. මෙම ජලාශයේ ජල පෝෂිත ප්‍රදේශය වර්ග කිලෝමීටර් 544 කි. ජලාශයේ ධාරිතාව ඝනමීටර මිලියන170.9කි. වේල්ලේ දිග මීටර600 කි. උස මීටර87 කි. ජලවිදුලි බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 201 කි. අරිය වර්ගයේ වාන් දොරටු 3කි. පිටවාන් ධාරිතාව තත්ත්පරයකට ඝන මීටර් 5550 කි.
ඒ අවස්ථාවේ දී කොත්මලේ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් අනුගමනය කරන ලෙසට සිහිපත් කළ ද එවැන්නක් ඉටුවන බවක් නොපෙනේ.
මෙම ජලාශයේ ඉදිකිරීමේ එක් අරමුණක් වූ විදුලිබලය නිපදවීම සාර්ථකව සිදුවේ. ජලාශයට කිලෝමීටර10ක් ඈතින් පිහිටි අටබාගේ ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති විදුලි බලාගාරයේ මෙගාවොට්67ක ටර්බයින් 3ක් මගින් මෙගාවොට් 201ක් ජාතික විදුලි පද්ධතියට එක් කරනවා ඇත. කොත්මලේ ජලාශයේ සිට භූගත උමගක් මගින් විදුලි බලය නිපදවීමට ජලය ලබාදෙන අතර, එම ජලය ආපසු මහවැලි ගඟට එකතු කිරීම සිදු කෙරේ.
මෙම ජලාශයෙන් කෙත්වතු දහස් ගණනක් වගා කිරීමට මහවැලි එච් කලාපය ඇතුළු රජරටට ජලය සැපයෙනවාට අමතරව - විදුලිය නිපදවීම හා විශේෂයෙන් ගංවතුර පාලනයට ද දැවැන්ත පිටිවහලක් සැපයේ.
2025 නොවැම්බර් 27, 28, 29 දිනවල සිදු වූයේ කුමක්ද යන්න නැවත විද්‍යාත්මකව සොයා බැලිය යුතුය. ගංවතුර පාලනය මෙම ජලාශය ඉදිකිරීමේ ප්‍රමුඛ අරමුණක් වුව ද - පහතින් පිහිටි උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර ප්‍රදේශවල ගංවතුර පාලනය වුණා ද?යන්න උභතෝකෝටිකයකි. ඇත්තවශයෙන්ම ගංවතුර පාලනයක් සිදු නොවූ අතර, දිවයිනේ වැඩිම හානියක් මහනුවර දිස්ත්‍රික්කයට ඇති කරමින් මරණ118 සහ 171ක් අතුරුදන් කරමින් දැවැන්ත දේපොළ හානියක් සිදුවුණි.
ගංවතුර පාලනය නොවුණේ නියමිත වේලාවට නියමිත තීරණය නොගත් නිසා ද?
ඉන්දියන් සාගරයේ මුහුදු කලාපයේ ඉන්දුනීසියාව, සුමාත්‍රා, ලංකාව වැනි රටවල් පිහිටි භූ තලයේ භූ කම්පන සිදුවන වාර ගණන ඉහළ ගොස් තිබේ. කිසියම් අයුරකින් භූ කම්පන තත්ත්වයන් ඇතිවුවහොත්, ඉහළ කඳුකරයේ තිබෙන අවදානම ඉතා බරපතළ ය. කොත්මලේ ගැමියන් සමහරුන් පවසන්නේ නාය යායුතු යැයි සිතන ප්‍රදේශ නායනොගිය අතර, වෙනත් ප්‍රදේශ නායගිය බවකි. එමෙන්ම මේවා භූමිකම්පා සිදුවී බලවත් වූවාදැයි සැකයක් පවතින බවකි. භූමිකම්පාවක් සිදුවූවා නම් එය ශ්‍රී ලංකාවට පැහැදිළිව දැනගත හැකි අතර, එහි ප්‍රමාණය ද පැවසිය හැක. දිට්වා සුළිකුණාටුව හැර භූමිකම්පාවක් සිදුවී නැතත්, අනාගතයේ දී එවැන්නක් සිදු නොවේ යැයි කාට නම් කිවහැකි ද? 2004දෙසැම්බර් මස ඇති වූ සුනාමි තත්ත්වය ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයක බලපෑම නිසා පැය 2ක් ඇතුළත ශ්‍රී ලංකා වෙරළ තීරයට එහි බලපෑම පැමිණීමෙන් ඇති වූ තත්ත්වය සිහිපත් කළ යුතුය. ඕනෑම දෙයක් ශ්‍රී ලාංකිකයන්ට මතක සිටින්නේ කෙටි කලකි. පිළියම් යොදන්නේ කෙටිකාලීනවය. අනුප්‍රාප්තික ආණ්ඩුවට හෝ නිලධාරින්ට හෝ මහජනයාට මතක නැත. සැලසුම් නැත. ක්‍රියාමාර්ග නැත. 2004 සුනාමි මෙන්ම 2025 දිට්වා කිසිවිටකත් අමතක කළයුතු හෝ නොසලකා හැරිය යුතු අත්දැකීම් නොවේ. එබැවින් කොත්මලේ ජනතාවගේ බිය හා අවිනිශ්චිතතාව සාධාරණය. එපමණක් නොව උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර ජනතාවට ඇති බිය ද සාධාරණය. එබැවින් වගකිවයුත්තන් මේ කරුණු කිසිවිටක නොසලකා සැහැල්ලුවෙන් නොසිතා වගකීමෙන් යුතුව මෙම ගැටලුව සොයා බලා පිළියම් යෙදිය යුතුය. එය පවතින රජයේ සහ නිලධාරින්ගේ වගකීම වේ. අසරණ මහජනතාවට කළ හැකි දෙයක් නොමැත.
කුමන රජයකින් හෝ හරි දේ නිවැරදිව රටේ උන්නතිය වෙනුවෙන් යමක් කළා නම් එය අගය කළ යුතුය. ජේ.ආර්. ජයවර්ධන රජය කඩිනම් මහවැලිය ආරම්භ කළේ රටේ සුභසිද්ධිය උදෙසාය. එයින් කෙත්වතු විශාල සංඛ්‍යාවක් අස්වැද්දූ අතර, ජලවිදුලි නිෂ්පාදනය රටේ අවශ්‍යතාව සපුරා අතිරික්තයක් ද ඇති කළේය. එය අපි අගය කළ යුතුය. එය දෙස වෛරී දේශපාලන විවේචනාත්මක ඇසකින් නොබැලිය යුතුය. රජයක් හෝ අමාත්‍යවරයෙකු පත්කරනුයේ ජනතා ශුභසිද්ධිය උදෙසා කටයුතු කිරීමටය. ඒ නිසා වර්තමාන රජයේ වගකීම මෙහි සැබෑ තත්ත්වය සොයා බලා අන්තර්ජාතික ආයතන හා විශේෂඥ දැනුම ඇති රටවල සහාය ලබාගෙන මෙරට අඩුපාඩු සකස් කරගැනීම මෙන්ම සංවර්ධන කටයුතු ඉටු කිරීමය.
1985.08.24 කොත්මලේ ජලාශය විවෘත කිරීම එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අතින් සිදුවිය. ඒ අවස්ථාවට සහභාගී වූ එවකට අමරපුර මහා නිකායේ මහානායක කොස්ගොඩ ධම්මාවාස නාහිමියන් විසින් ගාමිණී දිසානායකට ඉදිරි කාලයේ දී මහණ වන ලෙස ආරාධනා කළේය. ඒ ගාමිණි දිසානායක මහත්මා මස්මාංශ අනුභවයෙන් වැළකී කටයුතු කළ අයෙකු ලෙස ප්‍රකටව සිටි නිසා විය හැකිය. එසේම කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව මෙහෙයවූ ගාමිණී දිසානායකගේ දායකත්වය අගයමින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ඉංග්‍රීසි ග්‍රන්ථයක් තෑගි කළ අතර, සිය කතාවේ දී එතුමා කියාසිටියේ එම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් කෙනෙකුට නායකයෙක් වීමට අවශ්‍ය සිද්ධාන්ත උගත හැකි බවය. එහෙත් කිසිවිටෙකත් මෙරට ඊලඟ රාජ්‍ය නායකයා ගාමිණී දිසානායක යැයි එතුමා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ නැත. කෙසේ නමුත් ගාමිණී දිසානායක ගේ ඥාති හිතමිත්‍රාදීන් සහ අතවැසි අනුගාමිකයන් විසින් ජේ.ආර්. ගේ ප්‍රකාශයට වැරදි අර්ථකථනයන් හා අතිශයෝක්ති අධිආරෝපණයන් ලබාදෙමින් මීළඟ නායකයා ගාමිණී දිසානායක බැව් ජේ.ආර්. කීවේ යැයි ප්‍රචාරයක් යැවූ අතර, ගාමිණී දිසානායකයන්ව ද මුළාවක හසුකරන්නට කටයුතු කළහ. එම වේදිකාවේ මා සොහොයුරු ආචාර්ය රාජකීය පණ්ඩිත කේ.බී.ඒ. එඩ්මන්ඩ් සහ මා ද සිටි අතර, එම සිද්ධිය මා හොඳාකාරව දැන සිටියෙමි.
කලක් මුළුල්ලේ කඳුකරයේ පස් සෝදා ඇවිත් කොත්මලේ ජලාශයේ තැන්පත් වී ඇත. ඒ නිසා කොත්මලේ වේල්ලට ඇති කෙරෙන අමතර පීඩනය කොතරම් දැයි කිසිවෙකුටවත් නිශ්චිතව කිව නොහැක. මෙම පස් ඉවත් කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. මොනයම් ක්‍රමයකින් හෝ ජලාශයට ඉහළින් ඇති කඳු නායගියහොත් එම පස් කොත්මලේ ජලාශයට පැමිණීමෙන් වේල්ල වෙත එල්ල වන පීඩනය විශාලය. මෙවර ද රම්බොඩ නාය යෑමෙන් ජලාශයට යම් පස් ප්‍රමාණයක් එක් වී ඇත. ජලාශයේ ජලය අඩුවන කාලවල දී රොන්මඩ විශාල වශයෙන් තැන්පත් වී ඇති බව නිරීක්ෂණ කළ හැක.
එසේ නම් සිදු වූ දේ පාඩමක් කොට ගෙන ‘මලය රටේ මැණික’ ලෙස හඳුන්වන කොත්මලේ ප්‍රදේශය පිළිබඳ පුළුල් ගවේෂණයක් නැවත කළ යුතුය.
2025.12.11 දින කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පේරාදෙණියේ පැවැති ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනයේ හයවන වාර්ෂික රැස්වීමට සහභාගී වී කෙටි වේලාවක් එහි රැඳී සිට කොත්මලේ ජලාශය නිරීක්ෂණයට සහභාගී විය. ඒ අවස්ථාවේ දී කොත්මලේ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් අනුගමනය කරන ලෙසට සිහිපත් කළ ද එවැන්නක් ඉටුවන බවක් නොපෙනේ. අමාත්‍යවරයා කොත්මලේ ජලාශය වෙත පැමිණ නිරීක්ෂණය කොට ගඟ පහළ කොටසට ආපදාවක් සිදුනොවන බව පවසා අනියත බියක් ඇතිකර නොගන්නා මෙන් ඉල්ලා සිටියා මිස විද්‍යාත්මක පදනමක් මත ප්‍රදේශයේ හෝ ජලාශයේ තත්ත්වය ගැන සොයාබැලීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. වාරිමාර්ග කෘෂිකර්ම හෝ අදාළ එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවයක් ඇමතිවරයෙකුට නොතිබිය හැකිය. විශේෂඥ උපදේශක කණ්ඩායමකගේ සහාය ලබා ගැනෙන්නේ ඒ නිසාය.
කොත්මලේ ජලාශය ඉදිකරන කාලවකවානුයේ තව මීටර් 30ක් වේල්ල උස් කිරීමට මුල් සැලසුමේ තිබූ අතර, තව ජලධාරිතාවක් රඳවාගැනීමට එහිදී ඉඩකඩ ලැබේ. නමුත් එම මීටර් 30 උස්කිරීම දෙවන පියවර ලෙස ඉදිරි කාලයක දී ඉටුකිරීමට එදා තීරණය කර තිබූ අතර, ගම්බිම් අත්පත් කරගැනීම එම වේල්ල මීටර30කින් උස් කළ ද, ඊට යෝග්‍ය අයුරින් සිදුකෙරිණි. ඒ අනුව වේල්ල අවශ්‍ය නම් මීටර30කින් උස් කළ හැක්කේ, ඊට උචිත ශක්තිමත් පාදමක් මෙම වේල්ල සකස් කිරීමේ දීම දමා ඇති හෙයිනි. නමුත් වත්මන් රජය යටතේ එම කටයුත්ත කොහෙත්ම ඉටු නොවනු ඇති බැව් අපි තරයේ විශ්වාස කරමු. ඒ දූරදර්ශීව ඵලදායී අර්ථාන්විත ඉදිරිගාමී වැඩ කිරීමට දැක්මක්, දෘෂ්ටියක් හා ඕනෑකමක් ඇති පාලකයන් හෝ නිලධාරින් වර්තමානයේ අඩු බවක් හැඟෙන හෙයිනි.
ආන්දෝලනයට තුඩුදුන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ විවිධ මත පවතී. මේ සම්බන්ධව සෘජුවම පාලකයන්ට සහ නිලධාරීන්ට චෝදනා එල්ල කෙරේ. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත්, සිදුවූ විපත අතිමහත්ය. මෙවන් විපතක් යළි සිදු නොවීමට පාලකයන්ද, නිලධාරින්ද වග බලා ගත යුතුය. එසේ නම් සිදු වූ දේ පාඩමක් කොට ගෙන ‘මලය රටේ මැණික’ ලෙස හඳුන්වන කොත්මලේ ප්‍රදේශය පිළිබඳ පුළුල් ගවේෂණයක් නැවත කළ යුතුය. ස්වභාවික උපද්‍රව ස්වභාවික වූවත්- ජේ.ආර්. ජයවර්ධන හා ගාමිණී දිසානායක වැන්නෝ සිටියේ නම්, මෙවන් විපත් මගින් සිදුවන හානිය අවම කරගත හැකිව තිබූ බව යථාර්ථය යි.

කේ.බී. ගුණරත්න
හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd